වතුකරයේ කඳුඵ මුසු වූ ‘තේ කහට’ | සිළුමිණ

වතුකරයේ කඳුඵ මුසු වූ ‘තේ කහට’

සගිදරන් මට හමු වූයේද වතුකර තරුණ කැමරා ශිල්පීන්ගේ කුසලතා එළි දැක්වූ ලයනල් වෙන්ඩ කලාගාරයේදීය. මා මුලින්ම ඔහුගේ නම විමසූ විට මට ලැබුණ පිළිතුර වූයේ සගී නම් කෙටි නමයි. සිංහල තරුණ තරුණියන් මෙන් ඔවුන්ද කෙටි නම් භාවිතා කිරීමට රුචියක් දක්වන බව මම ඉන් තේරුම් ගතිමි. පසු ගිය සැප්තැම්බර් 26-27 දෙදින තුළ හැටන්, නුවරඑළිය, කොටගල හා බදුල්ල ආදි උඩරට තේ වතු නියෝජනය කරන යෞවන යෞවනියන් 50ක පමණ පිරිසක් අගනුවරට සම්ප්‍රාප්ත වූයේ “තේ කහට”නම් ඡායාරූප දැක්ම ඔස්සේ සිය කුසලතා ඉදිරිපත් කිරීමටය. පී. සගිදරන්ද ඒ කණ්ඩායමේ සාමාජිකයෙකි.

ඔහු වඩාත් ඇලුම් කරන්නේ කෙටි නමට බව පෙනී ගිය නිසා එතැන් පටන් මම ඔහුට සගී නමින් කතා කළෙමි.

සගී නියෝජනය කළේ බදුල්ල ප්‍රදේශයය. බදුල්ලේ හාලිඇල මොරගොල්ල තේ වතුයාය ඔහු උපන් භූමියයි. සගී පවසන ආකාරයට ඔවුන්ගේ වැඩිහිටි පරපුර තේ වතුවල ශ්‍රමය වගුරුවමින් මුළු ජිවිත කාලය පුරාම දුක් වේදනා විඳිමින් සිටිති. තවත් පරම්පරා ගණනක් ගත වන තෙක් මේ කටුක ඉරණමේ වෙනසක් සිදු වෙතැයි ඔහු විශ්වාස නොකරයි. සගී වතුකරයේ රැකියාවක් තෝරා නොගැනීමට හේතුවද එයයි.

“බදුල්ලෙ සරසවි දෙමළ විද්‍යාලෙ එස්එස්සී වෙනකන් මං ඉගෙන ගත්තා. අපෙ තාත්ත මිකැනික් කෙනෙක්. ඒ නිසා මාත් ආසා කළේ මෝටර් මිකෑනික් කෙනෙක් වෙන්න. බදුල්ලෙ නයිටා එකේ කෝස් එකකුත් කළා. ටික කාලයක් මිකෑනික් වැඩ කරනකොට මුලින් තිබුණ ආසාව නැතිව ගියා. ඊට පස්සෙ අයියත් එක්ක එකතු වෙලා හවුස් වයරිං කළා. ඒකත් ඉක්මනටම එපා වුණා. තවත් කාලයක් ෂෙඩ් එකකයි කඩේකයි වැඩ කෙරුවා. ඒත් ඒ එක රස්සාවක්වත් මගෙ හිතට ඇල්ලුවෙ නැහැ. ඌව අයිලන්ඩ් වත්තෙ අයිය කෙනෙක් අඳුරගත්තෙ ඔය කාලෙ තමා. එයා ෆොටෝග්‍රැපර් කෙනෙක්. එයත් එක්ක වැඩ කරනකොට තේරුණා මේක තමා මගෙ ෆිල්ඩ් එක කියලා. දැන්නම් මේක අතහැරල වෙන එකකට යන්නෙ නැහැ.”

සගීගෙ සිංහල දැනුමද මා සමග මීට කලින් කතා කළ යුවරාජන්ගේ තරමටම යහපත්ය. කිසිම පැටලිල්ලකින් තොරව ඔහු සිංහල බස හසුරුවයි. සිංහල සමාජය ඇසුරු කිරීමෙන් මෙසේ සිංහල බස හසුරුවන්නට හැකියාවක් ලද බව සගී පවසයි.

ඔහුද මේ ඡායාරූප දැක්මට නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණේය. ඒවා අතරින් වඩාත්ම මා සිත් ගත්තේ සුදු-කළු වර්ණයෙන් නිමැවුණු එකකි. අවම පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින වතු දරුවන් කණ්ඩායමක් ඔහුගේ කැමරා කාචයට හසු වී තිබිණ. ඔවුන් ක්‍රීඩාවේ නිරතව සිටිනුයේ ක්‍රිකට් තබා වෙනත් කිසිදු ක්‍රීඩාවක් කිරීමට ඉඩකඩක් නැති ගල් පඩි පෙළක් අසලය.

“මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් වීමෙන් වතුකරේ ජීවිතේ ගැන අලුතින් යමක් ඉගෙන ගන්න ලැබුණද?” මම සගීගේ වංහුන් කතා කරන අතරවාරයේ විමසුවෙමි.

“ඇත්තටම වත්තෙ පදිංචි වෙලා හිටියට අපේ පවුලෙ කවුරුත් දැන් වත්තෙ වැඩ කරන්නෙ නැහැ. ඒ හින්දා වතු රස්සාවෙ තියෙන අමාරුකම ගැන මෙච්චර කල් මට ඒ තරන් ලොකුවට දැනිල තිබුණෙ නැහැ. පින්තූර ගන්ඩ වතුවල ඇවිදිනකොට තමා මම හරියටම දැක්කෙ වතු රස්සාව කියන්නෙ මොන වගේ එකක්ද කියලා... අපි ඒ රස්සාවෙන් ඈත් වෙලා හිටියත් අපේම නෑදැයො-හිතවතුන් කොයි තරන් දුකක් විඳිනවද කියල දැක්කහම මට මං ගැනම ඇති වුණේ ලැජ්ජාවක්..”

“ඉතිං ඔබේ නෑ-මිතුරන් වෙනුවෙන් මොනවද ඔබ ඉදිරියෙදි කරන්න බලාපොරොත්තු වෙන්නෙ...?” මම පෙරළා ප්‍රශ්න කළෙමි.

“ඇත්තටම ඒ අය වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනා. විශේෂයෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් යමක් කිරිම අපේ වගකීමක්. මගෙ ෆොටෝ එකේ ඉන්න ගල් පඩි පෙළ ළඟ ක්‍රිකට් ගහන ළමයි ටික දැක්කහම දරුවන්ගෙ අනාගතේ කොයි තරන් අඳුරුද කියල හිතාගන්ඩ පුළුවන් නේද? මම හිතාගෙන ඉන්නෙ හුඟක් මහන්සි වෙලා වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරගන්න... මොකද මම ටිකක් හරි ශක්තිමත් නොවී අනිත් අයට උදව් කරන්ඩ බැහැනෙ...වතුකරේ ජනයාගෙ සිතුවිලි වෙනස් කිරිම තමා මුලින්ම කරන්ඩ ඕනා වැඩේ... නැත්තං අනාගත පරම්පරාවත් ඒ විදිහටම හිතන්න පුරුදු වෙයි...මං වගේම හිතන තරුණ අයත් එක්ක එකතු වෙලා මිනිසුන්ගෙ හිත වෙනස් කිරීමේ වැඩ සටහනක් පටන් ගන්ඩයි මං හිතාගෙන ඉන්නෙ.”

සගිදරන් සිය කතාව නිම කළේ අපේක්ෂාබර දෑස් මවෙත යොමු කරමිනි. ඔහුගේ ඒ සුබ ප්‍රාර්ථනා එයාකාරයෙන්ම ඉටු වේවායි මමද දෑසින්ම පැවසුවේ ඔහුට සිනහවකින් සංග්‍රාහ කරමිනි.

Comments