නෙතන්යාහු දේශපාලන දියසුළියක් අබියස | සිළුමිණ

නෙතන්යාහු දේශපාලන දියසුළියක් අබියස

බෙන්ජමින් නෙතන්යාහු යනු සුළු කොට තැකිය යුතු පුද්ගලයකු නොවේ. මේ සටහන ඇරඹීමට පෙර එසේ ලියා තැබිය යුතුය. එමෙන්ම ඊශ්‍රායල් යනුද සුළු පටු රටක් නොවන බවද කිව යුතුය. ඊශ්‍රායල් යනු ලෝක බලවතුන් විසින් බලහත්කාරයෙන් බිහි කරවනු ලැබූ රටකි. ඒ මැද පෙරදිග කලාපයේ ඉතා ශුෂ්ක භූමියකය. තමන්ට ලැබුණු ඒ ශුෂ්ක බිම් කොටස මත ලෝකයේ ධනවත්ම රටක් බිහි කිරීමට එරට වැසියෝ ඉතා කෙටි කලකින්ම සමත් වූහ. එපමණක්ද නොව තම භූමියේ මුල් හිමිකරුවන්ට මදි නොකියන්නට පීඩා ගෙනදීමටද ඊශ්‍රායලය පසුබට වූයේ නැත. බෙන්ජමින් නෙතන්යාහු දීර්ඝතම කාලයක් ඊශ්‍රායලය පාලනය කළ අගමැති වන්නේ එවන් වූ රටේය.

ඊශ්‍රායල් රාජ්‍යය ස්ථාපිත කළදා සිට පත් වූ පාලකයෝ කිසිසේත් අදක්ෂයන් වූයේ නැත. නෙතන්යාහුද අයත් වන්නේ එකී කුලකයටය. එහෙත් එරට මෙතෙක් සිටි කිසිදු පාලකයකු නෙතන්යාහු තරම් දක්ෂ නොවූ බවත්, සුක්ෂ්ම නොවූ බවත් කිව යුතුය.

මේ වන විට බෙන්ජමින් නෙතන්යාහු එරට අගමැති ලෙස ස්වකීය දෙවැනි ධූර කාලය දරමින් සිටින්නේය. ඒ අතරම ඔහුට විරුද්ධව එරට අධිකරණයේ නඩුවක්ද විභග වෙමින් පවතින්නේය. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙනි. මේ අතර ගත වී යන මොහොත වන විටත් ඊශ්‍රායල් ජනතාව දහස් ගණනින් වීදි බසිමින් නෙතන්යාහුට විරුද්ධව විරෝධතා පවත්වන්නේය. එහෙත් ඔහු ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරමින් ඇමරිකාවේ සංචාරයක නිරත වන්නේ මැදපෙරදිග කලාපයට අදාළ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමේ මුවාවෙනි.

මේ සියල්ල මත අද වන විට ලෝක දේශපාලන විචාරකයන්ගේ ඇස් ඊශ්‍රායලය දෙසට යොමු වී පවතින්නේය.

2009දී ප්‍රථම වරට ඊශ්‍රායලයේ බලයට පත්වන නෙතන්යාහු දේශයට ස්ථාවරත්වය ලබා දෙන අතරම සෙසු පක්ෂවල ස්ථාවරත්වය නැති කර දැමීමටද වග බලා ගත්තේය. එහෙත් එසේ වූ පමණින් එරට ජනතාව නෙතන්යාහුට කැමති වූයේද නැත. වඩා බුද්ධිමත් ඊශ්‍රායෙල් ජනතාව දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තැබීමට කිසිදා හදිස්සි නොවූහ. 2009දී ද නෙතන්යාහු බලයට පැමිණියේ සන්ධානයක් සමඟින් වීම ඒ සඳහා හොඳ උදාහරණයකි. 2013 සහ 2015 වසරවලදීද ඔහුගේ ලිකුද් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නෙතන්යාහුට හැකියාව ලැබිණි. එහෙත් එසේ වූයේ ඉතා සුළු බහුතර ඡන්ද සංඛ්‍යාවකිනි. කෙසේ වුවද 2019 පැවති මැතිවරණයේදී නෙතන්යාහුට මුහුණ දෙන්නට සිදුවූයේ ඉතා අසීරු අභියෝගයකටය. එවර ඔහුට හෝ විරුද්ධ නිල් සුදු සෙන්ට්‍රිස්ට් පක්ෂයේ බෙනී ජෙන්ට්ස්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණේ නැත. එමගින් අදහස් වූයේ ඊශ්‍රායලයේ පවතින දේශපාලන රටාව මෙන්ම දේශපාලනඥයන්ද ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව නොවේද? එහෙත් එම ඓතිහාසික අවස්ථාවේදී ජනතා ප්‍රතික්ෂේපයද තම වාසියට හරවා ගත් ඊශ්‍රායල් දේශපාලනඥයන් යළිත් සන්ධානයක් කරා ගියහ. එවර එකිනෙකා ප්‍රතිවිරුද්ධව ඡන්ද සටනේ නියැළුණු පක්ෂ දෙක එක්වූ අතර අගමැති ධූරය පක්ෂ නායකයන් දෙදෙනා අතර හුවමාරු කර ගැනීමේ අපූරු ගිවිසුමක්ද ඊට එක් විය. ඒ අනුව නෙතන්යාහු යළිත් තම අගමැති ධූර කාලය ඇරඹූ අතර එම ධූර කාලය 2021 නොවැම්බරයේදී බෙනී ජෙන්ට්ස්ට ලබා දීමට නියමිත විය.

එහෙත් යළිත් තම පාලන කාලය ඇරඹූ නෙතන්යාහුට සුවසේ ඉන්නට හැකියාව ලැබුනේ ඉතා කෙටි කලක් පමණක් විය. මීට පෙර ඔහු වෙත එල්ල වී තිබුණු දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගයද ආරම්භ කිරීමට එරට අධිකරණය කටයුතු කළ අතර ඒ සමඟම ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට විරුද්ධ මහා විරෝධතා රැල්ලක් ආරම්භ විය.

ලෝකය පුරා පසුගිය මාර්තුවේ සිට කොවිඩ් වසංගතය පැතිර යන අවස්ථාවේදී වයිරසය ඉතා සාර්ථකව පාලනය කළ රටක් ලෙස ඊශ්‍රායලය පැසසුම් ලැබීය. එම ලකුණු සියල්ලද නෙතන්යාහු තම ගිණුමට දමා ගත්තේ ඒ වන විට ඔහුට එල්ල වී තිබූ දූෂණ චෝදනා නඩුව ඇසීම ආරම්භ වී තිබුණු බැවිනි. 2016 වසර වන විට නෙතන්යාහුගේ දූෂණ චෝදනා සම්බන්ධව විමර්ෂණ ඇරඹී තිබූ අතර ඒ සම්බන්ධව තොරතුරු සහ සාක්ෂි එක්රැස් කිරීම සිදුවෙමින් පැවතිණි. එහෙත් 2019 නොවැම්බර් මාසයේදී,එනම් ඔහු යළිත් වරක් අගමැති ලෙස පත්වීම් ලැබ ඉතා කෙටි කලකින්ම ඔහුට විරුද්ධව නඩු විභාගය ආරම්භ කෙරිණි. දැන් ඊශ්‍රායල් ජනතාව වීථි බසිමින් උද්ඝෝෂණ සිදු කරන්නේ අගමැතිට විරුද්ධ නඩු විභාගය සාධාරණ ලෙස පවත්වා ‍ෙගන යන ලෙසටත්, එමගින් ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙසටත් පවසමිනි.

මේ විරෝධතා රැල්ල පසුගිය සැප්තැම්බර් 12වැනිදා ඉතා උච්ඡ අවස්ථාවකට පත් වූ අතර එවර 10,000කට අධික පිරිසක් අගමැති නෙතන්යාහුගේ නිවස වැටලූහ.

ඔවුහු නලා පිඹිමින්, විරෝධතා පුවරු ඔසවමින්, සටන් පාඨ කියමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කළහ. ඒ හා සමාන ජන සහභාගීත්වයෙන් යුතු විරෝධතා එරට සෑම ප්‍රධාන නුවරකම පාහේ පවත්වන්නට ඊශ්‍රායෙල් ජනතාව කටයුතු කර තිබිණි. එහෙත් නෙත්නයාහුට ඒ කිසිවක් ඇසුණු බවක් පෙනෙන්ට තිබුණේ නැත.

එරට ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ සෑම සතියකම විරෝධතාකරුවන් 10,000කට අධික පිරිසක් ජෙරුසෙලෙම් නුවර විරෝධතාවන්ට එක්වන බවයි. ජනතාව මේ විරෝධතාවලට එක්වන්නේ තවමත් කොවිඩ් වසංගතය පැතිර යමින් පවතින අවස්ථාවක බවද සිහිපත් කළ යුතුය.

ඊශ්‍රායලය කොවිඩ් වසංගතය පැතිර යෑම ආරම්භ වූ අවස්ථාවේදීම වසා දැමීමට නෙතන්යාහු කටයුතු කළ අතර මේ දක්වා එරටින් වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 1,50,000කි. මරණ සංඛ්‍යාව 1000කට අධිකය. රට වසාදැමීමෙන් පසු ආර්ථිකයටද ප්‍රබල හානි සිදුවූ අතර මේ වන විට ඊශ්‍රායලයේ විරැකියාව සියයට 20 දක්වා ඉහළ ගොස් තිබේ. ජනතා විරෝධතා වැඩි දියුණු වීමට මේ සියල්ල හේතු වී ඇතැයි වාර්තා වේ.

ජනතාව නෙතන්යාහුට චෝදනා කරන්නේ අගමැති බලතල භාවිත කරමින් තම මඩිය තර කර ගන්නට ඔහු කටයුතු කළ බව කියමිනි. එහෙත් නෙතන්යාහු මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මේ සියල්ල වාමාංශික දේශපාලන එදිරිවාදීන් ගේ බොරු චෝදනා බවයි.

මේ අතර පසුගිය සතියේ නෙතන්යාහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ පෞද්ගලික ජෙට් යානයකින් අමෙරිකාව බලා පියාසර කළේය.

එහිදී ඔහු ලෝකයට පවසා සිටියේ මැදපෙරදිග කලාපයට අදාළ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම තම සංචාරයේ අරමුණ බවයි. එහෙත් ඊශ්‍රායලය යනු අමෙරිකාවේ දරුවා බව ලොවට සැඟවීම විහිලුවකි. ඊශ්‍රායලය බිහි කිරීමේ සිට රට පවත්වාගෙන යෑම දක්වා සෑම අවස්ථාවකදීම ඇමරිකාවෙන් ලැබුණේ අප්‍රමාණ සහයකි. දැන් ඊශ්‍රායල දක්ෂිණාංශික පක්ෂවලට නොඅඩුව ලබා දෙන සහය මෙන්ම විශේෂයෙන්ම තමාට ලබා දෙන සහය අමෙරිකාවෙන් ලබා ගැනීමට නෙතන්යාහු මෙය අවස්ථාවක් කර ගන්නා බව නිසැකය.

වරක් ජනාධිපති බරැක් ඔබාමාගේ පාලන කාලයේදී ඇමරිකානු සෙනෙට් මණ්ඩලය අමතමින් අමෙරිකාවේ වැඩපිළිවෙළ තරයේ විවේචනය කිරීමටත්, එමගින් ඊශ්‍රායලය තවදුරටත් ඇමරිකාවේ සාක්කුවේ නැති බව ඇඟවීමටත් නෙතන්යාහු කටයුතු කළේය. එහෙත් පසුගියදා ඇමරිකාවට ගිය ඔහු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් හමුවීමට හෝ නොනැවතී යළි සිය රට බලා පැමිණියේ පවතින මොහොතේ තමාට සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතුය.

කෙසේ වුවද ඇමරිකාවේදී එක්සත් අරාබි එමිරේට්ස් සහ බහරේන් යන රටවල් සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීමටද නෙතන්යාහු කටයුතු කර තිබේ. ඇමරිකාවට තමන්ට අවශ්‍ය අවස්ථාවේදී කතා කර ගැනීමට තරම් හිතවතුන් මැද පෙරදිග කලාපයේ හිඟපාඩුවක් නැත.

එහෙත් ලෝකයේ සෙසු රටවල් සම්බන්ධ කටයුතුවලදී ඇමරිකාවේ උදව්වෙන් ගොඩගියද තම රට අභ්‍යන්තරයේ ගැටලුවලට විරෝධතාවලට, ජනතා ප්‍රතික්ෂේපයන්ට ඇමරිකාවේ උදව් ලබා ගැනීමට නෙතන්යාහුට හැකි නොවනු ඇත. ඒ තම අගමැතිට ‘දූෂිත අගමැති’ යනුවෙන් අඛණ්ඩ චෝදනා එල්ල කරමින් පැතිර යන වසංගතය පවා සුළු කොට සලකමින් පාරට බැස සිටින ජනතාවක් යළි මුළා කිරීමට හැකි වනු ඇතැයි සිතිය නොහැකි බැවිනි.

Comments