ගල් මුල්වලට උත්තර බඳින කාලය තමන් වෙනුවෙන් වැය කරන්න | සිළුමිණ

ගල් මුල්වලට උත්තර බඳින කාලය තමන් වෙනුවෙන් වැය කරන්න

ශලනි තාරකා

ඇය මුලින්ම කිරුළු පලඳින්නේ රූ රැජනක් ලෙසය. අනතුරව රංගන ක්ෂේත්‍රයට එක් වෙමින් හෙමින් බර අඩි තබා රංගනයේ දිගු ගමනක් පැමිණි ඇය රංගනය තුළ ස්ථාවර අත්තිවාරමක් දමා ගත් දක්ෂ රංගන ශිල්පිනියකි. ඈ තුළ විහිදුණු රංගන පරාසය ඒ බව මනාව පසක් කරයි. කලෙක සිට ජනප්‍රිය ම සම්මානයට හිමි කම් කියූ ඇය හොඳම රංගන ශිල්පිනිය ලෙස ද වරින් වර නිර්දේශ විය. පසුගියදා රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට ඇයට හැකි විය. ඒ, රයිගම් ටෙලි සම්මාන උ‍ෙලළේදී වසර 24 කට පසු ජනප්‍රිය ම හා හොඳ ම රංගන ශිල්පිනිය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමිනි. මේ, ඒ ගැන ඇය අපිට කියූ කතාවයි.

 

ජනප්‍රිය ම සම්මානය හුරුපුරුදු වුණත් ‘හොඳම නිළිය‘ වීම ඔබේ සැබෑ වූ හීනයක් ?

එය නොසිතූ මොහොතක සැබෑ වූ හීනයක්. විශේෂ ම සම්මානයක් විශේෂ විදියට ම ලැබීම ගැන මම ගොඩක් සතුටින් ඉන්නේ.

 

ශලනි සම්මාන උළෙලට සහභාගී වුණේම ඒ ගැන කලින් දැනගෙන දෝ කසු කුසුවකුත් තිබුණා නේද?

කලින් දැනගෙන හිටියේ නම් නැහැ. ඒ සම්මාන දෙකම එක වර ලැබීම මම කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. හොඳම නිළියට නිර්දේශව සිටි රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ අය නිසා නිර්දේශ වීම ම ලොකු දෙයක් විදිහටයි මම හිතුවේ.

 

හොඳම නිළිය ලෙස මින් පෙරත් ඔබ කිහිප විටකදීම නිර්දේශ වුණා?

සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි මම ක්ෂේත්‍රයට ආවේ. මං හිතන්නෙ සුදුසු කාලෙදි එය මට ලැබුණා. මගේ රංගනයට උපරිම සාධාරණය ඉටු කරන්න පුළුවන් වූ කාලෙදීම මේ ලැබුණු ඇගැයීම මට වඩාත් වටිනවා.

 

ශලනි මුල්කාලීනව බොහෝ විට දැක්කේ ෆැන්ටසි කතාවලින්. පසුව ඔබ ඒ සීමාවෙන් ඔබ්බට යනවා?

මම ක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු 18 සම්පූර්ණ වෙන්නත් කලින්. ‘පූජාසනය’ටෙලිනාට්‍යයට පසුව මම විවිධ ආකාරයේ නිර්මාණවලට දායක වුණා. ෆැන්ටසි, බොළඳ ආදර කතා ඒ අතර තිබුණා. මම හිතන්නෙ රංගන සීමාව තීරණය වෙන්නෙ එකිනෙකාගේ කැමැත්ත අනුවයි. මට ඕන වුණේ ජනප්‍රියතම නිළිය වෙන්න නම් නෙමෙයි. හොඳ නිළියක් වෙන්න. 2009 වසරේ ඉඳන් ම මාව ජනප්‍රියතම නිළියට නිර්දේශ වෙලා තියෙනවා. මට හැමදාම ඕන වුණේ වෙනස්, හොඳ දෙයක් කරන්නයි.

 

දැන් ඔබේ වැඩි තේරීම කලාත්මක ධාරාවේ නිර්මාණද?

මෑත කාලයේ සිට මම මෙගා ටෙලිනාට්‍යවලින් ඈත් වෙලා ඉන්නෙ. මෙගා ටෙලිනාට්‍යයට සහභාගී වෙනවා කියන්නෙ වෙනත් දේට කැප වෙන්න තියෙන කාලය නැති වෙනවා. මට ඕනෙ විවිධ දේවල් වලින් ඉදිරියට යන්නයි. ඒ නිසා කෙටි කොටස් ප්‍රමාණයක ටෙලි නාට්‍යවලට දායක වෙනවා.

 

සම්මාන ලැබූ පමණින් ශලනිගේ වටිනාකම වැඩි වෙයිද?

සම්මානය ලැබෙන්න පෙරත් මම මගේ හැකියාවට සාධාරණ වටිනාකමක් ලබා දුන් කෙනෙක්. මාව අවශ්‍ය නිසාම මගේ වටිනාකම දීලා මාව ඔවුන් ගේ නිර්මාණවලට ගන්න අධ්‍යක්ෂකවරු ඉන්නවා. මම හිතන්නෙ තමන් තමන්ගේ වටිනාකමට සාධාරණයක් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

 

මේ සම්මාන මෙතෙක් ආ ගමනේදී ඔබට එල්ල වූ ගල්මුල්වලට දුන් පිළිතුරක් ද?

මම හිතනවා ඔව් කියලා. ගල් මුල් ගහන මිනිස්සුන්ට උත්තර බඳින්න කාලය වැය කරනවට වඩා ඒ කාලයේදී තමන් යමක් කරගත්තොත් ඒක තමන්ටයි. මම අසාධාරණයේදී නිහඬව ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් අනවශ්‍ය විදියට මවන බොරු දේවල්වලට උත්තර බඳින්න මම මගේ කාලයෙන් ටිකක්වත් වැය කරන්නෙ නෑ.

 

මින් ඉදිරියට ඔබේ අරමුණු සහ බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම හීනය හැබෑ වුණා. නමුත් ඒකෙ තේරුම පුංචි තිරයේ මගේ ගමන සම්පූර්ණයි කියන එක නෙමෙයි. මං ගැන තැබූ මේ විශ්වාසය නොබිඳින්න මම වග බලාගන්න ඕනෙ. සිනමාවෙත් ගමනක් යන්න මගේ අදහසක් තියෙනවා. මම මේ තරම් චිත්‍රපට ප්‍රමාණයක රඟපෑවා කියනවට වඩා මතකයේ රැඳෙන්න පුළුවන් විදියෙ දෙයක් කරන්නයි ඕනෙ. ඒ වගේ චරිතයකින් හොඳම නිළිය විදියට නිර්දේශ වෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා.

 

මම ඇහුවේ වෘත්තීය ජීවිතය ගැනම නෙවෙයි?

මේ කාලයේදී මේ දේ කරනවා කියලා අරමුණු හදාගෙන නැහැ. ජීවිතේ ලැබෙන දේ ලැබෙන විදියට බාරගන්නයි මම පුරුදු වෙලා ඉන්නේ.

[email protected]

ඡායාරූපය - විපුල අමරසිංහ

 

Comments