පාස්කු කඳුළු කොල්ල කෑ ගැහැ­නි­ය | සිළුමිණ

පාස්කු කඳුළු කොල්ල කෑ ගැහැ­නි­ය

 පාස්කු ප්‍රහාරය ලෝක ඉතිහාසය තුළ තබන්නේ මිනිස්සුන්ගේ අශිෂ්ට අමානුෂිකත්වයේ ප්‍රමාණය පිළිබඳ වූ බිහිසුණු මෙන්ම පිළිකුල් සහගත සටහනකි. ඒ ඛේදවාචකය අපට ඉතිරි කළේ කිසිදාක නොවියැකෙන කඳුළුය. රුධිරය මුසු වූ ඒ කඳුළු ලෝකය කම්පා කළේය. කිසිවක් කරගත නොහැකි මිනිස්සු පවා ඒ අමානුෂික ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අඩුම තරමේ යාඤා කළහ.

 

මිනී මැරීම තරම්ම වූ අශිෂ්ට අමනුස්සකම වන්නේ මරා දැමූ පසු ඉතිරිවන මිනී කඳුත්, මරණයේ වේදනාවත් පෙන්වා ඉන් කම්පනයට පත් වූ මිනිසුන් වංචා කිරීමය. පාස්කු ප්‍රහාරයේ දෙවන අශීලාචාර දිගුව එයය. එයත් සිදු වී තිබිණි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ගොඩනැඟුණු මානුෂික අවකාශය තුළ ලෝක අවධානය දිනාගෙන පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගත් මුදල් වංචා කළ බව කියන විලිලජ්ජා නැති ව්‍යාපාරයත් එය දියත් කළ සමාජ ප්‍රතිරූපසේ සිටි පුද්ගල චරිතත් පසුගිය දා සමාජය ඉදිරියේ නිරුවත් විය.

මෙසේ හෙළිදරව් වන්නේ කැනඩාවේ ජිවත්වන ශ්‍රී ලාංකික තරුණියකි. තවම වයස අවුරුදු 21 ය. නම ඉෂිනි වීරසිංහය.

 

ඉෂිනි වීරසිංහ කවුද?

 

ඉෂිනි වීරසිංහ යනු ඇගේ විලාසිතා සහ ජීවන රටා අන්තර්ගතය නිසා එක්සත් ජනපද ජනතාව අතර ජනප්‍රිය වූ, ඒ නිසාම සමාජයට බලපෑම් කළ හැකි රසිකයන් පිරිසක් සහිත කැනඩාවේ ජීවත්වන එක් ශ්‍රී ලාංකික තරුණියකි. ඇය ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ පින්ටරෙස්ට් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ජනප්‍රිය රූපණයක යෙදුණාය. ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ ඇයගේ අනුගාමිකයන් ගණන 1,73 000 ක් විය. ඇය පැවතුණේ තරු ලකුණක් ලෙසය.

ඇය හැසිරුණු සමාජ මාධ්‍යවල අන්තර්ගතය වූයේ විලාසිතා, රූපලාවණ්‍ය ඉඟි හා ඇගේ ජීවන රටාව හා සම්බන්ධ රූපණ ය. එමඟින් ඇය යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්ට බලපෑම් කළ හැකි හැකියාවක් ගොඩනඟා ගෙන තිබිණි.

වර්ෂ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල විය. ප්‍රහාරය එල්ල වුණු දිනයේම ඉෂිනි වීරසිංහ Gofundme.com නැමැති ප්‍රකට අරමුදල් ගොඩනන්වන වෙබ් අඩවියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතන්ට උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ සිය ව්‍යාපෘති අවකාශය වෙන් කර ගත්තාය. මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබුණේ මැයි මස 17 දා වනවිට අරමුදල් එක් කර නිමා කර වින්දිතයන් වෙත ලබා දීම බව කියැවිණි.

අරමුදල් රැස් කිරීම සඳහා ඇය සිය ජනප්‍රියත්වය භාවිත කළාය. සැබැවින්ම ඇය ඉන් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගෙන තිබිණි. සති කීපයකින් අරමුදලට කැනේඩියානු ඩොලර් 82 882ක් එක් විය. එය ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ විසි දහස් හයසීයක් (1,15,20, 600) පමණ විය. ඇය ඒ මෙහොතේ ලෝකයට කියා සිටියේ මෙම අරමුදල් වඩාත් ඵලදායී ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්වෙත ලබා දිය හැකි ක්‍රමවේදයක් සොයමින් සිටින බවය.

එහෙත් ඇයගේ හැසිරීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ දැඩි සේ උනන්දුවෙන් නිරීක්ෂණය කළහ. අවසානයේ දී පාස්කු ප්‍රහාරය සිදුවී අවුරුද්දයි මාස පහක් ගත වී ඇතත් ඉෂිනි වීරසිංහ එකතු කළ කැනේඩියානු ඩොලර් 82,882 මාරක බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ලබා දී නැති බව සමාජ මාධ්‍යකරුවෝ හෙළිදරව් කළහ.

ඔවුහු දිගින් දිගටම ඉෂිනිව ප්‍රශ්න කළහ. ඇය ඒ මුදල් යොදවා ඇයගේ පියයුරු සකසා ගැනීම, නව මෝටර් රථයක් මිලදී ගැනීම, ප්ලාස්ටික් සැත්කම් කිරීම, සිදුකළ බව ඇයට චොදනා කරන පිරිස අනුමාන කළහ. චෝදනාවන් අතර ඇය නව නිවසක් සඳහා මුදල් ගෙවා ඇති බව කියැවිණි.

එහෙත් ඉෂිනි මේ සමාජ මාධ්‍ය ප්‍රහාරයන් සම්බන්ධව ඉකොනොමි නෙස්ට් වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පිිළිතුරු දුන්නාය. ඇය පැවසුවේ තමා ශල්‍යකර්මයක් කරගත්තේ වර්ෂ 2018 දී බවය. වාහනය මිල දී ගත්තේ අරමුදල් සම්පාදන ව්‍යාපෘතියට මාස ගණනාවකට පෙර දී බවය. තමන් වසර 11ක් තිස්සේ ජීවත් වන්නේ ඇල්බර්ටා හි දකුණු එඩ්මන්ටන්වල තම දෙමව්පියන් සමඟ ඔවුන් ඉදිකරන ලද නිවසේ බවය.

කෙසේ වෙතත් මුදල් යෙදවීම පිළිබඳ ඇයගේ පැහැදිලි කිරීම අවුල් සහගත විය. කැනඩාවේ ෆෝස්ක්වෙයාර් ගොස්පල් නැමැති පල්ලියක් වේ. ඇගේ දෙමව්පියන් එඩ්මන්ටන් හි වන්දනාමාන කරන්නේ ෆෝස්ක්වෙයාර් ගොස්පල් පල්ලිය ය. එම පල්ලියේ පුණ්‍යායතනය වන්නේ ඇල්ෆා ට්‍රස්ට් නම් සංවිධානයයි. එම සංවිධානය ලංකාව තුළ විවිධ සමාජ සංවර්ධන කටයුතු සංවිධානය කරනු ලබන ක්‍රියාකාරී සංවිධානයකි. පාස්කු වින්දිතයන්ට සහන සැලසීම සඳහා කැනේඩියානු ඩොලර් විසි දහසක් ( රුපියල් 27,80,000) ඇල්ෆා ට්‍රස්ට් වෙත ලබා දුන් බව ඇය කීවාය. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත ඇල්ෆා ට්‍රස්ට් හට වින්දිතයන්ට ආධාර කිරීමට නොහැකි වූ බවත් එම මුදල අඩු වුණු පසු ඉතිරි මුදල් වන කැනේඩියානු ඩොලර් 68, 882 ( රුපියල් 95,74,598ක්) “කැනඩාවේ වෙනම බැංකු ගිණුමක ඇතැයි” ඇය ඉකොනොමිනෙක්ස්ට් වෙත පැහැදිලි කළාය.

ඇල්ෆා ට්‍රස්ට් භාරය මේ සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමෙහි නිවේදනයක් නිකුත් කර තිබිණි. එම නිවේදනයට අනුව ඇයගේ ඉල්ලීම පිළිපැදීම සඳහා ඇල්ෆා ට්‍රස්ට් කණ්ඩායමේ සාමාජිකයෝ බෝම්බ ප්‍රහාරයෙන් සෘජුවම පීඩාවට පත් වූවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා මඩකලපුවේ සියෝන් පල්ලිය හා පල්ලියට සම්බන්ධව සිටින අනෙකුත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වූහ. අනතුරුව ඔවුන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගැන පුළුල් ලෙස සොයා බලා ඇත. ක්ෂණික, කෙටි කාලීන හා දිගු කාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සියලුම වින්දිතයන් වර්ගීකරණය කර ඇත. මේ සියලුම සොයා බැලීම්වලින් අනතුරුව ඔවුන් ඉෂිනි වීරසිංහ වෙත දන්වා ඇත්තේ ප්‍රහාරයට ලක් වූ සියොන් පල්ලිය, මෙන්ම මේ වින්දිත කණ්ඩායම් රජයේ සංවිධාන, ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් රැක බලා ගන්නා බවය.

එබැවින්, ඇල්ෆා ට්‍රස්ට් භාරය විසින් අරමුදල් ආපසු ඉෂිනි වීරසිංහට ලබා දෙන්නට කටයුතු කර තිබුණේය. ඒ යම් අරමුදලක් පරිත්‍යාගශීලියා විසින් එවන ලද නිශ්චිත අරමුණු සඳහා පමණක් භාවිත කිරීම ඇල්ෆාට්‍රස්ට් ආයතනයේ ප්‍රතිපත්තිය වූ බැවිනි.

එමෙන්ම වර්ෂ 2019 නොවැම්බරයේදී ඇය ඇල්ෆා ට්‍රස්ට් වෙත මේ අරමුදල් නැවත ඉල්ලා දැනුම් දීමක් ද කළ බව එම ආයතනය කීවේය. ඇය ඇල්ෆා ට්‍රස්ට් වෙත පවසා තිබුණේ විදේශ සංචාරයක් අතරතුර හදිසි අවශ්‍යතාවෙන් පෙළෙන වින්දිතයන් කිහිපදෙනෙකු සමඟ ඍජුව සම්බන්ධ වී මුදල් ලබා දීමට සූදානමින් සිටින නිසා ඇල්ෆා ට්‍රස්ට් වෙත ලබා දුන් අරමුදල පැය 36ක් තුළ යළි ලබා දෙන ලෙසය. අනතුරුව ඇල්ෆා ට්‍රස්ට් විසින් බදු සහ ඔවුන්ගේ ගමන් වියදම් අඩු කිරීමෙන් පසු රුපියල් 25, 85,091.43 ක මුදලක් ඉෂිනි වෙත ආපසු ගෙවා තිබිණි.

 

වින්දිතයන් සොයා යෑම

 

ලංකාවේ කටුවාපිටිය පල්ලියේ කණ්ඩායමක් හරහා කටුවාපිටියේ වින්දිතයන් තිදෙනෙක් ආධාර ලබා දීම සඳහා සොයා ගත් බව කියැවිණි. එක් වින්දිතයෙක් සඳහා රුපියල් ලක්ෂ 15ක් ලබා දුන් බව ඇය කීවාය. එහි වාර්තා ලබා ගැනීම සඳහා කොවිඩ් වසංගතය හරස් වී ඇති බව පැවසුවාය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වූ මුදල සම්බන්ධව රිසිට් පත් ලබා ගැනීමට කෙනෙක් යොදවා ඇති බවත්, ඔහු එම සියලුම රිසිට් පත් එකතු කර තමන්ට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිවාය.

ඉකොනොමිනෙක්ස්ට් සඟරාව ඉෂිනි කී මෙම පුද්ගලයා සමඟ කතා කර තිබිණි. අනන්‍යතාව හෙළි නොකිරීමේ එකඟතාව මත කතා කළ ඔහු කියා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුද්ගලයන් තිදෙනකු වෙත ඇය උපකාර කර ඇති බවය. තවත් අයකුට නිවසක් ඉදිකිරීම සඳහා මුදල් ගෙවා ඇති බවත්ය. ශ්‍රවණාබාධ හේතුවෙන් එක් කාන්තාවකට ශල්‍යකර්ම සඳහා රුපියල් 50,000 ක් ද, මව අහිමි වූ තවත් පවුලකට පාසල් උපකරණ සඳහා රුපියල් 50,000 ක් ද, ගෘහ භාණ්ඩ සඳහා මුදල් ද වෙන් කර ඇති බව ඔහු පැවසීය.

එහෙත් සමාජ මාධ්‍යකරුවන් දිගින් දිගටම කියා සිටියේ ඇය එසේ වියදම් කළා නම් ඒ ගෙවීම් සම්බන්ධව බිල්පත් ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම කටුවාපිටිය පල්ලිය හා එය මුල්කරගෙන කටයුතු කරන ක්‍රියාකාරී සංවිධාන විමසූ එක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ඇය කටුවාපිටියට නම් පැමිණ නැති බව කීවාය.

ඊළඟට ඉෂිනි වීරසිංහ කියන්නේ කුමක් දැයි ඉවසිල්ලෙන් බලාගෙන සිටින ලෙස ඇය දන්වා තිබිණි.

කැනඩාවේ ගිණුමක ඇති බව කියන කැනේඩියානු ඩොලර් 68, 882 ( රුපියල් 95,74,598 ක් ) සඳහා කුමක් කරන්නේ දැයි විමසා සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් #IshiniGate සමාජ මාධ්‍ය හැෂ් ටැගය හරහා ඇයගේ හැසිරීමට එරෙහි ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ගොඩනංවා තිබේ. මේ සමග කඩිමුඩියේ ඉෂිනි විසින් ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයේ සැක සහිත බව ඔවුහු ප්‍රශ්න කළහ.

මේ පසුබිමෙහි ඉෂිනි වීරසිංහ විශේෂ ප්‍රකාශක් නිකුත් කළාය. ඇය කීවේ වින්දිතයින් කිහිප දෙනෙකුට උපකාර කිරීම සඳහා යොදාගෙන ඇති අරමුදල් ප්‍රමාණය ද ඇතුළුව සියලු අරමුදල් එම අරමුදල් සම්පාදනය කිරීමට පදනම් වූ ගෝෆන්ඩ්මී වෙත ආපසු ලබා දීමට කටයුතු කරමින් සිටින බවය.

“විපතට පත්වූවන් සඳහාත්, පොදු සමාජ සුබසාධන කටයුතු සඳහාත් මගේ ගිනුමෙන් දිගටම උදව් කරන්න සූදානම්. මා විසින් කරන ලද සමාජ කටයුතු සම්බන්ධව කිසිම සාක්ෂියක් නැතිව අසත්‍ය චෝදනා නිර්මාණය කරමින් ඉතා දැවැන්ත සයිබර් ප්‍රහාරයක් මා ඉලක්ක කරගෙන දියත් වුණා. මේ හිරිහැර කිරීම් හා සමාජයෙන් එල්ල වුණු තර්ජන මා සහ මගේ පවුලේ අය බරපතළ අර්බුදයකට ලක් කළා. “

“මා ආපසු ඒ අරමුදල් ලබා දෙනවා. ලබා දෙන අරමුදල් සම්බන්ධයෙන් ගෝෆන්ඩ්මී ආයතනය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති.“

ඇය කීවාය. එහෙත් සිදුවෙමින් පැවති වංචාව සම්බන්ධ තමන්ගේ අනුමානය නිවැරදි බව #IshiniGate විරෝධය නිර්මාණ කළ සමාජ ක්‍රියාධරයෝ දැඩි ලෙස විශ්වාස කරති. එම වංචාව නැවත හැරවිය හැකි වීම සම්බන්ධව සතුටු වෙති.

 

Comments