නිවාස සිහි­නයේ ඛේද­වා­ච­කය අබි­යස හඬා වැටෙන මංග­ල­ගම මිනිස්සු | සිළුමිණ

නිවාස සිහි­නයේ ඛේද­වා­ච­කය අබි­යස හඬා වැටෙන මංග­ල­ගම මිනිස්සු

වතුර ගෙන යෑමට පැමිණි පිරිස
වතුර ගෙන යෑමට පැමිණි පිරිස

ම­න්ගේම කියා හිසට සෙව­ණක් තිබීම සිත­කට අපූරු සැන­සී­මකි. මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්ක­යට අයත් සිංහල ගම්මා­න­යක් වන මංග­ල­ගම 25 කණුව ගම්මා­නයේ ඉදි කිරී­මට නිය­මිත නිවාස 50කින් යුත් අදි­යර 1 හා 2 ආදර්ශ ගම්මා­න­වල ඉදි කිරීම් කට­යුතු ආරම්භ කොට එහි යටි­තල පහ­සු­කම් සපයා දෙන්නැයි එහි නිවාස හිමියෝ ඉල්ලා සිටිති.

 

2016 වර්ෂයේ දී පමණ ඉදි කිරීම් ආරම්භ කරන ලද අදි­යර 1 නිවාස 25 ගම්මා­නයේ දැනට නිවාස 15ක් පමණ සිය ශ්‍රමය හා මූල්‍ය දාය­ක­ත්ව­යෙන් වැඩ අව­සන් කර ඇති අතර අවු­රුදු 10ක් පමණ දැනට ස්ථිර වශ­යෙන් පදිංචි වී සිටිති. මෙහි බොහෝ නිවා­ස­වල වහල ගසා ඇති අතර සම­හර වහල මට්ටම දක්වා බිත්ති බැඳ තිබේ. නමුත් දෙවැනි අදි­යරේ නිවා­ස­වල වහල ගසා නැති අතර විවිධ මට්ට­ම්ව­ලින් ඉදි කිරීම් කොට නවතා දමා වල් බිහි­වෙ­මින් තිබේ.

මෙහි නිවැ­සි­යන්ට නිවාස අධි­කා­රි­යෙන් ලැබිය යුතු ණය මුදල් සම්පූ­ර්ණ­යෙන් ලැබී නැති නිසා ඉදි කිරීම් කට­යුතු අව­සන් කිරී­මට නොහැ­කිව සිටී. ඒ ප්‍රදේ­ශයේ මාර්ග පද්ධති ගම­ග­ම­න­යට සුදුසු පරිදි සකස් කර දී නොමැති නිසා වැහි කාල­යට එම මාර්ග වගුරු බිම් බවට පත් වේ. පානීය ජල ප්‍රශ්නය ද ඔවුහු මුහුණ දෙන තවත් ප්‍රබල ගැට­ලු­වකි. අලි වැටක් ඉදි කර ඇතත් එය අත­ර­මැද නතර කර දමා ඇති තිබේ. එය ඉදි කර ඇත්තේ ද ප්‍රමි­ති­ය­කින් තොරව හා ගම පිටට දමා වැරදි ආකා­ර­යට බව ද ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

ප්‍රදේ­ශ­වා­සි­යකු වන ඩී.එම්. දිසා­නා­යක ඔවුන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය ගැන මෙසේ කීවේය.

“මේ ගම්මා­න­යට ඇවිත් අවු­රුදු 2ක් විතර වෙනවා. ගේ හදලා ඉවර කර­ගන්න බැරි වුණා. දෙනවා කියු ණය මුදල සම්පූ­ර්ණ­යෙන් දුන්නේ නැහැ. මේ වන විටත් අපි ලක්ෂ දෙක හමා­රක් විතර වැය කරලා තියෙ­නවා. ඉතිරි වැඩ කර­ග­න්නත් තව රුපි­යල් ලක්ෂ 3ක් 4ක් අවශ්‍ය වෙනවා. කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නේ. වගා­වක් කරන්න බැහැ අලි සහ හරක් නිසා. හැම වගා­වක්ම විනාශ කර­නවා. අලි වැටක් ඉදි කරන්න ශ්‍රම දාය­ක­ත්වය දුන්නා. නමුත් දැන් ඒකත් අත­ර­මග නතර කරලා තියෙන්නෙ”

වැඩි­හි­ටි­යන් පම­ණක් නොව ගමේ දරු­වන් ද මුහුණ දෙ ප්‍රශ්න රැසකි. මේ, මවක වන තනූජා අමාලි ගේ කතා­වයි.

“ඉන්න තැනක් නැති නිසා මේ ගේ යාන්තම් හදා­ගෙන පදිංචි වුණා. නිවාස අධි­කා­රි­යෙන් දෙනවා කිවු ණය මුදල් ඔක්කොම දුන්නේ නැහැ. අපේ ළම­යින් ඉස්කෝලේ යනවා. ලොකු දුව යන්නේ උහන මහා විද්‍යා­ල­යට. මෙහේ ඉදලා උදේ 6වත් පාරට යන්න ඕන. තනි­වම යවන්න බෑ මහ පාරට කිලෝ මීට­ර­යක් විතර දුර පයින් යන්න ඕන. පාරේ අලි ඉන්නවා. පාර දෙපැ­ත්තම කැලේ. පාර ළඟට අලි ආවත් පේන්නේ නැහැ. උදේ 7,8 වෙන­කම් පාරේ අලි ඉන්නවා. සම­හර දව­ස්වල අලි වෙඩි දාලා තමයි පන්න ගන්නේ. සෞඛ්‍ය සාය­න­ව­ල­ටත් අපි මංග­ල­ග­මට ම යන්න ඕන. බබාලා ලැබෙන්න ඉන්න අම්මලා සහ කුඩා ළම­යින් ගොඩක් ඉන්නවා. සාය­න­ව­ලට බර කිරන්න අපි යන්න ඕන. ගමට එන්නේ නැහැ.” දෙදරු මවක වන නිලූකා සුභා­ෂිණී මෙසේ කීවාය. “පොඩි දරුවො දෙන්නෙක් මට ඉන්නෙ. සවස 6 වෙද්දි ගේ ඇතු­ළට වෙලා දොර­වල් වහ­ගෙන ඉන්නවා. මහ­ත්තයා එන්නේ රෑ 8ට විතර. ඒ වෙන­කො­ටත් ගම පුරා අලි ඉන්නවා. අලි වැට ගහලා තියෙන්නේ ගමට පිටින්. ඒ නිසා අලි ගම ඇතුළේ තමයි ඉන්නේ. අපිට පානීය ජල ප්‍රශ්නය තමයි ඉතා උග්‍ර විදි­යට බල­පාලා තියෙන්නේ. ප්‍රාදේ­ශීය සභා­වෙන් සති දෙකෙන් දෙකට මේ බූලි­යට වතුර ගෙනත් දානවා. ඒක ප්‍රමා­ණ­වත් නැහැ. අනෙක් දව­ස්ව­ලට කල අරන් තැනින් තැන ගිහින් තමයි වතුර ගේන්නේ. වෙන ඉන්න තැනක් ගෙයක් දොරක් නැති නිසා තමයි මේ දුක් විද­ගෙන හරි මෙහේ පදිංචි වෙලා ඉන්නේ.”

“මම මේ ගම්මා­න­යට ඇවිත් අවු­රුදු 2ක් වෙනවා. බොහෝ අය මේ ගෙවල් හදා­ගෙන එන්න අක­මැ­තියි. ඒ වතුර හා අලි ප්‍රශ්නය නිසයි. බොන්න වතුර ටිකක් සති දෙක­කට වරක් ගෙනත් දුන්නට බව­ල­ත­කුට එළි­ප­හ­ළි­යට යන්න තර­ම්වත් වතුර ටිකක් නැහැ. වතුර ටිකක් නා ගන්න හැතැප්ම දෙක තුනක් යන්න ඕන. වතුර නැතුව ගෙවල් හද­න්නත් බැහැ. මේ වතුර ප්‍රශ්නය විස­ඳු­ණොත් මිනිස්සු ගෙවල් හදයි. අපි ඉල්ලන්නේ ඉතිරි ණය වාරික දීල යටි­තල පහ­සු­ක­මුත් ලබා දීලා මිනිස්සු පදිංචි කර­වන්න කිය­ලයි” ඒ, අනුර අබේ­සිං­හගේ හඬයි.

එම්.වී. ප්‍රියං­ගිකා මල්කා­න්තිද මෙලෙස තම දුක කීවාය.

අඩාල වී අැති නිවාස ක්‍රම

“මේ ගම්මා­නයේ ගෙවල් 50ක් ඉදි වුණාට පදිංචි වෙලා ඉන්නේ පවුල් 10ක් විතර. තවත් අය ගෙවල් හදා­ගෙන ඉන්නවා. නමුත් පදිං­චි­යට එන්නේ නැහැ. පහ­සු­කම් නැති නිසා. බොන්න වතුර ටික නම් සති දෙක­කට වරක් ප්‍රාදේ­ශීය සභා­වෙන් ගෙනත් දානවා. නාන්න හා අනිත් වැඩ­ව­ලට කිලෝ මීටර් 2ක් විතර දුරින් තියෙන වැවට යන්න ඕන. වැවේ හර­කුත් ලැගලා ඉන්නවා. මොනවා කරන්න ද? ජල නල මාර්ග ගම ළඟ­ටම ඇවිත් තියෙ­නවා. නල දෙන­වා­නම් ගම ඇතුළේ කාණු කපන එක අපිට කර­ගන්න පුළු­වන්.”

මේ පිළි­බඳ මංග­ල­ගම නිවාස ව්‍යාපෘති භාර තාක්ෂණ නිල­ධාරි එදි­රි­යෙන් දුෂ්‍ය­න්තන මහ­තා­ගෙන් කරුණු විමසා සිටි­යෙමු.

“පසු­ගිය රජය කාලයේ තමයි මේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළේ. මෙයට කලින් ගෙවල් 40ක් හදලා සියලු යටි­තල පහ­සු­කම් සමග නිවාස ලාභීන් පදිංචි කළා. නමුත් මෙම යෝජනා ක්‍රම­වල වැඩ නිම කරන්න බැරි වුණා. ඊට හේතු වුණේ පසු­ගිය කාලයේ පැවති මැති­ව­රණ හා පැවති රජ­යන් වෙනස් වීමයි. ඒ නිසා මුදල් ගෙවීම් නතර කරන්න සිදු වුණා. අපි දැන් සියලු විස්තර සහිත වාර්තා­වල් අදාල අංශ­ව­ලට යවලා තියෙ­න්නනේ. මුදල් ලැබුණු ගමන් නැවත ඉදි කිරීම් කට­යුතු ආරම්භ කර­නවා.”

ගම්වැ­සි­යන් මුහුණ දෙන ජල ප්‍රශ්නය පිළි­බඳ අම්පාර ජාතික ජල සම්පා­දන මණ්ඩ­ලයේ ප්‍රාදේ­ශීය කළ­ම­නා­කා­ර­වරා පැව­සුවේ මෙවැ­න්නකි. “මෙම නිවාස යේජනා ක්‍රම­යට ළඟ­දීම ජලය ලබා දීමට නල මාර්ග එල­මින් පව­ති­නවා. ගමේ අතුරු මාර්ග සඳහා නිවා­ස­ලා­භීන් විසින් මුදල් එකතු කර ජේ.සී.බී. යන්ත්‍ර­යක් යොදවා කාණු කැපී­මට එකඟ වී තිබෙ­නවා. ඒ අනුව එහි වැඩ කට­යුතු ළඟ­දීම ආරම්භ කර­නවා.”

ඒ ප්‍රකාශ යථා­ර්ථ­යක් වී මංග­ල­ගම නිවා­ස­ලා­භීන්ගේ සිහින සැබෑ වන තුරු අපද අව­ධා­න­යෙන් සිටිමු.

 

Comments