රට මවිත කළ පුව­ත් ලියූ ලේක්හ­වුස් මාධ්‍ය­වේ­දියා | සිළුමිණ

රට මවිත කළ පුව­ත් ලියූ ලේක්හ­වුස් මාධ්‍ය­වේ­දියා

 අද දක්නට තිබෙන තාක්ෂණික විස්කම් නොතිබුණු යුගයේ පුවත්පත් කලාවේදීන් ගේ දස්කම් දන්නා වත්මන් පරපුරේ අය ඇත්නම් ඒ ඉතා ටික දෙනෙකි. නම් වශයෙන් කිව හැකි එවන් සිංහල සහ ඉංග්‍රීසි වාර්තාකරුවන් බොහෝ දෙනෙකු සිටි නමුත් ඔවුන් සැම දෙනෙකු ගැන ලියන්නට මෙහි ඉඩ නැත. එබැවින් මෙම ලිපිය එවැනි එක් ශූර ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙකු පිළිබඳවය. ඔහු නම් දශක පහක් (1925-1976) පුවත් වාර්තාකරණයේ යෙදී සිටි එම්. එෆ්. එල්. (ෆ්‍රෙඩ්) ද සිල්වාය. ඔහු පුවත්පත් කලාවේදී වෘත්තීයට සම්බන්ධ වන කාලයේ (1925) රූපවාහිනී, ජංගම දුරකථන, ෆැක්ස් යන්ත්‍ර, ෆොටෝ කොපි යන්ත්‍ර, කොම්පියුටර් සහ අන්තර්ජාල පහසුකම් යනාදි කිසිවක් නොවීය. තිබුණේ කේබල් පණිවුඩ ක්‍රමය සහ සීමිත සාමාන්‍ය දුරකථන (landline) පහසුකම් පමණි. ඒ මෙරට මෙරට පළමු ගුවන් විදුලි සේවය ඇරඹූ අලුතය. වාර්තාකරුවන්ගේ මෙවලම් වුයේ උල්පත් පෑන (fountain pen) සටහන් පොත සහ සාමාන්‍ය යතුරුලියනයයි.

මෝදර ද ලාසාල් විදුහලේ ගුරුවරයකු ලෙස ජීවිත ඇරඹු එම්. එෆ්. එල්. ද සිල්වා ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනයන් හමුවීමෙන් පසු ඩේලි නිව්ස් පුවත්පතට එක් විය. ඒ කාලයේ එම පුවත්පත් කාර්යාලය පිහිටියේ කොළඹ කොටුවේ බේලි විදියේය. වත්මන් ලේක්හවුස් ගොඩනැගිල්ල එවකට ඉදිවී තිබුණේ නැත. එය ඉදිවුයේ ඉන් සිවුවසකට පසුව, එනම් 1929 දීය.

සිල්වාගේ වෘත්තීය සගයෙක් සහ ලියුම්කරුගේ ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ සමකාලීන ක්ලැරන්ස් ප්‍රනාන්දු පැවසු අන්දමට ඔහු ගේ දස්කම් ඉස්මතු කළ ඉතාමත් ආන්දෝලනාත්මක සිද්ධියක් වුයේ එවකට මෙරට බ්‍රිතාන්‍ය යටත්විජිත රජය මවිතයට පත්කරමින් රහසේ කළ සම්මුඛ සාකච්ඡාවකි. එහි පසුබිම පටන් ගැනුණේ මාක් ඇන්තනි බ්‍රේස්ගර්ඩ්ල් නම් තරුණ ඕස්ට්‍රේලියන් සුදු ජාතිකයා 1936 අප්‍රේල් 4 වැනිදා ලංකාවට පැමිණි පසුය. එවකට මෙරට වතුකරය සුදු වතුපාලකයන්ගේ රාජධානියක් විය. මධ්‍යම කඳුකරයේ මඩුල්කැලේ වත්තේ නවක සහකාර වතුපාලකයෙකු (creeper) ලෙස බ්‍රේස්ගර්ඩ්ල්ට පත්වීමක් ලැබිණ. සහකාර වතුපාලකයන් සින්නදොරේ (SD) යනුවෙන් හැඳින්වුණු අතර වතු අධිකාරිවරයා හැඳින්වුෙණ් පෙරියදුරේ (PD) යනුවෙනි. දක්ෂ ලෙස වැඩකෙළාත් සින්නදොරේට පෙරියදුරේ තත්වය දක්වා උසස් විය හැකිව තිබුණා පමණක් නොව ඉන් පසු අතට පයට සේවකයන් ඇතුළු සිය මව්බිමේදී නොලැබෙන පහසුකම් සහ වරප්‍රසාද මෙරටදී ලැබිය හැකි විය.

එහෙත් මානව හිතවාදී පෙරළිකාර වාමාංශිකයකු වූ ඇන්තනි බ්‍රේස්ගර්ඩ්ල් ගේ අවධානය යොමු වුයේ තමාට ලැබිය හැකිව තිබු එම ‘රජ සැප’ වලට නොව මෙරට සුදු පාලකයන් දකුණු ඉන්දියාවේ අන්ත දුගී ජනපිරිස් මෙරටට ගෙන්වා ගෙන ඔවුන් වතු කම්කරුවන් ලෙස අර්ධ වහල් සේවයේ යෙදවීම නිසා ඔවුන් විඳි අපමණ දුක් ගැහැට වෙතය. මේ තත්ත්වය නිසා එවකට 24 වැනි වියේ සිටි බ්‍රේස්ගර්ඩ්ල් මෙරටට පැමිණ සය මසක් ඉක්මෙන්නට පළමු අලුතින් පිහිටුවා තිබු ලංකා සමසමාජ පක්ෂය වෙත නිතැතින්ම තල්ලු විය. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එය ලංකාවේ පළමු මාක්ස්වාදී පක්ෂය විය. ඊට දේශපාලන පදනම සැපයුවේ මෙරට සම්ප්‍රදායික ස්වයං පෝෂිත කෘෂිකාර්මික සමාජය උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය වෙළෙඳ ආර්ථිකය හේතුවෙන් මෙරට බිහිවූ පන්ති අරගලයයි. ඒ වනවිට සමසමාජ පක්ෂය වතුකරයේ බලගතුම පක්ෂය විය.

බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය දැඩි ලෙස හෙළා දැක්කා පමණක් නොව ඇතැම් විට කලිසම වෙනුවට ඇන්දේ සරමය. එය මෙරට සුදු පාලකයන් තවත් කුපිත ක‍ෙළ්ය. වසර 1936 දෙසැම්බරයේ ඔහු සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු බවට පත්විය. ඒ ගැන බලවත් සතුට පළකරමින් සමසමාජ පක්ෂ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා, බ්‍රේස්ගර්ඩ්ල් සමඟ නාවලපිටිය නගරයේ වතු කම්කරුවන් දෙදහසක් සහභාගී වූ රැස්වීමක් අමතමින් මෙසේ ප්‍රකාශ කෙළ්ය.

"සහෝදරවරුනි මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි අපට දැන් සුදු සහෝදරයෙකුත් ඉන්නවා (අත්පොළසන් හඬ). මම දැන් බ්‍රේස්ගර්ඩ්ල් සහෝදරයාට ආරාධනා කරනවා ඔබලා අමතන ලෙස." බ්‍රේස්ගර්ඩ්ල් ඉංග්‍රීසියෙන් කළ සිය කතාවේදී මෙරට සුදු පාලකයන් ලේ උරා බොන්නන් ලෙස හඳුන්වා කම්කරුවන්ට තම නිදහස සහ අයිතිවාසිකම් දිනාගැනීමට නැගී සිටින ලෙස රැස්වීමේ සිටි පිරිස දිරිගැන්වීය. ඒ කාලයේ පැරණි ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම විසින් පළකරනු ලැබූ ටයිම්ස් පුවත්පත මේ සිද්ධිය සම්බන්ධයෙන් සිටියේ සුද්දන්ට පක්ෂපාති ස්ථාවරයකය. එය මේ පුවත පළ කළේ.

BRACEGIRDLE MUST BE BUNDLED OUT NOW: ARREST THE REDS WHO FLOU THE LAW (බ්‍රේස්ගර්ඩ්ල් වහා පිටුවහල් කරනු: නීතිය කඩන රත්තන් වහා අත්අඩංගුවට ගනු) යන සිරස්තලය යටතේය. ටයිම්ස් පුවත්පත හැඳින්වුෙණ් සුදු වතුපාලකයන්ගේ පුවත්පත ලෙසය. සුදු තරුණයෙකු විසින්ම මෙරට සුදු වතු පාලකයන්ගේ නොපනත්කම් වලට විරුද්ධව ස්වදේශික කම්කරුවන් උසිගන්වමින් දිගටම කළ ප්‍රකාශ මෙරට බ්‍රිතාන්‍ය පාලකයන්ට ඉවසුම් නොදෙන්නක් විය. බැරිම තැන එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රෙජිනල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් පැය හතළිස් අටක් ඇතුළත බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට ආඥාවක් නිකුත් කෙළ්ය. එහෙත් බ්‍රේස්ගර්ඩ්ල් සහ සමසමාජ පක්ෂය නීතිමය පදනමක් නොමැති එම ආඥාවෙන් මෙල්ල නොවුහ. කිසිදු නඩු විභාගයක් නැතිව, ඈපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදී යමෙකු පිටුවහල් කිරීමට අසීරු බව ඔව්හු දැන සිටියහ. මේ අතර බ්‍රේස්ගර්ඩ්ල් හිටිහැටියේ ‘අතුරුදහන්’ විය. ඔහුට කුමක් වුවාද, ඔහු කොහේද යන කිසිවක් සොයාගැනීමට පොලිසියට නොහැකි විය.

වසර 1937 මැයි දිනය දා දසදහසක් සමසමාජ පාක්ෂිකයෝ 'අපට බ්‍රේස්ගර්ඩ්ල් ඕනෑ', 'ස්ටබ්ස් පිටුවහල් කරනු' යනුවෙන් සඳහන් බැනර් රැගෙන පෙළපාළියේ ගියහ. මේ අතර බ්‍රේස්ගර්ඩ්ල් ගැන සොයමින් සිටි එම්. එෆ්. එල්. ද සිල්වාට ඔහුගේ සමසමාජ මිතුරෝ ඉතා රහසිගතව බ්‍රේස්ගර්ඩ්ල් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට කැමති වුහ. ඒ සඳහා යොදාගත් දිනයේදී ඔවුහු සිල්වාගේ දෑස් බැඳ මෝටරියකින් බ්‍රේස්ගර්ඩ්ල් සැඟවී සිටි ස්ථානයයට ගෙන ගියහ. සිල්වා සමඟ එහි ගිය අනෙක් දෙදෙනා නම් සමසමාජ පක්ෂයේ ලෙස්ලි ගුණවර්ධන සහ වර්නන් ගුණසේකරය. (ඒ රහසිගත ස්ථානය පිහිටියේ කොළඹ ගාලු මුවදොර බව සිල්වා දැනගත්තේ පසුවය) බ්‍රේස්ගර්ඩ්ල් සමඟ සිල්වා කළ පුවත්පත් සාකච්ඡාව 1937 මැයි 5 වැනිදා ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ විට මෙරට සුදු පාලකයෝ, පොලිසිය, ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෝ සහ සාමාන්‍ය ජනයා උඩගොස් බිම වැටුණහ. ඇත්ත වශයෙන්ම බ්‍රේස්ගර්ඩ්ල්ට සහ සමසමාජ පක්ෂයට වුවමනා වුයේ ඔහු පොලිසියෙන් සඟවා තැබීමට වඩා යටත්විජිත රජය සමච්චලයට ලක් කිරීමය. ඒ උපක්‍රමය සාර්ථක විය.

ඊට ටික දිනකට පසු බ්‍රේස්ගර්ඩ්ල් සුදු කබායක් සහ සුදු කලිසමක් හැඳ ලේ රතුපැහැති ටයිපටියකින් සැරසී සැඟවී සිටි තැනින් එළියට අවුත් පනස්දහසකින් සමන්විත කම්කරු රැලියකට සහභාගී විය. එහිදී ඔහු පැවසුවේ ලංකාව පාලනය කරන “බේබදු සුද්දන් ගොනුස්සන්ට වඩා විසකුරු බැවින් ඔවුන් පාගා චප්ප කළ යුතුයි” යනුවෙනි. පසුදා පාන්දරම බැටන් පොලු රැගත් පොලිස් කණ්ඩායමක් සමසමාජ පක්ෂයට අයත් ගොඩනැගිල්ලකදී ඔහු අත්අඩංගුවට ගත්හ. එහෙත් බ්‍රේස්ගර්ඩ්ල් පිටුවහල් කිරීමේ ස්ටබ්ස් ආණ්ඩුකාරයාගේ ආඥාවට විරුද්ධව සමසමාජ පක්ෂය පැවරූ නඩුවෙන් ආණ්ඩුකාරයා පරාජයට පත්විය. වසර 1937 මැයි 18 වැනිදා දුන් නඩු තීන්දුවෙන් බ්‍රේස්ගර්ඩ්ල් නිදහස් වූ අතර එම වසරේ ඔක්තෝබරයේදී ඔහු ලංකාවෙන් පිටව ගියේ නිදහස් මිනිසකු ලෙසය. බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධිය ලංකාවේ නිදහස් අරගලයේ වැදගත් අවස්ථාවක් වූ අතර එය මෙරට වමේ ව්‍යාපාරයට (පසු කාලයේ එහි ඉරණම කුමක් වුවද) ශක්තියක් විය.

සිල්වාගේ පුවත්පත් දිවියේ හොඳ මිතුරෙකු වුයේ නිදහසින් පසු මෙරට තුන්වැනි ලකිසුරු වූ සර් ඔලිවර් ගුණතිලකය. ඔහු දෙවන ලෝක යුද සමයේ මෙරට සිවිල් ආරක්ෂක කොමසාරිස්, ඩී. එස්. සේනානායක රජයේ ස්වදේශ ඇමති සහ ලන්ඩනයේ ලංකා මහ කොමසාරිස් යන තනතුරු දරූ අයෙකි. ඉතා රාජකාරි බහුල පුද්ගලයකු වූ ඔහුට මුළු දවස පුරාම වාගේ අමුත්තන් හමුවීමට සිදුවිය. සියලු කැබිනට් රහස් දැන සිටි ඔහුට කෙළින්ම දුරකතනයෙන් කතා කිරීමට අවසර ලැබූ පුවත්පත් වාර්තාකරුවන් අතෙළාස්සෙන් කෙනෙකි එම්. එෆ්. එල්. ද සිල්වා. සර් ඔලිවර් ඔහු ඇමතුවේ එම්. එෆ්. එල්. යන මුල් අකුරුවලනි. සර් ඔලිවර්ගේ රාජකාරි බහුලත්වය නිසා සිල්වා ඇතැම් විට ඔහු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වුයේ සර් ඔලිවර් නාන කාමරයේ නාමින් සබන් ගාන අතරතුරේය!

ඒ කාලයේ අද මෙන් මයික්‍රෝකැසට් රෙකෝඩර් (සාක්කුවේ ගෙනයා හැකි කුඩා පටිගත කරන යන්ත්‍ර) නොතිබූ බැවින් සර් ඔලිවර් කියූ සැම දෙයක්ම සිල්වාට ලඝු ලේඛන ක්‍රමයෙන් (shorthand) සටහන් කරගන්නට සිදුවිය. සිල්වා බොහෝවිට සතියකට තුන්වරක් සර් ඔලිවර් හමු විය. එසේ ලබාගත් තොරතුරු සියල්ලම අනෙක් පුවත්පත් වලට නොලැබුණු සුවිශේෂී වාර්තා විය.

දිනක් සර් ඔලිවර් සමඟ සිල්වා කතාකරමින් සිටින විට සේවකයෙක් කලබලයෙන් දිවැවිත් සර් ආ. ත. රණසිංහ ලකිසුරුතුමා හමුවීමට පැමිණි සිටින බව පැවසීය. එය වැදගත් තොරතුරක් විය හැකි බව සිල්වාට ඉවෙන් මෙන් වැටහිණි. ඒ සමඟම සර් ඔලිවර් සිල්වාට දුන් සංඥාවක් සමඟ ඔහු 'අතුරුදහන්' විය.

ආ. ත රණසිංහ විශිෂ්ට සිවිල් සේවා (රාජ්‍ය පරිපාලන) නිලධාරියකු ලෙස වසර හතළිහක පමණ කාලයක් තුළ රටේ ඉහළ තනතුරු දැරූ අතර කැබිනට් ලේකම්වරයකු සහ පසුව මහ බැංකුවේ තුන්වැනි අධිපතිද විය. වෙන කිසිවකුත් 'පෙනෙන්නට නොසිටි' කාමරයට පැමිණි ඔහු සහ සර් ඔලිවර් අතර උණුසුම් විවාදයක් ඇතිවිය. එහෙත් පසුදා උදේ ඒ වචන හුවමාරුව ගැන පළවූ පුවතින් ආ. ත රණසිංහ පමණක් නොව කැබිනට් මණ්ඩලය ද කැලඹුණි. සර් ඔලිවගේ අනුදැනුමෙන් සිල්වා කාමරයේ හිස් අල්මාරියක් තුළ සැඟවී සිට ඒ කරුණු සටහන් කරගත් බව ඔව්හු නොදත්හ. වෙළඳ කටයුතු වාර්තා කිරීමද සිල්වාගේ කටයුත්තක් විය. ඒ කාලයේ කොළඹ කොටුවේ පිහිටි ලංකා වෙළෙඳ සංගමයේ ලේකම් විටේකර් අහංකාර සුද්දෙක් විය. සිල්වා කිහිප වතාවක් විටේකර් මුණ ගැසුණු පසු සුද්දා ඔහුට කීවේ තමාට ‘සර්’ යනුවෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඇමතිය යුතු බවයි.

ඊට සිල්වා ප්‍රතිචාර දැක්වුයේ සුද්දාගේ මුහුණටම මහ හයියෙන් සිනාසීමෙනි. සිල්වා එතැනින් පිටව ගියේද මහ හයියෙන් සිනාසිමෙන්ය. සුද්දාට කර කියාගත හැකි දෙයක් නැති විය.සර් ඔලිවර් හැරුණු කොට එම්. එෆ්. එල්. ද සිල්වාට නිරතුරුවම හමුවූ අනෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් අතර මෙරට පළමු අගමැති ඩී.එස්. සේනානායක, සර් ඩී. බී. ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, ක්ලෝඩ් කොරෙයා, චාල්ස් බටුවන්තුඩාව, එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක. කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ සහ ජී. ජී. පොන්නම්බලම්ද විය. විදෙස් රටවල් කිහිපයකම සංචාරය කළ සිල්වාට හමු වු ජනනායක නායිකාවන් ගෙන් සමහරෙකි ඉන්දියාවේ මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු සහ ඉන්දිරා ගාන්ධි, බ්‍රිතාන්‍යයේ ලොයිඩ් ජෝජ්, හැරල්ඩ් මැක්මිලන් සහ හැරල්ඩ් විල්සන්, කැනඩාවේ පිය ට්‍රුඩෝ, චීනයේ චෞ එන්. ලායි, යුගොස්ලවියාවේ මාෂල් ජොසිප් ටිටෝ සහ තායිලන්තයේ ෆීල්ඩ් මාෂල් පිබුල් සොන්ග්රාම්. එම්. එෆ්. එල්. ද සිල්වා ලේක් හවුසියේ සේවය කළ කාලයේදී ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සහ ප්‍රවෘත්ති වාර්තාකරු, තානාපති සේවා වාර්තාකරු, ඩේලිනිව්ස් ප්‍රවෘත්ති කර්තෘ, සහ එවකට ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ (රනිල් වික්‍රමසිංහගේ පියා) ගේ පුද්ගලික සහකාර යන තනතුරු දැරීය. ඔහු වසර විස්සක් ප්‍රංශ පුවත් සේවයේ ලංකා නියෝජිත ලෙසද කටයුතු කෙළ්ය.

එම්. එෆ්. එල්. නොකැලැල් චරිතයකින් යුත් ඉතාමත් කැපවීමෙන් තම රාජකාරිය ඉටු කළ සුවිශේෂ දක්ෂතාවලින් යුත් පුවත්පත් කලාවේදියෙක් විය. පසු කෙලෙක රොයිටර් පුවත් සේවයේ කාර්යාලයේ ප්‍රධානියා වූ ඩෝල්ටන් ද සිල්වා ඔහුගේ පුතෙකි.

Comments