ක්‍රීඩා සභාව 10ක් ඉල්ලනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් හතරෙන් ෂේප් වෙයි | සිළුමිණ

ක්‍රීඩා සභාව 10ක් ඉල්ලනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් හතරෙන් ෂේප් වෙයි

ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල තේරීම් කමිටු පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා සාධනීය පියවරක් ගත්තේය. ඒ අනුව මින් ඉදිරියට ජාතික තේරීම් කමිටු සඳහා සාමාජිකයන් ‍තෝරා පත්කර ගනු ලබන්නේ, ක්‍රීඩා සංගම් සම්මේලන හෝ අනුබද්ධ ආයතන විසින් නාම යෝජනා ලබාගෙන විධායක කමිටු රැස්වීමක් මගින් සාමාජිකයන් දස (10) දෙනකු ක්‍රීඩා සභාවට යොමු කළ යුතු අතර, එයින් සුදුසු අය තෝරා අමාත්‍යවරයා වෙත යොමු කිරීම ක්‍රීඩා සභාවේ වගකීම වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවට සාමාජිකයන් දස දෙනකු තෝරා‍ ගෙන ක්‍රීඩා සභාවට යොමු කළ යුතු වුවද, ඔවුන් ක්‍රීඩා සභාවට යොමු කර ඇත්තේ අසන්ත ද මෙල්ගේ සභාපති ධුරයෙන් සමන්විත තවත් සාමාජිකයන් තිදෙනකුගේ නම් පමණි. ඒ අනුව සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, විනෝදන් ජෝන් සහ චමින්ද මෙන්ඩිස්ය. මීට පෙර සාමාන්‍ය පරිදි ජාතික තේරීම් කමිටු ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන විසින් ඍජුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනුමැතිය ලබා ගත් අතර, නව ක්‍රමය අනුව ක්‍රීඩා සභාවේ අනුමැතිය හා එකඟතාව මත අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතුය. මීට අමතරව විදේශ තරග සංචාර සඳහා එක්වන ජාතික කණ්ඩායම්වලට ද මෙතෙක් ඍජුවම ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් ක්‍රමවේදය වෙනස් කරමින් ජාතික ක්‍රීඩා සභාව හරහා එකී අනුමැතිය ලබා ගත යුතුය.

 

Comments