එළෝ පොල් පේන පොල් මිලේ අවනඩුව | සිළුමිණ

එළෝ පොල් පේන පොල් මිලේ අවනඩුව

පොල්,කිතුල්,තල් හා රබර් ප්‍රව­ර්ධ­නය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පා­දන, අප­න­යන විවි­ධාං­ගී­ක­රණ රාජ්‍ය අමාත්‍ය අරු­න්දික ප්‍රනාන්දු  පොල් ගසකට නැඟි අයුරු
පොල්,කිතුල්,තල් හා රබර් ප්‍රව­ර්ධ­නය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පා­දන, අප­න­යන විවි­ධාං­ගී­ක­රණ රාජ්‍ය අමාත්‍ය අරු­න්දික ප්‍රනාන්දු පොල් ගසකට නැඟි අයුරු

ශක ගණ­නා­වක් පුරා මෙර­ටට විදේශ විනි­මය උපයා දුන් ප්‍රධාන අප­න­යන බෝග ලෙස හැදි­න්වුණේ තේ, රබර් හා පොල්ය. නමුත් ගත වුණු වසර කීපය තුළ මෙරට පොල් වගා­වෙහි පැහැ­දිලි කඩා වැටී­මක් දක්නට ලැබුණු අතර ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක වූයේ හෙක්ට­යා­ර­ය­කින් ලැබෙන ආදා­යම අඩු වීම, සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලට සහ කොටස් කර විකි­ණි­මට පොල් ඉඩම් බහු­ලව යොදා­ගැ­නීම, පොහොර භාවි­තය අඩු වීම, දේශීය පරි­භෝ­ජ­න­යට ගන්නා පොල් ප්‍රමා­ණය වැඩි නිසා අප­න­ය­නය සඳහා ඉතිරි වන පොල් ප්‍රමා­ණය අඩු වීම, පළි­බෝධ සහ කෘමි උව­දුරු නිසා පොල් වගා­වට හානි පැමි­ණීම, පොල් වගා කර ඇති ඉඩ­ම්ව­ලින් අම­තර ආදා­ය­මක් ලබා­ගැ­නී­මට උත්සාහ නොදැ­රීම, වෙනත් ආදේ­ශක නිසා පොල් වලට විදෙස් වෙළඳ පොළේ හොඳ මිලක් නොලැ­බීම සහ පොල් වගාව ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් කිසිදු සාර්ථක වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක නොවී­මයි. මේ සාධක ද බල­පා­මින් පසු­ගිය වසර කීපය පුරා­ව­ටම මෙරට පොල් වගාව තුළ සිදු කෙරුණු පොල් නිෂ්පා­ද­නය ප්‍රමා­ණ­වත් ලෙස වර්ධ­නය නොවුණි.

 

මෙරට පොල් නිෂ්පා­ද­නය කෙත­රම් දුරට කඩා වැටී තිබේද යන්න වඩාත් හොඳින් පැහැ­දිලි වන්නේ මේ වන විට මෙරට වෙළෙ­ද­පොළේ පොල් ගෙඩි­යක මිල විමසා බලන විටයි. මීට මාස කීප­ය­කට පෙර පොල් ගෙඩි­යක් රු45/-ක් .රු.50/- ක් වැනි මිල­කට මිලදී ගත හැකි වුව ද දැනට ඇති දැඩි පොල් හිඟය නිසාම මේ වන විට පොල් ගෙඩි­යක මිල රු.90/-ත් රු.100/-ත් අතර දක්වා මිල­කට ඉහළ ගොස් තිබේ. මේ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් පාරි­භෝ­ගික අයි­තීන් සුරැ­කීමේ ජාතික ව්‍යාපා­රය ද නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳහන් කර සිටියේ මෙලෙස පොල් මිල ඉහළ යෑම සදහා පසු­ගිය කාලය තුළ වග­කි­ව­යුතු නිල­ධා­රීන් ගත් බොහෝ තීරණ බල පා ඇති බවත් ඇති වී ඇති තත්ත්වය තවත් වර්ධ­නය වී තවත් මාස දෙකක පමණ කාල­යක් ගත වන විට පොල් ගෙඩි­යක මිල රු.150/-ක් දක්වා වැඩි වීමේ අව­ධා­න­මක් ඇති වී ඇති බවත්ය.

පොල් ගෙඩි­යක මිල මෙලෙස දරා ගත නොහැකි අයු­රින් ඉහළ යාම නිසා පාරි­භෝ­ගික ජන­තාව අස­රණ වී සිටියි. මේ නිසා බොහෝ විට ආහාර වෙළෙ­ද­සැල් වලින් ආහාර මිලදී ගන්නා පාරි­භෝ­ගි­ක­යන්ට පොල් කිරි යෙදූ ආහාර අලෙ­විය පම­ණක් නොව කෑම සමඟ පොල් සම්බල ලබා දීම ද වෙළෙ­ඳුන් විසින් නතර කර තිබේ.බොහෝ හෝටල් හා ආප­න­ශාලා හිමි­යන් පොල් කිරී යෙදූ ආහාර සඳහා මේ වන විට ආදේ­ශ­ක­යක් ලෙස කඩල පිටි යොදා ගන්නා බවද හෙළි වී තිබේ. එප­ම­ණක් නොව ඉදි ආප්ප රස­වත් කළ පොල් සම්බ­ල­යද මේ වන විට ඉදි ආප්ප සමඟ නොලැ­බෙන තත්ත්ව­යක් නිර්මා­ණය වී ඇති අතර පොල් රොටී හී රසට හැපුණු පොල් කැබ­ලිද අතු­රු­දන්ව ගොස් තිබේ.

පොල් ශාකය ලංකාව පුරාම බොහෝ ප්‍රදේ­ශ­වල දී දක්නට ලැබු­ණත් එය සාර­වත්ව වර්ධ­නය වීමට දේශ­ගු­ණික සාධක රැසක්ද බල­පායි. 20 'C - 27'C අතර උෂ්ණ­ත්වය, 2000mm-2500mmත් අතර පැති­රුණ වාර්ෂික වර්ෂා­ප­ත­නය වැනි පාරි­ස­රික සාධක ඒ අතර ප්‍රධාන වන අතර පොල් වගාව ඉතාම සරු සාර වීමට නම් මීටර 100ට වඩා පහත් බිම් වඩාත් යෝග්‍ය වන බවද හදුනා ගෙන තිබේ. ලුණු මිශ්‍ර වැලි පස වඩාත් හිතක‍ර වන අතර ශ්‍රී ලංකාවේ මුහු­දු­බඩ පළා­ත්වල පොල් වගාව මහා පරි­මා­ණ­යෙන් සිදු­ක­රනු ලබන්නේ පොල් වගා­වට හිත­කර දේශ­ගු­ණික සාධක වලින් එකී මුහුදු බඩ පළාත් පොහො­සත්ව ඇති නිසයි.කෙසේ වුවත් ඕනෑම පස් වර්ග­යක් පොල් වගාව සඳහා සුදුසු වන අතර කොළඹ, ගම්පහ, කුරු­ණෑ­ගල සහ පුත්ත­ලම යන දිස්ත්‍රික්ක රැස­කම පොල් වගාව බහු­ල­වම සිදු කර ඇති බව පෙනේ.කොළඹ, කුරු­ණෑ­ගල, සහ හලා­වත යන ප්‍රදේශ ඒ අත­රින් පොල් වගා­වට ප්‍රච­ලි­තම වී ඇති අතර පොල් ත්‍රිකෝ­ණය ලෙස හැඳින්වෙ­න්නේද එම කොළඹ, කුරු­ණෑ­ගල හා හලා­වත යන ප්‍රදේශ වේ.

පොල් වගාව තුළ ආහා­ර­යට අවශ්‍ය පොල් පම­ණක් නොව එ් පොල් වලින් තවත් ප්‍රයෝ­ජන රැසක්ම ලබා ගන්නා අතර පොල් ගස කප්රු­කක් සේ හඳු­න්වනු ලබන්නේ එම ශාකයේ සෑම කොට­ස­කින් ම යම් ප්‍රයෝ­ජ­න­යක් ලබා ගත හැකි නිසා යි. ලොව පොල් වගා කරන රට­වල් අතු­රින් ඉදි­රි­යෙන් ම සිටින රටක් වූ ශ්‍රී ලංකාව පොල් ආශ්‍රිත නිෂ්පා­දන විදෙස් රට­ව­ල්ව­ලට අප­න­ය­නය කිරී­මෙන් සැල­කිය යුතු විදේශ විනි­මය ආදා­ය­මක් මෙර­ටට උප­යා­දී­මට ද සම­ත්කම් දක්වා තිබුණි.

පොල් ආශ්‍රිත නිෂ්පා­දන සිදු කර­මින් රටට වැඩි විදේශ විනි­මය ආදා­ය­මක් උපයා දුන් පොල් ආශ්‍රිත කර්මාන්ත අතර දිසිඳි පොල් නිප­ද­වීම, එම දිසිඳි පොල් යොදා ගනි­මින් චොක්ලට්, කේක්, බිස්කට්, රස­කැ­විලි හා ක්ෂණික ආහාර නිෂ්පා­ද­නය,පොල් මදය උප­යෝගී කර ගනි­මින් කොප්පරා,පිසී­මට ගන්නා පොල් තෙල්,නැවුම් පොල්තෙල්,පොල් කිරි පිටි, පොල් ක්‍රීම් වැනි පොල් ආශ්‍රිත විවිධ ආහාර වර්ග,සබන්,ෂැම්පු වැනි දේද, පොල් කටු මඟින් හැඳි, පොල් කටු අඟුරු,බොත්තම්,සක්‍රීය කාබන්,මදුරු දඟර,විසි­තුරු භාණ්ඩ වැනි නිපැ­යුම්ද,පොල් කෙඳි මඟින් ලණු, කඹ, ලණු­පැ­දුරු, බුරුසු, කොසු, විසි­තුරු භාණ්ඩ වැනි නිෂ්පා­ද­නද පොල් මල් මඟින් පැණි, හකුරු, විනා­කිරි වැනි දෑ ද නිප­ද­වෙන අත­ර­පොල් ශාකයේ කඳ ලී කර්මා­න්තය සඳහා යොදා­ගන්නා විට පොල් අතු සහ පොල් ඉරටු පොල් අතු විවී­මට, ඉදල් සෑදී­මට සහ විසි­තුරු භාණ්ඩ සෑදී­මට යොදා­ගනු ලබයි. මේ වන විට වෙළෙ­ද­පොළ තුළ පොල් ගෙඩි මිල ඉතා වේග­යෙන් ඉහළ ගොස් ඇති පසු­බිම තුළ පොල් ආශ්‍රිත මෙවැනි බොහෝ කර්මා­න්ත­යන්හි කඩා වැටී­මක්ද ඉදිරි කාලය තුළ දැක ගත හැකි වනු ඇතැයි නිරී­ක්ෂ­ණය වී තිබේ.

ඇත්ත වශ­යෙන්ම මෙරට පොල් වගාව ආශ්‍රි­තව ඉතා සාඩ­ම්බර ඉති­හා­ස­යක් පැව­තු­ණද පසු­ගිය සමය තුළ එකී වගාව හා කර්මා­න්තය ගමන් කර­මින් තිබුණේ දියු­ණු­වට නොව පරි­හා­නි­යට බව පැහැ­දි­ලිව ප්‍රකාශ කිරීමේ හැකි­යාව ඇත. එය වඩා පැහැ­දිලි වන්නේ පොල් ගෙඩි­යක මිල රු 100/-කට මිල­කට ඉහළ ගොස් තිබීම නිසාම නොවේ.

මේ වන විට මෙරට වගා කෙරෙන පොල් අක්කර ප්‍රමා­ණය ද අක්කර ලක්ෂ 11 ක් තරම් දක්වා අඩු වීම ගොස් තිබී­මද පොල් කර්මා­න්තයේ ඇති වී ඇති අර්බු­දය හා කඩා වැටීම මොන­වට කියා පායි.

ඒ නිසාම අප රටේ පොල් වගා­වෙන් පසු­ගිය වසර කීපය තුළ ලබා ඇත්තේ වස­ර­කට උප­රිම පොල් ගෙඩි මිලි­යන 3109 ක තරම් වූ අවම ප්‍රමා­ණ­යකි. එසේම වර්ත­මා­නය වන විට එය වස­ර­කට පොල් ගෙඩි මිලි­යන 2700-3000 ත් අතර ප්‍රමා­ණ­ය­කට අඩු වීමද කන­ගා­ටු­දා­යක තත්ත්ව­යකි. නමුත් මෙරට පරි­භෝ­ජන හා කර්මා­න්ත­මය අව­ශ්‍යතා සම්පූර්ණ කිරී­මට නම් වස­ර­කට මිලි­යන 4000 ක පමණ පොල් ගෙඩි ප්‍රමා­ණ­යක් අවශ්‍ය වන බව­ටද ගණන් බලා ඇත. පොල් මිල ද ඉහළ ගොස් සමස්ත පොල් ආශ්‍රිත සියලු කර්මාන්ත කඩා වැටී­ම­කට ලක් වෙමින් මේ වන විට මෙරට පොල් වගාව මුහුණ දෙමින් සිටි මේ අවා­ස­නා­වන්ත ඉර­ණම වෙනස් කිරීම සඳහා පොල් සංව­ර්ධන අධි­කා­රිය ප්‍රමුඛ පොල් වගාවේ වග­කීම් පැවැරී ඇති සිය­ලුම ආය­තන ඉතාම ප්‍රශස්ත උත්සා­හ­යක නිරත වී සිටින අතර 2023 වසර වන විට මෙරට පොල් කර්මා­න්තයේ අප­න­යන ආදා­යම ඩොලර් බිලි­ය­න­යක් දක්වා වර්ධ­නය කිරීම අර­මුණු කර ගනි­මින් ඔවුන් ඒ සඳහා විවිධ පිය­වර ගනි­මින් සිටියි.

එවැනි වාතා­ව­ර­ණ­යක් තුළ පසු­ගිය සැප්තැ­ම්බර් 02 වැනිදා ජාත්‍ය­න්තර පොල් දින­යද සැම­රුණු අතර ඒ නිමි­ත්තෙන් දිව­යින පුරා පොල් වගා සංව­ර්ධන වැඩ­ස­ට­හන් රැසක් ම සංවි­ධා­නය කර තිබුණි.පොල් වගා කිරීමේ මණ්ඩ­ලයේ පොල් සංව­ර්ධන හා ව්‍යාප්ති සේවා ඇතු­ළත් කොට සැක­සුණු “Coconut App“එකක් එළි­දැ­ක්වීම ද එදින සිදු වුණු අතර පොල් පර්යේ­ෂණ ආය­ත­නය මඟින් නිප­දවා වැඩි දියුණූ කරන ලද දෙමු­හුන් පොල් ප්‍රභේ­ද­යක් හඳුන්වා දීම, පොල් පර්යේ­ෂණ ආය­ත­නය මඟින් නිපද වු රතු කුරු­මිණි වික­ර්ෂ­කය හඳුන්වා දීම, ගුණා­ත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංව­ර්ධන අධි­කා­රිය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡ­නය හඳුන්වා දීම, 2019 වසරේ පොල් ආශ්‍රිත නිෂ්පා­දන අප­න­ය­න­යෙන් වැඩිම විදේශ විනි­ම­යක් ඉපැයු අප­න­ය­න­ක­රු­වන් ඇග­යීම වැනි මෙරට පොල් කර්මා­න්ත­යට අති­ශ­යින් වැද­ගත් වූ සුවි­ශේෂ සිදු වීම් රැසක් ම එදින ජාත්‍ය­න්තර පොල් දිනය වෙනු­වෙන් සංවි­ධා­නය කර තිබුණි.

එසේම ජාත්‍ය­න්තර පොල් දිනය සඳහා ප්‍රකා­ශ­යට පත් කරන ලද පොල් සංව­ර්ධන සතිය වෙනු­වෙන් දිව­යින පුරා ක්‍රියා­ත්මක වන පරිදි වැඩ­ස­ට­හන් රාශි­යක් සංවි­ධා­නය කර තිබුණු අතර පොල් වගා කිරීමේ මණ්ඩ­ලය මඟින් මෙහෙය වන මේ වැඩ­ස­ට­හන් අත­රට විහා­ර­ස්ථාන ඇතුළු ආග­මික සිද්ධ­ස්ථාන, රාජ්‍ය ආය­ත­න­වල හා ගෙව­තු­වල පොල් පැළ සිටු­වීම මෙන්ම ජංගම පොල් පැළ අලෙවි වැඩ­ස­ට­හන් රාශි­යක් ද ඇතු­ළත් වුණි.

මේ අතර පොල් ගෙඩි­යක මිල ශීඝ්‍ර­යෙන් ඉහළ යාම පිළි­බ­ඳව වත්මන් රජ­යේද දැඩි අව­ධා­නය යොමු වී ඇත. ඒ පිළි­බ­ඳව අද­හස් දක්වන පොල්,කිතුල්,තල් හා රබර් ප්‍රව­ර්ධ­නය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පා­දන හා අප­න­යන විවි­ධාං­ගී­ක­රණ රාජ්‍ය අමාත්‍ය අරු­න්දික ප්‍රනාන්දු සඳ­හන් කර සිටියේ මේ වන විට දක්නට ලැබෙන මෙම පොල් මිල වැඩි වීම පොල් මිලදී ගන්නා තැර­ව්ක­රු­වන්ගේ හා මිලදී ගන්නන්ගේ එක­තු­වෙන් සිදු වී ඇති අවි­ධි­මත් මිල වැඩි වීමක් වන බවයි. වග­කි­ව­යුතු රජ­යක් ලෙස මෙම මිල වැඩි වීම පාල­නය කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියා­මා­ර්ග­යක්ම ගන්නා බවත්,අති­ගරු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ උප­දෙස් පරිදි මෙරට පොල් වගාව නගා සිටු­වී­මට ක්‍රම­වත් හා විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් කඩි­න­මින් ක්‍රියා­වට නංවා ඇති බවත් ඇමතිවරයා පවසයි.

එසේම තම අමා­ත්‍යාං­ශය මගින් පාල­නය වන හලා­වත සහ කුරු­ණෑ­ගල වැවිලි සමා­ගම් සතු පොල් ඉඩම් වලින් ඕනෑම පාරි­භෝ­ගි­ක­යෙ­කුට පොල් මිලදී ගත හැකි ක්‍රම­වේ­ද­යක් දැන­ට­මත් පිළි­‍යෙල කර ඇති බවත් පොල් මිල පාල­නය කිරීමේ අර­මු­ණින් පොල් ගෙඩි­යක් රු.60/- ක මිල­කට අලෙවි කිරීමේ කට­යුතු පොල් සංව­ර්ධන අධි­කා­රිය මගින් ආරම්භ කර ඇති බවත් අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කරන අතර පොල් ගෙඩි­යක් සඳහා රු.70/- ක උප­රිම සිල්ලර මිලක් නියම කරන ලෙස පොල් වෙළෙ­දුන්ට හා සැප­යු­ම්ක­රු­වන්ට දන්වා ඇති බවත් ඇමැති අරුන්දික වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

Comments