ෆේස්බුක් සාද­යක් වූ උප­න්දින සාද­යට වැට බැඳේ | Page 2 | සිළුමිණ

ෆේස්බුක් සාද­යක් වූ උප­න්දින සාද­යට වැට බැඳේ

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ එක්රැස් වන නන්විධ තරුණ තරු­ණි­යන්ගේ මිතුරු සමාජ වෙනු­වෙන් පව­ත්වන සාද හෙවත් ෆේස්බුක් සාද මෑතක සිට 'රැල්ල'ක් බවට පත්වෙ­මින් තිබේ. නග­ර­වල පම­ණක් නොව ඈත ගම්ද­නව් කරාද මෙකී ෆේස්බුක් සාද දැන් දැන් ව්‍යාප්ත වී හමා­රය. මීට වසර පහ-හය­කට පමණ පෙරදී තරුණ තරු­ණි­යන් අත­රට ආ ෆේස්බුක් සාද මේ වන විට මුළු සමා­ජ­ය­ටම පිළි­ල­යක්ව ඇති බව ගම්‍ය වන්නේ එකී සාද­වල සිදු වන නොයෙක් අක­ට­යු­තු­කම් නිසා­වෙනි. මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්පැන් පම­ණක් නොව තරුණ තරු­ණි­යන් අතර ලිංගික හැසි­රීම්ද පසු­ගිය කාලයේ ෆේස්බුක් සාද­ව­ලදී වාර්තා විය.

මීට වසර දෙක­කට පමණ පෙරදී වේය­න්ගොඩ පැරැණි වල­ව්වක පැවැති ෆේස්බුක් සාද­යක් පිළි­බඳ අප පුව­ත්ප­තද තැබූ සට­හ­න­කදී වැට­ලීම සිදු කළ වේය­න්ගොඩ පොලිස් නිල­ධා­රින් පැව­සුවේ අලු­යම් කාලයේ සාදය වට­ලන විටදී අධික ලෙස මත් ගති­යෙන් සිටි ඇතැම් තරුණ තරු­ණි­යන් අඩ­නි­රු­වත්ව තැන තැන වැටී සිටියේ ලිංගික හැසි­රීම්හි සාක්ෂිද සට­හන් කර­මින් බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා­ගන්නා (Share) හෝ සමාජ මාධ්‍ය කණ්ඩා­යම් (Group) ඔස්සේ බෙදා ගන්නා දැන්වී­මක් හරහා මෙකී සාද­ව­ලට තරුණ තරු­ණි­යන් එක්වන්නේ එවැනි සාද­වල සිදු­වන්නෙ කුමක්ද යන්න ගැන නිසි අව­බෝ­ධ­යක්ද නොමැ­ති­වය.

මෙසේ ෆේස්බුක් ඔස්සේ එක්තරා තරු­ණ­ය­කුගේ උපන් දින සැම­රු­මක් වෙනු­වෙන් පළ කළ දැන්වී­මක් (පෝස්ට්ටු­වක්) හරහා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමඟ තරු­ණ­යන් පිරි­සක් පැවැත් වූ ෆේස්බුක් සාද­යක් පසු­ගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රි­යේදී වට­ලනු ලැබීය. ඒ, මීග­මුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සමන් සිගේරා මහ­තාට ලැබුණු තොර­තු­රක් අනු­වයි.

පසු­ගිය 12 වැනිදා පෙර­ව­රුවේ කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ශ්‍රිනික ජය­කොඩි හමු­වී­මට වයස අවු­රුදු පන­හක් පමණ වන පුද්ග­ල­යකු පැමි­ණියේ හිරි­මල් වියේ පසු­වන තරු­ණ­ය­කුද සම­ඟිනි. කොච්චි­කඩේ, කම්ම­ල්තොට ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු වන නිහාල් නමැති එකී පුද්ග­ලයා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පව­ස­න්නට වූයේ,

"සර්... මගේ පුතාගේ 18 වැනි උපන් දිනය යෙදෙන්නෙ මේ 13 වැනි­දාට. දරු­වට යාළුවෝ ටික ගෙනල්ලා හෝට­ලේක අද රෑට උපන් දිනය සම­රන්න අව­ශ්‍යයි කිය­නවා..."

ඊට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ප්‍රති­චාර දක්වා තිබුණේ, "ප්‍රශ්න­යක් නෑ... හැබැයි කොරෝනා නීති රෙගු­ලා­සි­ව­ලට යටත්ව සිදු­විය යුතුයි... පී.එච්.අයි මහ­ත්ත­යට දැනුම් දිය යුතුයි... ඒ වගේම අස­ල්වැ­සි­යන්ට බාධා වෙන්නත් බෑ..."

එලෙස පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු අනු­මැ­තිය සමඟ කොච්චි­කඩේ පොලි­සි­යෙන් නික්මෙ­න්නට සූදා­නම් වෙද්දී නිහාල්, යළි පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට කීවේ, "සර්ටත් පුළු­ව­න්නම් එන්න... අපි සාද­ර­යෙන් පිළි­ග­න්නවා..." කියාය.

ලැබුණු ආරා­ධ­නය එසැ­ණින් ප්‍රති­ක්ෂේප කළ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා අපට කීවේ, එම ප්‍රකා­ශයේ සැඟ­වුණු අර්ථය හෙළි වන්නේ පොලි­සිය විසින් සාදය වැට­ලී­මත් සමඟ බවයි.

ඒ අතරේ නිහාල් එදින රාත්‍රියේ උපන් දින සාදය පැවැ­ත්වී­මට අව­සර ගත් කොච්චි­කඩේ, කම්ම­ල්තොට හොයෝ හෝට­ල­යට වැල නොකැඩී තරු­ණ­යන් ඇදී එන බවට මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට තොර­තු­රක් ලැබිණි. ඒ සැණින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා ඒ ගැන සොයා බැලී­මට කොච්චි­කඩේ පොලි­සිය දැනු­වත් කළේය.

ඒ වන විට තරු­ණ­යන් නවීන පන්නයේ මෝටර් රථ මෙන්ම යතු­රු­පැදි, ත්‍රිරෝද රථ ඇතුළු විවිධ රථ­වා­හ­න­ව­ලින් එම හෝට­ල­යට ඇදී එමින් සිටි­යහ. එසේ එම හෝට­ල­යට තරු­ණ­යන් රැස් වන්නේ කුමක් අර­බ­යාද යන්න සෙවී­මට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් පොලිස් නිල­ධා­රි­යකු සහ නිල­ධා­රි­නි­යක උපාය දූත­යන් සේ වෙස් ගන්වා යතු­රු­පැ­දි­ය­කින් මධ්‍යම රාත්‍රිය එළැ­ඹෙද්දී සාදය පැවැති හෝට­ල­යට යැව්වේය. ඒ වන විටත් සාද­යට එක්ව සිටි තරු­ණයෝ මහත් ඝෝෂා­කාරී ඩීජේ සංගී­ත­යට අනඟ රැඟුම් පාමින් සිට ඇත්තේ මත්පැන්, මත්කුඩු, සහ මත්පෙ­ති­ව­ලින්ද සප්පා­යම් වෙමින් බව උපාය දූත­යන් දැන­ග­න්නට ලැබිණි. තරුණ පිරිස් රැස්ව සිටි ශාලා­වට ඇතු­ළු­වී­මට තැත් කළ උපාය දූත­යන්ට එහි දොර­ටුව අසල සිටි අයෙක් කීවේ, "ඇතු­ළට යන්න නම් රුපි­යල් 1200ක ටිකට් පතක් ගන්න ඕනෙ..."කියාය.

ඒ සැණින් උපාය දූත­යන්ට වැට­හුණේ එම ස්ථානයේ උපන් දින සාද­යක් නොව කිසි­යම් අක­ට­යු­ත්තක් සිදු­වන බවයි. උපාය දූත­යන් දෙදෙනා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා අමතා කීවේ, "සර්... මෙතන තියෙන්නෙ උප­න්දින සාද­යක් නෙවෙයි. විවි­ධා­කා­රයේ වාහ­න­ව­ලින් කොල්ලො එනවා. ඇතු­ළට යන්න ටිකට් කඩ­නවා..."

ලැබුණු තොර­තුර පිළි­බ­ඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යා­ගේද උප­දෙස් මත කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ශ්‍රිනික ප්‍රමුඛ නිල­ධා­රින් විස්ස­කට අධික කණ්ඩා­ය­මක් අලු­යම 1.40ට පමණ හෝට­ලය වට­ලනු ලැබීය. ඊට අවට පොලිස් ස්ථාන­වල නිල­ධා­රි­හුද එක්ව සිටි­යහ.

"ඒ වෙලාවෙ තරු­ණයෝ 153 දෙනෙක් පමණ හිටියා. සියලු දෙනාම අවු­රුදු 18ත් 25ත් අතර. අපි වට­ලන වෙලාව වෙන­කොට තමයි මේ සාදයේ උපරිම තත්ත්වය ආරම්භ වුණේ... ඒ වෙලා­වෙත් කපල්ස් වාහ­න­ව­ලින් එමින් හිටියේ. පස්සෙ හැඳු­නු­ම්පත් තිබුණ අය අව­වාද කරලා මුදා­හැ­රියා. තිස්දෙ­නෙක් හිටියා අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මට නොහැ­කිව. ඔවුන් අතර මත්පැන්, මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගත් පිරිස හිටියා. ඒ අය අත්අ­ඩං­ගු­වට ගත්තා."

ඒ අතර සිටි සාදය සංවි­ධා­නය කළ 18 හැවි­රිදි තරු­ණයා සහ ඔහුගේ පියා වන නිහාල් නීති­වි­රෝධි මත්කුඩු, මත්පෙති, මත්පැන් සහි­තව සාද­යක් සංවි­ධා­නය කිරී­මට ආධාර අනු­බල දීම නිසා අත්අ­ඩං­ගු­වට ගැණින. මෙකී නීති­වි­රෝධි සාදය පැවැ­ත්වී­මට අව­සර ගැනී­මට සිය පුත්‍රයා සමඟ නිහාල්ද පොලි­සි­යට පැමි­ණි­යත් සාදය ජංගම දුර­ක­ථ­නය ඔස්සෙ සමාජ මාධ්‍ය උප­යෝ­ගී­කොට සංවි­ධා­නය කර තිබුණේ ඔහු සමඟ පොලි­සි­යට පැමිණි පුත්‍රයා විසිනි.

පොලිස් අත්අ­ඩං­ගු­වට පත් තරු­ණ­යන් 31 දෙනා අතර මාර­විල, දංකො­ටුව, කොච්චි­කඩේ, පමු­ණු­ගම, මීග­මුව, සීදුව, හලා­වත ආදි පෙදෙස්හි විවිධ තරා­ති­රමේ පිරිස් වූහ. ඒ අතර සිටි ඇතැම් දෙනා ඉහළ පවුල් පසු­බිම් සහිත අධ්‍යා­ප­න­යෙන්ද ඉහ­ළ­ටම ගිය තරු­ණ­යන්ය. පොලිස් බාර­යට පත් තරු­ණ­යන් පාපෝ­ච්චා­ර­ණය කළේ,

"සර්... අපි මුකුත්ම දන්නෙ නෑ... ෆේස්බුක් එකේ තිබුණේ අස­වල් හෝට­ලයේ උප­න්දින සාද­යක් තියෙ­නවා, එන්න කියලා..."

එහෙත් වර්ත­මා­නය වන විට රටේ බොහෝ තරුණ තරු­ණි­යන් ෆේස්බුක් සාද යනු කුම­නා­කා­රයේ සාද­යක්ද යන්න හොඳින් දනී. පොලිස් බාර­යට පත් තරු­ණ­යන් 30 දෙනාගේ මවු­පි­යන්ද කොච්චි­කඩේ පොලි­සි­යට කැඳ­විණි. එකී තරු­ණ­යන්ගේ ඇතැම් මවු­පියෝ පොලි­සිය තුළ­දීම දරු­වන්ට දඬු­වම් කර තිබුණේ තැන නොතැ­නද නොත­ක­මින් ඔවු­නට පැමිණි ආවේ­ගය නිසා­වෙනි.

මෙකී නීති විරෝධි සාදය පැවැති හෝටල් බල­ධා­රි­න්ගෙන්ද පොලි­සිය ප්‍රශ්න කෙරිණි. ඔවුහු පවසා ඇත්තේ ශාලාව වෙන්කර ගත්තේ උප­න්දින සාද­ය­කට බවත් එහෙත් එතුළ සිදු වන්නේ කුමක්ද යන්න සොයා බැලී­මක් නොකළ බවත්ය.

කොරෝනා නිසා හෝට­ල්ව­ල­ටද සිදුව තිබෙන ලාබ­පාඩු පියවා ගැනී­මට කිසිදු සොයා බැලී­ම­කින් තොරව හෝටල් බල­ධා­රින්ද හෝටල් ශාලා ලබා­දෙන බැවින් මේ දින­වල මෙවැනි සාද ඇතුළු බොහෝ නීති­වි­රෝධි කට­යුතු සිදු වන බව පොලි­සිය පව­සයි. කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාද මෙකී සාදය පැවැති හෝට­ලයේ බල­ධා­රින්ට දැඩිව අව­වාද කළේ නිසි සොයා බැලී­ම­කින් තොරව දිගින් දිග­ටම මෙවැනි දෑ සඳහා හෝට­ලය ලබා­දු­න­හොත් නීති­මය පිය­වර ගන්නා බව­ටයි.

මෙකී සාදය වැට­ලී­මට මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සමන් සිගේ­රාගේ උප­දෙස් මත කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ශ්‍රිනික ජය­කොඩි, පොලිස් පරී­ක්ෂක දේව­ප්‍රිය, උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන ජය­කොඩි, ලක්ෂ්මන්, පොලිස් සැර­ය­න්ව­රුන් වන 51833 තෙන්න­කෝන්, 51750 නිහාල්, 12780 නිලුක යන නිල­ධා­රින් සමඟ මීග­මුව අවට පොලිස් ස්ථාන කීප­ය­කම නිල­ධා­රිහු එක්වූහ.

කොච්චි­කඩේ පැවැති මෙකී සාදය සේම ෆේස්බුක් සාද­යක් ගෙවී ගිය සතියේ දිනෙක පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ ස්ථාන­ය­කද පවත්වා ඇති අතර එයද පොලි­සිය විසින් වටලා තරු­ණ­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

සමා­ජ­යට පිළි­ල­යක් වන මෙවැනි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය­ය­න්ගෙන් තරුණ තරු­ණි­යන් එක්ව මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කර­මින් දින ගණන් එක දිගට අනඟ රැඟුම් පානා සාද­වල මෑත­කා­ලීන ඉති­හා­සය පිරි­ක්සී­මේදී 2018 වසරේ වාද්දුවේ සැප්රෝන් හෝට­ලයේ පැවැති සාදය මෙතෙක් මෙවැනි සාද­ය­කදී ඛේද­නී­යම සිදු­වීම වූ සාදය වේ. ඒ, එම සාද­යේදී අධික ලෙස මත්පෙති පානය නිසා­වෙන් තරුණ ජීවිත හත­රක්ම මෙලොව හැර යෑම නිසා­වෙනි. නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කර­මින් පැවැත්වූ මෙවැනි ෆේස්බුක් සාද­යක් ගැන මුලින්ම වාර්තා වන්නෙ 2013 වස­රේ­දීය. ඒ, රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යෙනි. සමාජ මාධ්‍ය ඔස්සෙ රටේ විවිධ පෙදෙ­ස්වල තරුණ තරු­ණි­යන් එක්රැස්ව විශේ­ෂ­යෙන්ම වෙර­ළ­බඩ පෙදෙස් ආශ්‍රි­තව සිදු වන මෙවැනි සාද 148ක් පමණ මේ වන විට වටලා ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. එය තවත් ඉහළ යන්නේ සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­වද පසු­ගිය කාලයේ ෆේස්බුක් සාද රැසක්ම රටේ විවිධ පෙදෙ­ස්ව­ලදී වට­ලනු ලැබ ඇති හෙයිනි. එසේම ගිය වසරේ ජූලි මාස­යේ­දීද මිරි­ස්සෙන් දිය­ඹට ගිය අධි සුඛෝ­ප­භෝගී නෞකා­වක පැවැති මෙවැ­නිම ෆේස්බුක් සාද­යක් වැට­ලී­මට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒක­කය සමත් වූයේය. එදි­නද තරුණ තරු­ණි­යන් 74 දෙනෙක් පොලිස් බාර­යට පත් විය.

කෙත­රම් වැට­ලීම් සිදු­ක­ළද මෙවැනි සාද රට­පුරා විශේ­ෂ­යෙන්ම සති අන්තයේ නගර ගම්ද­නව් සිසාරා කෙත­රම් පැවැ­ත්වෙ­න­වාද යන්න දන්නේ ඊට සහ­භාගි වන තරුණ පිරිස් ය. ඇතැම් තරුණ තරු­ණි­යන් මෙවැනි සාද­ව­ලට එක්වී­මට කිලෝ­මී­ටර් සිය ගණන් දුර ගෙවා එති. එම නිසා මෙවැනි සාද­ව­ලට එක්වන දරු­වන්ගේ මවු­පි­යන් සිය දූපු­තුන් පිළි­බ­ඳව බොහෝ සේ අව­ධා­න­යෙන් සිටිය යුතු­මය.

Comments