ක්‍රීඩා ඉතිහාසයේ ජී. එල්-නාමල් ඓතිහාසික එක්වීමක් | සිළුමිණ

ක්‍රීඩා ඉතිහාසයේ ජී. එල්-නාමල් ඓතිහාසික එක්වීමක්

ජී. එල්. පීරිස් සහ නාමල් රාජපක්ෂ

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි මේ වනවිට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර ඇති අතර,එකී ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්ත්වයකට ගෙන එමින්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබාදීමට හැකි පාසල් පරිසරයක් ඇති කිරීමත්, එමඟින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයන් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුළින් බිහිකිරීමත් ක්‍රීඩා පාසල් ස්ථාපනය කිරීමේ ප්‍රමුඛ අරමුණු වේ. ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා සඳහා විශේෂ හැකියාවක් සහ ලැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ. පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටලුවට විසඳුම් ලෙස සෑම ක්‍රීඩා පාසලක ම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට ද අදහස් කරගෙන තිබේ.

එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කිරිමට ද යෝජිතය.

ලාංකේය ක්‍රීඩාව නඟා සිටුවීමට නම් මුලින් ම කළ යුතු වන්නේ ක්‍රීඩාවේ තිඹිරිගෙය වන පාසල සම්බන්ධ කරගෙන ඉදිරියට යාම බව පළමු සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේදීම ඔප්පු විය. ළමුන්ගේ දෛනික දිවියේ ඇවිදීම, දිවීම, විසි කිරීම, පැනීම් වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් විනෝදාස්වාදය ලබා ගත හැකි ආකාරයෙන් විද්‍යානුකුල පසුබිමක් යටතේ පෙළ ගැස්ම මෙම ක්‍රීඩා තරගාවලියේ මූලික පරමාර්ථය විය. මේවායේ ප්‍රතිඵල දිනකින්, සතියකින්, මාසයකින් නොලැබී යා හැකි නමුත් වැදගත් වන්නේ මේවා තුළ දිගින් දිගටම අත්වැල් බැඳගෙන කටයුතු කිරීමය.

කුඩා වියේදීම ක්‍රීඩා පිටියට පිවිසීම හරහා අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගත හැකිය. මෙවැනි තරගාවලියක් සඳහා උපදෙස් දුන් නිලධාරීන් මීට වසර හතකට පමණ පෙර වයස අවුරුදු 13 න් පහළ තරගකාරි ක්‍රීඩා නැවැත්වීමට උපදෙස් ලබා දුන් නිලධාරින් අද අනුභව කරන්නේ මොනවාදැයි මඳක් සොයා බැලිය යුතුව තිබේ. හිටපු ක්‍රීඩා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් කැබිනට් සංදේශයක් මගින් වයස අවුරුදු 13 න් පහළ ක්‍රීඩා තරග තහනම් කරන ලදී. එහිදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පුහුණුවක් නැති පිරිස් පුහුණුකරුවන් යැයි කියා ගනිමින් දරුවන්ගේ සාරය උරා බොන බවය.

එසේ නම් මේ ලේ උරාබොන පුහුණුකරුවන් ඩ්‍රැකියුලා වර්ගයේ පුහුණුකරුවන් විය යුතුය. අමාත්‍යවරයාට අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ ඩ්‍රැකියුලා වර්ගයේ පුහුණුකරුවන් ගෙන් දරුවන් බේරා ගැනීමට නම්, එකී පුහුණුකරුවන් ඉවත් කිරීම මිස දරුවන්ට ක්‍රීඩා තරග තහනම් කිරීම නොවේ. විද්‍යාත්මක හැදෑරීමකින් තොරව මහදැනමුත්තා එළුවාගේ බෙල්ල වෙන්කර මුට්ටිය ගැනීමට උපදෙස් දුන්නා සේ විශේෂයෙන් මෙරට අධ්‍යාපන සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරින්, බලධාරීන්ට දිරච්ච ලණු දීමට ගජ හපන්නුය.

ඒවා අනුව ක්‍රියා කරන බලධාරින්ද අවසානයේ වැටෙන්නේ කුණු ගොඩවල්වලටය. අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට ලාංකේය ක්‍රීඩාව ගොඩ ගැනීමට වෙන වෙනම සැලසුම් සකස් කිරීමෙන් පලක්වේද යන්න බලධාරින් දැන්වත් කල්පනා කළ යුතුය.

කඹ ඇදිලි, බෝල පාස්කරගැනීම් පැත්තකින් තබා අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යවරුන් මුලින්ම එකට සිටගෙන පෙරට යාමට ඉටාගත යුතුය. ලාංකේය ක්‍රීඩාවේ තිඹිරිගෙය පාසලය. එය අමතක කර වැඩ කිරීමෙන් පලක් නැත. මුල් පදනම දමා ගත යුත්තේ පාසල සමඟය. ඒ නිසා අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යවරුන් එකට හමුවී ඒ සඳහා විද්‍යානුකුල සැලසුමක් සකසා ගතයුතුය. බිඳී නොයන පදනමක් දමාගත යුතුය.

Comments