ඩී. ඇස්. ට ඩඩ්ලිට නැතිව බැරි වූ කරෝ­ලිස් | සිළුමිණ

ඩී. ඇස්. ට ඩඩ්ලිට නැතිව බැරි වූ කරෝ­ලිස්

 සිංහල පත්‍ර හඬ නඟා අගමැතිට කියැවූයේ ද ඔහු

ඩී. එස්. සමඟ එංගලන්තයට යන්න කරෝලිස් කොණ්ඩය කපයි

 

හාම්පුතුන් දෙදෙනකු තම දෙනෙත මෙන් රැක බලා ගත් සුවච සේවකයකු ගැන අප්‍රකට තොරතුරු කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් ඇත. මේ සේවකයා ගේ හාම්පුතුන් දෙදෙනා ලංකා දේශපාලන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ අගමැතිවරු දෙදෙනෙකු වීම විශේෂයකි. මේ අගමැතිවරුන් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා හා මෙරට සිවුවරක් අග්‍රාමාත්‍ය වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහත්වරුන්ය.

ඔවුන්ගේ සුවච කීකරු සේවකයා වූයේ එස්.ඒ. කරෝලිස් ය. ‍කරෝලිස් ගැන මුල්වරට රට ම දැන ගත්තේ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ හදිසි අභාවය නිසා ය. ඒ තොරතුරු “සිළුමිණ” ඇතුළු පුවත්පත්වලින් මහජනතාවට දැන ගන්නටලැබුණි.

ඔහුට කවුරුත් කරෝලිස් කීවත් ඔහු ගේ උප්පැන්නේ තියෙන නම ඇස්.ඒ. කොරනේලිස් ය.

“උඹට තියෙන නම කියන්න අමාරුයි. අද හිටං උඹ කරෝලිස්. ඒක මේ රටේ හිටිය ලොකු ප්‍රභූවරයෙක්ගේ නමක්. ධර්මපාල උත්තමයාගේ පියාගේ නම. උඹ ඒ නම ආරක්ෂා කරන්ඩ ඕනෑ.

තේරුණා ද?” මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක විසි හැවිරිදි වියේ සිටි තරුණයාට කීය.කරෝලිස් බෝතලේ වලව්ව කිට්ටුවම 1897 අඹේපුස්ස උපන් කෙනෙකි. 1917 වසරේ සිට විසි හැවිරිදි ඔහු ඩී.ඇස්. සේනානායක මහතාගේ පුද්ගලික සහයකයා වී ඇත.

“අගමැති හාමුදුරුවන්ට හැම දේකට ම මාව නැතිව බැරි වුණා. කොටින්ම මම නැතුව එතුමට කිසිම පෞද්ගලික දෙයක් කර ගන්න බෑ. එතුමාගේ ඇඳුම් සෝදා පිරිසිදු කොට ඒවා මැදලා, විතරක් මදි ඒවා අන්දවන්නත් ඕනෑ. මේ කටයුතු වලින් මම ලොකු සතුටක් ලැබුවා.”

1952 වසරේ අගමැතිතුමාගේ අභාවයෙන් පසු ඉරිදා ලංකාදීප පත්‍රයට කරෝලිස් කළ විස්තරයකින් වාර්තා වේ.

“කරෝලිස්.... කරෝලිස්...” පාන්දර 5 ට අගමැතිතුමාගේ ඇමතුම ය.

“හාමුදුරුවනේ,” කියමින් කරෝලිස් කිරි කෝපි කෝප්පයකුත් අරගෙන යයි. ඉන්පසු අගමැතිතුමා උදෑසන පත්තර කියවයි. සිංහල පත්තරවල ප්‍රවෘත්ති කියවන්නේ කරෝලිස් විසිනි. පත්‍රවල පළ වෙන කාටුන් චිත්‍ර දැකලා මහ හයියෙන් කොක් හඬ දී සිනාසෙයි. ඉන්පසු අගමැතිතුමාට එන සිංහල ලියුම් හඬ දී කිව යුතුයි. කරෝලිස් කියා ඇති ආකාරයට අගමැතිතුමාට කන්තලේ, ගල්ඔය, මින්නේරිය පැත්තේ ගොවියන්ගෙන් වැඩිපුරම ලියුම් එන බව ය. ඒවා සාවධානව අසා සිට ඒ ලියුම්වල ලිපින පොතක ලියා ගනී. ඉන්පසු කරෝලිස් අගමැතිතුමාට මූණ කට සෝදා ගැනීමට අවශ්‍ය දේ සපයයි.

“මගේ ඊළඟ රාජකාරිය එතුමාගේ අසනීපයට බෙහෙත් විදීමට අවශ්‍ය දේ ළඟට දීම. හැබැයි බෙහෙත් විද ගන්නේ එතුමාමයි. සිරිතක් වශයෙන් එතුමා හැමදාම “කොන්ඩිස්” මිශ්‍ර කළ වතුරෙන් කකුල් සෝදාගෙන තෙත මාත්තු කොට පවුඩර් වගයක් දා ගන්නවා. ඊට පස්සේ අගමැතිතුමා උදේට තේ බී දිනපොත ගෙන දවසේ වැඩ කටයුතු පිළියෙල කර ගන්නවා.”

ගමන් බිමන්වලට අවශ්‍ය ඇඳුම් කරෝලිස් අතින් පිළියෙල වෙයි. පන්සලට, ප්‍රසිද්ධ උත්සවයකට, රජගෙදරට, මන්ත්‍රී සභාවට, මඟුල් ගෙදරකට, ඉලව්ගෙදරකට ගැළපෙන ඇඳුම් කරෝලිස් අතින් පිළියෙල වෙයි. තේ බී අවසාන වූ පසු කකුල්වලට මේස්, සපත්තු දමන කරෝලිස් කලිසම, කමිසය, ඇඳ ගැනීමට සහාය වෙයි. එතුමා ගැළපෙන ටයිපටිය ගැට ගැසීමෙන් පසු අගමැතිතුමාට ඊළඟට අවශ්‍ය වන්නේ කෝට් එක ඇන්දවීම ය. කණ්ණාඩිය ළඟට ගොස් අගමැතිතුමා හැඩ වැඩ බලන විට එහි අඩුපාඩු සකස් කර ඇත්තේ කරෝලිස් බව කියා ඇත. අගමැතිතුමා හැම දේකටම සෙව්වේ කරෝලිස්වය. එතුමාගේ ඇඳුම් සෝදා පිරිසිදු කොට ඒවා මැදලා පමණක් නොව පැලඳුවේත් ඔහුය.

“අගමැති හාමුදුරුවන් කන්තෝරුවට යන්න සූදානම් වන විට එතුමාගේ අත් ඔර්ලෝසුවයි, සල්ලි තියෙන පොකැට්ටුවයි ගෙනත් දීම මගේ තවත් රාජකාරියක්. කන්තෝරුවට ගෙනියන්ඩ ඕනෑ කරන ලියුම්, දිනපොත් හිසේ දාන තොප්පිය, දවල්ට බොන කිරි ‍බෝතලයත් මම කාර් එකේ තියෙනවා. වැඩිපුරම එතුමා දවාලට ගෙදර එන්නේ නෑ. රාත්‍රියේ එතුමා ගෙදර ආවාම නාන්නට උණු වතුර සකස් කර දෙනවා. ඉන්පසු බෙහෙත් විද ගැනීමට අවශ්‍ය උපකරණ දුන්නාම ඒවා විද ගෙන රාත්‍රී කෑම ගන්නවා.”

කරෝලිස් කියන ආකාරයට අගමැතිතුමා විවේකයෙන් සිටින විට මේස් බැනියම හා අල්ලි වැටුණු පට සරම ඇඳගෙන හාන්සි පුටුවට වී පොතක් හෝ ඉංග්‍රීසි පත්තරයක් කියවයි. එතුමා රාත්‍රී එකොළහට නින්දට ගොස් ඇත.

“මගේ ජීවිතේට ම අගමැති හාමුදුරුවන්ගෙන් වේවැල් පහරක් කෑ අවස්ථාවක් තියෙනවා. දවසක් සේනානායක හාමු නෝනා (අගමැති සේනානායක හාමු බිරිය මෞලි සේනානායක මැතිනිය) මට ටෙලිෆොන් කරලා කිව්ව “මම දැන් ගෙදර එනවා. පන්සල් යන්න මල් ටිකක් කඩල තියන්න” කියලා. එතුමිය පැයකට පස්සේ එනකොටයි මට මතක් වුණේ මල් කඩන්න අමතක වූ බව.

අගමැති හාමු ගාවට ආපු මැතිනිය මෙහෙම කිව්වා.

“මම ආවේ කරෝලිස්ට කඩන්න කියපු මල් ගෙනියන්න.”

“කරෝලිස්, කඩපු මල් අරං වරෙන්” අගමැති හාමු කියනවිට මට දෙයියෝ සිහි වුණා.

“හාමුදුරුවනේ මට... මට... මල් කඩන්න අමතක වුණා.”

“අමතක වෙනව නං හිස කඩිච්චියක් දාන්න ඕනෑ.” පාරක් ගැහැව්වා.

සේනානායක හාමු නෝනා මා ළඟට ඇවිත් මෙහෙම කීවා.

“කරෝලිස්ට මං හින්ද වේවැල් පාර කන්න වුණා නේද? මාත් එකක් තරහ වෙන්න එපා කරෝලිස්.”

මේ සිද්ධිය වුණේ මම බෝතලේ වලව්වට වැඩට ආපු මුල් දවස්වල. එතැන ඉඳල අවුරුදු 35ක්ම අගමැති හාමු මිය යන තෙක් මට වේවැල් කසාය ලැබුණේ නැහැ.”

වුඩ්ලන්ඩ් නිවසේ සේවය කරන හැම සේවකයකුගේම සැපදුක අගමැතිතුමා අසා ඇත්තේ කරෝලිස්ගෙනි. ඔවුන්ට බෙහෙත් හේත්, අඩුපාඩු බලා කරෝලිස් වාර්තා කර ඇත. සිංහල අවුරුද්දට කරෝලිස්ට පමණක් නොව සියලුම සේවකයන් අගමැතිතුමා අතින්ම තෑගි බෝග ලබා ඇත. අගමැතිතුමාගෙන් වේවැල් කසාය නොලැබුණත් කරෝලිස් බැණුම් අසා තිබේ. ඒ අගමැති හාමුට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් කැස්සක් පවා ඇති වූ විට එතුමාට හොරෙන් කරෝලිස් වෛද්‍යවරුන් කැඳවීම නිසා ය.

“අගමැති හාමු හිතවත්තු, මිත්‍රයෝ එක්ක අල්ලාප සල්ලාප පවත්වනවා බලං හිටින්න ආසයි.“

විනෝද වූ අවස්ථා රැසක් කරෝලිස්ට මතක තිබුණි. අගමැති හාමු කිසි දිනක මත්පැන් නොබිව් බවත් තමාත් තම මිතුරන්ට ගෙවත්තේ සරුවට වැවුන පලතුරුවල යුෂ වලින් සංග්‍රහ කළ බවත්, එතුමා සතුන්ට මෙන්ම මල්වලට ආදරය කළ බවද ඔහු පවසා තිබුණි.

“දිනක් අගමැති හාමුදුරුවෝ මට කලබලයෙන් කතා කළා.

“‍කරෝලිස් මට එංගලන්තයට යන්න තියෙනව මහ රැජින් වහන්සේ හමුවෙන්න. උඹත් මාත් එක්ක මේ ගමනට යන්න ලෑස්ති වෙයන්. කලිසන් කෝට් ඇඳගෙන.”

“අනේ හාමුදුරුවනේ මම රෙද්ද කෝට් එක අඳින්නම්. හැබැයි මගේ කොණ්ඩයත් කපන්න ඕනෑද?”

“ඔව්... ඔව්... අද දවල් කාගිල්ස් සාප්පුවට පලයං. උඹේ ඔය බැඳලා තියෙන කොණ්ඩෙත් කප්පව ගෙන අලුත් ඇඳුම් ටිකක් මස්සව ගනිං.”

එංගලන්තයට ගියත් කුඩා කළ සිටම බඳින ලද කොණ්ඩය කප්පවා ගැනීම කරෝලිස්ට ප්‍රශ්නයක් විය. අකමැත්තෙන් වුව ඔහුට එය කිරීමට සිදු විය. අගමැතිවරයා පිටරට දී කරෝලිස්ට සලකා ඇත්තේ තම මිත්‍රයකුට මෙනි.

කරෝලිස්ට 1952 මාර්තු 22 වෙනිදා කිසිදා අමතක නොවන බව පවසා තිබුණි.

“කරෝලිස් මම ගිහින් එන්නම්. කවුරු හරි ආවොත් නවතින්ඩ කියන්ඩ ඕනෑ.” අන්තිමට පවසමින් අගමැතිතුමා එදා අවසන් වරට අශ්වයා පිට නැගී අරලියගහ මැදුරෙන් ගොල්ෆේස් පිටියට ගිය ගමන තමාට කිසිදා අමතක නොවන බව ක‍රෝලිස් හැඬූ කඳුළින් පත්‍රකලාවේදීන්ට විස්තර කර තිබුණි. එදා සේවකයකු විසින් ගෙනෙන ලද අශ්වයා ගෙනෙන විට අගමැති හාමුට අත්වැසුම් දෙක දමා ගන්නට මෙන්ම අශ්වයා පිට නගින්න උදවු කර ඇත්තේ කරෝලිස්ය. අශ්වයා පිටින් තම හාම්පුතා සිහිසන් නැතිව වැටී රෝහල්ගත කළ බව මුලින්ම ආරංචිය ලැබුණේ ද කරෝලිස්ටය. ඔහු රෝහලට දිව ගොස් ඇත. කඳුළු පිරුණු දෙනෙතින් අගමැතිතුමා ළඟට ගිය කරෝලිස්ගේ වමතේ මැණික් කටුව ළඟින් අල්ලා ගත්තේය.

“හාමුදුරුවනේ...”

කරෝලිස් දිහා බලා අගමැතිතුමා කිසිවක් කියා ඇතත් එය ඔහුට තේරී නැත. සේනානායක හාමුට මෙන්ම එතුමාගේ පුතුන් දෙදෙනා වූ ඩඩ්ලි හාමු හා රොබට් හාමු ගැන ද කරෝලිස් තම මතකය අවදි කර තිබුණි.

“මම බෝතලේ වලව්වට එනකොට ඩඩ්ලි හාමුට (ඩඩ්ලි සේනානායක) වයස අවුරුදු පහයි. රොබට් හාමුට (රොබට් සේනානායක) වයස අවුරුදු තුනයි. මේ පුංචි හාමුලට බත් කවන්න වලව්ව වටේ ම මට දුවන්න සිදු වෙනවා. ඩඩ්ලි හාමු නං යස අගේට බත් කනවා. රොබට් හාමුට කවන්න මහන්සි වෙන්න ඕනෑ. මේ හාමුලා මට හරිම ආදරෙයි.”

ඩඩ්ලි සේනානායක මහතාගේ අග්‍රාමාත්‍ය ලේකම්ව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් ලියූ “අරලිය ගහ මැදුරේ ස්පන්දනය” (Rendering Unto Caesar (සිංහල අනුවාදය - සුනේත්‍රා රාජකරුණානායක) කෘතියේ “ඩඩ්ලි ‍ගේ ඇඳුම් පැලඳුම්” ගැන කියවෙන 170 පිටු මෙසේ සඳහන් වෙයි.

“ඩඩ්ලි ජීවිත කාලයෙන් වැඩි කොටසක් තම ඇඳුම්වල වර්ණය හෝ නිමාව ගැන එතරම් තැකුවේ නැහැ. නිවසේ සැහැල්ලුවෙන් සිටින විට ඔහු චොකොලට් පාට සේද සරමක් නොසැලකිලිමත් ලෙස බඳේ දවටාගෙන ගැටයක් දමා සිටියේය. එය බොහෝ වාර ගණනාවක් ඇඳි වග මෙන් ම ඉතා වටිනා බව ද පෙනුණු හෙයින් මට සිතුණේ එය ඔහු ගේ අම්මා ගේ පරණ සාරියකින් මස්සවා ගත්තක් විය යුතු ය කියා ය. ඩඩ්ලි ගේ දුක සැප බැලූ විශ්වාසදායක කරෝලිස් නො සිටියා නම් මේ තනිකඩයා ගේ කලිසම් දිනපතා මැදීමක් ද සිදු නොවන්නට ඉඩ තිබිණ.”

ඩඩ්ලි සේනානායක මිය යාමට සතියකට පමණ පෙර රුධිර පීඩනය අධික වී කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලට ඇතුළු කළ වේලේ සිට කරෝලිස් නිදි වරමින් තම හාම්පුතු ළඟට වී සිටියේය. 1973 අප්‍රේල් 13 වැනිදා අලුත් අවුරුදු දා රාත්‍රියේ රෝහලට පැමිණි හිත මිතුරන් සමඟ විනෝද කථා කියමින් සිටි හාම්පුතා දැකීමෙන් කරෝලිස් සතුටට පත්ව සිටි බව කරෝලිස් “දිනමිණ” පුවත්පතට කියා තිබුණි. එදින රාත්‍රී 11.10 ට ඉතාමත් දරුණු අන්දමේ හෘදයාබාධයක් හට ගෙන සුළු කාලයක් තුළ එතුමා අවසන් හුස්ම හෙළු බව කරෝලිස් කුඩා දරුවකු මෙන් හඬමින් පවසා ඇත. කරෝලිස් තම අතීතය සිහිපත් කරමින් “රිවිරැස” පුවත්පතේ ගුණපාල රණසිංහට (1973 අප්‍රේල් 15 වෙනි ඉරිදා) කියා තිබූ විස්තරය මෙසේය.

“මම පළමුවෙන් ම බෝතලේ වලව්වට රස්සාවට ආවේ 1917 මැයි 23 වෙනිදා. ඒ දවස මට අදවගෙ මතකයි. එතකොට ඩඩ්ලි හාමුට යාන්තම් අවුරුදු 5ක් විතර ඇති. හාමුව ඉස්කෝලෙට වඩාගෙන ගියෙත් මම යි. එයින් පසු ඊයේ පෙරේදා ලෙඩ ඇඳට යනතුරු එතුමාගේ දුකට සැපට හැම දෙයකටම ළඟ හිටියේ මම. කෑම ටික, කිරි ටික, එදිනෙදා ඇඳුම් පවා සූදානම් කළේ මම. අගමැතිකම් ලබාගෙන එන සැරවලටත්, පැරදිලා එන අවස්ථාවලදීත් දුකටත්, සැපටත් මා එතුමා ළඟින් හිටියා. මේ කාලය තුළ අටවතාවක් මාව පිටරට ගෙන ගිහින් තියෙනවා. මේ අසනී වුණු වෙලාවෙත් සියල්ල බලා ගන්න” කියලා කිවා යැයි පවසා ඇත.“

අගමැතිවරුන් දෙදෙනෙකුගේ දුක සැම බලමින් සිය ජීවිතයෙන් වසර 69ක් ගත කළ කරෝලිස් නම් වූ පුංචි මිනිසාගේ නම ද බෝතලේ වලව්ව, වුඩ්ලන්ඩ් මන්දිරය, අරලිය ගහ මැදුර යන මේ

තැන්වල ඉතිහාසයේ නොමැකෙන සේ ලියවෙනු ඇත. ඩඩ්ලි සේනානායක මහතා මිය යන විට 75 වැනි වියේ පසු විය. කරෝලිස් විවාහ වී ඇත්තේ 1927 වසරේදීය. 1952 වසරේ ඔහුට විසිහතර හැවිරිදි පුතෙක් සිටි බව ද වාර්තා වී ඇත.

 

Comments