‘පහන තියා’ ගැයූ කොල්ලයි කෙල්ලයි දශක තුනකට පසු | සිළුමිණ

‘පහන තියා’ ගැයූ කොල්ලයි කෙල්ලයි දශක තුනකට පසු

‘පහන තියා’ ගැයූ කොල්ලයි කෙල්ලයි දශක තුනකට පසු

අඹ යාළුවෝ ටෙලි නාට්‍යය කියන්නෙ අපේ ටෙලි නාට්‍ය කලාවේ ප්‍රභාමත් සලකුණක්. ඉලංගරත්නයන්ගෙ අඹයාළුවො යොවුන් නවකතාවේ හරයට හානි නොකර අතිශය නිර්මාණශීලී භාවිතයකින් ඉදිරිපත් කළ අඹ යාළුවෝ වැනි ටෙලි නාට්‍යය ගැන සිහිවෙනකොට මේ කලාව අද වැටිලා තියන අතිශය දුගී අඩිය ගැන දුක හිතෙනවා. ඒ වගේම හරවත් නිර්මාණයක් දරුවන් වෙනුවෙන් නොමැති නිර්මාණ රික්තකයක අතරමං වෙච්චි අපේ පොඩි උන් පව් කියලත් හිතෙනවා.

‘කටු අකුළේ මල් ඇහැරේ‘, ‘මල් පිපෙයි දෙනෙත් හැරෙයි‘, ‘පහන තියා බුදු සාදුට‘ වගේ ගීත ඇහෙද්දි අප තවමත් ඒ මනරම් අතීතයට පිවිසෙනවා. ඒ, කියාගන්න බැරි සංවේදනා ගොඩක් එක්ක. ඒ අතරින් ‘පහන තියා බුදු සාදුට‘ ගීතය අතිශයින්ම සංවේදී මතක අවදි කරන්නක්. ඒ ගීතය ගැයුවෙ එවකට අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක්ව සිටි දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හා ඩී.එස් සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටි ලෙළුම් රත්නායක. මේ දෙදෙනාම මේ වනවිට අපේ සංගීත ක්ෂේත්‍රය තුළ දැවැන්ත භූමිකා දෙකක් රූපණය කරමින් ඉන්න විශිෂ්ටයන් දෙදෙනෙක්.

දශක තුනකට එපිට හිරිමල් යෞවනයේ දී “පාන තියා බුදු සාදුට“ ගීතය ගැයූ ඔවුන් ඒ ගීතයට අවුරුදු තිස්පහක් පිරෙනවිට මේ රටේ ප්‍රභූ කලාකරුවන් දෙපළක් ලෙසින් නව නිර්මාණයක් කරන්න එකතු වෙනවා.

ඒ සිරිමත් නිර්මාණ අතීතය වෙත යමින් ඔවුන් දෙදෙනා සමග කෙටි පිළිසඳරකට මුලින්ම අප කතා කළේ ප්‍රවීණ සංගීතවේදිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ට.

“ පහන තියා බුදු සාදුට ගීතය ගායනා කරන්න මම එකතු වෙන්නේ ආජු තපර ලාහිලා, හා හා හරි හාවා වැනි ගීත ගායනා කරලා ඒවා ඉතා ජනප්‍රියම තලයේ තිබුණු කාලෙදී. මේ ගීතයත් මගෙ යෞවනයේ ඉතා සුවිශේෂි මතක ගොන්නක් රැඳුණු ගීතයක්. ගීතය සංගීතවත් කළේ ඉතාම නිර්මාණශීලී සංගීතඥයෙක් වුණු ආනන්ද ගමගේ.

මම ලෙළුම් එක්ක ගීතය ගායනා කරන්න ගිය දවසෙ තමයි අපට ඔහුව හමු වුණේ. මේ අවස්ථාව මටයි ලෙළුම්ටයි අරන් දුන්නෙ ගීතයේ පද රචනය කළ බන්දුල නානායක්කාරවසම් මහත්මයා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහත්මයා මතක් කළ යුතුයි. අඹ යාළුවො නිර්මාණය වගේම මේ ගීතයත් අමතක නොවන ලකුණක් බවට පත් වුණා.“

අපි දෙන්නා එදා ඉස්කෝල ඇරිලා රූපවාහිනි මැදිරියට ගිහින් සින්දුව කිව්වා. ඒ කාලේ අපිට ලොකු දේවල් තේරෙන්නේ නැති වයසක්. ජනප්‍රියත්වය ගැනවත්, නිර්මාණ ගැනවත් ලොකු දේවල් හිත්වල නෑ. ඒ කාලේ අපේ ලොකේ හරිම සරලයි.

ඇත්තටම ඒ වෙනකොට අපි කලින් කියපු සින්දු මිනිස්සු අහනවා, අපි ජනප්‍රියයි කියලා මමවත් ලෙළුම්වත් දැනගෙන හිටියෙ නෑ. අපි දෙන්නම දහම් පාසල් ගියා. ඉතින් ඒ දහම් පාසල් තරඟවලදි නිතරම අපි හමු වෙනවා. සින්දු කියනවා. කතා කරනවා. ඒක වෙනම ළමා ලෝකයක්. ඒ අප ළමා ලෝකයෙ තරු හිටියෙ නෑ... තරු වෙන්න අපි තුන් හිතකින්වත් හිතලා තිබුණෙත් නෑ... අපේ ඔළුව තිබ්බේ අපි එකතු වෙලා සමුහිකව වැඩක් කළා කියන එක විතරයි. ඒ ළමා කාලය ගැන මට අදටත් හරිම සතුටුයි.

දීපිකා එහෙම කියනකොට ලෙළුම් කීවේ මේ වගේ කතාවක්.

“පහන තියා“ ගීතය ගායනා කරද්දි මට වයස අවුරුදු 13ක් විතර ඇති. රූපවාහිනියේ දෙවැනි මැදිරියේදී තමයි මෙය පටිගත කළේ. ගීතය පටිගත කරන්න එක්ක යද්දි තවත් රූපවාහිනි වැඩසටහනකට හෝ එවැනි සංගීත වැඩසටහනකට සහභාගී වීමක් යන හැඟීම තමයි තිබුණේ. ඒ සින්දුව මොකදට කරන්නේ කියලවත් හොයලා බලන්න තරම් මට අදහසක් තිබුණේ නැහැ.

නමුත් එය හරි සුන්දර සිදුවීමක්. මම සංගීත පවුලකින් පැවැතුණු නිසා තාත්තාගේ සමකාලීන සංගීත ශිල්පීන් ගීත රචකයින් මේ සියලු දෙනා දැන හැඳින ගන්න ලැබෙන්නේ කුඩා කාලේදිමයි. ඉතින් අපේ ගෙදරට යන එන තාත්තගේ යාළුවන්ට සමකාලිනයන්ට අපි කතා කළේ මාමේ නැන්දේ කියලා. ඒ ළෙන්ගතු කමට.

ඉතින් මේ සින්දුව පටිගත කරන්න මාව එක්ක ගිය දවසෙත් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි ලක්ෂ්මන් මාමා, ආනන්ද වීරසිරි මාමා, බන්දුල නානායක්කාරවසම් අයියා ඇවිත් හිටියා. බන්දුල අයියා එදා තමයි මට මුලින්ම මුණ ගැහුණේ. ඉතින් එයාලා කිව්වා “පුතේ තාත්තාට කෝල් කරලා තියෙන්නේ ඔයාව අපි පොඩි වැඩකට එක්ක යනවා“ කියලා. ඉතින් මම එයාලත් එක්කම වාහනේ නැගලා රූපවාහිනි සංස්ථාවට ගියේ ඉස්කෝලේ ඇඳුම පිටින්.

එතනට ගියහම දැක්කා දීපිකා අක්කාත් ඉස්කෝලේ ඇරිලා එතනට ඇවිත් ඉන්නවා. එතන එඩ්වඩ් මාමා, ආනන්ද ගමගේ අංකලුත් හිටියා. එඩ්වඩ් මාමා මට කියලා දුන්නා ගීතය ගායනා කළ යුතු විදිහ. ඉතින් ඒ සිදුවීම් පෙළම හරි සුන්දරයි. දීපිකා අක්කා සහ මම දහම් පාසල් තරගවලදි පාඩි කාලේ ඉඳන් හමු වෙනවා. ඒ මතක එදා ආයිත් අලුත් වුණා. ඇත්තටම බොහොම නිහතමානිව ආඩම්ර වෙනවා එදා ළමා කාලයේ අපි ගයපු ගීතයක් අද වෙනතුරු මෙතරම් ජනප්‍රිය වීම හා ආදරයෙන් වැළැඳ ගැනීම සම්බන්ධව.“

අඹ යහලුවෝ කියන ටී. බී ඉලංගරත්නයන්ගේ ළමා නව කතාව රූපවාහිනියට ගෙනා සුදත් දේවප්‍රිය අයියවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔහුගේ අධ්‍යක්ෂණයේ තිබුණු නැවුම් බව නිසා එහි ගීත පන්තිය ඇතුළු මුලු නිර්මාණයම මිනිසුන් විසින් ආදරෙන් වැළැඳ ගත්තා.“

පුංචි කාලෙදී අපි ගායකයෝ වෙනවද සංගීතය තෝර ගන්නවද කියලවත් දැනුමක් අපිට තිබුණේ නැහැ. මම නම් ඒ කාලේ කිව්වෙම මම පයිලට් කෙනෙක් වෙනවා කියලා. දීපිකා අක්කා කොහොම හිතුවද දන්නේ නැහැ.“ ලෙළුම් හිනාවෙමින් කිව්වා.

ඔවුන්ගෙ සිරිමත් ළමා කාලෙදි හැමදාම ළමයි වෙනුවෙන් පවතින විශිෂ්ට නිර්මාණයක් වෙනුවෙන් දායක වෙලා තිබුණා. ඒ අමරණීය අතීත මතකය අලුත් නිර්මාණයකින් සිහි කරවන්න දීපිකා - ලෙළුම් දශක තුනකට පස්සෙ යළි එකතු වෙන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ දිශානතිය තීන්දු කරන බරසාර ප්‍රාමාණිකයො විදිහට. ඔවුන්ගේ නව නිර්මාණ කාර්යයත් චිරාත් කාලයක් අපව ආනන්දයට පත් කරාවි.

[email protected]

Comments