සුව හමුව | සිළුමිණ

සුව හමුව

ඉකිලි කැසිල්ලට ප්‍රතිකාරයක්

 

ප්‍රශ්නය :- මම 22 හැවිරිදි යුවතියකි. මම දිනපතා ස්නානය කර පිරිසිදු ඇඳුම් ඇන්දත් මගේ ඉකිලි කැසීමක් ඇත. විෂබීජ නාශක දියර දමා යට ඇඳුම් සෝදමි. එහෙත් ඉකිලි කැසීමේ අඩුවක් නැත. ෆාමසියෙන් ක්‍රීම් වර්ගයක් මිලදී ගෙන ආලේප කළත් කැසීම අඩු නැත. ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙමි.

ඇඹරළුව - ගීතිකා දෙව්මිණි ලියනාරච්චි

 

පිළිතුර :- ඉකිලි කැසීම ඇති වන්නේ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තෙතමනය රැඳී තිබීම නිසා දිලීර හට ගැනීමෙනි. එබැවින් දිලීර නාශක ආලේපන වර්ගයක් පාවිච්චි කළ යුතුය. ඇතැම්විට ආලේපන වර්ගවලට අමතරව ඖෂධ පානය කිරීමට ද සිදු විය හැකිය. එබැවින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වීම වඩාත් සුදුසුය.

 

 

වසර 40ක් පුරා දියවැඩියාව

 

ප්‍රශ්නය :- මම අවුරුදු 83 ක විශ්‍රාමික පිරිමි අයෙක්මි. වසර 40ක පමණ කාලයක් පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙමි. ඊට දිනපතා ඖෂධ ලබා ගන්නා අතරවාරයේදී මීට වසර 8කට පෙර හදවතට ස්ටෙන්ට් එකක් යොදා ඇත. දැනට මට වකුගඩු ආබාධයක් තිබෙන බව මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. වකුගඩු බද්ධ කර ජීවත් වීමේ අදහසක් මට නැත. මගේ වයස අනුව එය අනවශ්‍ය යැයි මට සිතේ. දැනට මම බෙහෙත් වර්ග 10ක් පාවිච්චි කරමි. දැනට මා කළ යුත්තේ කුමක්ද කියා නිශ්චිතව සිතා ගැනීම අසීරුය. ඔබතුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඊට අමතරව මම මලබද්ධයෙන් පීඩා විඳිමි. මලපහ සිදු වන්නේ දින 3කට වරක් දැඩි වේදනාවකිනි. ඊට ද සහනයක් අපේක්ෂා කරමි.

සියඹලාණ්ඩුවේ කුලසිරි පියසේන

 

පිළිතුර :- දියවැඩියාව රෝගයට කාලයක් ගොදුරු වීමෙන් වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයක් ඇති විය. ඔබ මුහුණපා තිබෙන්නේ එවැනි තත්ත්වයකටයි. වකුගඩු අකර්මණ්‍ය අවස්ථාවේදී ඖෂධීය ප්‍රතිකාර, කෘත්‍රිම රුධිර පිරිපහදුකරණය සහ වකුගඩු බද්ධ කිරීම යනුවෙන් අවස්ථා 3ක් තිබේ. ඔබ මුහුණදී සිටින්නේ වකුගඩු ක්‍රියාකාරිත්වයේ කිනම් අවස්ථාවටදැයි සටහන් වී නොතිබීම ලොකු අඩුපාඩුවකි. වකුගඩු අක්‍රීය වූ පමණින් බද්ධ කිරීමට අවශ්‍ය නොවේ. ඖෂධීය ප්‍රතිකාර සහ කෘත්‍රිම රුධිර පිරිපහදුකරණය මඟින් රෝගී තත්ත්වය පාලනය කර ගත හැකිය. ඔබ සිටින්නේ කුමන අවස්ථාවේදැයි වෛද්‍යවරයාගෙන් විමසා ඔබට වකුගඩු බද්ධ නොකර රෝගි තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය. වකුගඩු අකර්මණ්‍ය වීමත් සමග ඇති විය හැකි කායික දුර්වලතා මඟ හරවා ගැනීමට අනිවාර්යයෙන් ඖෂධීය ප්‍රතිකාර ලබා ගත යුතුය. ඔබ මුහුණදී සිටින මලබද්ධය වළක්වා ගැනීමට ලැක්ටොලොස් වැනි විරේක ඖෂධීය සිරප් වර්ගයක් පාවිච්චි කරන්න.

 

ජීවිත කාලයටම බෙහෙත් ගත යුතුද

ප්‍රශ්නය :- මගේ වයස අවුරුදු 43 කි. මීට වසර 8 කට පමණ පෙර සිට කරකැවිල්ල හා වමනය ඇති විය. මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ගතිමි. වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගය Vertigo බවයි. මෙය සුව කළ නොහැකි බව ද පැවසීය. මර්දනය කිරීම පමණක් කළ හැකි බව සඳහන් කරමින් BETASERCE 32 සහ වමනයට ස්ට්‍රෝජරන් ලබා දී තිබේ. දැන් මගේ අලුත්ම තත්වය වන්නේ ඇවිදීමට අපහසුව සහ සමබරතාව ගිලිහී යෑමයි. මම පෙළෙන්නේ ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර ගත යුතු රෝගයකින් ද? ඉදිරියේදී තවත් දරුණු වේදැයි බියෙන් පසුවෙමි.

කරලියැද්ද - එච්.එම්. මනෝජ් හේරත්

 

පිළිතුර :- Vertigo රෝගි තත්ත්වය ඇති වන්නේ වියපත් වීමත් සමඟිනි. එහෙත් ඔබේ වයස අනුව ඔබට මෙම රෝගය වැලඳී තිබීමෙන් මෙය වෙනත් රෝගයක ආරම්භයක් විය හැකිදැයි සැකයක් ඇති විය. මෙය ද්විතීය රෝග ලක්ෂණයක් විය හැකිය. ඔබ MRI පරීක්ෂණයකට භාජනය වූවාදැයි සඳහන් කර නැත. ඔබේ රෝග තත්වය ගැන නැවත විමසීමක් කළ යුතුය. එබැවින් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න.

 

තේ කහට බීම අගුණද?

ප්‍රශ්නය :- මම 53 හැවිරිදි කාර්යාලයක සේවය කරන කාන්තාවක්මි. මම දැන් කිරිපිටි පානයෙන් වැළකී වසර 15ක් පමණ ගත වී තිබේ. මම උදෑසනටත් පානය කරන්නේ තේ කහට කෝප්පයකි. කහට තේ පානය කිරීමෙන් ගැස්ට්‍රික් රෝගයට ගොදුරු වන බව මගේ මිතුරියෝ පවසති. එහි සත්‍යතාවක් තිබේද?

මාදින්නාගොඩ - රූපිකා නිර්මලි තිසේරා

 

පිළිතුර :- තේ සහ කෝපි යන පානයන් හී අඩංගු වී තිබෙන රසායනික සංයෝග නිසා ඇතැම් විට ආමාශයේ යම් යම් වෙනස්කම් සහ ආම්ලික තත්ත්වයන් ඇති විය හැකිය. එහෙත් එය බහුලව සිදු වන්නේ කැෆින් අඩංගු කෝපි පානය කිරීමෙනි.

 

ඔබේ සෞඛ්‍ය ගැටලු මතු දැක්වෙන ලිපිනයට යොමු කරන්න.

සුව හමුව, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments