නිද­හස් කළත් නිද­හස් නොවූ කාවන් | සිළුමිණ

නිද­හස් කළත් නිද­හස් නොවූ කාවන්

විවිධ හේතු නිසා වසර ගණන් අනුන්ගේ රට­වල සිර­ගත වූ මිනි­සුන් ගැන ඔබ අසා ඇත. එසේ සිර­ගත වූව­කුට දැනෙන අස­ර­ණ­කම වද­නින් කිව නොහැ­ක්කකි. එසේ නම් එසේ සිර­ගත වීමේ හැඟීම් වච­න­ව­ලින් ප්‍රකාශ කළ නොහැකි සත්ත්ව­ය­කුගේ තත්ත්වය කෙසේ විය හැකිද? මේ කතාව එවැනි සත්ත්ව­යකු ගැන ය. ඒ, කාවන් නමැති හස්ති රාජ­යෙකි. වසර 35 ක් ශ්‍රී ලංකා­වෙන් බැහැ­රව පාකි­ස්ථා­නයේ සත්වෝ­ද්‍යා­න­යක දිවි ගෙව­මින් සිටි කාවන්ට දැන් සද­හ­ටම ශ්‍රී ලංකාව අහිමි වන තැනට කට­යුතු යෙදී තිබේ. ඒ, කාවන් කාම්බෝ­ජ­යට යැවී­මට සත්ත්ව අවිං­හිසා බල­ධා­රීන් තීර­ණය කිරීම නිසාය.

කාවන් ගැන එහෙම කීවාට මේ කතාවේ අග­ක්මු­ලක් කිය­වන ඔබට නොවැ­ට­හෙ­නවා විය හැකිය. elephas maximus වර්ග­යට අයත් කාවන් දැන් වසර 39ක් පමණ වන හස්ති­යෙකි. ලංකාවේ උපන් කාවන් වයස අවු­රුදු 4ක් පමණ වද්දී ජේ.ආර්. ජය­ව­ර්ධන පාලන සම­යේදී පාකි­ස්ථා­න­යට යන්නේ මෙර­ටින් එර­ටට පිරි­නැ­මුණු ත්‍යාග­යක් ලෙසට ය. ඒ, 1985 වස­රේ­දීය. ඉන්පසු කාවන්ගේ නවා­තැන වන්නේ ඉස්ලා­මා­බාද්හි මුර්ග්සර් සත්වෝ­ද්‍යා­න­යයි. එහෙත් එහි කාවන්ගේ ජීවි­තය සුව­දා­යක එකක් වූයේ නම් නැත. පකි­ස්ථා­නයේ වන­ගත අලි නොමැති අතර සත්ත්ව උද්‍යාන කිහි­ප­යක අලි ඇතුන් සිවු දෙනකු පම­ණක් ජීවත් වන බව පැවසේ. එම නිසා කාවන්ට ගෙව­න්නට සිදු වූයේ අති­ශය දුක්බර ජීවි­ත­යකි. එය සිර­ක­රු­ව­කුට සමාන ජීවි­ත­යක් කිව­හොත් නිවැ­ර­දිය. ඔහු වෙනු­වෙන් වෙන්ව තිබුණේ හස්ති­ය­කුට කිසි­සේත් නොගැ­ළ­පෙන තරම් කුඩා ඉඩකි. එහෙත් 1990දී කාවන්ට සුදුසු සහ­කා­රි­යක් සොයා දෙන්නට එරට සත්ත්ව උද්‍යාන බල­ධා­රීහු කට­යුතු කළ අතර ඒ "සහේලී" නමැති කෙණ­රකි.

සාරිස්කා දිවි ධේනුව

බිරි­යක් ලැබීම නිසා කාවන් ගේ ජීවි­තය පෙර තිබු­ණාට වඩා සතු­ටින් පිරිණ. ඔහු ජීවත් වූ කුඩා ඉඩ සහේලි සමඟ සතු­ටින් බෙදා ගත්තේය. සත්වෝ­ද්‍යා­නය නැර­ඹී­මට පැමි­ණෙන නර­ඹ­න්නන්ට කාවන්- සහේලි ප්‍රිය දසු­නක් විය. ඊට මූලික හේතුව පකි­ස්ථා­නයේ සිටි එකම ආසි­යානු අලියා කාවන් වූ නිසාය. එහෙත් හදි­සියේ රෝගා­තුර වූ සහේලි 2012 වස­රේදී මිය යෑම නිසා කාවන් යළිත් අස­රණ විය. පාළුව, තනි­කම මෙන්ම සිරුර පෙළෙන දැඩි උෂ්ණ­ත්වය දරා­ගැ­නී­මට පම­ණක් නොව ලැබෙන දෙය­කින් කුස පුරවා ගැනී­ම­ටද කාවන්ට සිදු විය. ඒ නිසා කාවන් ප්‍රචණ්ඩ වූ බවද පැවසේ. ඒ නිසාම 2000 වසරේ සිට කාවන්ගේ පාද­ව­ලට විලංගු දමා තිබූ බවද හෙළි වී ඇත. නමුත් එහෙත් කාවන් වෙනු­වෙන් හඬක් නඟ­න්නට කිසි­වකු සිටියේ නැත. තෑග්ගක් දුන් පසු යළි ඒ ගැන විම­සුම් කරන සිරි­තක් නැති නිසාදෝ මෙරට බල­ධා­රීන්ද යළි කාවන් ගැන පකි­ස්ථා­න­යෙන් විම­ස­න්නට නොගි­යහ.

එහෙත් කාවන් කම්පා වූ හද­ව­තක් ඔහු වෙනු­වෙන් හඬ නඟ­න්නට තීර­ණය කරන්නේ එවැනි පසු­බි­මක් තුළදී ය. ඒ පකි­ස්ථා­නයේ කාවන් රඳවා සිටි සත්වෝ­ද්‍යා­න­යට ආ ඇමෙ­රි­කානු පොප් ගායි­කා­වක වන චේර් ගේ නෙත කාවන් වෙත යොමු වීම නිසාය. සත්ත්ව­යකු වුවද කාවන් විඳින වේද­නාව ඇය මැන­වින් දුටු­වාය. ඒ සැණින් ඇය ස්වෙච්ඡා සංවි­ධාන කිහි­ප­යක් එක් කර­ග­නි­මින් කාවන් නිද­හස් කර ගැනීමේ සටන ඇර­ඹු­වාය. එහි අව­සන් ප්‍රති­ඵ­ලය වන්නේ පරි­ස­ර­වේ­දීන් සහ සිවිල් සංවි­ධාන කිහි­ප­යක් එක්ව සත්වෝ­ද්‍යා­න­යට සහ එරට වන ජීවී බල­ධා­රීන්ට එරෙ­හිව නඩු පැව­රී­මයි. එප­ම­ණක් නොව කාවන් නිද­හස් කර­ග­න්නට අන්ත­ර්ජාල පෙත්ස­මක් අත්සන් කිරී­මද ඔවුන් ආරම්භ කළ අතර කෙටි කල­කින් ලක්ෂ දෙකක් ජනයා කාවන්ගේ නිද­හස වෙනු­වෙන් මේ අන්ත­ර්ජාල පෙත්සමේ අත්සන් තබා තිබිණ. ඉස්ල­මා­බාද් මහා­ධි­ක­ර­ණය කාවන් වෙනු­වෙන් ලබා දුන් තීන්දුව වූයේ වහාම කාවන් නිද­හස් කරන ලෙසයි.

වසර 30කට අධික කාල­යක් කාවන් හස්ති­යාට ක්‍රෑර ආකා­ර­යෙන් සැල­කීම 1890 දරන සත්ත්ව හිංසන පනත සහ 1979 වන­ජීවි සංර­ක්ෂණ පනත උල්ලං­ඝ­නය කිරී­මක් බවත් එබැ­වින් වහාම හස්තියා නිද­හස් කළ යුතු බවත් එම තීන්දු­වෙන් වැඩි­දු­ර­ටත් සඳ­හන් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර කාවන් රඳවා තැබී­මට සුදුසු ඔහුට සුව පහ­සුව සැල­සිය හැකි සත්වෝ­ද්‍යා­න­යක් හෝ අලි ඇතුන් සිටිනා ස්ථාන­යක් පිළි­බඳ දැනුම් දෙන ලෙසද එරට අධි­ක­ර­ණය පාකි­ස්තාන වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වට හා සත්වෝ­ද්‍යාන බල­ධා­රීන්ට නියෝග කළේය. එහෙත් කාවන් යළි මෙර­ටට ගෙන්වා ගැනී­මට ප්‍රායෝ­ගි­කව අසී­රුතා මතු කළ කරුණු කිහි­ප­යක් ම තිබිණි. එනම්, ගෘහස්ථ හස්ති­යකු වන කාවන් නිද­හස් කළ යුත්තේ වන­ය­කට ය. එහෙත් පාකි­ස්ථා­නයේ සිට දැවැන්ත හස්ති­යකු වන කාවන් මෙර­ටට ප්‍රවා­හ­නය කිරීම පහසු කට­යු­ත්තක් නොවේ. එම නිසා කාවන් යළි බාර ගැනීම ශ්‍රී ලංකා­වට අසීරු කාර්ය­යක් වන්නට ඇත. කෙසේ හෝ අව­සා­නයේ උපන් බිම අහිමි වූ කාවන් කාම්බෝ­ජ­යට යැවී­මට සුදුසු සෞඛ්‍ය තත්ත්ව­යක සිටින බව සත්වෝ­ද්‍යා­නයේ වෛද්‍ය­ව­රුන් විසින් නිග­ම­නය කර තිබේ.

කාවන්ගේ ඉර­ණම එලෙස විස­ඳෙද්දී ශ්‍රී ලාංකික දිවි­ය­කුට එංග­ලන්ත සත්වෝ­ද්‍යා­න­යක් දැක්වූ අපූරු සැල­කී­මක් ගැන පසු­ගිය සතියේ වාර්තා විය. පසු­ගිය 16 වැනිදා එක්සත් රාජ­ධා­නියේ නොර්ෆොක්හි බන්හැම් සත්ව උද්‍යා­නයේ දිවි ගෙවූ ශ්‍රී ලාංකික දිවි­යකු වන සාරිස්කා හදි­සියේ මර­ණ­යට පත් විය. පසු­ගිය සති කිහි­පය තුළ ඇය රෝගා­තුර වී සිටි බව සත්වෝ­ද්‍යාන බල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් අනා­ව­ර­ණය වී ඇත්තේ සරිස්කා බර­ප­තළ හෘද රෝග­ය­කින් පෙළී ඇති බවයි. ඊට හේතුව සොයා ගැනීම සඳහා වැඩි­දුර පරී­ක්ෂණ සිදු කෙරෙන බවද පැවසේ.

සාරිස්කා දිවි ධේනු­වගේ පැට­වෙක්

සාරිස්කා නමැති එම දිවි ධේනුව පසු­ගිය ජුනි මාස­යේදී පැට­වුන් දෙදෙ­නෙකු බිහි කළ නමුත් අගෝස්තු මාස­යේදී හදි­සි­යේම එක් පැට­වකු මිය ගොස් තිබේ. සාරිස්කා එංග­ල­න්තයේ බන්හැම් සත්වෝ­ද්‍යා­න­යට ගොස් ඇත්තේ 2015 දීය. එතැන් සිට ඇය රැක­බලා ගත් බන්හැම් සත්වෝ­ද්‍යා­නයේ පාල­ක­යන්ට සහ කාර්ය මණ්ඩ­ල­යට ඇයගේ මර­ණය විශාල කන­ස්ස­ල්ලක් බව දැන­ග­න්නට ලැබී තිබේ. ඔවුහු සාරි­ස්කාගේ මර­ණය ගැන වැඩි­දු­ර­ටත් විම­ර්ශ­නය කරන අතර දැනට ජීව­තුන් අතර සිටින ඇයගේ අනෙක් පැටවා සුර­ක්ෂි­තව රැක­බලා ගැනී­මට වැඩි කැප­කි­රී­මක් දර­මින් සිටී.

මව අහිමි පැට­වාගේ වර්ධ­නය ගැන එහිදී වැඩි සැල­කි­ල්ලක් යොමු කර තිබේ. එප­ම­ණක් නොව මවගේ නම එම පැට­වාට තබ­න්න­ටද සත්වෝ­ද්‍යාන බල­ධා­රීන් විසින් තීර­ණය කර තිබේ. ඊට හේතුව නොර්ෆොක්හි බන්හැම් සත්ව උද්‍යා­නය ශ්‍රී ලාංකික දිවි­යන් සුරැ­කීම සඳහා වන යුරෝ­පීය අභි­ජ­නන වැඩ­ස­ට­හනේ හවු­ල්ක­රු­වකු වශ­යෙන් කට­යුතු කිරීම ය. දිවි­යන්ගේ උප විශේෂ 9 න් එක­කට අයත් මිය ගිය සරිස්කා දිවි ධේනුව ශ්‍රී ලංකා­වට ආවේ­ණික විශේ­ෂ­යක් බැවින් සරිස්කා ගෙන් ඉතිරි වූ දිවි පැටවා සුර­ක්ෂිත කර­ගැ­නී­මට සත්ත්ව බල­ධා­රීන් කට­යුතු කිරීම ප්‍රසං­ශ­නීය ය. කාවන් නම් ශ්‍රී ලාංකික හස්ති­යාට පකි­ස්ථාන සත්වෝ­ද්‍යා­නය සැල­කු­වාට වඩා හාත්ප­සින්ම වෙනස් සැල­කී­මක් ලැබී­මට තරම් සාරිස්කා දිවි ධේනුව වාස­නා­වන්ත වූයේ එලෙ­සිනි.

Comments