අකුරු කියවන්න පුළුවන් වුණාට සාහිත්‍යයික කියැවීමක් තියෙනව ද? | සිළුමිණ

අකුරු කියවන්න පුළුවන් වුණාට සාහිත්‍යයික කියැවීමක් තියෙනව ද?

ක්තෝබරය කියවීමේ මාසය වශයෙන් සම්මත වී තිබේ. ලංකාව අද වනවිට සාක්ෂරතාවයෙන් ඉහළ රටක් හැටියට සැලකේ. ඔක්තෝබරයේ කියවීමේ මාසයත් සමඟ ඇති වන කතා බහක් වන්නේ අකුරු කියවන්නට පුළුවන් වු පළියට අපේ රටේ සැබෑ සාහිත්‍යයික කියවීමක් තියෙනවා ද කියන එකයි. බැලූ බැල්මට එහි යම් උහතෝකෝටික බවක් දැකිය හැකි වුණ ද එය ප්‍රබල විමසීමක් මතු කරන ප්‍රශ්නයක් යැයි හැඟෙන හෙයින් ඒ පිළිබඳව ගුරුවරු, නිලධාරීන් මෙන්ම ජනමාධ්‍යවේදීන් හැටියට අත්දැකීම් ඇති සාහිත්‍යධරයන්ගෙන් මත විමසීමක් කිරීමට අපි කල්පනා කළෙමු.

පරිපාලන ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් සහිත සුනිල් සරත් පෙරේරා ගීත රචකයෙක්, කවියකු මෙන්ම සාහිත්‍යධරයකු ද වේ. ඉදින් එවැන්නක් වේ නම් ඊට අදාල ප්‍රධාන පෙලේ අධ්‍යාපන ආයතනයක් හැටියට විශ්වවිද්‍යාලය වගකිව යුතු නොවේදැයි ඔහු විමසීය. ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ සැබෑ ලෙසින්ම පිළිගත් සාහිත්‍ය ගවේෂණයක් ඔවුන් අතින් ඉටු විය යුතු බවයි.

“ඒත් එහෙම නොකර හුදෙක් තමන්ගේ පණ්ඩිතමානී බව පෙන්නනන ඇති කරන කලබැගෑනි තමයි අපිට දකින්න ලැබෙන්නෙ. ඒකට හෙඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ඇති කරපු ගේය පද කෝලාහල ය. මොකක්ද මේ ගේය පද කියන්නෙ. මම විශ්වාස කරන හැටියට ගීතයක් කියන්නේ අර්ථ පූර්ණ රචනයක්. අද එතනට ගීතය වර්ධනය වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ගායනා කෙරෙන පද කියන අර්ථයෙන් ගීත රචනයකට ගේය පද කියන එකේ තේරුමක් තියෙනව ද? මේ ගැන නාමෙල් වීරමුනිගේ පුංචි තියටර් එකේ තිබුණ කතා බහකදී ගුණදාස අමරසේකර කිව්වා ගේය පද ගැන නං මම දන් නෑ. ගාය පද කියළ නං දන්නවය කියලා. මේ නිසා වෙන්නෙ ගීත රචනයක් හැම විටම ගායනා කරන කියන තැනට ලඝු වෙන එකනෙ. ඉතින් එහෙම බැලුවම හොඳම ගේය පද කාරයො තමයි කට්ටඩි මිනිස්සු. වැදි ජනතාව අතරත් තේරුමක් කියන්න බැරි ගේය පද තියෙනවා. මං අහන්නේ මේ වගේ තේරුමක් නැති සංවාද වලික් පුළුවන්ද ජනතාව අතර කියවීමේ වර්ධනයක් ඇති කරන්න.”

ජනමාධ්‍යවේදිනියක හැටියට අත්දැකීම් ඇති කරුණා පෙරේරා ප්‍රකට ගත් කතුවරියකද වේ. ඇයට අනුව නම් සාක්ෂරතාවය යනු එකක් ය. කියවීම යනු තවත් එකක් ය.

“සාක්ෂරතාවය කියන්නේ කියවීමේ හැකියාව නම් ලේඛකයින්ට ලොකු වගකීමක් තියෙනවා ඒ ගැන. ඒ කියවන්න ඉන්න පිරිස වෙනුවෙන් මොනවද අපි දෙන්නෙ කියන කාරණේ උඩ තමයි ලේඛකයින්ට ඒ වගකීම පැවරෙන්නෙ. අනිත් කණ්ඩායම තමයි ගුරුවරු. පත්තරේ දිග ඇරගෙන ප්‍රවෘත්ති කියවන එක නෙවෙයිනෙ සාහිත්‍යයික කියවීම කියන්නෙ. අන්න ඒක තමයි සාක්ෂරතාවය. සාහිත්‍යය කියවීමක් කියන්නෙ. ගැඹුරු අරුත් මතු කරගනිමින් කරන කියවීමකට. අපි පොඩි කාලේ කුමාරොදයෙන් පටන් ගත්ත ඒ කියවීම තමයි අපිව ලොකු මහත් කළේ. අන්න ගුරුවරයා මතුවන තැන. නමුත් ප්‍රශ්නෙ තමයි එහෙම ගුරුවරු අද ඉන්නව ද කියන එක.”

“මා දකින තව දෙයක් තමයි සාහිත්‍යය කියන්නෙ වෘත්තීය අධ්‍යාපනයක් නෙවෙයි. සාහිත්‍ය ගුරුවරයා කියන්නේ තාක්ෂණවේදියෙකුත් නෙවෙයි. සාහිත්‍ය කියවීම කියන්නෙ ජීවිතය කියවීමක්. මොන විෂය කළත්, මොන වෘත්තියක හිටියත් ඒ ජීවිත කියවීම අවශ්‍යයි. පරණ පොතක් වුණත් අපි අද කියවනවා කියන්නෙ ඒක අලුතින් හිතීමක්. ඒ පරණ තැන ඉඳගෙන නෙවෙයි අපි ඒක අද කියවන්නෙ. ඒකයි මං කියන්නෙ සාක්ෂරතාව කියන්නෙ එකක්. සාහිත්‍යයික කියවීම කියන්නෙ තවත් එකක්.”

වෘත්තියෙන් ගුරුවරයකු වන ප්‍රීති බණ්ඩාර ධනපාල ප්‍රකට සාහිත්‍යකරුවෙකු ද වෙයි. ඔහුට අනුව නම් කියවීමේ අඩුවක් නැත.

“පොදුවේ ගත්තම කියවීම පිරිහිලාය කියල මං නං හිතන්නෙ නෑ. ඉතිං එහෙම නං මෙච්චර පොත් ප්‍රකාශනයක් සිද්ද වෙන්නෙ කොහොම ද? අද පොත් ප්‍රකාශන සමාගම් කොච්චර තියෙනව ද? ඒක ලොකු ව්‍යාපාරයක්. එදා වගේ නෙවෙයි කර්තෘ ප්‍රකාශන පවා අද වැඩිපුර දකින්න පුළුවන්. ප්‍රතිශතයක් හැටියට ගත්තම කියවන පිරිස සියයට 20 ක් වගේ වෙන්න පුළුවන්. ඒත් කියවන පිරිසක් එහෙම ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා අද වෙනකොට වෙනම ආකාරයක කියවීමක් ඇති වෙලා තියෙනවා විය හැකියි. ඒ නිසා පොත පත අළෙවියට යම් බලපෑමක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒත් කියවන ප්‍රතිශතයක් ලංකාවෙ ඉන්නවා, ඒකෙ පිරිහීමක් නෑ. ඒකයි මගේ තර්කය.”

“උදාහරණයක් විදිහට සිනමා ශාලා අද වේගයෙන් වැහීගෙන යනවා. මහනුවර ගත්තොත් ප්‍රධාන පෙලේ සිනමා ශාලා හැම එකක්ම වගේ වැහිලා ගිහින්. චිත්‍රපට රසිකයා අද ඉන්නෙ යු ටියුබ් එකේ. එදා වගේ දුර රූපය, සමීප රූපය ඒවා අදාල වෙන්නෙ නෑ චිත්‍රපටියක් බලන්න. එදා තිබුණ සිනමාව හා බැඳුන ඒ අධ්‍යයනය වගේම සමාජ සංස්කෘතිය අද නෑ. නමුත් පොත් සාප්පු එහෙම වැහිලා ගිහිං තියෙනව ද? හැම නගරයකම බැංකු තියෙනවා වගේ ප්‍රධාන පෙලේ පොත් සාප්පුත් තියෙනවා. මම නං හිතන විදිහට කියවීම නැතිවෙලාය කියල අපිට මතුපිටින් විතරක් බලලා කියන්න බැහැ.“

මිනිසාගේ ජීවිතයේ පැවැත්ම ගංගාවක් වැන්න. එය හිතන්න බැරි තරමට කලින් ගලා නොගිය අලුත් දිශා වලට වේගයෙන් ගලා බසී. මේ තමයි පැවැත්මේ විවිධත්වය. හිතන්න බැරි ආකාරයට එය යොමු කිරීමයි මැවුම්කරුවාගේ බලාපොරොත්තුව. එය (ජිවිතය) සකස් කළ ගමන් මාර්ගයක ගමන් කරන්නට කපා ඇති ඇල මාර්ගයක් නොවේ.” අප එය උපුටා ගත්තේ තාගෝර්ගේ ගෝරා නම් නවකතාවෙනි. සාහිත්‍යයික කියවීම යනු එවැනි ජීවිතාවබෝධයක් ලබා දෙන විශිෂ්ට වූ අත්දැකීමකි.

Comments