කවි ගී ලියැවුණු ප්‍රේමය ජීවි­තයේ සාර්ථ­ක­ත්ව­යයි | සිළුමිණ

කවි ගී ලියැවුණු ප්‍රේමය ජීවි­තයේ සාර්ථ­ක­ත්ව­යයි

 හැම මිනි­ස­කු­ගේම  ජීවි­ත­යට ආවේ­ණික  වූ කතා­වක් ඇත. ඒ ඇතැම් කතා තුළ ඇති අපූ­ර්ව­ත්වය රටත් ලෝක­යක් සුන්දර කරයි. මෙවර ‘කැඳැල්ලේ කතාව’ හැඩ ගැන්වෙන්නේ එවැනි සුන්දර හිතැ­ත්ත­කුගේ දිවි සැරියේ සොඳුරු මත­ක­ය­න් ගෙනි. 

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභා­ප­ති­ත්වය දරන ඔහු ඔහු ජ්‍යේෂ්ඨ කථි­කා­චාර්ය ජගත් වැල්ල­වත්ත ය. විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­ර­යකු ලෙස සුව­හ­සක් දරු­වන්ගේ දිවි මඟ පහන් කරන ඔහු, සිය ළමාවිය පිළි­බඳ මතක ආව­ර්ජ­නය කළේ සොම්න­සිනි.

“මම උපන්නෙ කළු­තර වාද්දුව පොහ­ද්ද­ර­මුල්ල ගමේ. මගේ තාත්තා රජයේ සේව­ක­යෙක්. අම්මා ගෘහ­ණි­යක්. සහෝ­ද­රියෝ හතර දෙනයි. එක සහෝ­ද­ර­යයි. පවුලේ බාලයා මමයි. ඔවුන් සහ මා අතර ලොකු වයස් පර­ත­ර­යක් තිබුණා. ලොකු අක්කා විවාහ වෙද්දි මට අවු­රු­ද්දයි. ඒ නිසාම මගේ බාල විය ගත­වුණේ හුදෙ­ක­ලාව කිව්වොත් නිවැ­ර­දියි. ඒ කාලේ ගමේ තිබුණු සිංහල උළු සෙවිලි කළ ගෙවල් කිහි­පය අතර අපේ ගෙද­රත් තිබුණා. ගමේ ළමයි එක්ක සාමු­හික වෙන්න මට අව­ස්ථාව ලැබුණේ ගොඩක් අඩු­වෙන්. පවුලේ බාලයා නිසා අම්මා මාව ගොඩක් පරෙ­ස්සම් කළා. ගේ මුහුද ළඟ වුණාට මට මුහුදේ නාන්න තියා රැල්ල පාග­න්න­වත් දුන්නෙ නැහැ. මම සෙල්ලම් කළේ තනි­යම. ගොඩක් සෙල්ලම් ගහ­කොළ, පරි­ස­රය එක්කයි කළේ. පොඩි කාලේ ඉඳ­ලම සොබා­ද­හ­මට මම වැඩි­පුර සංවේදී වුණා. දඟ­කා­ර­කම් නම් කළේම නැති තරම්. මවු­පි­ය­න්ගෙන් එක දව­ස­ක්වත් දඬු­වම් විඳලා නැහැ.

 මම මූලික අධ්‍යා­ප­නය ලැබුවේ කළු­තර වාද්දුව පොහ­ද්ද­ර­මුල්ල කණිෂ්ඨ විද්‍යා­ල­යෙන්. පොත් ටික කරේ තියා­ගෙන හොඳම යාළුවා ආනන්ද එක්ක වෙල් දෙණි මැදින් පැයක් විතර පයින් පාස­ලට ආගිය ඒ ගමන හරි සුන්ද­රයි. ඒ වගේම ඉගෙ­නීමේ කට­යු­තුත් හොඳින් කළ නිසාම ඉස්කෝලෙ දීප්ති­මත්  ශිෂ්‍ය­යෙක් වුණා. ඒ කාලේ මමයි වජිරා කියන ගෑනු ළම­යයි තමා හැම­දාම පන්තියේ පළ­වැ­නියා වුණේ. පහේ පන්ති­යේදී මම ලියපු රච­නා­වක් ගුරු­තු­මි­යගේ විශේෂ ඇග­යී­මට ලක්වුණා. ඒක මගේ ලිවීමේ හැකි­යාව දියුණු කර­ගන්න ලොකු අව­ස්ථා­වක් වුණා. ගණි­තය සහ විද්‍යාව විෂ­යන්ට වඩා මම ප්‍රිය කළේ කලා විෂ­ය­න්ටයි. ඒ කාලේ ඉඳ­ලම ළමා පත්ත­ර­ව­ලට කවි, රචනා ලිව්වා. ”

ඔහු ඒ මතක අතර සැරි සරන්නේ උද්‍යෝ­ග­යෙනි. ඒ කතා­බහ හද­ව­තට දන­වන්නේ ඔහු කුඩා වියේ සිට සිහින හා ඉලක්ක ලුහු­බැඳ ගිය අපූරු අයකු  බවය.

“ මම ශිෂ්‍යත්ව විභා­ගය පාස් වෙයි කියල හැමෝම බලා­පො­රො­ත්තු­වෙන් හිටියා. ඒත් විභා­ගෙට කලින් දවසේ මට කහ උණ හැදුණු නිසා විභාගෙ ලියන්න බැරි­වුණා. ඒ කාලේ කළු­තර මහා­නාම මහා විද්‍යා­ලයේ හොඳ ඩෙන්ටල් එකක් තිබුණා. පැණි රස කිලෝ ගණන් කාලා දත් සවුත්තු වුණාම අම්මා මාව දත් සුද්ද කරන්න එහෙ එක්ක යනවා. මහා­නාම විද්‍යා­ලය අපේ පාස­ලට සාපේ­ක්ෂව ඉතා විශාල පාස­ලක්. පුංචි­ක­මට මගේ හිතේ ආසා­වක් තිබුණා දව­සක ඒ ඉස්කෝ­ලෙට ඇතුළු වෙන්න. 10 වැනි ශ්‍රේණි­යේදී මගෙ ඒ සිහි­නය සැබෑ වුණා. නියෝජ්‍ය ශිෂ්‍ය නාය­ක­යකු ලෙසත් පාස­ලේදී මම කට­යුතු කළා. මගේ අධ්‍යා­පන ජීවි­තය වගේම පෞද්ග­ලික ජීවි­ත­යත් වෙනස් කළේ මහා­නාම මහා විද්‍යා­ල­යේදී හමු­වුණු කීර්ති­මත් ගුරු­ව­රුන්. ඒ අත­රින් දේශ­පා­ලන විද්‍යාව ඉගැන්වූ භද්‍රා සන්ද­නා­යක මහ­ත්මිය විශේ­ෂයි. ඇය 1977 දී රක්ෂණ සංස්ථාවේ සභා­පති ධුරය දැරූ හේම­සිරි ප්‍රනාන්දු ගේ බිරිය. ඉතා ස්වාධීන කාන්තා­වක් වූ ඇ­ගෙන් මම දේශ­පා­ල­නය වගේම උපේ­ක්ෂා­වෙන් ජීවි­ත­යට මුහුණ දෙන ආකා­ර­යත් ඉගෙන ගත්තා. පිට­ර­ටක සිටි­යත් අද­ටත් මගේ ජීවි­ත­යට ලැබෙන උප­දෙස්, මඟ­පෙ­න්වීම සුවි­ශේ­ෂියි. ඒ වගේම බී. එල්. රංජනී, විදා­න­ගම, වික්ටර් වගේ ගුරු මවු­පි­ය­වරු අදත් මම සිහි කරන්නේ ගොඩක් ගෞර­ව­යෙන්. මම හිතන්නේ අවා­ස­නා­ව­කට වගේ දරු­වන්ගේ කුස­ලතා මනාව තේරුම් ගත් දරු­වන් වෙනු­වෙන්ම කැපවූ එවැනි ගුරු­වරු අද අපේ ග්‍රාමීය පාස­ල්වල ඉතා විර­ලයි”

විෂ­යය කරුණු පම­ණක් නොව ජීවි­තය පිළි­බඳ මනා දැක්මක් ඔහු තුළ ඇති­වන්නේ කුඩා වියේ සිට­මය.

“ මගේ අම්මගේ නංගිට දරුවො හිටියේ නැහැ. ඒ පුංචියි බාප්පයි මට විශේෂ  ආද­ර­යක් දැක්වුවා. මම ගොඩක්ම ආද­රය කළ අක්කා විවාහ වෙලා ගෙද­රින් ගියාම ඒ දුකට මට සාංකාව හැදුණා. ඒ නිසාම 2 පන්තියේ දී පුංචියි බාප්පයි මාව ඔවුන් ළඟට අර­ගෙන ගියා. එහෙම ඉන්න අත­රෙදි 1975දී මගේ තාත්තා පැර­ල­යිස් වුණු නිසා මට නැවත ගෙදර එන්න සිදු වුණා. එත­කොට මට අවු­රුදු 11යි. මම තාත්ත­වත් බලා­ගෙන අපේ පවුලේ ව්‍යාපා­රය වූ ලණු කඹ ව්‍යාපා­ර­යත්  කර­ගෙන ගියා. 1979දි තාත්තා මිය ගියා. අම්මයි මමයි ගෙදර තනි­වුණා. සාමාන්‍ය පෙළ කරද්දි මම ගෙද­රම කඩ­යක් දැම්මා. ඒ කාලේ මම අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නාය­කයා වූ ඩික්මන් අයියා එක්ක තොර­න්වල විරිඳු කිය­න්නත් යනවා.ඒ සල්ලි­ව­ලින් යාළු­වන්ට කන්න අරන් දෙනවා. ඒ කාලේ උප­යන්න දක්ෂ වුණාට විය­දම් කරන්න ඊට වඩා දක්ෂයි. පොඩි කාලේ ඉඳ­ලම මුදල් අතට ආව නිසා සල්ලි­වල අග­යක් තිබු­ණෙත් නැහැ. නමුත් අම්මාට මං ගැන ලොකු විශ්වා­ස­යක් තිබුණා මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ හැම­දේම කළත් ඉගෙ­නීමේ වැඩත් ඉතා හොඳින් කර­ගෙන ගියා. ”

1982 වස­රේදී සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටි ඔහු උසස් පෙළ හදා­රන්නේ දිනක කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වීමේ ඉල­ක්ක­යද සිතේ දරා­ගෙ­නය. 

“මගේ හත­ර­වැනි අක්කා කොළඹ සර­ස­වියේ ඉන්න කාලේ ඇය මාව එහෙ එක්ක යනවා. ඒ නිසා මට කොළඹ විශ්ව­වි­ද­්‍යා­ල­යට යන ආශාව ඇති­වුණා. ඒ ආශා­වත් යථා­වත් කර­ගන්න මට හැකි­වුණා. 1983දී  මම කොළඹ සර­ස­වි­යට ඇතු­ළත් වුණා. ඒ කාලේ රටේ තිබුණු දේශ­පා­ලන පරි­ස­රය මට ජීවි­තය ගැන වෙන­මම කිය­වී­මක් වුණා. මිනිස් නිහී­න­කම් හොඳින් අත්වින්ඳා. මම නිතර ගිය පාන­දුරේ කෝවිලේ පූසා­රිව ඝාත­නය වුණේ ඒ කාලේ. ඒවා අද­ටත් හිත කම්පා කරන සිදු­වීම්. විශ්ව­වි­ද්‍යා­ල­යේදී  දයා පති­රණ කියන අපූරු ශිෂ්‍ය නාය­කයා හමු­වීම මගේ දේශ­පා­ලන ජීවි­තයේ ප්‍රධාන හැර­වුම් ලක්ෂ්‍යක්.” 

විශ්ව­වි­ද්‍යා­ල­යේදී ඔහුගේ දේශ­පා­ලන ජීවි­තය පම­ණක් නොව කලා ජීවි­ත­යද පොහො­සත් විය..

“මගෙ උප්පැන්නෙ තියෙන නම වැල්ල­ව­ත්තගේ ජගත් සිසිර සේන ද සිල්වා. මුල් කාලේ මම පත්ත­ර­ව­ලට ලිව්වේ පොහ­ද්ද­ර­මුල්ලේ ජගත් වැල්ල­වත්ත නමින්. සාමා­න්‍ය පෙළ විභා­ග­යට ඇඩ්මි­ෂන් අත්සන් කරද්දි ඒ නම දිග වැඩියි කියලා ජගත් වැල්ල­වත්ත කියලා වෙනස් කළේ අපිට ජ්‍යාමි­තිය ඉගැන්වූ මර්වින් ප්‍රනාන්දු සර්. ඊට පස්සේ මම පත්ත­ර­ව­ල­ටත් ලිව්වේ ජගත් වැල්ල­වත්ත නමින්. නමුත් විශ්ව­වි­ද්‍යා­ලයේ මගෙ නම සඳ­හන් වුණේ  ඩබ්. ජේ. එස්. එස්. ද සිල්වා  කියලා. විශ්ව­වි­ද්‍යා­ලයේ පළමු වස­රින් පසුව තමයි  හැමෝම ඒ ජගත් සහ මේ ජගත් එක්කෙ­නෙක් බව දැන­ගත්තෙ. ඒ කාලේ සිළු­මිණ කව්මුතු පිටුවේ කවි­යක් පළ­ක­ර­ගන්න එක රාජ්‍ය සම්මාන ලබ­නවා වගේ වැඩක්. ඒ කාලේ ඒ පිටු­වට කවි තේරුවේ රත්නශ්‍රී අයියා. සර­ස­වි­යේදී රාවය නමින් බිත්ති පුව­ත්ප­තක් කළා. 

ඒකේදි තමයි මම සෝපා­හා­ත්මක රචනා ශෛලිය ඉගෙන ගත්තේ. නාට්‍ය සංග­මයේ ලේකම් විදි­හ­ටත් හිටියා. ඉගෙන ගැනී­මත් හරි­යට කළා. මම හිතන්නේ අදට සාපේ­ක්ෂව ඒ කාලේ ශිෂ්‍යයා හරි පරි­පූ­ර්ණයි. පළමු වස­රේදී මම භූගෝල විද්‍යාව කළත් ඊට පසු සමාජ විද්‍යා­වට හිත බැඳුණා. ඒකට විශේ­ෂම හේතුව වුණේ අපිට ඉගැන්වූ දකුණු ආසි­යාවේ සිටි කීර්ති­මත්ම සමා­ජ­වාදී සමාජ විද්‍යාඥ ආචාර්ය නිව්ටන් ගුණ­සිං­හ­යන්. ලෙනින්ට සමාන පෙනු­මක් තිබුණු එතු­මාගේ ඉගැ­න්වීමේ ශෛලිය අන­ර්ඝයි. ඔහු­ගෙන් ලැබුණු අමිල දායා­දය සමාජ විද්‍යා­වයි. එවැනි විශේෂ සහ ප්‍රබල ගුරු­ව­රුන්ගේ ඇසුර ලැබීම මගේ ජීවි­තයේ සාර්ථ­ක­ත්ව­යට පුදු­මා­කර රුකු­ලක් වුණා. ඒ කාලේ රටේ දේශ­පා­ලන වාතා­ව­ර­ණය කල­බ­ල­කාරී එකක් වුණත් සර­සවි ජීවි­තය සුන්දර අත්දැ­කී­ම්ව­ලින් පිරුණු එකක්.”

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය සාර්ථ­කව අව­සන් කළ ජගත් වැල්ල­වත්ත එම සර­ස­වි­යේම සහ­කාර කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස පත්වීම් ලබන අතර සිවු වස­ර­කට පසු එහිම ස්ථිර කථි­කා­චා­ර්ය­ව­ර­යකු බවට පත් විය. විවිධ ක්ෂේත්‍ර­වල විහි­දුණු ආය­ත­නික අත්දැ­කීම් සහිත ඔහු ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාං­ශයේ, ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රියේ සහ රාජ්‍ය උකස් හා ආයෝ­ජන බැංකුවේ සභා­පති ධුර­යද හෙඹ­වීය.

“ඒ හැම­දේම කළත් අද­ටත් මගේ වැඩි­පුර කැමැත්ත ඉගැ­න්වී­ම­ටයි. ”

ඔහු කියන්නේ සතු­ටිනි. කවි­යට, ගීයට අසී­මි­තව ඇලුම් කරන ජගත් වැල්ල­වත්ත මේ වන විට ‘ප්‍රාණ­ජීව’ සහ ‘නේන කන්ද’ නමින් නව­කතා ද්විත්ව­යක්ද ප්‍රකා­ශ­යට පත්කර තිබේ. ඔහුගේ මුහුණු පොතේ ප්‍රේම­ණීය කවි බොහෝය.

“ඒ හැම­දේම ලියන්නේ මගේ ආද­ර­ණීය බිරිය ශාලිකා වෙනු­වෙන්. ඇය මගේ ප්‍රථම ප්‍රේමය නම් නෙවෙයි. නමුත් මගේ ජීවි­ත­යම ඇය තමයි. මම ප්‍රේම කරන්න  පටන් ගත්තේ මහා­නාම මහා විද්‍යා­ල­යෙන්. ඒ කාලේ ප්‍රේමය ගැන මහ ලොකු දේවල් දැන­ගෙන හිටියේ නැහැ. උදේ ඉස්කෝ­ලෙදි හමු­වෙන ගෑනු ළම­යට හවස ගෙදර ගිහින් ලියු­මක් ලියලා ගෙනත් දෙනවා.  ප්‍රථම ප්‍රේමය බස් ස්ටෑන්ඩ් එකේ හමු­වීම් දෙකු තුන­කින්ම අව­සන් වුණා. 

ඊට පස්සේ කාලෙක හොඳම මිතු­රිය පෙම්ව­තිය වුණා. නමුත් මම විශ්ව­වි­ද්‍යා­ල­යට ආවට පස්සේ අන­ව­බෝ­ධ­යක් නිසා ඒ ප්‍රේම­යත් බිඳ වැටුණා. ඊට පස්සේ විශ්ව­වි­ද්‍යාල ප්‍රේමය බිඳ වැටු­ණෙත් මත­වාදී අර­ගල නිසයි. විශ්ව­වි­ද්‍යා­ල­යේදී ප්‍රථම ප්‍රේම­යට උග­න්ව­න්නත් මට අව­ස්ථාව ලැබී­මත් දෛවෝ­ප­ගත සිදු­වී­මක්. ජවිපෙ තර්ජන කාලේ විටින් විට කැම්පස් වැහු­ණට ළමයි විශාල පිරි­සක් ගෙව­ල්ව­ලට යන්න බැරිව හිටියා. 1986දී විතර දයා පති­රණ අයියා තිලක් අයියා, මම, උපු­ල්ශාන්ත, මහින්ද වික්‍ර­ම­රත්න ඇතුළු කිහි­ප­දෙ­නෙක් එකතු කර­ගෙන උසස් පෙළ ළම­යින්ට ක්ලාස් පට­න්ගත්තා. ඒ සල්ලි­ව­ලින් තමයි අර කැම්පස් ළම­යින්ට කන්න දුන්නේ. මමත් පාන­දුරේ තිලක් අයි­යගේ ක්ලාස් එකේ දේශ­පා­ලන විද්‍යාව උග­න්වන්න පටන් ගත්තා. ඒ පන්ති­යේ­දීයි මට ශාලිකා හමු වුණේ.”

එතැන් සිට ඒ ප්‍රේම­ණීය අතී­තය සිහි කරන්නී, ඔහුගේ ප්‍රිය බිරිය ශාලිකා වැල්ල­වත්ත යි.  

“ ඒක පුදුම හමු­වී­මක්. ඒ වගේම සුන්ද­රම අතී­ත­යක්. පළ­වැනි දවසේ මම දැන­ගෙන හිටියේ නෑ ජගත් අපිට උග­න්වන්න ආව සර් කෙනෙක් කියලා. මම ඩෙස්ක් එකක් උඩ වාඩි­වෙලා කකුල් දෙකත් පද්ද පද්ද යාළුවො එක්ක හයි­යෙන් කතා­කර කර හිටියා. 

පස්සෙ තමයි දැන­ගත්තේ ඒ අපේ සර් කියලා. අපි ආදරේ කරන්න පටන් ගත්තේ ක්ලාස් එකෙන් පස්සෙයි. විෂ­යය දැනු­මට අම­ත­රව ජීවි­තේට ලොකු හයි­යක් පන්න­ර­යක් ඔහු­ගෙන් ලැබුණා. ඒ කාලේ අපි ලියුම් ලිව්වා. හමු­වෙ­නවා අඩුයි. ඒත් ආද­රය අඩු නැතුව තිබුණා. අපි 91දී විවාහ වුණා. ඔහු ඉතා ආද­ර­ණීය සැමි­යෙක් සහ පියෙක්. ගොඩක් කරු­ණා­වන්ත මෘදු හිතක්  තියෙන කෙනෙක්. කොයි­ත­රම් කාර්ය­බ­හුල වුණත් ඔහු පවුල වෙනු­වෙන් කැප­වෙන කෙනෙක්. හැම­දාම රෑට නිදා­ගන්න කලින් රෑ කෑමෙන් පස්සේ අපි දෙන්නයි දරු­වොයි සතුටු සාමි­චියේ යෙදෙන එක අනි­වාර්ය අංග­යක්. අපි හැමෝම අපේ දවසේ සිදු­වීම්, අත්දැ­කීම් බෙදා­ග­න්නවා. මම හිතන්නේ පවුලෙ සතු­ටට වගේම සාර්ථ­ක­ත්ව­යට ඒ දේවල් ගොඩක් වටි­නවා. සම­හර වෙලා­වට ඔහුට ටිකක් තරහ යනවා. නමුත් ටික වෙලා­වක් යද්දි තරහ ගත්තේ ඇයි කිය­ල­වත් මතක නැහැ. ඒ තරම් ආද­ර­ණීය චරි­ත­යක්”

ඇය පව­සන්නේ දෑසින් සිනහ වෙමිනි. ඒ සොඳුරු ප්‍රේම­යක හිමි­කා­රි­නි­යක වීමේ සතු­ටය: සැන­සී­මය. ඒ ප්‍රේම­යට ඔහු සාක්ෂි දැරුවේ මෙලෙ­සිනි.

“ ඇයව දැක්ක මුල්ම දව­සෙම ඇය මගේ හද­වත දිනා­ගත්තා. ඇය තමයි මගේ සැබෑ ප්‍රේමය. ඇය දැන් මට මගේ අම්මා වගේ.  අපි දෙන්නගෙ ජීවිත බොහොම සර­ලයි. විවාහ වුණාට පස්සේ ඇය මුළු­ම­නින්ම පවුල වෙනු­වෙන්ම කැප­වුණා. රැකියා අවස්ථා ලැබු­ණත් ඇය ඉතා සතු­ටින් පවුල වෙනු­වෙන් ඒවා කැප කළා. මගෙ ඉල­ක්ක­යක් තිබුණා අවු­රුදු 26දි විවාහ වෙන්න. ඒකත් ඒ විදි­හ­ටම වුණා. විවාහ වෙලා අපි දෙන්නා කුලී නිවෙ­සක පදිංචි වෙලා ජීවි­තය ආරම්භ කළා. මම වැඩි­පු­රම සතුටු වෙන දවස කුලු­ඳුලේ පිය පද­විය ලැබූ දවස. දරු­වන් හත­ර­දෙ­නා­ටම එක වගේම ආදරේ කළත් ලොකු දුවගේ උපත මටයි ශාලි­කා­ටයි අලුත් අත්දැ­කී­මක් වුණා.”

ජගත්- ශාලිකා යුව­ළගේ වැඩි­ම­හල් දිය­ණිය ගීමි ප්‍රියත්මා  රසා­ය­නික විද්‍යාව පිළි­බඳ උපා­ධි­ධා­රි­නි­යක වන අතර  මේ වන විට ඇය ඇමෙ­රි­කාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ රොචෙ­ස්ටර් විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙ­නුම ලබයි. දෙවැනි දිය­ණිය දෙව්මි මිහිපා චිත්‍ර ශිල්ප­යට විශේෂ හැකි­යා­වක් දක්වන නිර්මා­ණ­ශීලී යුව­ති­යකි. පුතු දේශා­වින්ද සඳ­මිත් මෙවර අ.පො.ස උස­ස්පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත අතර බාල පුතු විෂුද හිම­කල් 9 වැනි වසරේ ඉගෙ­නුම ලබයි. ඔවුන් දෙදෙ­දෙ­නාම කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ සිසු­න්ය. විශ්ව­වි­ද්‍යාල ජ්‍යේෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස සුව­හ­සක් දරු­වන්ගේ නුව­ණැස පාදා ඇති ඔහු දරු­වන් ගැන දරන ආකල්ප අති­ශය නිද­හස්ය.

“ගුරු­ව­ර­යෙක් වුණාට මම කව­දා­වත් මගේ දරු­වන්ගේ හැකි­යා­ව­ලට  සීමා පන­වන්නෙ නැහැ. ඔවුන්ගේ දස්කම් අව­බෝධ කර­ගෙන ඒවාට ඉඩ දෙනවා. මම නිත­රම කියන්නේ දරු­වන්ට ඉඩ දෙන්න  කිය­ලයි.”

ඔවුන්ගේ සොඳුරු නිව­හනේ සඳ­ළු­ත­ලය අද ‘අහස් ගොවි­පළ’කි. කොවිඩ්  හේතු­වෙන් රටම ලොක්ඩ­වුන් ‍ෙවද්දී පවුලම එකතු වී හදි­සියේ ලැබුණු විවේ­කය ඵල­දායී ලෙස කෘෂි­ක­ර්මා­න්ත­යට යොදා ගත්තේ රට­ටම ආද­ර්ශ­යක් වෙමිනි.

“මම තවම ඉන්නෙ කුලී ගෙද­රක. දේශ­පා­ල­නය මුදල් හොයන මාර්ග­යක් කර­ගෙන නැහැ. මම ඉතාම කැමති සාමාන්‍ය මිනි­හෙක් විදි­හට බිරිය සහ දරුවො එක්ක නිද­හසේ ගෙද­රට වෙලා ඉන්නයි. අද ගොඩක් මිනි­ස්සුන් විවිධ භූමි­කා­වල හිර­වීම නිසා තමන්ට තමන් අම­තක වෙනවා; අත­හැ­රෙ­නවා. නමුත් ඉඳ­හි­ට­වත් තමන් කවුද කියලා සොයා බැලී­මක් කළ යුතුයි. මම විවිධ අභි­යෝ­ග­ව­ලට මුහුණ දීලා තියෙ­නවා. රක්ෂණ සංස්ථාවේ සභා­පති ලෙස මම විශේෂ අව­ධා­නය යොමු­කර තිබෙන්නේ අව­දා­නම් සහිත වෘත්තීන්හි යෙදෙන පුද්ග­ල­යන්ට සමාජ ආර­ක්ෂාව සැල­සීම ගැනයි. අව­දා­නම් සහිත පුද්ග­ල­යන්ට සමාජ සුර­ක්ෂිත භාව­යක් නැති­වීම අපේ රටේ රක්ෂණ ක්‍රමයේ තිබෙන අඩු­පා­ඩු­වක්. මගේ ජීවිත දැක්ම අභි­යෝග බාර­ගැ­නීම සහ සෘණා­ත්මක දේවල් ධනා­ත්මක ලෙස දැකීම සහ ජය­ග්‍ර­හ­ණය කිරී­මයි. ඒ වගේම ජීවි­තයේ සාර්ථ­ක­ත්වය සඳහා අවංක භාවය සහ කැපවී වැඩ කිරීම අත්‍ය­ව­ශ්‍යයි. ”

ජගත් වැල්ල­වත්ත ඒ සියල්ල සිය ජීවි­තය තුළින් සනාථ කළ අයෙකි. ඒ නිසාම ඔහු­ගේත් ඔහුගේ ආද­ර­ණී­ය­ය­න්ගේත් ජීවිත සුන්ද­රය.  

Comments