පාසල් ක්‍රීඩා බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් වුෂු වළපල්ලට | සිළුමිණ

පාසල් ක්‍රීඩා බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් වුෂු වළපල්ලට

ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙන දෙන වුෂු ක්‍රීඩාවේ ද්වන්ධ ඉසව්වක් වන සන්දා ඉසව්ව සඳහා වසර 11ක පමණ කාලයක සිට පනවා තිබෙන තහනම ඉවත් නොකිරීමත්, වුෂු ක්‍රීඩාව ජාතික පාසල් ක්‍රීඩා උලෙළට ඇතුළත් කිරීමට ක්‍රීඩා බලධාරින් තවමත් උනන්දු නොවීමත් නිසාත්, මෙරට වුෂු ක්‍රීඩාව දැඩි අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

2009 පාසල් වුෂු තරගාවලියක් අතරතුර සන්දා ඉසව්ව නියෝජනය කළ පාසල් ක්‍රීඩකයකු මිය යාමත් සමඟම සන්දා ඉසව්ව තහනම් කරමින් වුෂු ක්‍රීඩාව පාසල් ක්‍රීඩා උලෙළින් ද ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. ගෙවී ගියාවූ දශකයකට අධික කාලය පුරාම වුෂු නිලධාරින් මෙකී තහනම ඉවත් කර ගැනීමට බලවත් උත්සහයක නිරත වූහ.

හිටපු ක්‍රීඩා, යෞවන කටයුතු සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමඟ සාකච්ඡා පවත්වමින් මෙකී තහනම ඉවත් කර ගැනීමටත්, පාසල් ක්‍රීඩා උලෙළට ඇතුළත් කර ගැනීමටත් වුෂු සම්මේලනය ඉල්ලීම් කර තිබුණි. එහිදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එවකට හිටපු අධ්‍යාපන, ක්‍රීඩා, ලේකම්වරුන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සහ පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සහ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක් අවසානයේ ඉසව්වේ තහනම ඉවත් කිරීමටත්, වුෂු ක්‍රීඩාව පාසල් ක්‍රීඩා උලෙළට ඇතුළත් කර ගැනීමටත් පොරොන්දු වී තිබේ.

එහෙත් දින කිහිපයකින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයක් මගින් වුෂු සම්මේලනයේ ඉල්ලීම් දෙක නොසලකා හැර කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු සහ පළාත් ක්‍රීඩා නිලධාරීන් කිහිපදෙනකුම මෙයට උඩගෙඩි සපයා ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවෙයි.

කෙසේ වෙතත් මෙකී නිලධාරීන්ගේ මේ අදූර්දර්ශී ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍යාංශ නිලධාරින්ම ප්‍රකාශ කරන්නේ මෙකී තීරණ මීට වඩා සිහි බුද්ධියකින් ගත යුතු බවයි. ද්වන්ධ සටන් කලාවක් කියලා සන්දා තහනම් කරලා තියෙනවා.

වුෂු ක්‍රීඩාවේ සන්දා ඉසව්ව විතරක් නෙවෙයි, තවත් හුඟක් ක්‍රීඩා තියෙනවා, ද්වන්ධ ක්‍රීඩා විදියට ක්‍රීඩා කරන, එහෙනම් ඒවාත් තහනම් කරන්න වෙනවා. බොක්ෂින් ක්‍රීඩාව ගත්තොත් හුඟක්ම අනතුරුවන ක්‍රීඩාවක්. රග්බි, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයෝ මැරෙනවා. සදාකාලික අබාධිතයෝ වෙනවා. එහෙම නම් ඒ ක්‍රීඩාත් තහනම් කරන්න වෙනවා.

එක පැත්තකින් සන්දා ඉසව්ව තහනම් කළා කියමු කෝ, ජාතික පාසල් ක්‍රීඩා උලළෙන් මේ ක්‍රීඩාව අයින් කරන්නේ ඇයි? පාසල් මට්ටමින් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි සමස්ත ලංකා හරහා ජාතික තලයට ඇවිත්, ජාත්‍යන්තරය දක්වා යන්නේ. තීන්දු තීරණ ගන්න කලින් බලධාරීන් මීට වඩා සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනෑ. ඔය වගේ තමයි අපේ බලධාරීන් හුඟක් තීන්දු තීරණ ගන්නේ යැයි එකී අමාත්‍යාංශයේම නිලධාරියෙක් අවධාරණය කළේය.

මේ ක්‍රීඩාවේ තාක්ෂණය තියෙනවා. ආරක්ෂක හිස් වැසුම්, උපකරණ තියෙනවා. කනගාටුදායක සිදුවීමක් වුණා තමයි. එහෙම කියලා ඉසව්වක් සම්පූර්ණයෙන් තහනම් කිරීම හෙළා දකිනවා. අවදානම් නැති ක්‍රීඩා තියෙන්නේ කිහිපයයි. බොහෝමයක් ක්‍රීඩා ගත්තම අවදානමක් තියෙනවා තමයි. මේවා ගැන මීට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න ඕනෑ. වුෂු සම්මේලනයේ නිලධාරියෙක් අවධාරණය කරයි.

පසුගිය සාග් තරගාවලියේදී අපි වුෂු ක්‍රීඩාවෙන් රන් සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ම දිනා ගත්තා. සන්දා ඉසව්ව අපේ තහනම් කරලා නිසා ඉන්දියාව ඒ ඉසව්වෙන් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගත්තා. දැනට පාසල් 200ක් විතර වුෂු ක්‍රීඩාවේ නිරත වුවද, සමස්ත ලංකා තරගාවලියට වුෂු ක්‍රීඩාව ඇතුළත් නොකිරීම නිසා බොහෝ විදුහල් මේ ක්‍රීඩාවේ නිරතවීමට මැලිකමක් දක්වන බවද වාර්තා වෙයි.

 

Comments