කිසිදා නොනිමෙන අප්‍රිකාවේ සිවිල් යුද ගිනි | සිළුමිණ

කිසිදා නොනිමෙන අප්‍රිකාවේ සිවිල් යුද ගිනි

ලෝකයේ මහාද්වීප පහ අතරින් ‘අඳුරු මහාද්වීපය‘ යන විරුදාවලිය ලබා සිටින්නේ අප්‍රිකා මහාද්වීපයයි. එසේ නම් ලැබීමට කරුණු කිහිපයක්ම හේතු විය. මහා කොංගෝ වනාන්තරයෙන් මහාද්වීපයෙන් අඩක් පමණ වැසී තිබීම හෝ සහරා කාන්තාරයෙන් ඊටත් වඩා වැඩි ප්‍රදේශයක් ජනශූන්‍යව පැවතීම ද එක් හේතුවක් වුවද වඩාත්ම ප්‍රබල හේතුව වූයේ අප්‍රිකා රටවල් බහුතරයක් දුගී බවින් දැඩි ලෙස පීඩා විඳීමයි. එමෙන්ම දුප්පත්කම තවත් වර්ධනය කරන අභ්‍යන්තර ගැටුම් සහ සිවිල් යුද්ධය අප්‍රිකානු රටවල ඉතාමත් සුලබය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලූ විට පෙනී යන්නේ අප්‍රිකා මහාද්වීපයේ ඇති රටවල් 54න් රටවල් 49කම ගැටුම් හෝ සිවිල් යුද්ධ පවතින හෝ පැවති බවයි. ඇතැම් රටවල සිවිල් යුද ගිනි කාලානුරූපව නිවී ගියද ඇතැම් රටවල තවමත් අළුයට ගිනි පුපුරු පවතිනු දැකිය හැකිය.

දකුණු සුඩානය, ඇල්ජීරියාව, ඊජිප්තුව, සෝමාලියාව, කොංගෝ, චැඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කැමරූන්, උගන්ඩා, ලිබියාව, මොරොක්කෝ, සුඩානය, ටියුනීසියාව, මාලි, මුරිටානියා, නයිජර්, නයිජීරියා, බටහිර සහරා වැනි රටවල් මේ සඳහා උදාහරණ ලෙස ගත හැකිය. මේ රටවල පවතින අභ්‍යන්තර ගැටුම් ඇතැම්විට ජාතික වශයෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්ද ක්‍රියාත්මකය. බොහෝවිට මේ රටවල රජය සමඟ ගැටුම් ඇතිකර ගනිමින් සිටින්නේ ත්‍රස්තවාදී කල්ලි හෝ අන්තවාදී කණ්ඩායම්ය.

දකුණු සූඩානය සලකා බලන්නේ නම් එහි තැනින් තැන පවතින ගැටුම් රාශියක් දැක ගත හැකිය. ඇත්තෙන්ම දකුණු සූඩානය බිහිවූයේද ලේ විලක් මතිනි. සූඩාන රජය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පැවති දරුණු ගැටුම් සහ ජීවිත හානි රාශියකින් පසුව දකුණු සූඩානයට වෙන් වීමට අවසර හිමිවිය.

එහෙත් දකුණු සූඩානය වෙනම රටක් ලෙස ක්‍රියාත්මක වීම ඇරඹීමෙන් පසුව වුවද එහි අභ්‍යන්තර ගැටුම් අවසන් වූයේ නැ. සිදුවූයේ පෙරදී සුඩාන රජය සමඟ පැවති ගැටුම වෙනුවට දකුණු සූඩානය පුරා තැනින් තැන කණ්ඩායම් කිහිපයක් සමග යුද වැදීමට දකුණු සූඩාන රජයට සිදුවීමය. 2009 සිට දකුණු සූඩානයේ පාරම්පරික එඩේරුන් රජය සමඟ ගැටුම් ආරම්භ කළ අතර සුඩානයෙන් වෙන්වීමේදී රුධිරයෙන් තෙත්වූ ඩාෆුර් භූමිය මේ වන විටත් මේ අර්බුද හේතුවෙන් මිනිස් රුධිරයෙන් පෙඟී යමින් තිබේ. මීට අමතරව 2011 සිට ක්‍රියාත්මක දකුණු සුඩාන වාර්ගික අර්බුදය සහ සුඩාන විප්ලවීය පෙරමුණ මෙන්ම සුඩාන පිබිදුණු විප්ලවීය පෙරමුණ සමඟ පවතින ගැටුම් අතරින් රට ඉදිරියට ගෙන යෑමට දකුණු සුඩාන රජයට සිදුවී තිබේ.

දකුනු සුඩානයේම ක්‍රියාත්මක වන තවත් අවිගත් කණ්ඩායමක් හේතුවෙන් දුක්විඳන රටකි උගන්ඩාව. දෙවියන්ගේ විරෝධතා හමුදාව නැතහොත් දෙවියන්ගේ විරෝධතා පෙරමුණ නම් වන මේ අවිගත් පිරිස දකුණු සුඩානයේ, උගන්ඩාවේ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙන්ම කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේද ක්‍රියාත්මකය. මේ අර්බුදයෙන් උගන්ඩාව දුක් විඳන්නේ මෑතක සිට නොව 1987 තරම් අතීතයේ සිටය.

මෙයට අමතරව මධ්‍යම අප්‍රිකාව මධ්‍යම අප්‍රිකානු සිවිල් යුද්ධයෙන් පීඩා විඳින්නේ 2012 වසරේ සිටය.

ඉහත කී ත්‍රස්තවාදී සංවිධානයට අමතරව කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආර්.ඩී.එෆ් නමින් හැඳින්වෙන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්ද ක්‍රියාත්මකව සිටී. ඒ 1996 වසරේ සිටය. එයට අමතරව කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ඉතුරි ප්‍රදේශයේ ජනවර්ග දෙකක් අතර 1999 සිට පවතින ගැටුම්කාරී වාතාවරණයද අතහැර දැමිය නොහැකිය. එමෙන්ම 2004 වසරේ සිට කොංගෝ ආරක්ෂක අංශ සහ හුටු ෙගා්ත්‍රික ජනතාව අතර ඇවිළ යන සටන්ද නිතර කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ සාමකාමී බව බිඳිමින් ආර්ථිකයටද තර්ජන එල්ල කරන්නේය. ශරීර ප්‍රමාණය හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන, කොංගෝ වනාන්තරය අශ්‍රිතව ජීවත් වන පිග්මි හට්වා ජනතාව සහ කොංගෝ රජය අතරද 2013 සිට සටන් ඇවිළෙමින් පවතී.

අප්‍රිකානු රටවල් රැසක පැතිරුණු තුවාලක් බඳු වූ බොකෝ හරාම් ත්‍රස්තවාදී මෙන්ම අන්තවාදී සංවිධානය හේතුවෙන් නොනවතින සටනක නියැළී සිටින රටක් ලෙස කැමරූන් රාජ්‍යය හඳුන්වා දිය හැකිය. කැමරූන් දේශයෙන් බෙදී වෙන්වීමට සටන් වදින බෙදුම්වාදීන් හේතුවෙන් ද කැමරූන් රාජ්‍යය තුළ දීර්ඝ කාලීන සටන් පවතී. මේ සටන් ඇම්බසෝනියා අර්බුදය නැතහොත් කැමරූන් සිවිල් යුද්ධය ලෙසින් හැඳින්වේ.

මධ්‍යම අප්‍රිකාවේ සුන්දර රටක් වන චැඩ් පීඩා විඳන්නේ එකිනෙක පැටළුණු අර්බුද රැසකිනි. ඒ අතර අල් කයීඩාව සහ තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයක්ද, ඇල්ජීරියාවේ ක්‍රියාක්මක වන බෙදුම්වාදී සංවිධානයක්ද වේ. මේ සියලුම කණ්ඩායම් හේතුවෙන් චැඩ් හි වරින් වර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ සටන් ඇවිළේ.

1991 සිට ඇවිළ යන තවමත් නිවෙන බවට ඉඟියක් හෝ නොමැති සෝමාලියානු සිවිල් යුද්ධය හේතුවෙන් සෝමාලියාව බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ පා තිබේ. ඇල්ජීරියාවේ බටහිර සහාරා සටන් කලාපය ඇතුළු තවත් අභ්‍යන්තර අර්බුද රැසකි. ඊජිප්තුව පීඩා විඳින්නේ 2011 සිට තවමත් සටන් පවතින ඊජිප්තු විප්ලවය නම් වූ නොවිසඳෙන අර්බූදයෙනි.

2011 සිට ලිබියාවේ සිවිල් යුද්ධයක් පැතිර ගිය නමුත් ලිබියාව බිමටම ඇද වැටුණේ 2014 ඇරඹි, තවමත් කිසිඳු විසඳුමක් නොපෙනෙන දෙවැනි ලිබියානු සිවිල් යුද්ධයෙනි. මොරොක්කෝ, ටියුනීසියාව, එරිත්‍රියාව යන රටවලද නොවිසඳෙන සිවිල් ගැටුම් තැනින් තැන ඇවිළෙමින් තිබේ. 2012 සිට ඇවිළෙමින් තිබෙන උතුරු මාලි අර්බුදය හේතුවෙන් මාලි රාජ්‍යය පීඩා විඳිමින් සිටී.

මුරිටානියාව පීඩා විඳන්නේ 1970 තරම් ඈතක දී ඇරඹි එරට සිවිල් යුද්ධයෙනි. රටේ තැනින් තැන පැතිරෙමින් නොනැවතී ඇවිළෙන අභ්‍යන්තර අර්බුද රාශියක් හේතුවෙන් බිමටම හාන්සි වූ රටක් ලෙස නයිජීරියාව දැක්විය හැකිය.

බොකෝ හරාම් අන්තවාදීන්ට අමතරව නයිජීරියාව පුරා ආගමික ගැටුම් පැතිරෙමින් පවතින අතර, නයිජීරියානු සිවිල් යුද්ධයද තවමත් ක්‍රියාත්මකය. 1999 සිට මේ දක්වා නයිජීරියානු සහරා අර්බුදයද ක්‍රියාත්මකය.

මේ සටහන් කර ඇත්තේ අප්‍රිකා අඳුරු මහාද්වීපය පුරා රටවල් මුහුණ දෙමින් සිටින අභ්‍යන්තර අර්බුද සහ සිවිල් යුද්ධවලින් කොටසක් පිළිබඳවය. මේ වචන කිහිපයකින් දක්වා ඇති සටන් සහ අර්බුද හේතුවෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව අති විශාලය. එපමණක් නොව මේ නොවිසඳෙන අර්බුද හේතුවෙන් මේ රට රටවල ආර්ථිකයන්ට සිදුවන පාඩුවද අති විශාලය. ඒ සියල්ලේ වක්‍ර ප්‍රතික්‍රියාව වන්නේ මේ රටවල් තවතවත් ණය කඳුවලට යටවීම සහ ණයබරින් පීඩා විඳීමය. ඒ සියල්ල යළි යළිත් අප්‍රිකාව අඳුරු මුල්ලටම තල්ලු කර දැමීමට සමත්ය. එබැවින් ප්‍රථමයෙන්ම ආගමික, වාර්ගික, ග්‍රෝතික අර්බුදවලින්, සිවිල් යුද්ධවලින් මිදීමට අප්‍රිකානු රටවල් කටයුතු කළ යුතුමය. එවැනි දිනක මේ සුන්දර මහාද්වීපයද තම ආලෝකය සෙසු ලෝකයට පෙන්වා දෙනු ඇත.

Comments