සවු­ත්ලන්ඩ්ස් බාලි­කාවේ දැරියන් අන­තුරේ | සිළුමිණ

සවු­ත්ලන්ඩ්ස් බාලි­කාවේ දැරියන් අන­තුරේ

මලකඩ කා ඇති යකඩ තරප්පු පෙළ
මලකඩ කා ඇති යකඩ තරප්පු පෙළ

ලෝක උරුම ගාලු කොටුවේ පිහිටි සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලය දකුණු පළාතේ පම­ණක් නොව දිව­යිනේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසල් අතර එකකි.

පසු­ගිය පාලන කාලයේ දි ගාලු කොටුවේ පිහිටි රාජ්‍ය ආය­තන කොටු­වෙන් ඉවත් කිරි­මට තින්දු­වක් ගෙන තිබුණි. රාජ්‍ය ආය­තන ඉවත් කිරි­මෙන් පසු එම ගොඩ­නැ­ගිලි සංචා­රක කට­යුතු සදහා යොදා­ගැ­නි­මට සැල­සුම් කොට තිබුණි. ගාල්ල සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ල­යද කොටු­වෙන් ඉවත් කිරි­මට ද පිඹු­රු­පත් සකස් කරනු ලැබීය. එහෙත් පාසලේ ආදි සිසු­වි­යන්ගේ හා පාසල් ප්‍රජා­වගේ විරෝ­ධතා නිසා එය ලත් තැනම ලොප් විය. සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ ඇති ගොඩ­නැ­ගි­ලි­ව­ලින් වැඩි සංඛ්‍යා­වක් ලන්දේසි යුගයේ දී ලන්දේසි ගෘහ නිර්මා­ණ­ව­ලට අනු­කු­ලව ඉදි කළ ගොඩ­නැ­ගි­ලිය. මේ වන­විට මෙකී ගොඩ­නැ­ගිලි බෙහො­ම­යක් අබ­ලන් තත්ත්ව­යට පත්ව ඇත්තේය. මෙකී ගොඩ­නැ­ගිලි නඩත්තු කිරී­මද එත­රම් ලේසි පහසු කාර්යක් නොවේ. පෞරා­ණික ගොඩ­නැ­ගිලි නිසා පුරා­විද්‍යා නිති­රි­ති­ව­ලට අනු­කු­ලව එම ගොඩ­නැ­ගිලි අලු­ත්වැ­ඩියා කළ යුතුය. ඒ සඳහා විශාල මුද­ලක් දැරී­මට සිදු වේ. පාසල් ප්‍රජා­වට මෙය තනි­වම කළ හැකි කාර්යක් නොවේ. මේ වන­විට ගාල්ල සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ ගොඩ­නැ­ගිලි කිහි­ප­යක් ඉතා අබ­ලන් තත්වයේ පව­තින අතර මෙම තත්වය නිසා පාසලේ ඉගෙ­නුම ලබන සිසු­වි­යන් හා ආචාර්ය මණ්ඩ­ලය ගැටලු රැස­කට මුහුණ දි සිටිති. ඇතැම් ගොඩ­නැ­ගි­ල්වල වහ­ලය සිවි­ලිම් දැඩි ලෙස අබ­ලන්වි ඇති අතර බිත්ති ඉරි­ත­ලා­යැ­මට ලක්ව ඇත. දැඩි ­ලෙස අබ­ලන් තත්වයේ පව­තින මෙකි ගොඩ­නැ­ගිලි වල ඇති පන්ති කාම­ර­වල සිටි අධ්‍යා­පන කට­යු­තු­වල නිර­ත­වන සිසු­වි­යන්ගේ මෙන්ම ගුරු­ව­රුන්ගේ ජිවිත දැඩි අනා­ර­ක්ෂිත තත්ව­යට පත්ව ඇති බව දෙම­ව්පියෝ පව­සති.

දියසෙවළ බැදී ඇති අයුරු

අබ­ලන්ව ඇති එක ගොඩ­නැ­ගි­ල්ලක් වන්නේ බී.ආර් දිසා­නා­යක ගොඩ­නැ­ගි­ල්ලයි. මෙකී ගොඩ­නැ­ගිල්ලේ කෙළ­වර බිත්තියේ ඉහළ කොටසේ සිවි­ලිම හා බිත්තිය අතර ඇත්වී­මක් දක්නට තිබේ. මේ නිසා මෙකි ගොඩ­නැ­ගිල්ලේ පැති බිත්තිය ඉරි­තලා පැල්මක්ද ඇති වි තිබෙන බව මව්පි­යන් පෙන්වා දෙති. මෙම ගොඩ­නැ­ගිල්ල කඩි­න­මින් පිළි­ස­කර කළ යුතුව ඇත. ඒ විත­රක් නොව බී. ආර්. දිසා­නා­යක ගොඩ­නැ­ගිල්ලේ පඩි­පෙළ ද දැඩි ලෙස අබ­ලන් තත්ත්ව­යට පත්ව ඇත. මෙකී පඩි­පෙළ ඉදි­කි­රීම සදහා රුපි­යල් 11,29000ක මුද­ලක් වැය­වන බවට දිස්ත්‍රික් ඉංජි­නේරු (ගොඩ­නැ­ගිල්ල) කාර්යා­ලය මගින් ඇස්ත­මේ­න්තු­වක් ද සක­ස්කොට දී ඇත.

මෙකී දෙම­හල් ගොඩ­නැ­ගිල්ලේ හය හා හත ග්‍රේණියේ පන්ති 14ක සිසු­වි­යන් 600 දෙනෙකු පමණ අධ්‍යා­පන කට­යු­තු­වල නිර­තව සිටි­යහ. එහෙත් දෙම­හල් ගොඩ­නැ­ගිල්ලේ ඇති අනා­ර­ක්ෂිත බව නිසා පසු­ගිය 11 වැනි­දින සිට පස්ව­රුවේ මෙකි පන්ති පැවැ­ත්වී­මට පාසල් බල­ධා­රීන් විසින් කට­යුතු කරනු ලැබීය. පස්වරු 12.30 සිට හය සහ හත ශ්‍රේණි­වල පන්ති පාසලේ වෙනත් ගොඩ­නැ­ගි­ල්ලක පැවැ­ත්වී­මට පාසල් බල­ධා­රින් විසින් කට­යුතු කර ඇත. එකී පන්ති පැවැ­ත්වී­මට ඉඩ­කඩ වෙන්ක­ර­ගැ­නිම හා කාලය කළ­ම­ණා­ක­ර­ණය කර­ගැ­නීම සඳහා 08 හා 09 ග්‍රේණි­වල පන්ති 12.30ට අව­සන් කිරි­මට පිය­ව­ර­ගෙන තිබේ..

අනික් අනා­ර­ක්ෂිත ගොඩ­නැ­ගිල්ල වන්නේ වික්‍ර­ම­සිංහ ගොඩ­නැ­ගි­ල්ලයි. පාසලේ උස­ස්පෙළ වාණිජ්‍ය අංශයේ පන්ති පැවැ­ත්වෙන්නේ මෙකී ගොඩ­නැ­ගිල්ලේ වන අතර එහි සිසු­වි­යන් 200 දෙනෙකු පමණ අධ්‍යා­පන කට­යු­තු­වල නිරත වෙති. මෙකී ගොඩ­නැ­ගිල්ලේ ලෑලි සොල්ද­රය හා කෙළ­වර කණු දිරා­පත්ව ඇත. වහ­ලය පහත්වී තිබේ. ගොඩ­නැ­ගිල්ලේ ජනෙ­ල්පි­යන්ද ඉතා අබ­ලන් තත්ත්වයේ පවති. මෙහි ඉගෙ­නුම ලබන සිසු­වි­යන් අනා­ර­ක්ෂිත තත්ත්ව­යක් යටතේ ඉගෙ­නුම ලබති.

ලෙකෝ ගොඩ­නැ­ගිල්ලේ කොට­සක්ද අබ­ලන් තත්ත්වයේ පවති. එහි එක් කොට­සක පෙර­දිග සංගීත කාම­රය පව­ත්වා­ගෙන යනු ලබන අතර එහි බිත්ති ඉරි­තලා පැල්මක් මතුවී ඇත. ඉදි­රි­පස අනෙක් බිත්තිද ඉරි­තලා ගොස් ඇත. වහ­ලයේ කොට­සක් අබ­ල­න්වීම නිසා වර්ෂා දින­ව­ලදී තෙමී­මට ලක්වී­මෙන් සිවි­ලිමේ කොට­සක් කඩා වැටී තිබේ. මේ නිසා වර්ෂාව පව­තින දින වලදි මෙකී පන්ති කාම­රය හා බිත්ති තෙමී­මට ලක්වීම නිසා එහි ඉගෙ­නුම ලබන සිසු­වි­යක් ගැටලු රැස­කට මුහුණ දී සිටිති.

මෙම තත්ත්වය පිළි­බඳ වග­කි­ව­යුතු බල­ධා­රින් දැනු­වත් කිරි­මට පාසල් බල­ධා­රින් කට­යුතු කරනු ලැබිය. පසු­ගි­යදා රමේෂ් පති­රණ ඇම­ති­ව­රයා පාස­ලට පැමිණි අබ­ලන්ව ඇති ගොඩ­නැ­ගි­ලි­වල තත්ත්වය පිළි­බඳ සොයා බැලු­වේය. කඩ­න­මින් දිසා­නා­යක ගොඩ­නැ­ගිල්ලේ අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා අධ්‍යා­පන අමා­ත්‍යං­ශ­යට කතා කර ලක්ෂ 35ක මුද­ලක් වෙන්ක­ර­දී­මට කට­යුතු කරනු ලැබීය.

මේ පිළි­බද දකුණු පළාත් අධ්‍යා­පන අධ්‍ය­ක්ෂක නිමල් දිසා­නා­ය­ක­ගෙන් අප කළ විම­සු­ම­කදී මෙසේ කීවේය.

පාසලේ ගොඩ­නැ­ගිලි අබ­ල­න්වීම පිළි­බද ගාල්ල කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යත් ගොස් මේ ගැන පරික්ෂා කළා. මේ පිළි­බඳ ව අධ්‍යා­පන අමා­ත්‍යං­ශය දැනු­වත් කිරි­මට කට­යුතු කරලා තියෙ­නවා. අබ­ලන්ව ඇති ඇතැම් ගොඩ­නැ­ගිලි වල අලු­ත්වැ­ඩියා කට­යුතු සදහා ඇස්ත­මේන්තු පවා සකස් කරලා තියෙ­නවා.

ගාල්ල සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය සංග­මයේ සම ලේකම් උපු­ල්ශානි ගුණ­ව­ර්ධන මෙසේ කිවාය.

පාසලේ ගොඩ­නැ­ගිලි කිහි­ප­යක ගැටලු තියෙ­නවා. ඒ ගොඩ­නැ­ගිල අබ­ලන් වෙලා. සිමෙන්ති කුට්ටි පඩි පෙළ­වල් මත එල්ලෙ­නවා. ඇත්ත­ටම දරු­වන් ගැන අනා­ර­ක්ෂිත බවක් තියෙ­නවා. ගොඩ­නැ­ගිල්ලේ ලී සොල්දර දෙක හොඳ­ටම අබ­ලන් වෙලා. පාසලේ පුස්ත­කා­ලය වහලා තියෙන්නේ. පාසලේ වැසි­කිළි වලක් අඩි 03කට වඩා හාරන්න පුරා­වි­ද්‍යා­වෙන් ඉඩ දෙන්නේ නැහැ.

ගාල්ල මහ නග­රා­ධි­පති ප්‍රියන්ත සහ­බන්දු කීවේ මෙවැනි කතා­වකි.

රමේෂ් පති­රණ ඇම­ති­තුමා සහ මම පාස­ලට ගොස් අබ­ලන් වූ ගොඩ­නැ­ගිලි පරික්ෂා කළා. එක් ගොඩ­නැ­ගි­ල්ලක බිත්තිය සහ පඩි පෙළ ඉදි කිරිම සදහා රුපි­යල් ලක්ෂ 35ක් ඇස්ත­මේන්තු කරලා තිබුණා. රමේෂ් පති­රන ඇම­ති­තුමා මැදි­හ­ත්වෙලා අධ්‍යා­පන අමා­ත්‍යං­ශ­යට කතා කරලා එම මුදල ලබා­දී­මට කට­යුතු කළා. අබ­ලන් වී ඇති අනික් ගොඩ­නැ­ගිලි වලද ඇස්ත­මේන්තු සක කිරී­මට ඇම­ති­තුමා උප­දෙස් දුන්නා.

දකුණු පළාත් සහ­කාර පුරා­විද්‍යා කොම­සා­රිස් වසන්ති අල­හ­කොන් මෙසේ පැව­සීය.

වර්ෂා කාලයේ දි පංතිවල වැහි වතුර

සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ අබ­ලන්ව ඇති ගොඩ­නැ­ගි­ලි­වල වහල හා අබ­ලන්ව ඇති බිත්ති කප­රාරු කිරිම සඳහා අවශ්‍ය අනු­මැ­තිය අපි ලබා­දීලා තියෙ­නවා. පුරා­විද්‍යා නීති­රීති වලට අනුව පෞරා­ණික බව ආරක්ෂා කර­මින් අලු­ත්වැ­ඩියා කට­යුතු කළ යුතු වෙනවා. අපේ දෙපා­ර්ත­මේ­න්තුව නිල­ධා­රි­යකු විසින් ඒ ගැන අධි­ක්ෂ­ණය කර­නවා. වැසි­කි­ළි­ව­ල­වල් අපි ලබා දි නිර්දේශ අනුව හෑරි­මට අප­හසු නම් දරු­වන්ගේ අව­ශ්‍ය­තාව ගැන කියලා අපිට දැනුම් දෙන්න කියලා දන්වලා තියෙ­නවා. වැසි­කි­ළි­ව­ල­වල් අඩි තුනට හාරන්න ඕන කියලා අපි කියලා නැහැ. අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා අවශ්‍ය අනු­මැ­තිය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මගින් ලබා දිලා තියෙ­නවා.

ගාල්ල සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ පාසල් සංව­ර්ධන සමි­තියේ ලේකම් ළහිරු අර­ඹ­වෙල මෙසේ කීවේය.

පාසලේ තියෙන ගොඩ­නැ­ගි­ලි­ව­ලින් වැඩි සංඛ්‍යා­වක් පෞරා­ණික ගොඩ­නැ­ගිලි. ගොඩක් ගොඩ­නැ­ගිලි අබ­ලන් වෙලා. මේ ගොඩ­නැ­ගිල්ල අනා­ර­ක්ෂිත නිසා තමයි 07 හා 08 ශ්‍රේණි­වල පන්ති පස්ව­රුවේ පැවැ­ත්වී­මට තිර­ණය කළේ පාසලේ. දරු­වන්ගේ ආර­ක්ෂාව ගැන හිතලා තමයි විදු­හ­ල්ප­ති­තු­මිය ඇතුළු පාසල් බල­ධා­රින් ඒ තින්දුව ගත්තේ. ගාලු උරු­මය පද­නමේ සභා­පති ගාල්ල නගර සභාවේ නාග­රික මන්ත්‍රි පරා­ක්‍රම දහ­නා­ය­කගේ අද­හස මෙසේය.

පුරා­විද්‍යා නිති­රිති අනුව අදාළ ගොඩ­නැ­ගිලි සංර­ක්ෂ­ණය කර­ගැ­නිමේ වග­කීම තියෙන්නේ අදාළ ආය­ත­න­ව­ලට. සංර­ක්ෂණ සැලැ­ස්මක් හදලා දීලා අවශ්‍ය මග පෙන්වීම කට­යුතු අපිට කරන්න පුළු­වන්. සවු­ත්ලන්ඩ්ස් විද්‍යා­ලයේ තියෙන්නේ පැරණි ගොඩ­නැ­ගිලි අලුත් වැඩියා කිරිම. එය අධ්‍යා­පන දේපා­ර්ත­මේ­න්තුව මගින් කළ යුතුයි. සවු­ත්ල­න්ඩස් විද්‍යා­ලය වගේ පාස­ලක පාසල් සංව­ර්ධන සමි­ති­යට හොඳ මුල්‍ය ශක්ති­යක් ද තියෙ­න­වානේ .

Comments