ප්‍රංශයේ යළි හිස ඔස­වන අභි­ර­හස් අශ්ව ඝාතන | සිළුමිණ

ප්‍රංශයේ යළි හිස ඔස­වන අභි­ර­හස් අශ්ව ඝාතන

කව්දෝ රහසින් අශ්වයන් මරමින් යන බව ප්‍රංශයේ ගම්බද පෙදෙස්වල අසුන් ඇතිකරන්නන් බොහෝ දෙනෙකුගෙන් පොලීසියට පැමිණිලි රාශියක් ගලා එමින් පවතී. ඇතැම් අශ්වයින් මරා දමා ඇති අතර ඇතැම් අශ්වයින්ගෙන් අමු අමුවේ උන්ගේ අවයව කපා ගෙන ගොස් ඇත.

මර දමා ඇති අශ්වයන්ට මුලින් තියුණු සැතකින් ඇන මහත් වද පමුණුවා තිබේ. නැත්නම් උන්ගේ හිසට යගදාවකින් තඩි බා ඇත. උන්ගේ ඇස් උගුල්ලා කපා දමා මෙන්ම, ශල්‍ය කර්මයක් කළාක් බදුව සියුම් ලෙස අශ්වයින්ගේ ලිඟු පවා ඡේදනය කරගෙන ගොස් ඇති බව අශ්ව මරණ පිළිබඳ පරික්ෂණ පවත්වන පොලිසිය පවසයි.

ප්‍රංශයෙන් දැනට මෙබඳු අශ්ව මරණ තිස් ගණනක් වාර්තා වී ඇති අතර එවැනිම සිද්ධි රැසක් ස්විස්ටර්ලන්තයේත් ජර්මනියේත් ඕස්ට්‍රේලියාවේත් සිදුවී ඇත. ඇමරිකාවේ මේ හා සමාන සිදුවීම් රැසක් පිටුපස එෆ්බීඅයි රහස් පරීක්ෂකයෝ බොහෝ කලක් තිස්සේ ස්විස්ටර්ලන්තයේ ල තොං නම් පුවත්පත පෙන්නා දෙන පරිදි අසූවේ දශකයේ දී එංගලන්තයෙන් පමණක් මෙබඳු අභිරහස් සිද්ධි 160ක් වාර්තා වී තිබේ.

මැතදී ප්‍රංශ පොලීසියට ලැබුණු එක් ඔත්තුවක් අනුව ඉස්තාලයක් අද්දර කරක් ගැසූ මහත මිනිසෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතත් ඔහු සිටි නොසිටි තැන් විමසා බැලීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර යවා තිබේ.

ප්‍රංශයේ දිනපතා පළවෙන ල මෝන්ද් පුවත්පත පවසන අන්දමට පොලීසියේ උපදෙස් ඇතිව අස්හල් හිමියෝ කණ්ඩායම් වශයෙන් සංවිධානය වී අශ්වයන් උලාකන තණ පිටි වටාත් උන් ළඟින අට්ටාල වටාත් මුර සංචාර පැවැත්විමට පටන් ගෙන සිටිති. මෙසේ දිවා රෑ විමසීමෙන් සීරුවෙන් යන ගමනේ අශ්වයකු ගේ කපන ලද කණක් හෝ ගාතයක් හෝ පයට පෑගේදැයි ඔව්හු මහත් දෙගිඩියාවෙන් පසුවෙති.

මෑතදී අශ්වයින් දිගේලි කළ පිටියක් මතින් ඩ්‍රෝන් යන්ත්‍රයක් පියාසර කර ඇති බවත් බල පත්‍ර රහිතව එසේ රහසින් ඔත්තු බැලූ පුද්ගලයා ව සොයාගැනීමට නොහැකි විම නිසාත් ප්‍රංශ පොලීසිය මහත් සේ විපිළිසර ව සිටියි.

එමෙන්ම අසුන් ඇතිකරන්නන් ගෙයි නිදාගැනීම අත්හැර ඔවුන්ගේ අශ්වයන් ළඟින ළැගුම් බිම් වෙත ගොස් ඒවායේ කුඩාරම් ගසාගෙන උන් කරා විවට වූ එක් ඇහැක් ඇතුව තනි ඇහෙන් නිදන්නට පටන් ගෙන සිටින බව ප්‍රංශයේ එර්තේඑල් ගුවන් විදුලිය පවසයි. මෙවැනි කාරණා නිසා අස්හල් හිමියන් හා ඒ ආයතන සේවකයන් මහත් වෙහෙසට පත්ව ඇති බවත් තමුන්ගේ සතුන් කොයි මොහොතේ මරා දමාවිදැයි යන මානසික පීඩනයට පත්ව සිටී.

අශ්ව ඝාතන බහුල වශයෙන් වාර්තා වෙන්නේ උතුරු ප්‍රංශයේ බ්‍රොතාඥ්ඥ නම් පෙදෙසිනි. එහි පොලීසිය දැනටමත් “වෝ හෝස්” (සංග්‍රාමීය අශ්වයා) නම් විශේෂ සන්නද්ධ බල ඇණියක් පිහිටුවා පළාතේ අශ්වයින් පරිස්සම් කරමින් සංචාරය කරන බව පරීසියන් නම් පුවත්පත කියයි.

අශ්ව ඝාතන සිදු වී ඇති තැන් එකිනෙකට ඈත පැතිරී ගිය පෙදෙස් ගණනාවක සිදු වී ඇති නිසා මෙය ඒක පුද්ගල අපරාධ නොව යක්ෂයා අදහන කිසියම් අපරාධකාරී සාතනික ආගමික කල්ලියක වැඩක් වත්දැයි පොලිසිය සැක කරයි. මෙසේ වද පමුණුවන ලද අශ්ව පිටුපස අපරාධ පිටුපස කිසියම් යාග හෝම වතාවතක ගතිගුණ ඇති බවටද පොලිසිය සැක කරයි.

ප්‍රංශයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍ය ජුලියන් දනොර්මොන්දි ගේ ප්‍රකාශයක් උපුටමින් බෙල්ජියමේ රූපවාහානී හා ගුවන් විදුලි සේවය පෙන්වා දෙන්නේ මේ වධකයා අසුන් මරා උන්ගේ ඇහැ කන උදුරා ගෙන ඇත්තේ හේතු විරහිත අදහා ගත නොහැකි අන්දමේ සහාසික ඉරියව් පාමින් බවය.

මේ අපරාධකාරයා ව අත් අඩංගුවට ගන්නවා තබා ඔහු පිළිබඳ ඉතා අවම ප්‍රමාණයේ තොරතුරක්වත් ලබා ගැනීමට අද වන තෙක් කිසිවකුට කිසිදු හැකියාවක් ලැබී නැත.

Comments