කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ලොව විශිෂ්ටතම සම්මානයක් | සිළුමිණ

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ලොව විශිෂ්ටතම සම්මානයක්

අගමැති මහින්ද රාජපක්ෂයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිරීක්ෂණය කළ අවස්ථාවේ එහි සකස් කළ ඇක්වා ගොල්ෆ් පිටියේදී ‍ගොල්ෆ් ක්‍රී‍ඩා කළ අවස්ථාව

- විශිෂ්ටතම ගෝලීය ව්‍යාපෘති සම්මානය අපට ලැබුණේ ඉහළම සැලසුම් හා ඉදිකිරීම් ශිල්ප ක්‍රම නිසයි
- 2017 හා 2018 දීත් පිටරටවලින් අපට රන් හා රිදී සම්මාන ලැබුණා
- මේ සම්මානය මෙරට ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබුණු ඉහළම ගෝලීය අගැයීමයි

පේ රටේ දැනට ක්‍රියාත්මක ලොකුම බහු කාර්ය ව්‍යාපෘතියක් වන වරාය නගර ව්‍යාපෘතියට පසුගියදා ලොව ගෝලීය විශිෂ්ටතම ව්‍යාපෘතියට හිමි සම්මානය හිමි විය. වරාය නගර ව්‍යාපෘතියට හරියටම වසර 6ක් පිරෙන දින මෙන්ම වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළ දින ලැබුණු මේ සුවිශේෂි සම්මානය පිළිබඳව වරාය නගරය ඉදිකරන චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානි කස්සප සෙනරත් මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

මේ කොළඹ වරාය නගරය කියන්නේ මොකක්ද?

කොළඹ වරාය නගරය යනු කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය පුළුල් කරන පරිදි ඉදිකරනු ලබන නවතම නාගරික සංවර්ධන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මූලික ආයෝජනයකින් යුතුව ඉදිකරනු ලබන මෙය සම්පූර්ණ වීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරනවා. හෙක්ටයාර 269 ක ප්‍රදේශයක් මුහුද ගොඩකර නිර්මාණය කරනු ලබන මෙය මූල්‍ය කලාපය, ජාත්‍යන්තර දිවයින, දූපත් දිවිය, මධ්‍යම උද්‍යාන වාසය සහ සැහැල්ලු යාත්‍රාංගණය වශයෙන් කලාප 5කින් සමන්විතයි. සම්පූර්ණ වූ පසුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් වපසරිය වර්ග මීටර මිලියන 5.7 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා. නවීන කාර්යාල, රෝහල්, අධ්‍යාපන ආයතන, හෝටල්, වරාය, සාප්පු සංකීර්ණ සහ ජීවන විලාසිතා ස්ථාන රැසකින් මෙය සමන්විතයි. නවීනතම තිරසාර නාගරික සැලසුම් සහ සංකල්ප භාවිතයෙන් ඉදිවන මෙය දකුණු ආසියානු කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු නිසැකයි. 

මේ වරාය නගරයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ මොනවාද?

මෙහි විවිධ ව්‍යාපාර රැසක්, කාර්යාල රැසක් හා නිවාස යෝජනා ක්‍රම ආදිය බිහි වෙනවා. ගොඩනැඟිලි 6000 ක් විතර ඉදිවෙනවා. නිවාස 40,000 ක් ඉදිවෙනවා. මේ සඳහා මුළු වියදම රුපියල් කෝටි 30,000 යි. ඒ මුදල වියදම් කරන්නේ චීන රජයෙන්. ප්‍රතිලාභ චීනයටත් අපිටත් ලැබෙනවා.

මේ වරාය නගරයේ මුල්‍ය කටයුතු, ව්‍යාපාර කටයුතු, පාරිසරික සංචාරක කටයුතු මඟින් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 236,000 ක් ඉපයීමට සැලසුම් කර තිබෙනවා. ඉන් රැකියා අවස්ථා 83,000 ක් පමණ ඇති වෙනවා.

ඊට අමතරව ගාලු මුවදොර පිටිය මෙන් තුන් ගුණයක් විශාල අක්කර 35 කින් යුතු හරිත මහජන උද්‍යාන‍යේ වැඩ අවසන් වෙමින් පවතිනවා. ඒ සමඟ මීටර් 1500 ක් දිග මීටර් 200 ක් පළල වෙරළ තීරයක් හදනවා. මේ වරාය නගරය නිසා ගෝල්ෆේස් පිටිය මුහුද පැත්තට මීටර් 50 ක් ලොකු වෙනවා. ඒ සියල්ල ලබන වසරෙදි මහජනතාවට විවෘත කරනවා.

සමහරු කියනවා මේක අපේ රටට අයිති නැති චීන කොලණියක් වේවි කියලා. ඒක ඇත්තද?

ඒක සම්පූර්ණ අසත්‍යයක්. මේක සම්පූර්ණයෙන් අයිති අපේ රටට. අපි තමයි මේ ඉඩමේ පරම අයිතිකරු. මේ ව්‍යාපෘතියට මුදල් වියදම් කරන්නේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම හරහා චීන වරාය ඉංජිනේරු සමාගමයි. ඒ වෙනුවෙන් මේ වරාය නගරයේ හෙක්ටයාර 116 ක ප්‍රමාණයක් 99 අවුරුදු බද්දකට ඒ සමාගමට ලබාදී තිබෙනවා. ඒ අනුව ඒ චීන සමාගමට හිමි ඉඩම් ඒ කාලය සඳහා වෙනත් සමාගමකට ආයෝජනය කිරීමේ ඉඩකඩ තිබෙනවා. වරාය නගරය් තවත් හෙක්ටයාර 62ක් අපේ රටට අයතියි. ඒවා බදු දීමට අයිතිය අපට තිබෙනවා. ඉදිරියේදි මුළු වරාය නගරයේ පාලනය ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙනවා.

වරාය නගර ව්‍යාපෘතිය ලොව විවිධ ඇගැයුම්වලට ලක්වුණා. ලෝකයේ ලොකුම සම්මානයක් ඔබ ආයතනයට ලැබුණා. ඒ පිළිබඳව විස්තර කළොත්.

ඔව්. අපේ වරාය නගර ව්‍යාපෘතියට විවිධ සම්මාන අගැයීම් රාශියක් ලැබී තිබෙනවා, එතෙර මෙතෙර ආයතනවලින්.

ඉන් ප්‍රධානතම හා ප්‍රමුඛතම සම්මානය වන්නේ 8 වැනි වාර්ෂික ENR ඉංජිනේරු සම්මාන උලෙළේදි කොළඹ වරාය නගර ව්‍යාපෘතියට විශිෂ්ටතම ගෝලීය ව්‍යාපෘති සම්මානය ලැබීමයි.

ඒ අනුව අපේ රටට සමස්ත ලෝකයේම අවධානය අපේ රට වෙත යොමු කරවීමට ඉඩ ලැබුණා. ඉඩ ලැබුනා. ජාත්‍යන්තර මට්ටමේ ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සගරාවක් වන ENR මඟින් පැවැත්වූ ENR සම්මාන උලෙළදි අන්තර්ජාලය මඟින් මේ සම්මානය වරාය නගරයට පිරිනැමුවා. මෙය අපේ රටට ගෞරවයක් ලැබෙන අවස්ථාවක්.

ඇමෙරිකාවේ පළවන ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඟරාවක් වන Engineering news Record (ENR) මඟින් වසරින් වසර මේ ලෝකයේ සිදුවන ඉංජිනේරු හා ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් හොඳම ව්‍යාපෘති ‍තෝරා සම්මාන ලබාදෙනවා. මෙවර 8 වැනි වරටයි මෙමසම්මාන උලෙළ පැවැත්වුණේ. මේ මාධ්‍ය සමූහය මඟින් ලොව ඉදිකිරීම් ව්‍යාපෘති වරින් වර ශ්‍රේණිගත කිරීම් කරනවා.

මේ සම්මානය ලැබීම පිළිබඳ අපේ රටට තිබෙන සුවිශේෂ වැදගත්කම කුමක්ද?

මේ සම්මානය වැනි ජගත් මට්ටමේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්මානයක් මෑත අතීතයේදී අපේ රටට ලැබී නැහැ.

මේ සම්මාන උලෙළ අවසන් තරගයට මහාද්වීප 6 ක රටවල් 21ක ව්‍යාපෘති 30ක් එක්වුණා. ඉන් ඒ ව්‍යාපෘති 29ක් පරදා එහි ප්‍රථම ස්ථානයට අපේ රටේ වරාය නගර ව්‍යාපෘතියට ලැබීමයි මෙහි අපේ රටට ඇති සුවිශේෂි වැදගත්කම.

මේ සම්මානය අපට ලැබුණේ කවදාද? එහි සුවිශේෂි වටිනාකමක් තිබෙනවාද?

ඒ සම්මානය ලැබුණු දිනයත් ඉතා වැදගත්. මෙය අපට ලැබුණේ හිටපු ජනපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වරාය නගරය ව්‍යාපෘතිය ආරම්භ කර වසර 6ක් සපිරිණු දිනයේදීමයි. එනම් සැප්තැම්බර් 17 වීම විශේෂයි.

ඒ වගේම එදිනම තවත් විශේෂ සිදුවීමක් ද සිදුවුණා. ඒ අගමැති මහින්ද රාජපක්ෂයන් වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට ආවේත් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා.

මෑත කාලීනව ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය ව්‍යාපෘතියක් ලබාගත් ඉහළම ගෝලීය ඇගැයීම මෙයයි. ඒ සියල්ල ලැබුණේ මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙහෙයවන චීන හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) හා චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ සුවිශේෂි සැලසුම් හා ඉහළම ප්‍රමිතිගත ඉදිකිරීම් කාර්යක්ෂමතාව නිසයි.

එම සම්මානය ලබාදීමේදි සලකා බැලූ සුවිශේෂ දක්ෂතා මොනවාද?

මෙම වරාය නගර ව්‍යාපෘතිය මෙම තරගයට ඉදිරිපත් කරනු ලැබුවේ සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින්. 2019 ජනවාරි සිට 2020 අප්‍රේල් කාලය තුළ ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති තමයි මේකට ඉදිරිපත් කරන්න පුළුවන් වූයේ. ඒ අනුව අපි මෙහිදී ඉදිරිපත් කළේ වරාය නගරයේ පළවෙනි අදියරේ ඉදිකිරීම් පිළිබඳව පමණයි.

මෙම සම්මානය ලබාදීමේදී ගෝලීය හොඳම ව්‍යාපෘති හඳුනා ගැනීම් හා පසුගිය වසර තුළ සැලසුම් සහගත ඉදිකිරීම් කාර්යයට පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගනිමින් ඒ අනුව ඔවුන් අගැයීම කාර්යයට ලක්කරනු ලබනවා.

එම අදාළ තරගවල රීතියක් වූයේ අදාළ ව්‍යාපෘතියේ අවම වශයෙන් එක් සමාගමක් මෙහි මව් සමාගමෙන් පිටත රටක් නියෝජනය විය යුතුය යන්නයි. ඒ අනුව තමයි (CHEC) සමාගම මෙම තරගයට වරාය නගර ව්‍යාපෘති ඉදිරිපත් කළේ.

කවුද මේ සුවිශේෂි තරගය විනිශ්චය කළේ?

මෙම තරගය සංවිධාන කළ Engineering News - Record (ENR) සඟරාව ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන අතර තරගය ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිත විනිශ්චය මණ්ඩලයකගේ ස්වාධීන අධීක්ෂණයට ලක්වුණා.

Hatfield සමූහයේ Erleen Hatfield, Magnusson klemencic Associates හි Jon Magnusson, Miyamoto International හි kit Miyamoto, PAE හී Allan Montpellier, Mott MacDonald හි Patrick Natale, Strategic Program Management LLC හි Bob Prieto, Yan Winkle Consulting හි Hans Van Winkle සහ Metrolinx ආයතනයේ peter Zuk යන විශේෂඥයන් පිරිසකගේ මූලිකත්වයෙන් මෙම සම්මාන තරගාවලිය විනිශ්චය කළා. මෙම අධීක්ෂණ කාර්යයේදී ආරක්ෂිත කාර්ය සාධනය, නවෝත්පාදන, අභියෝග සහ සැලසුම් ඉදිකිරීම් කාර්යයේ ගුණාත්මක බව මෙන්ම ගෝලීය ව්‍යාපෘති කණ්ඩායම්වල විවිධත්වය සහ ඔවුනගේ සහයෝගීතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. මෙම ව්‍යාපාතිය මඟින් දේශීය ප්‍රජාවට සහ / හෝ දේශීය ඉදිකිරීම් කර්මාන්තයට ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද විනිසුරුවරුන්ගේ අවධානය මෙහිදී යොමුවුණා. 

වරාය නගර ව්‍යාපෘතියට මීට පෙරත් සම්මාන ලැබී තිබෙනවාද?

ඔව් අපට පෙර අපට සිංගප්පූරුවෙන් රිදී සම්මානයත් ලැබුණා. 2018 දි චීනයේදි රන් සම්මානයක් ලැබුනා. මේ සේරම අපිට ලැබුණේ අප චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) හි ප්‍රමිතිගත ඉදිකිරීම් හා කාර්යක්ෂම සේවක පරිපාලනය නිසා බවයි මගේ හැඟීම.

2017 වසරේදී Singapore Landscape Architecture සම්මාන උලෙළේදී වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන සැලැස්ම Master Planning සඳහා වූ රිදී සම්මානය අපට ලැබුණා. 2018 වසර තුළදී චීනයේ පැවැත්වුණු Yuan Ye Urban Design සම්මාන උලෙළේ රන් සම්මානයක් ලැබුණා.

International Federation of Landscape Architects මඟින් ක්‍රියාත්මක කරනු ලබන AAPME සම්මාන උලෙළේදී ද විශ්ලේෂණ සහ ප්‍රධාන සැලසුම්කරණය සම්බන්ධයෙන් ද කොළම වරාය නගර ව්‍යාපෘතිය ගෞරව ඇගැයීමට ලක්වුණා.

මෙම සම්මාන ලැබුණු ව්‍යාපෘතිය මෙහෙය වන්නේ චයිනා හාබර් ඉංජිනේරු සමාගමයි. එය චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) පූර්ණ හිමිකාරිත්වය දරන සමගම වන අතර, එය 2020 වසරේ ENR හි ඉහළම ජාත්‍යන්තර කොන්ත්‍රාත් කරුවන්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානය දිනාගනු ලැබූ සමාගම වෙයි.

ඉස්සර මේ ව්‍යාපෘතිය පිළිබඳව සමහරුන් බොරු දුර්මත ප්‍රචාරය කළා. නමුත් මේ ආකාරයෙන් ලෝක පූජිත සුවිශේෂී ආයතනවලින් අපේ ව්‍යාපෘතියට දිගින් දිගටම සම්මාන හා ඇගයීම් ලැබීම නිසා මේ ව්‍යාපෘතියේ වටිනාකම, වැදගත්කම හා රටේ ආර්ථිකයට වන ඵලදායීතාව රටේ ජනතාවට බෙහෙවින් අවබෝධ වේවි. මේ නිසා මේ ව්‍යාපාතියේ ඉදිරි වැඩකටයුතුවලට රටේ සියලු දෙනාගේ සහයෝගය නොඅඩුව ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

Comments