චාම් බව සුන්දරත්වයේ මූලික පාඩමයි! | සිළුමිණ

චාම් බව සුන්දරත්වයේ මූලික පාඩමයි!

නිර්මාණයක ජීව ගුණය රඳා පවතින්නේ භාෂාව මත ය. ලේඛකයා හෝ නිර්මාණකරුවා භාෂාව ගැන දරන අදහස සහ භාෂාව භාවිතයේ වන නෛපුණ්‍ය බව ඊට එක්කරන ආලෝකයේ ප්‍රභාව සුළුපටු ‍නොවේ. කෙතරම් හොඳ වස්තු බීජයක් වුව ද; කෙතරම් අපූරු පරිකල්පනයක් වුව ද; කෙතරම් අර්ථපූර්ණ රූප රචනයක් වුව ද භාෂාව නමැති දවටනයේ සුමිහිරි ව දවටා නැත්නම් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප වන්නේ ය. සමහරු කියන්නේ භාෂාවේ ව්‍යාකරණය අවශ්‍ය නොවන බවකි; භාෂාවේ න,ණ, ල, ළ භේදය අවශ්‍ය නොවන බවකි. එහෙත් භාෂාවක් අර්ථපූර්ණව හා සංදිග්ධතාවලින් තොරව ගොඩනැ‍ඟෙන්නට නම් නිවැරදි භාෂා භාවිතයක වැදගත්කම ගැන ඔබට, මට අත්දැකීම් ඇත. ව්‍යාකරණ නොදන්නා ‍හෝ නොදන්නා සේ සිටින අය තම ලේඛන, භාෂාව පිළිබඳ පරිචයක් ඇත්තන් ලවා පරීක්ෂා කරගන්නා අයුරු මම දැක ඇත්තෙමි. සමහරු භාෂාවේ විවිධ වෙනස්කම්, හැඩතල ප්‍රතික්ෂේප කරන්නේ එහි අරුත් නිරුත් මැනවින් අධ්‍යයනය කර අවසානයේ ය. සිරි ගුනසිංහ, අජිත් තිලකසේන එවැන්නෝ ය. ඔවුහු භාෂාත්මක අත්හදාබැලීම් කරන්නේ විවිධ අරමුණු උදෙසා වෙති.

කෙසේ වුවද ඕනෑම නිර්මාණයක වන සුන්දරත්වය, ප්‍රබලත්වය, හැඟීම් දනවන සුළු බව වැනි බොහෝ කාරණා සඳහා සෘජු ව ම බලපෑම් කරන්නේ භාෂාව ය. අපගේ වාක්කෝෂය පුළුල් වන්නේ කියැවීමෙනි; බැලීමෙනි; ඇසුරු කිරීමෙනි. අප වඩවඩාත් කියවන්නේ නම් අපට භාෂාවේ වන නව දැනුම්, නව වදන් එකතු වේ. එයින් අපේ වාක්කෝෂය පුළුල් වෙයි. අද බොහෝ දෙනෙක් තරුණ නිවේදක නිවේදිකාවන්ට දොස් කියන්නේ ඔවුහු සිංහල- ඉංග්‍රීසි භාෂා ද්විත්වය කලවම් කර භාවිත කරනවා ය කියා ය. සිංහල- ඉංග්‍රීසි කලවම් වීමට හේතුව වන්නේ එක් භාෂාවක්වත් හරියට නොදන්නා කම ය. එසේ වන්නේ කියැවීමක්, හැදෑරීමක් නැති කල්හි ය. සිංහල භාෂාව කෙතරම් වදන් මාධූර්යයෙන් පොහොසත් දැයි දැනෙන්නේ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය හැදෑරුවකුට ය.

නිකොලොයි ගොගොල් රුසියන් වදන් කෝෂ්ඨාගාරය ගැන අපූරු ප්‍රකාශයක් කරයි.

“අප බසෙහි අගය විශ්මිත ය. ‍වදන්වල හඬ මිණිහඬ සේය. හැම වදනක් ම හැඩරුවෙන්, බරින් සැබෑ මුතුකැට සදිසි ය. ඇතැම් විටක යම්කිසි දෙයක් හඟවන වදන, ඒ දෙයටත් වඩා වටනේ ය.

ගොගොල් කියන්නේ ඕනෑම රුසියන් වදනක් අඟනා මිණක් රැස් ප්‍රභා විහිදන්නා සේ කාව්‍යමය සංකල්පනා ජනිත කරන බව ය. ඔහුට අනුව කවර මැණිකක් දෙස බැලුවද මෙය පැහැදිලි වේ. අඩු අගයකින් යුතු නිල්, සුදු මැණික් ගත්ත ද මෙය පැහැදිලි වේ. මුහුදු දියේ ඇති නීල උත්පල වර්ණය මේ මිණිවලින් පෙනේ. එහෙත් ගොගොල් පවසන්නේ එහි වඩාත් ම සිත් පැහැරගන්නා ලක්ෂණය නම් එයින් උනන ස්වේතවර්ණ කිරණ බවයි. ඒ ධවල පැහැය අතරින් එබී බලනවිට පැහැදිලි ව මුහුදු දියෙහි පැහැය දිස් වෙයි. ආලෝකය හා වර්ණ සංයෝගයෙන් කෙරෙන මේ අපූර්ව සුන්දරත්වය නිසා ඕනෑම මිණකට ගණනය කළ නොහැකි වටිනාකමක් එක් වෙයි.

වදන්වලින් වඩාත් හරඹ කරන්නෝ කවියෝ ය. කවියෝ එක් වදනක වදන් කෝෂයක් හංගති. එබැවින් ම කවියක කාව්‍ය සංවේදනා ජනිත කරන බස කුමක්දැයි කෙනෙක් අැසුවොත් එය විස්තර කිරීම පහසු වන්නේ නැත. වචන බොහෝවිට අපේ පෞද්ගලික අත්දැකීම් හා බැඳුණු ඒවා වෙයි. එය සූක්ෂ්ම හා අලංකාර ලෙස භාවිත කරන නිර්මාණකරුවා ඒ වදන් අනුසාරයෙන් අප වෙත නව ලොවක් තිළිණ කරයි. සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර තිබෙන; විශේෂයෙන් ග්‍රාමීය ජනතාව අතර භාවිත බස කාව්‍යමය ආලේපයක් සහිත බසකි. ඒ භාෂාවේ සුලලිත බව හසුවන්නේ පොදු ජනයා අතර ඉදමින් ඔවුන් හා ඔවුන්ගේ කෙනකු ලෙස ජීවත්වන්නකුට ය. ධීවරයන්, කම්කරුවන්, පතල් කරුවන් මේ මහ පොළොවේ මිහිකත හා සටන් කරන ඕනෑම කෙනෙක් ළඟ ලස්සන වදන් මාලාවක් තිබේ.

ජීවත්වීමෙන්, මිනිසුන් ඇසුරු කිරීමෙන් මම දැනගත් තවත් රහසක් ඔබට කියන්නෙමි. පැසුණු හැම මිනිහකු ළඟම රන් හා සමාන වාක්කෝෂයක් තිබේ. එය හරියට මිය යන මොහොතේ පවා පොළොව සරු කරන්නට තම පත්‍ර දානය කරන ගසක් සේ ය. ඔවුහු ජීවිතය ගැන බොහෝ දේ දන්නෝ වෙති.

භාෂා ව්‍යවහාරයේදී අප වඩාත් සැලකිලිමත් විය යුතු දෙයක් වන්නේ එහි නිරවද්‍යතාව හා තැනට සුදුසු ලෙස වදන් භාවිතයයි. අප බොහෝ දේ ඇසුරු කිරීමෙන් ලබන භාෂා පරිඥානය සෑම තැනකට ම යෙදීම සුදුසු නැත. භාෂා ව්‍යවහාර කිහිපයක් ම පවතින අපේ භාෂාව උප භාෂාවලින් සමලංකෘත ය. ඒ උපභාෂා භාවිතයේදී අනෙකාට එය කෙතරම් තේරෙන්නේ ද යන්න ගැන නිර්මාණකරණයේදී පරිස්සම් විය යුතුය. කියන්නාට, අසන්නාට ඒවා අමිහිරි වුවහොත් ඔබේ නිර්මාණය ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

එමෙන්ම අනවශ්‍ය ලෙස බර වචන යොදා ගනිමින් කරන වචන පෙළ ගැස්ම බොහෝ පාඨකයන්ගේ සිත් නොගනී. පද්‍ය සම්බන්ධයෙන් මෙය තරයේ ම සිතට ගත යුතු අතර ගද්‍යයට ද මෙය සාධාරණ ය. වඩාත් අසීරු සරල සුගම ලෙස ලිවීම බව ඔබ දන්නවාට සැක නැත. බස සුමට වන තරමට නිර්මාණය ද පරිපූර්ණ වෙයි. එවිට පාඨකයන් ගද්‍යයට වඩාත් සමීප වෙයි. සුන්දරත්වයේ මූලික අවශ්‍යතාව චාම් බව යැයි ටෝල්ස්ටෝයි පවසන්නේ එබැවිනි.

Comments