ලොව විශාලතම මැමත් අස්ථි නිධිය මෙක්සිකෝවෙන් හමුවෙයි | සිළුමිණ

ලොව විශාලතම මැමත් අස්ථි නිධිය මෙක්සිකෝවෙන් හමුවෙයි

මැමත් ඇතුන් යැයි කී විගස සිහියට නැගෙන්නේ ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ සිත් බැඳ ගත් අයිස් ඒජ් කාටුන් චිත්‍රපට මාලාව. එහිදී ප්‍රධාන චරිත වන මැමත් ඇතුන් දෙදෙනා ලෝකයේ අන්තිම මැමත් ඇතුන් බව වරෙක කියවෙනවා. ඒ කියන්නේ ඔවුන් ලෝකයෙන් වඳ වෙමින් සිටින බවයි. අයිස් ඒජ් කතා මාලාවේ යොදා ගෙන තිබෙන්නේ මෙලෙස ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වඳ වී ගිය දැනට ලෝකයේ සිටින සාමාන්‍ය අලින්ට වඩා ශරීරයෙන් විශාල, එමෙන්ම අති විශාල දළ යුගලයන්ද සහිත ඇතුන් විශේෂයක්. පෘථිවිය මත අයිස් යුගය නිමාවත් සමඟම මේ සතුන්ද මෙලොවින් තුරන්ව ගිය බව විද්‍යාඥයන්ගේ මතයයි.

කෙසේ වුවත් ලොව පුරා තැනින් තැන මේ මැමත් ඇතුන්ගෙ ඇටසැකිලි සහ අස්ථි කොටස් වරින් වර හමුවූවා. ඒත් පසුගියදා ලෝකයේ එකවර හමුවූ විශාලතම මැමත් අස්ථි සමූහය අහම්බෙන් සොයා ගැනීමට ඉඳිකිරීම් වැඩබිමක සේවකයන්ට හැකියාව ලැබුණා. ඒ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරින්. මේ අගනුවර උතුරු ප්‍රදේශයේ බිම් කැණිමක් සිදු කිරීම ආරම්භ කරණු ලැබුවේ නව ගුවන් තොටුපොළක් ඉඳි කිරීමේ අරමුණෙන්. එහෙත් කැණීම් සිදුකරමින් පවතින අතර ඓතිහාසික මිනිසුන් මැමත් ඇතුන් ඇල්ලීමට යොදා ගත් උගුල් දෙකක කොටස් සොයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එතැන් සිට වැඩ බිම පුරාවිද්‍යා කැණීම් බිමක් බවට පත්වූයේ උගුල් පවතී නම් මැමත් ඇටසැකිලිද පවතින බවට කෙරුණු අනුමානය නිසා. සැබවින්ම ඒ අනුමානය නිවැරැදි වූයේ ක්‍රමක්‍රමයෙන් පොළොව අභ්‍යන්තරයට කැණීම් සිදුකරද්දී මැමත් ඇටසැකිලි හමුවීමට පටන් ගත් නිසයි.

මේ වන විට මෙකී භූමියෙන් මැමත් ඇටසැකිලි 200ක් පමණ හමුවී තිබෙන බව මෙක්සිකෝ බලධාරීන් මාධ්‍යට පවසා තිබෙන්නේ. එහෙත් තවදුරටත් කැණීම් සිදුකෙරෙන අතර තවත් ඇටසැකිලි හමුවිය හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

දැනට ගොඩගෙන ඇති ඇටසැකිලි පරීක්ෂා කළ විද්‍යාඥයන් අනුමාන පළ කර ඇත්තේ මේ ඇටසැකිලි අදින් වසර 10,000 – 13,000ත් අතර ජීවත් වූ මැමත් ඇතුන්ට අයත්වූ ඒවා බවටයි. මේ වන විට ගුවන් තොටුපොළ ඉඳිකිරීමට තෝරා ගත් භූමියෙන් ඉවතටද කැණීම් සිදුකරමින් පවතින අතර ඒ ප්‍රදේශය මිදී ගිය විලක මතුපිටක් බවට අනුමාන පහළ වී තිබෙනවා. අදාළ ප්‍රදේශයේ කැණීම් බාරව කටයුතු කරන පුරාවිද්‍යාඥ පේද්රෝ සන්චේස් නාවා පවසා ඇත්තේ ඔවුන් භූමිය තුළට කණින එක් පියරවක් පාසා ඇටකැබලි මතුවෙමින් පවතින බවයි.

මෙක්සිකෝවෙන් මේ මහා මැමත් ඇටකැබලි සමූහය සොයා ගැනීමට පෙර එකම ස්ථානයකින් වැඩිම මැමත් ඇට කැබලි මතුවූ ස්ථානය වූයේ අමෙරිකාවේ උතුරු ඩකෝටා ප්‍රදේශයෙනි.

එම භූමියෙන් මැමත් ඇතුන් 60 දෙනෙකුගේ ඇටසැකිලි සොයා ගනු ලැබීය. දැන් මේ ස්ථානය මේ වන විටත් ඇතුන් 200 ඉක්මවා ඇටසැකිලි මතු කර ගනිමින් ලොව වැඩිම මැමත් ඇටසැකිලි හමුවූ ස්ථානය බවට පත්ව තිබේ.

මෙලෙස හමුවෙමින් තිබෙන ඇටසැකිලි කොලොම්බියන් වර්ගයට අයත් මැමත් ඇතුන්ගේ අස්ථි බවට විද්‍යාඥයන් මත පළ කර තිබේ.

මේ කොලොම්බියන් වර්ගයේ මැමත් ඇතුන් උතුරු ඇමරිකා මහාද්වීපයට පැමිණ ඇත්තේ අදින් වසර මිලියනයකට පමණ ඉහතදී බවයි විශ්වාස කෙරෙන්නේ. මේ ඇතුන් සාමාන්‍ය ලෙස සිවු පා පොළොව මත තබා සිටගත් විට අඩි 14ක් පමණ උස බව බවයි විද්‍යාඥයන් පවසා තිබෙන්නේ.

Comments