භාෂා­නු­රා­ගයේ සනා­තන නැණ පහන | සිළුමිණ

භාෂා­නු­රා­ගයේ සනා­තන නැණ පහන

දෙස රැස රකින මුර දේවතාවන් කිසිදු පැකිළීමකින් තොරව බස නසන අයුරු මේ දිනවල බහුජන විඥාපන මාධ්‍යවල නිරන්තරයෙන් දක්නට ලැබේ. වසර තුන් සියයකකට පමණ පෙර ලංකාවට පැමිණි ප්‍රංශ තානාපතිවරයකුගේ පරපුරකින් පැවත එන ලැනරෝල් පෙළපත් නාමයට හිමිකම් කියන සාහිත්‍යධරයන් හා ශාස්ත්‍රඥයන් විසි වන ශත වර්ෂයේ මුල් භාගයේ පමණ සිට සිංහල භාෂා සාහිත්‍ය පෝෂණයෙහි ලා ඉටු කළ අමිල මෙහෙයෙන් අංශුමාත්‍රයක් පිළිබඳ මේ තීරු ලිපියෙන් මීට පෙරද පාඨක අවධානයට ලක් කෙරිණ.

ජාතිකත්වය පිළිබඳ වසර දහස් ගණනක අතීත උරුමකම් ගෙන හැර පාමින් ව්‍යාජ දේශානුරාගයක් මවා පාමින් වගකිවයුත්තන් සිංහල භාෂාව පරිහාණි මුඛයට ඇද වැටෙන්නට ඉඩ හැර තිබෙන වර්තමානයේ සිංහල භාෂා අභිවෘද්ධිය සඳහා දිවි දෙවෙනි කොට විපුල මෙහෙයක් කළ සැබෑ දේශමාමකයන් පිළිබඳ ආවර්ජනය කිරීම කාලෝචිතය.

රාජකරුණාධිපති අමරකෝන් මුදියන්සේලාගේ ජුලියස් ද ලැනරෝල් උපත ලද්දේ 1896 ජනවාරි මස 14 වන දින කඩුවෙල, බෝමිරිය, කෙතේ වත්තේදීය- ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඔහුගේ පියා පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි භාෂාවන්හි ප්‍රවීණත්වයක් තිබූ ජේමිස් දුකී (ඩියුක්) ද ලැනරෝල් කවියාය- කටුගම්පලගේ දෝන ලුසියානා ද සිල්වා පාඨශාලා ගුරුතුමිය ඔහුගේ මවය- පුවත්පත් කලාවට හා සිංහල සාහිත්‍යයට විපුල මෙහෙයක් කළ වික්ටර් දුකී (ඩියුක්) ද ලැනරෝල් හෙවත් වී. ඩී. ද ලැනරෝල් ජුලියස්ගේ වැඩිමහලු සහෝදරයාය.

බෝමිරිය රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලද ජුලියස් ද ලැනරෝල් වැඩි දුර අධ්‍යාපනය ලද්දේ පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙනි. මේ කාලයේදී ජුලියස් ද ලැනරෝල් තරුණයාට විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම නාහිමියන් හා ශ්‍රීමත් ඩී. බී. ජයතිලක යන විශිෂ්ට පඬිවරුන් වෙතින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමේ භාග්‍යය ලැබිණ.

බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ ශාස්ත්‍රෝද්ගහණයට පිවිසෙන විද්‍යාර්ථීන් සිංහල, පාලි, සංස්කෘත භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාවද විධිමත් ලෙස හැදෑරීමට වගබලා ගත් නිසා එසමයෙහි ප්‍රශස්ත බහු භාෂා ඥානයෙන් සමෘද්ධ විද්වත්හු රැසක් බිහි වූහ. ජුලියස් ද ලැනරෝල් අයත් වන්නේද එවන් බහු භාෂා ඥානයෙන් සමෘද්ධ විද්වත් පරපුරකටය. ජුලියස් ද ලැනරෝල් ගුරවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කොට පසුව සිංහල බෞද්ධයා පත්‍රයේ කළමනාකාර කර්තෘ ලෙස සේවය කර තිබේ. විද්‍යාලංකාර පිරිවෙන මගින් ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රභාෂෝදය මාසික සඟරාවේ සංස්කාරකත්වයද ජුලියස් ද ලැනරෝල් විසින් උසුලන ලද බව කලුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමියෝ පවසති.

ජුලියස් ද ලැනරෝල් සිංහල භාෂාව නගා සිටුවීමට අවශ්‍ය මූලික ක්‍රියා මාර්ග දියත් කළේ බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ ජාතික භාෂා නොතකා හළ පසුබිමකය. ලෝකයේ වෙනත් ජීව භාෂාවන්ට ඇති පිළිගැනීම සිංහල භාෂාවට හිමි කර දීම සඳහා ජුලියස් ද ලැනරෝල් පුළුල් වැඩ පිළිවෙළක් යෝජනා කෙළේය. සිංහල භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය ලබා ගැනීම, ඒ සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේනත්ුවක් පිහිටුවීම, සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ආරම්භ කිරීම ඇතුළු වැදගත් යෝජනා කිහිපයක් එතුමන් විසින් ඉදිරිපත් කරන ලද අතර ඒ යෝජනා සම්මත වූ පසු ඒවා ක්‍රියාවට නැංවීමේ භාරදූර වගකීමට උර දීමටද එතුමන්ට සිදු විය.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ එහි උපදේශක ලෙස ඉදිරි කාර්යය සැලසුම් කිරීම එතුමන්ගෙන් ඉටු වූ වැදගත් මෙහෙයකි. සිංහල ශබ්දකෝෂයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ඩී. බී. ජයතිලකගේ පුරෝගාමිත්වයෙන් ගෙන ගිය ව්‍යාපාරයට ජුලියස් ද ලැනරෝල් පුවත්පත්වලට ලිපි සම්පාදනයෙන් විශාල අනුබලයක් ලබා දුන්නේය. 1929 වර්ෂයේ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයේ උපකර්තෘවරයකු ලෙස පත් වූ එතුමා 1959 වර්ෂය වන තුරු වසර තිහක කාලයක් ශබ්දකෝෂකරණයෙහි නිමග්න විය.

රාජකීය ආසියාතික සමිතිය 1931 වර්ෂයේදී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් පඬිතුමාගේ ප්‍රධානත්වයෙන් සිංහල ශබ්දකෝෂයේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ විල්හෙල්ම් ගයිගර් එහි උපදේශක ලෙස කටයුතු කළ අතර උපකර්තෘ වශයෙන් වගකීම් පැවරුණේ ජුලියස් ද ලැනරෝල් වෙතය. වර්ෂ කිහිපයක් ගයිගර් පඬිවරයා සමග ශබ්දකෝෂයේ කටයුතු කිරීමෙන් ශබ්දකෝෂකරණය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් ජුලියස් ද ලැනරෝල්, ගයිගර් පඬිවරයාගේ මග පෙන්වීම යටතේ 1935 වර්ෂයේදී ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව සහ ශබ්දකෝෂකරණය පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලැබීය.

ගයිගර් පඬිවරයා සිංහල භාෂාවේ ව්‍යාකරණය නමැති ග්‍රන්ථය සම්පාදනය කරමින් සිටි අවස්ථාවේ ජුලියස් ද ලැනරෝල්ගේ ශාස්ත්‍රීය දායකත්වය ඒ කෘතියට ලැබීම නිසා ඊට ඇතුළත් විය හැකිව තිබුණු දෝෂ රැසක් මඟ හරවා ගැනීමට ගයිගර් පඬිවරයාට හැකි වූ බව ඒ කෘතියේ සංඥාපනයේ සඳහන් කොට තිබේ. සිංහල ශබ්දකෝෂයේ කටයුතු විධිමත් අයුරින් සිදු වෙමින් පැවති අවස්ථාවේ 1944 වර්ෂයේ ඒ කටයුතු ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයට පැවරීමට බලධාරීන් ගත් තීරණයට එකඟ නොවූ ජුලියස් ද ලැනරෝල් ශබ්දකෝෂ කර්තෘ මණ්ඩලයෙන් ඉල්ලා අස් විය.

ශබ්දකෝෂයේ කටයුතු සිංහල අංශයට පැවරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු නිසා 1949 වර්ෂයේ ශබ්දකෝෂයේ කටයුතු ලංකා විශ්වවිද්‍යාලයේ වෙනම අංශයක් යටතට පත් කොට ප්‍රධාන කර්තෘ පදවියේ වගකීම් නැවතත් ජුලියස් ද ලැනරෝල් හට පැවරීමට බලධාරීන්ට සිදු විය. එසේ නැවත වතාවක් ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියේ වගකීම් භාරගත් පසු ශබ්දකෝෂකරණය පිළිබඳ ජාත්‍යන්තර කීර්තියක් ඇති පඬිවරුන් පිරිසකගේ දායකත්වය ලබා ගෙන උසස් ප්‍රමිතියකින් යුතුව ශබ්දකෝෂයේ සියලු කටයුතු සැලසුම් කිරීමට ලැනරෝල් සමත් විය.

විධිමත් ක්‍රමවේද ඇති කොට සියලු කටයුතු සැලසුම් කළ ද තමාගේ පාලනයෙන් තොර අංශවල පැවති දුර්වලතා හේතු කොට ගෙන ශබ්දකෝෂයේ සකස් කළ කොටස් නියමිත පරිදි පළ කිරීමට නොහැකි වීම පිළිබඳ කණස්සල්ලෙන් සිටි ජුලියස් ද ලැනරෝල් 1959 වර්ෂයේ ප්‍රධාන කර්තෘ පදවියෙන් විශ්‍රාම ලැබීය.

ජුලියස් ද ලැනරෝල්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය සිංහල ශබ්දකෝෂයට පමණක් සීමා නොවිණ. රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සඟරාව ඇතුළු තවත් ශාස්ත්‍රීය ප්‍රකාශන කිහිපයක ඔහුගේ ශාස්ත්‍රී ලිපි රැසක් ප්‍රකාශයට පත් විය. ජුලියස් ද ලැනරෝල් ඉටු කළ ශාස්ත්‍රීය කටයුතු අතුරින් විශේෂිත අධ්‍යයනයක් ලෙස න, ණ, ල, ළ අක්ෂර සතර සිංහල ලේඛනයෙහි භාවිත වූ ආකාරය පිළිබඳ 1934 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතිය මගින් පළ කළ ප්‍රකාශනය විද්වත් සම්භාවනාවට පාත්‍ර විය.

මේ ශාස්ත්‍රීය නිබන්ධය මහාචාර්ය රත්නසිරි අරංගල විසින් සිංහලයට පරිවර්තනය කොට පරිච්ඡේද තුනකින් යුත් ප්‍රවේශයක් සහිතව ප්‍රකාශයට පත් කොට ඇති අතර එම පරිශ්‍රමය ජුලියස් ද ලැනරෝල් විද්වතාණන්ගේ ශාස්ත්‍රී සම්ප්‍රදානය අර්ඝණය කරනු වස් එතුමන්ගේ අභාවයෙන් පසු සිදු කෙරුණු වැදගත් අනුස්මරණයක් ලෙස සැලකිය හැකිය.

Comments