පිටියේ රවුමක් | සිළුමිණ

පිටියේ රවුමක්

හර්ෂණට ලෝක සම්මේලනයෙන් චෙස් මාස්ටර් පදක්කම

ලෝක චෙස් සම්මේලනය විසින් අන්තර්ජාතික මාස්ටර් පදක්කම හර්ෂණ තිලකරත්නට පිරිනමා තිබේ. මේ මාසයේ පැවැති ලෝක චෙස් සම්මේලන මහා සභා රැස්වීමේදී හර්ෂණට අන්තර්ජාතික මාස්ටර් පදක්කම පිරිනමන බව නිල වශයෙන් නිවේදනය කළේය.

කුරුණෑගල මලියදේව විදුහලේ 12වසරේ ගනිත අංශයෙන් අධ්‍යාපනය හදාරන හර්ෂණ තිලකරත්න අන්තර්ජාතික මාස්ටර් පදක්කම දිනා ගැනීම උදෙසා ලෝක චෙස් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 2400ක් මේ වසර තුළදී සම්පූර්ණ කිරීමට සමත් විය. ලෝක ශ්‍රේණිගත කිරීම් සමඟ අන්තර්ජාතික මාස්ටර් පදක්කම දිනාගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද හර්ෂනයි. හර්ෂන පොදු රාජ්‍ය මණ්ඩලයීය වයස අවුරුදු 16 න් පහළ ශූරතාව ඇතුළු ශූරතා රැසක් දිනාගත් අතර, ආසියානු යෞවන චෙස් කණ්ඩායම නියෝජනය කරමින් මේ වසරේ අන්තර් මහාද්වීපික යෞවන චෙස් තරගාවලියට ක්‍රීඩා කළේය.

කොවිඩ්19 ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියත් බිලිගනියි

ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින තරගාවලිය කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කර තිබේ.

9 වැනි වරටත් සංවිධානය කර තිබුණු තරගාවලිය ලබන නොවැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව මේ තරගාවලිය ලබන වසරේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකාව සමඟ වත්මන් ශූර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වන අතර සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කණ්ඩායම් 2ක් ද එක් වෙයි. අවසන් වරට පසුගිය වසරේ ශ්‍රී ලංකවේ සත්කාරකත්වයෙන් මේ තරගාවලිය පැවැති අතර, එහි ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වූයේ බංග්ලාදේශය පරාජය කරමිනි. එම තරගාවලියට මේ කණ්ඩායම් 6 සමඟ කුවේට් සහ නේපාලය එක්ව සිටියේය.

බස්නාහිර පළාත් හොකී ශූරතා කොළඹට

හතළිස්හය වැනි ජාතික මහා ක්‍රීඩා උලළෙට සහභාගි කරවන බස්නාහිර පළාත් කාන්තා සහ පිරිමි හොකී කණ්ඩායම් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගනයේදී පවත්වන ලද බස්නාහිර පළාත් ක්‍රීඩා හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙවර තරග මාලාවේ පිරිමි අනුශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වූ අතර කාන්තා අනුශූරතාව කළුතර දිස්ත්‍රික්කය සතු විය.

එල්පීඑල් තරග හම්බන්තොට සහ පල්ලෙකැලේ යයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ නියමිත තරග 23 ම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්විමට තිරණය කර තිබේ. එල්පීඑල් හි සංවිධායකයන් වන අයිපීජී පැවසුවේ 2020 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා ලීග් තරගවලිය පැවැත්වීමට නියමිත බවත් ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 19 වනදා පැවැත්වීමට නියමිත බවත්ය.

ටෙස්ට් තරග 7 ක්, එක්දින තරග 26 ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 23 ක් පවත්වා ඇති පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 35,000 කි. 35,000 ක ප්‍රේක්ෂක ධාරිතාවක් ඇති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්දින තරග 21 ක් සහ විස්සයි විස්ස තරග 7 ක් පවත්වා තිබේ.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් වරට විස්සයි 20 තරගය පැවැත්වූයේ 2013 අගෝස්තු 6 වනදාය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොළඹ, මහනුවර, ගාල්ල, දඔුල්ල සහ යාපනය යන නමින් නම් කරන ලද කණ්ඩායම් පහක් දින 15 ක කාලයක් තුළ තරග 23දි තරග වදිති. ශ්‍රී ලංකාවේ වත්මන් සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ විදේශීය ක්‍රීඩකයන් 75 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වනු ඇත.

අයිපීජී ප්‍රධාන විධායක අනිල් මොහාන් පවසන්නේ “ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ජාතියකට විස්සයි20 තරගාවලියක් ලබා දීමට එල්පීඑල් අපට අවස්ථාවක් ලැබි තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩාව කෙරෙහි අතිශයින්ම ඇල්මක් දක්වන අතර, ලීග් තරගාවලිය මෙහි පැවැත්වීමට අයි.පී.ජී. ලැබු විශාල ජයක් බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) මණ්ඩලය ද අතිශයින්ම ප්‍රයෝජනවත් වූ අතර මෙම ලීගය විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නොනවතින සහයෝගීතාවය සහ සහයෝගය මම බලාපොරොත්තු වෙමි. එල්පීඑල් සමඟ ලෝක මට්ටමේ ලීගයක් ඇති කිරීමට කැපවී සිටිමි“ යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න පවසන්නේ මෙම තරගාවලිය ලෝක මට්ටමේ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමෙන් දේශීය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරනවා පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට අවස්ථාවක් ලබා දෙන බවයි.

Comments