ලංකාවේ ප්‍රථම නිද­හස් සටන බවට පත් 1818 උඩ­රට කැරැල්ල | සිළුමිණ

ලංකාවේ ප්‍රථම නිද­හස් සටන බවට පත් 1818 උඩ­රට කැරැල්ල

ලෝක ඉතිහාසය යනු සටන්වලින් මෙන් ම, පාවාදීම්වලින් ද පිරුණ එකකි. අපේ රටේ ඉතිහාසයට ද එයින් ගැලවිය නොහැකි ය. එවැනි පාවාදීම් හේතුවෙන් ලොව පුරා ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර, අප රටට ද එමඟින් සිදුව ඇති හානිය සුළුපටු නොවේ. ලංකාවේ ප්‍රථම නිදහස් සටන ලෙස සැලකෙන ක්‍රි.ව. 1818 සිදු වූ උඩරට කැරැල්ල අසාර්ථක වන්නට ද සිංහලයන් විසින් කරන ලද බොහෝ පාවාදීම් හේතු වී තිබේ.

1818 උඩරට කැරැල්ලේ දී බොහෝ රදලයන් කැප්පෙටිපොළ අධිකාරමට සහාය ලබාදුන්න ද, මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ යන දිසාවේවරු ඉංග්‍රීසීන්ට පක්ෂපාතී වෙමින් ඔවුන්ට ඔත්තු සැපයූ හ. සමහර මුස්ලිම්වරු ද සිංහල සටන්කරුවන් පිළිබඳව ඉංග්‍රීසීන්ට ඔත්තු ලබාදුන් හ. ඒ වෙනුවෙන් ඉංග්‍රීසීහු ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදීමට කටයුතු කළ හ. උඩරට සිටි සමහර ජන කොටස්වල සහාය මෙම ප්‍රථම නිදහස් සටනට නොලැබුණ ද, සිංහල සේනාව කැරැල්ල ඉදිරියට ම ගෙන ගියෝ ය.

ඒ වන විට වෙල්ලස්ස බිමේ සටන් කරමින් සිටි ඉංග්‍රීසි හේවායෝ ආහාර පාන හිඟවීම නිසා මහත් පීඩාවට පත්ව සිටිය හ. නමුත්, එම තීරණාත්මක මොහොතේ අපේ ම මිනිසුන් රට ජාතිය පාවා දෙමින් කටයුතු කළ නිසා ඉක්මනින් ම වෙල්ලස්ස අරගලය ඉංග්‍රීසීන්ට වාසිදායක ලෙස වෙනස්වී ය. කැප්පෙටිපොළ ප්‍රමුඛ සිංහලයන් කරගෙන ගිය එම අරගලය තියුණු මුහුණුවරක් ගනිමින් තිබුණු අවස්ථාවක සූක්ෂම ලෙස කටයුතු කළ ඉංග්‍රීසීහු තාන්න-මාන්න බලාපොරොත්තුවෙන් සිටි නිවට සිංහල රදලයන් රවටා ගත් හ. ඔවුන් ඉංග්‍රීසීන්ට ලබාදුන් ඔත්තු නිසා සටනේ ජවය නැති වී ගියේ ය.

1815 දී ඉංග්‍රීසීන්ට ලංකාව යටත් කර ගැනීමට ද ස්වදේශිකයින්ගේ නොමඳ සහායක් ලැබී තිබේ. වර්තමානයේ මෙන් ම එදවස ද, තනතුරු වරප්‍රසාද ඔස්සේ පාවාදීම් කළ කුමන්ත්‍රණකරුවන් සිටි බවට එම ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත්, එසේ නොවුණු දේශප්‍රේමීන් ද එකල සිට ඇති බවට එම ඉතිහාසය ම සාක්ෂි සපයයි. අප්‍රකට ඉතිහාස තොරතුරකට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට පක්ෂව ඉදිරිපත් වූ හෙළ විරුවන් මහනුවර ‘වාගොල්ලේ සටන’ මෙහෙයවා බ්‍රිතාන්‍යයන්ට අන්ත පරාජයක් අත්කර දුන් බව සඳහන් ය.

මේ අතර, මරක්කල ජනතාව සුද්දන්ට සහාය ලබා දී තම වෙළඳාම සරුකර ගැනීමට මානබැලූ හ. ඊට ප්‍රතිඋපකාර කළ ඉංග්‍රීසීහු මුහම්දිරම් තනතුරු පවා මුස්ලිමුන්ට ලබා දී ඇත. කොටබෝවේ තම්බි මුහන්දිරම් එවැන්නෙකි. බ්‍රිතාන්‍යයන් මොවුන් භාවිත කරමින් කැරැලි නායකයන්ගේ තොරතුරු හා නායකයන් සැඟ වී සිටින ස්ථාන පහසුවෙන් දැන ගත් හ.

1818 අග භාගය වන විට ඉංග්‍රීසීන් විසින් උඩරට ප්‍රදේශය උග්‍ර ආහාර හා ජල හිඟයකට ගොදුරු කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. බලලෝභී සිංහලයන්ගෙන් මෙන් ම, සමහර මුස්ලිමුන්ගෙන් ද සමන්විත චරපුරුෂ සේවා මඟින් ජෝන් ඩොයිලි අරගලයේ සංවිධාන කටයුතු පිළිබඳ ඔත්තු ලබාගෙන ඇත. කඩු-හී වැනි ආයුධ මෙන් ම, තුවක්කු-කාල තුවක්කු වැනි ආයුධ ද දේශීය කම්හල්වල තනමින් සිංහලයන් සටන් කළ ද, ප්‍රබල ආර්ථික ශක්තියකුත්, ගෝව, ජාවා, ඉන්දියාව, සුමාත්‍රා සහ මුරුසි ආදී යටත් විජිතවලින් ගෙන්වා ගත් හමුදා පිරිස් බලයකුත් ඉංග්‍රීසීන්ට හිමි ව තිබීම නිසා ස්වදේශිකයන්ට ක්‍රම ක්‍රමයෙන් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇත.

එමෙන් ම, කැප්පෙටිපොල වීරයා අවිවේකී ව සනීපාරක්ෂාවෙන් තොර ව කටයුතුවල නිරත වීම නිසා සටන අතරතුර රෝගාතුර වී ඇත. එම නිසා ඔහුගේ සටන් සගයන් ඔහු සටන් බිමෙන් තාවකාලික ව ඉවත් කර ඇත. නායකයකු නොමැතිකමින් සහ ආහාර හා පිරිස් බලය හීන වීමෙන් කැරැලිකරුවන් ක්‍රමයෙන් ශාරීරිකව මෙන් ම, මානසිකව ද දුර්වල වී තිබේ. කැරැලි නායකයන් හා කැරැලිකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට පත් වූ අතර, ඔවුන් ද සමඟ සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ද අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු ව කන්ද උඩරට රාජ්‍යත්වයට උරුමකම් කීමට පුත්‍රයෙකු නො සිටියෙන්, එවකට දකුණු ඉන්දියානු මලබාර් දේශයේ නායක්කාර් වංශික බිසවකගේ ඥාතිවරයකු රාජාධි රාජසිංහ නමින් කන්ද උඩරට සිහසුන අල්ලා ගත්තේ ය. එසේ වුව ද, ඔහු බෞද්ධාගම වැළඳගෙන බෞද්ධාගමේ උන්නතියට සහයෝගය දුන් නිසා සිංහල ජනතාවගේ හොඳහිත දිනා ගැනීමට සමත් වී ය. ඉන්පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසානය දක්වා ම එනම්, 1815 මාර්තු දක්වා ම කන්ද උඩරට රාජධානිය පාලනය කළේ මෙම මලබාර් වඩුග නායක්කාර් වංශික රජවරුන් ය. මෙම විජාතික පාලකයින්ගෙන් නැවත සිංහල කුමරෙකුට රජකම ලබා දිය යුතු යැයි මතයක් සිංහල ජනතාව අතර රහසේ ක්‍රියාත්මක වූ අතර, මේ සඳහා පිළිමතලව්වේ මහ අධිකාරම නායකත්වය ගෙන ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැළේපොළ නිලමේ සමග උරණවීමට මග සැලසුවේ ද උඩරට වලව් දෙකක රදලයන් ය. ‘චූදිතයාට දඬුවම දිය නො හැකි වූ විට ඥාතීන්ට දඬුවම් කිරීමට’ එකල පැවති සම්ප්‍රදායකට අනුව ඇහැළේපොළ නිලමේගේ බිසව හා මද්දුම බණ්ඩාර පුතු ඇතුළු දරු තිදෙනාට රජු නියම කළ ක්‍රෑර දඬුවම නිසා රජු රාජ්‍යත්වයෙන් නෙරපීමට ඇහැළේපොළ නිලමේ සිතන්නට ඇත. මොහුගේ සහෝදරියක විවාහ කරගෙන සිටි කැප්පෙටිපොල නිලමේ ද ඇහැළේපොළ කුමාරිහාමි වන සිය සහෝදරියගේ ජීවිතය වෙනුවෙන් කම්පාවට පත්වන්නට ඇත. එහෙත්, එම කම්පාව නොහඟවා අවස්ථාවක් එනතුරු ඔහු ද බලා සිටින්නට ද ඇත.

තම බිසව හා දරුවන් නිරපරාදේ මැරුම් කෑමට ලක්වීම නිසා රජු පලවා හැර රජවීමට උත්සාහ දෑරූ ඇහැළේපොළ අධිකාරම් තුමා ද රවටා අත් අඩංගුවට ගෙන සිරකර තැබූ ඉංග්‍රීසිහු 1818 දී ලංකාවේ කන්ද උඩරට රාජධානිය යටත් කර ගත්තේ, සිංහල රදල නායකයන්ගේ ජීවිත රැසක් අහිමි කරමිනි. කැරැල්ලේ නායකත්වය ගෙන කටයුතු කළ නායකයන් වූ වීර කැප්පෙටිපොළ දිසාවේ හා මඩුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බර දී හිසගසා මරණයට පත් කරන ලද අතර, උඩරට නිලධාරීන් වැටුප් ලබන සේවකයන් බවට පත්කරන ලදි. ගම්බිම් රාශියක් ගිනිතබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිඟයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වූ හ. ඇහැළේපොළ අදිකාරම් පසු කලෙක මුරුසි දිවයිනට පිටුවහල් කරන ලද අතර, 1829 ජූනි 27 දින එහි දී ම මිය ගොස් තිබේ. ඔහු වෙනුවෙන් මුරුසි දිවයිනේ ස්මාරකයක් ඉදිකර ඇති බව ද සඳහන් ය.

රදල බලය තවදුරටත් අඩු කර අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන්ට පැවරීමට ඉංග්‍රීසීහු කටයුතු කළ හ. උඩරට ප්‍රදේශවල අන්‍ය ආගම් පැතිරීමට අවස්ථා සලසා දුන් ඔවුහු, එම ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමඟ සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදාලීමට කටයුතු කළෝ ය. තව ද, උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලබා දී තිබූ විශේෂත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසිහු මෙම සටන අවස්ථාවක් කර ගත් හ. පසුව ඔවුන් 1815 උඩරට ගිවිසුම ඒකපාර්ෂිකව අහෝසි කළ අතර, 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කන්ද උඩරට රාජධානිය යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කළේ ය.

වර්ෂ 1817 ඔක්‌තෝබර් මස සිට 1818 ඔක්‌තෝබර් මාසය දක්‌වා අවුරුද්දක‌ පමණ කාලයක්‌ කන්ද උඩරට ප්‍රදේශයේ පැවති උඩරට මහා කැරැල්ල මගින් රටට ජාතියට අහිමි වූ සිංහලයන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් 10, 000ක් පමණ වෙතැයි ජෝන් ඩේවි කියයි. කැරැල්ලෙන් අනතුරුව කැරැලි නායකයන් සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔවුන් ඇතුළු තවත් 47 දෙනෙකුට මරණීය දණ්‌ඩනය හිමිවී ය. වෙල්ලස්‌සේ භික්‌ෂූන් දහනමක්‌ දන්තධාතුන් සොරකම් කිරීම නිසා යාපනය සිරගෙයකට යැවී ය. තවත් රදලවරු 75දෙනෙකුගේ ඉඩම් රාජසන්තක වී ය.

ඉන් පසු නැවත වරක්‌ මෙබඳු කැරැල්ලක්‌ ඇති නොවීමට ඉංග්‍රීසි රජය වගබලාගත් අතර, උඩරට පැවති පාලන ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා 1815 දී නිකුත් කළ ගිවිසුම වෙනස්‌ කොට 1818 නොවැම්බර් 21 වන දින ආඥා පනතක්‌ නිකුත් කළේ ය. එමගින් ආණ්‌ඩු පාලනය සඳහා පත්කර සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ බලතල තහවුරු කරන ලද අතර, රදලවරුන්ගේ බලතල අඩු කිරීමටත්, ජනතාවට ස්‌වාධීන අදහස්‌ දැක්වීමටත් හැකිවන සේ මෙහි වගන්ති සකස්‌ කළේ ය.

මෙම ආඥා පනත වගන්ති පනස්‌ හයකින් සමන්විත වී ය. පළමු වගන්ති හයෙන් 1815 න් පසු මහනුවර රාජධානියේ ඉතිහාසය ගෙන හැර දක්වා තිබේ. ඒවායින් බ්‍රිතාන්‍ය පාලනයේ මුදු මොළොක් ගතියත්, බුදුදහමට ලබාදුන් ආරක්‌ෂාවත්, රදලවරුන්ගේ බලතලවලට දක්‌වන ලද දැඩි නොවන සැහැල්ලු ස්‌වරූපයත්, බදු අයකිරීම හා රාජකාරි සේවයේ ලිහිල් බවත් පෙන්වා දී තිබේ. එසේ ම, රදල ප්‍රධානීන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට මිස පොදු ජනතාවගේ සුබසාධනයට මෙම කැරැල්ල ආරම්භ වී ව්‍යාප්ත වී නොගිය බව පෙන්වා දී එබඳු කැරැල්ලක්‌ ඇති නොවීමට කටයුතු කළ බවත් එහි සඳහන්කර ඇත. 7 සහ 8 වගන්තිවලින් බ්‍රිතාන්‍ය කිරීටයේ පරමාධිපත්‍යය ආණ්‌ඩුකාරවරයෙක්‌ විසින් ක්‍රියාත්මක කරන බවත්, මහනුවර ප්‍රදේශය කොමසාරිස්‌වරුන්ගේ මණ්‌ඩලයක්‌ මගින් පාලනය කරන බවත් පෙන්වා දී තිබේ. කුමන තරාතිරමක වුව ද, සෑම උඩරැටියෙකුගේ ම අයිතිවාසිකම් එක සමාන බවත්, ආණ්‌ඩුවෙන් පත් කරන ලද රදල ප්‍රධානීන්ට පමණක්‌ කීකරුව ගරු බුහුමන් දැක්‌විය යුතු බවත් ප්‍රකාශ වී ය.

9 සිට15 දක්‌වා වගන්තිවලින් රදල ප්‍රධානීන්ගේ බලය සීමා කිරීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ පත්වීම් ඉංග්‍රීසි රජය විසින් සිදු කරන බවත්, ඔවුන් මෙතෙක්‌ මහනුවර රජතුමාට කළ උපහාර ඉංග්‍රීසි නිලධාරීන්ට ද දැක්විය යුතු බවත් ප්‍රකාශ වී ය. 16 වන වගන්තියෙන් 1815 ගිවිසුමේ සඳහන් ආගම පිළිබඳ වරප්‍රසාද සීමා වී ය. ඒ අනුව, බුද්ධාගමට ප්‍රදානය කොට තිබූ වරප්‍රසාද අහිමි කොට අන් සෑම ආගමකට ම ආරක්‌ෂාව ලැබෙන බව ප්‍රකාශයට පත්වී ය. 17 සිට 25 දක්‌වා වගන්තිවලින් නව බදු ක්‍රමයක්‌ හඳුන්වා දී තිබුණි. තනතුරු ලබාගැනීමේ දී ගෙවිය යුතු දීමනා ද, අරමුදලට හා ආයුධ ගබඩාවලට දිය යුතු බදු ද අහෝසි කළේ ය. ඒ වෙනුවට කුඹුරුවලින් ලබන නිෂ්පාදනවලට බද්දක්‌ අය කළේ ය. නිෂ්පාදනවලින් දහයෙන් එකක්‌ රජයට ගෙවිය යුතු වී ය. කැරැල්ලේ දී ඉංග්‍රීසීන්ට පක්‌ෂපාත වූ ප්‍රදේශවලින් දාහතරෙන් එකක බද්දක්‌ ද, කැරැලිකාර ප්‍රදේශවලින් පහෙන් එකක බද්දක්‌ ද නියම කළේ ය. ඉංග්‍රීසීන්ට පක්‌ෂපාති රදලයන් හා විහාරගම් බදුවලින් නිදහස්‌ කළ අතර, මී ඉටි සඳහා පවා බද්දක්‌ ගෙවීමට වැද්දන්ට නියම වී ය.

26 සිට 29 දක්‌වා වගන්තිවලින් රදලයන්ට වේතනයක්‌ දීමට නියම කරන ලද අතර, 30 සිට 32 දක්‌වා වගන්තිවලින් කුල ක්‍රමයට අනුව ශ්‍රමය භාවිත කිරීමට ඉඩ ලබා දුන්නේ ය. එහෙත් මාර්ග තැනීම, පාලම් තැනීම වැනි කටයුතුවලට ජනතා සේවය ලබාගත යුතු බව කියා සිටියේ ය. 33වන වගන්තියෙන් දඬුවම් දීමට, වැඩ තහනම් කිරීමට, දඩ ගැසීමට හා සිරගත කිරීමට අවශ්‍ය බලතල මහනුවර පාලක මණ්‌ඩලයට හා ඒජන්තවරුන්ට, රදලවරුන්ට සහ විදානේවරුන්ට ලැබුණි. නමුත්, අස්‌කිරීමේ බලතල පැවරුණේ ආණ්‌ඩුකාරවරයා වෙත ය. 34 වන වගන්තියේ සිට 55 වන වගන්තිය දක්‌වා අන්තර්ගත වූයේ, අධිකරණය පිළිබඳ කරුණු ය. එහි දී ඕනෑ ම අවස්‌ථාවක අවශ්‍යතාවයක්‌ ඇතිවුවහොත්, බලතල වැඩිකිරීමට ඉඩකඩ ඇති බව පෙන්වමින් රදලවරුන්ගේ හා විදානේවරුන්ගේ අධිකරණ බලතල විශාල වශයෙන් අඩු කෙරිණි.

එම ප්‍රකාශනයේ 7, 13 සහ 27 යන වගන්ති බෙහෙවින් වැදගත් වී ය. තනතුරු ලබාදීමේ දී මෙතෙක්‌ සිදුකළ ගෙවීම් ක්‍රමයත්, ඉතා සුළු වැරදිවලට දඩගැසීමත් යන කරුණු අහෝසි කළ නිසා රදලවරුන්ට ආදායම් ලබාගැනීමේ ක්‍රම නැති වී ගියේ ය. නව බදු ක්‍රමයක්‌ ඉදිරිපත් කිරීමත්, පළාත්වලට ඒජන්තවරු පත්කිරීමත් නිසා රජයත්, ජනතාවත් අතර පැවති සම්බන්ධය වැඩි වූ අතර, රදලවරුන්ගේ සම්බන්ධය අඩුවී ය.

මෙබඳු කැරැල්ලක්‌ යළි ඇතිවීම වැළැක්වීමට ඉංග්‍රීසි රජය උත්සාහ කළ ද, එය සාර්ථක නොවී ය. ඉන්පසුව ද, ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබාගැනීම සඳහා මෙරට දේශප්‍රේමී ජනයා වරින්-වර සටන් වැදුණ හ. ඒ, 1823, 1834, 1842 සහ 1848 යන වර්ෂවල ය. එහෙයින්, 1948 බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප ලද නිදහස බන්දේසියක තබා ඉංග්‍රීසීන් අපට පිරිනැමූ ත්‍යාගයක් ලෙස සැලකීම එසේ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු එම දේශප්‍රේමීන්ට කරන බලවත් නිගරුවකි.

 

Comments