රටම හඬවා ගොඩ­නැ­ගි­ල්ල­කට බිලි වූ නුවර දරු පවුල | සිළුමිණ

රටම හඬවා ගොඩ­නැ­ගි­ල්ල­කට බිලි වූ නුවර දරු පවුල

හ­සක් පැතුම් පොදි බැඳ විවාහ දිවි­යට එළැඹි චමිල හා අච­ලාගේ එකම අපේ­ක්ෂාව වූයේ ඉක්ම­නින්ම තෙවැ­න්නෙකු පවුල වෙත එක්කර ගැනී­මය. ආද­රය දෝරේ ගල­මින් පැවැති එම යුව­ළගේ අපේ­ක්ෂා­වන් ඉටු වන්නට වැඩි කාල­යක් නොගි­යේය. අඟ­හිඟකම් ගේ මාන­යට හෝ ගෙන්වා නොගැ­නී­මට තරම් ආර්ථික ශක්ති­යක් ව්‍යාපා­රි­ක­යකු ලෙස ගොඩ­න­ගා­ගෙන සිටි චමිල නීති­ඥ­ව­රි­යක් වූ අචලා රැකි­යා­වක නිරත වන­වා­ටද අක­මැති වූයේ ඇගේ ආද­රය හා දැව­ටෙ­මින් සෑම මොහො­ත­කම ඇය හා කල් ගෙව­න්නට ලොබ බැඳි නිසාය. චමිල හා අචලා ගොඩ­නැගූ ආදර මන්දි­රය සුන්දර කර­න්නට එන දූ සිඟිත්ත පිළි­ග­න්නට දෙදෙ­නාම බලා සිටියේ ඇඟිලි ගනි­මින්ය. කුසට සත්ම­සක් වෙත්දී ඡායා­රූප ටිකක් ගන්නට දෙදෙ­නාම කල්පනා කළහ. මංගල ඡායා­රූප ගත් තම හිත­ව­තා­ටම කතා කළ චමිල මහ­නු­වර සුන්දර ස්ථාන කිහි­ප­ය­කට ගොස් ඡායා­රූප පෙළක් ගත්තේ උප­දි­න්නට සිටින දූ සිඟි­ත්තට කවදා හෝ ඒවා පෙන්ව­න්නට ඕනෑ යැයි කිය­මිනි.....

 

දැන් සියල්ල අව­සා­නය. චමිල, අචලා හා ඔවුන්ගේ දිය­ණිය ඔනෙ­ලාගේ දිවි ගමන නතර වී ඇත.ඒ කිසි­වෙ­කුත් අපේක්ෂා නොකළ මොහො­ත­කය.මහ­නු­ව­රට මහ වැසි ඇද වැටුණු පසු­ගිය 19 වැනි රාත්‍රියේ චමිල හා අචලා නින්දට ගියේ තමන්ගේ නිදන කාම­ර­යට ඉහ­ළින් තිබූ බූවැ­ලි­කඩ සංඝ­මිත්තා මාවතේ පිහිටි පස් මහල් ප්‍රාසා­දය හිස මතට කඩා වැටේ­ යැයි සිහි­න­ය­කදු නොසි­තාය .කඩා වැටුණු ගොඩ­නැ­ගිල්ලේ කැබලි වලට යටවී චමිල,අචලා කැඳල්ල කුලු­ඳුලේ උපන් දිය­ණි­යද සමඟ සුනු විසුනු වී ගියේ මොහො­ත­කිනි. චමිල ප්‍රසාද් උපන්නේ 1985 වස­රේය. 1987 ජූලි 31 දින අචලා ඒක­නා­යක උප­න්නාය.ඔවුන්ගේ කැදැ­ල්ලට එක්වූ ඔනෙලා උපන්නේ මෙම වසරේ අගෝස්තු මස 01 දාය. ඔවුන් සියලු දෙනාගේ ජීවන ගමන නතර වූයේ පසු­ගිය 20 වැනි දින අලු­යම එකම මොහො­ත­කය. ඒ වන­විට ඔනෙලා මෙලොව එළිය දැක ගත­කර තිබුණේ හරි­ය­ටම දින 49 කි.

"චමිල හා අචලා ආදර සම්බ­න්ධ­ය­කින් විවාහ වුණේ. පහු­ගිය අවු­රුද්දේ නොවැ­ම්බර් මාසේ තමයි ඒ දෙන්නගේ වෙඩින් එක තිබ්බේ. මම තමයි එයා­ලගේ වෙඩින් එකේ ෆොටෝ ගත්තේ. එයා­ලගේ දුව ඇත්තට ම හනි­මූන් බේබි කෙනෙක්. චමිල අම්පාරේ උපන් කෙනෙක්. අචලා බණ්ඩා­ර­වෙල. චමිල හොඳ ව්‍යාපා­රි­ක­යෙක්. කඩා වැටුණු ගොඩ­නැ­ගි­ල්ලට පහ­ළින් එයා හෝට­ල­යක් පව­ත්වා­ගෙන ගියා. විවා­හ­යෙන් පස්සේ එයාලා පදිං­චිව සිටි­යෙත් හෝට­ල­යේම ඉහළ මහලේ කාම­ර­යක. දුව ලැබෙන්න ඉද්දී දෙන්නා ෆොටෝ ෂූට් එකක් කළා. ඒකේ ඡායා­රූප ගත්තෙත් මමයි. දරුවා උප­න්නට පස්සේ දෙන්න­ගෙම ලෝකය වුණේ ඔනෙලා. මේ සුන්දර ලෝකය අද සුනු­වි­සුනු වෙලා. මහා විනා­ශ­යක් කරපු අය අද නිදැල්ලේ. නීතිය හරි­යට ක්‍රියා­ත්මක වෙන­වද කියන සැකය අපිට තියෙ­නවා. මෙච්චර ලොකු ගොඩ­නැ­ගි­ල්ලක් කඩා වැටු­ණම ඒකේ මොන­ත­රම් බඩු තියෙන්න ඕනද? මෙයලා සිද්ධිය කලින් දැන­ගෙන ගෙදර තියෙන බඩු අරන් ගිහින් කියන සැකය අපිට තියෙ­නවා.ගොඩ­නැ­ගිල්ල කඩා වැටෙන්න මොහො­ත­කට කලින් ඉවත් වුණා කියන එක රංග­න­යක්. සී. සී. ටී. වී දර්ශන කිසි­වක් එළි­යට එන්නේ නැහැ. නගර සභාව,පොලී­සිය සිද්ධිය යට ගහ­නවා කියන එක තමයි අපේ හැඟීම. මේක අන­ව­සර ඉදි­කි­රී­මක්ද නැද්ද කියලා කියන්න නගර සභා­වට සිද්ධිය වෙලා දින හයක් යන­තු­රුත් බැරි­වෙලා." මිය­ගිය චමි­ලගේ මිතු­රෙකු වන ධනුෂ්ක අර­වින්ද පැව­සු­වේය.

පස් මහල් ගොඩ­නැ­ගිල්ල කඩා වැටෙත්දී චමිල හා අචලා දරුවා සමඟ නිදා­සිටි කාම­ර­යට යාබද කාම­රයේ සිටියේ අච­ලාගේ මව වන ජයන්ති ඒකනා­යක (60) මහ­ත්මි­යයි. ඇය එහි සිට ඇත්තේ ඥාති දිය­ණි­යක ද සම­ඟනි. තම දිය­ණි­යත්, බෑනාත් දරු­වාත් නිදා සිටි යාබද කාම­රය කොන්ක්‍රීට් තට්ටු කඩා­වැටී කුඩු පට්ටම් වී යත්දී ඔවුන්ගේ ජීවිත බේරී තිබුණේ අනූ­න­ව­යෙනි. එදින සිද්ධිය ජයන්ති මෙසේ විස්තර කළාය." දරුවා ලැබෙන්න ඉද්දී මම දුවට අපේ ගෙදර එන්න කිව්වා. මහ­ත්තයා බිස්නස් කරන නිසා දෙන්න­ටම එන්න බැරි නිසා දුවත් එන්න බෑ කිව්වා. ඒ නිසා මම උද­ව්වට මෙයාලා ළඟට අවා.එදා දව­සම වැස්සා.දුවයි පුතයි දරු­වයි නිදා ගන්න කාමරේ තියෙන්නේ අපේ කාම­රේට අල්ලලා. පුංචි දරුවා රෑට හදි­ස්සියේ හරි ඇඬු­වොත් මට ඇහෙ­නවා. එත­කොට මම දුවලා ඒ කාම­රේට යනවා. එදා උදේ පාන්දර ලොකු ශබ්ද­යක් එක්ක පොළව දෙද­රලා වගේ ගියා. ඇඟට මොකක්දෝ කඩා­ගෙන වැටුණා වගේ දැනුණා. මගේ ඇඳට උඩින් ගොඩ­නැ­ගිලි කොටස් මූණ ළඟ­ටම ඇවිත් තිබුණා. මොනවා වෙලාද කියලා හිතා­ගන්න බැරි­වුණා. අවට අත­ගා­න­කොට ෆෝන් එක අහු­වුණා. මම 119 අංක­යට කෝල් කරලා කර­ද­ර­යක් කියලා කිව්වා. ටික වෙලා­ව­කින් පොලී­සිය ආවා. හමු­දාවේ කට්ටි­යත් ආවා. ගිනි නිවන එකේ අයත් ආවා. ඒ අය ලණු දාලා මාවයි කාමරේ හිටිය අනිත් දුවයි උඩට ගත්තා. මගේ දරුවෝ හිටපු කාමරේ ඔක්කොම යට­වෙලා තිබුණේ. මම හිතුවා ඇතුළේ ඒ අය හිර­වෙලා ඇති ඉක්ම­නට ගත්තොත් ජීවිත බේර­ගන්න පුළු­වන් වෙයි කියලා. ඒත් එයලා අපිව දාලා ගියා."

සිද්ධිය සැල­වී­මත් සමඟ මහ­නු­වර පොලී­සිය, යුද හමු­දාව, නාග­රික ගිනි නිවීම් ඒක­කය හා ශ්‍රී දළදා මාලි­ගා­වට අනු­යුක්ත ගුවන් හමුදා ගිනි නිවීම් ඒක­කයේ නිල­ධා­රීන් ක්ෂණි­කව එම ස්ථාන­යට ළඟාවී තිබිණි. කඩා වැටුණු ගොඩ­නැ­ගිල්ලේ සුන්බුන් ඉව­ත්කර යටවී සිටින අය බේරා ගැනීම අති දුෂ්කර කාර්ය­යක් විය. සුන්බුන් අතර සිරවී සිටි බිලි­ඳි­යගේ සිරුර සිද්ධි­යෙන් පැය තුන­කට පසු සුන්බුන් අත­රින් පිට­තට ගැනී­මට හැකි­විය. එකම මොහො­තක එකම ස්ථාන­ය­කදී අව­සන් සුසුම් හෙළූ චමිල හා අච­ලාගේ නිසල සිරුරු කොන්ක්‍රීට් කණු හා බිත්ති අත­රින් මතුකර ගැනී­මට පැය නව­යක පමණ මෙහෙ­යු­මක් දියත් කිරී­මට නිල­ධා­රීන්ට සිදු විය.

මෙම ගොඩ­නැ­ගිල්ල කඩා වැටී­මත් සමඟ එහි ප්‍රමි­තිය සම්බ­න්ධව දැඩි කතා­බ­හක් ඇති­විය.සැල­සු­මට පිටින් ගොස් එයට අම­තර තට්ටු­වක් එක්කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩු­කාර කාර්යා­ලයේ පැවැති රැස්වී­ම­කදී අනා­ව­ර­ණය කළේ මහ­නු­වර නගර සභාවේ ප්‍රධාන ඉංජි­නේරු පාලිත අබේ­කෝන් ය.

ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නයේ මහ­නු­වර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝග­හ­පි­ටිය මේ සම්බ­න්ධව අද­හස් දක්ව­මින් මෙසේ පැව­සු­වේය. "මේ ගොඩ­නැ­ගිල්ල හදලා තියෙන්නේ නිම්නා­කාර තැනක. ජල පහ­රක් ගොඩ­නැ­ගි­ල්ලට පහ­ළින් ගම­න්ගෙන තිබෙ­නවා. මේ නිසා එහි පාදම හැරී­ම­කට ලක්ව තිබෙ­නවා. භූමියේ ස්වභා­ව­යට හා තත්ත්ව­යට ගැළ­පෙන ලෙස ඉදි කිරීම් සිදු­කර නැති බව පැහැ­දි­ලිව පේන්න තිබෙ­නවා. එහි බර රඳවා තබා ගැනී­මට කොන්ක්‍රීට් බීම් හා කොලම් වලට හැකි­යා­වක් නොතිබූ නිසා ගොඩ­නැ­ගිල්ල කඩා වැටී තිබෙ­නවා. මේක ස්වභා­වික නාය යෑමක් නිසා සිදු­වූ­වක් නොවෙයි. ඉදි­කි­රීමේ ප්‍රමි­තියේ ගැට­ලු­වක් නිසා ඇති­වූ­වක් බව කියන්න පැහැ­දිලි සාක්ෂි තිබෙ­නවා. ගොඩ­නැ­ගිල්ල කඩා වැටී­මට පෙර පූර්ව ලක්ෂණ මතු­වෙන්න ඇති. ඒත් මෙවැනි ස්වභා­වයේ ගිලා බැසී­ම­කදී ක්ෂණි­කව තමයි ලක්ෂණ මතු­වන්නේ. මේ සිදු­වී­මත් එක්ක මේ භූමියේ යම් අස්ථා­වර භාව­යක් ඇති වෙනවා. ගිලා බැසීම සිදුවූ ගොඩ­නැ­ගි­ල්ලට යාබද තවත් ගොඩ­නැ­ගිලි හත­රක් අව­දා­නම් ලෙස අපි හඳුනා ගත්තා. ඔවුන් නිවාසවලින් ඉවත් කිරී­මට පිය­වර ගෙන තිබෙ­නවා."

අව­දා­නම් ස්ථාන­යක ප්‍රමි­ති­යෙන් තොර ඉදි කිරී­මක් කරන තෙක් මහ­නු­වර මහ නගර සභාව උඩ­බ­ලා­ගෙන සිටි­යේද යන්න සම්බ­න්ධව ජන­තාව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. මේ පිළි­බඳ අප කළ කරුණු විම­සී­ම­කදී මහ­නු­වර නාග­රික කොම­සා­රිස් චන්දන තෙන්න­කෝන් දැක්වූ අද­හස් මෙසේය." කඩා වැටුණු පස්ම­හල් ගොඩ­නැ­ගිල්ල මහ­නු­වර මහ නගර සභාව මගින් අනු­මත කළ සැල­සු­මට අනුව ඉදි­කර තිබෙන්නේ ද යන්න සම්බ­න්ධව සොයා බැලී­මට පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබෙ­නවා. නගර සභාවේ නියෝජ්‍ය කොම­සා­රිස්, ඉංජි­නේරු අංශය, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නය ඒකා­බ­ද්ධව මෙම පරී­ක්ෂ­ණය සිදු­කර වාර්තා­වක් සකස් කිරී­මට නිය­මි­තයි. මෙම ගොඩ­නැ­ගිල්ලේ ඉදි කිරීම් 2007 වසරේ ආර­ම්භ­ කර තිබෙ­නවා. ගොඩ­නැ­ගි­ල්ලට යට­වීම නිසා නිවැ­සි­යන් සතුව අනු­මත කළ සැල­සුම් මේවන විට නැහැ. නගර සභාවේ ඇති එම සැල­සුම් අපි පරීක්ෂා කර­නවා.

මුලින් අනු­මත කළ තට්ටු ප්‍රමා­ණ­යට පසුව තට්ටු කිහි­ප­යක් මේ අය එකතු කරලා තියෙ­නවා. ඒ සඳහා 2015 දී පමණ අපිට අලුත් සැල­සු­මක් ඉදි­රි­පත් කරලා තියෙ­නවා. 2011 වස­රේදී මේ මුළු ප්‍රදේ­ශ­යම නාය යෑමට හැකි ප්‍රදේ­ශ­යක් ලෙසට හඳුනා ගත්තා. 2011 වස­රෙන් පසු ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නයේ නිර්දේශ නොමැ­තිව ගොඩ­නැ­ගිලි ඉදි­ක­රන්න අපි ඉඩ දෙන්නේ නැහැ. නගර සභාව අනු­මත කරන සැල­සු­මට පිටින් ගිහින් ඇතැම් අය ඉදි කිරීම් කර­නවා. මේවා සියල්ල සොයා බලන්න අපිට ප්‍රමා­ණ­වත් සේව­ක­යින් නොමැති ගැට­ලුව තිබෙ­නවා. මම හිතන්නේ නගර සීමාවේ ඉදි­කි­රීම්වලට අදාළ නීති රෙගු­ලාසි යම් වෙන­ස්වීම් වලට ලක්විය යුතු බවයි.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අතුල සේනා­රත්න සිද්ධිය වූ ස්ථානය නිරී­ක්ෂ­ණය කිරී­මට ගියේය. ඉන් අන­තු­රුව මහා­චා­ර්ය­ව­රයා දැක්වූයේ මෙවන් අද­හ­සකි.

‘මහ­නු­වර බෑවුම් සහිත ස්ථාන විශාල ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. මේවාහි ගොඩ­නැ­ගිලි රැසක් ඉදි­කර තිබෙන බව පේන්වා.මේ කඩා වැටුණු ගොඩ­නැ­ගිල්ල එවැනි අව­දා­නම් සහිත ස්ථාන­යක තිබෙන එක් ගොඩ­නැ­ගි­ල්ලක් විත­රයි. මේ වගේ ඒවා තව ගොඩක් තියෙ­නවා. මේ ගොඩ­නැ­ගිල්ල පිහි­ටලා තිබෙන්නේ බූවැ­ලි­කඩ. මෙහි පොළොවේ තියෙන්නේ බූවැල්ල. මේක හදලා තියෙන්නේ ඒ බූවැල්ල මතයි. පොළව යට පාෂා­ණය තෙක් හාරලා ගොඩ­නැ­ගිල්ලේ පාදම කම්බි වලින් ඇමි­ණුවා නම් මේ වගේ ප්‍රශ්න­යක් වෙන්නේ නැහැ. අවු­රුදු 10 කට කලින් මහ­නු­වර සිදු­කර තිබෙන ඉදි කිරීම්වලට ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නයේ නිර්දේ­ශය අර­ගෙන නැහැ."

සිද්ධිය කල්තියා දැන කිසි­ව­කුට හෝ නොදන්වා නිවසේ ඇති කළ බල්ලන් පවා රැගෙන පලා ගිය බවට නිවසේ හිමි­කරු වන හිටපු බස්නා­යක නිලමේ­ව­ර­යකු වන අනුර ලෙව්කේට චෝදනා එල්ල වෙමින් තිබේ. නිවෙස කඩා වැටී­මෙන් පසු අස­ල්වැසි හිත­ව­ත­කුගේ නිවසේ තාව­කා­ලි­කව දරු දෙදෙනා හා බිරිඳ සමඟ ඔහු නවා­තැන් ගෙන සිටි­යේය. තමන් මුහුණ දුන් අත්දැ­කීම වචනවලට ඔහු මෙසේ පෙරළුවේය. "මගේ දුව මේ පාර උසස් පෙළ විභා­ගය ලිය­නවා. ඒ නිසා එයා රෑ වෙන­කල් පාඩම් කර­නවා. අපිත් ගොඩක් වෙලා­වට දුව නිදා­ග­න්න­කල් ඇහැ­රලා ඉන්නේ. එදා අපි ටීවී බලලා නිදා­ගන්න ගියා. එත­කොට වෙලාව පාන්දර 1.30 ට විතර ඇති. පාන්දර එක­පා­රට ලොකු සද්ද­යක් ආවා. කොහෙන්ද කියලා හිතා­ගන්න බැරි­වූණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර සම­ර­සිංහ මහ­ත්ත­යයි නෝනයි ටෝච් ගහලා අපට කතා­ක­රලා කිව්වා පහළ කොන්ක්‍රිට් කණු කැඩෙ­නවා ඉක්ම­නට පැන­ගන්න කියලා. ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැනුණා. ටයිල් කැඩි කැඩී ඉස්සුණා. පුතා එත­කො­ටම කෑ ගැහුවා, අප්පච්චි එළි­යට එන්න කියලා. මම ෂර්ට් එකක් හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළි­යට පැන ගත්තා. මම දුව­ගෙන යද්දි නෝනයි දුවයි පුතායි පාරේ. අපි වාහ­නෙන් යන­කො­ටම වගේ ගේ කඩා­ගෙන ගියා. මේක මම පදිංචි වෙලා ඉන්න ගෙදර. නිසි ප්‍රමි­ති­යට හදලා තියෙන්නේ. අපි මේක කල්තියා දැන­ගෙන කාට­වත් නොදන්වා පැන­ගත්තා කියලා අභූත චෝදනා කර­නවා. බල්ලො අරන් ආවා කිය­නවා. බල්ලො දෙන්නා හොයලා ගෙනත් දුන්නේ හමු­දා­වෙන්. ඒවා අමූ­ලික බොරු. මේක අනු­මත සැල­සු­ම­කට හදපු එකක්."

මහ­නු­වර අව­දා­නම් ස්ථානවල ඇති ගොඩ­නැ­ගිලි පිළි­බ­ඳව සොයා බලා වහාම වාර්තා­වක් ලබා­දෙන ලෙස දැනුම් දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතීඥ ලලිත් යූ ගමගේ දස පුද්ගල කමි­ටු­වක් පත්කර තිබේ. "මේක ඉතාම අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්. මේ ගොඩ­නැ­ගිල්ල අන­ව­සර ඉදි­කි­රි­මක්ද නැත්නම් සැල­සු­මට පිටින් ගොස් ඉදි­ක­රන ලද්දක්ද කියලා සොයා බල­නවා. කොහොම වුණත් මහ­නු­වර නගර සීමාවේ මේ වගේ අව­දා­නම් ස්ථානවල නිසි ප්‍රමි­ති­යට හදපු නැති ගොඩ­නැ­ගිලි රැසක් තිබෙ­නවා. නග­රයේ ඉඳලා හන්තාන ප්‍රදේ­ශය බැලු­වොත් පේනවා කන්ද මුදු­නට යන­කල් හදලා තියෙන ගොඩ­නැ­ගිලි. සම­හර ඒවා ඇත්ත­ටම තියෙන්නේ එල්ලිලා වගේ. එක් අයෙක් වැරැ­ද්දක් කළොත් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ තවත් පිරි­ස­ක­ටයි. මේ අව­දා­නම් සහිත ස්ථාන­වල ගොඩ­නැ­ගිලි හදන්න අනු­මැ­තීන් ගණ­නා­වක් අව­ශ්‍යයි. සම­හර තැන්වල හදලා තියෙන ගොඩ­නැ­ගිලි දැක්කම කොහො­මද මේ ස්ථාන වල ගොඩ­නැ­ගිලි හදන්න අනු­මැ­තිය දුන්නේ කියලා හිතා ගන්න බැහැ.ඒත් මේවා කඩා ඉවත් කරන්න තාමත් හැකි­යා­වක් ලැබී නැහැ. මේ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී දැඩිව නීතිය ක්‍රියා­ත්මක කර­නවා. මොකක් හරි ඛේද­වා­ච­ක­යක් වුණාට පස්සේ ටික කාල­ය­කට නීති තදින් ක්‍රියා­ත්මක කරලා ඊට පස්සේ සියල්ල අම­තක කරලා වැඩ­ක­රන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මේකට නැව­තීමේ තිත තබන්න ඕනෑ. "

මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් මහ­නු­වර පොලී­සිය විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආර­ම්භ­ කර තිබේ. ගොඩ­නැ­ගිල්ලේ හිමි­කරු අදාළ ඉදි­කි­රිම්වලට අව­ශ්‍යය අනු­මැ­තීන් ලබා­ගෙන තිබෙ­න්නේද සැල­සුම් වලට පිටින් ඉදි කිරීම් සිදු­කර තිබෙ­න්නේද යන්න පිළි­බ­ඳව පරී­ක්ෂණ පව­ත්වන මහ­නු­වර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී සුදත් මාසිංහ පව­සයි. මෙම කරුණු තහ­වුරු කර­ගැ­නී­මෙන් පසු හිමි­කරු නීති­යට පිටින් කට­යුතු කර තිබෙන බව අනා­ව­ර­ණය වුව­හොත් ඔහුට එරෙ­හිව අප­රාධ නීතිය යටතේ අධි­ක­ර­ණයේ නඩු පව­රන බව ද ඔහු කීය.

"අව­දා­නම් මට්ට­මක තිබෙන ගොඩ­නැ­ගි­ල්ලක් ස්ථාවර කරන්න ක්‍රම තියෙ­නවා. යම් කෙනෙ­කුට තමන්ගේ ගොඩ­නැ­ගිල්ල සම්බ­න්ධව ප්‍රශ්න­යක් තියෙ­නවා නම් ඉදි­කි­රීම් ඉංජි­නේ­රු­ව­ර­යකු හමුවී අද­හස් ලබා­ගත හැකියි.අපි මුලින්ම සැල­සුම් කරලා ස්ථාවර ලෙස ගොඩ­නැ­ගි­ල්ලක් හද­නවා වගේ නෙවෙයි අස්ථා­වර ගොඩ­නැ­ගි­ල්ලක් යළි ස්ථාවර කිරීම. ඒකට ලොකු මුද­ලක් වැය­වෙ­නවා." මධ්‍යම පළාත් ඉංජි­නේරු සේවා දෙපා­ර්තු­මේ­න්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැල­සුම්) ඩබ්ලිව්.එම්.ඒ වික්‍ර­ම­සිංහ පව­සයි.

 

ඡායා­රූප - රුවන් මීග­ම්මන සහ

ධනුෂ්ක අර­වින්ද

Comments