ඕස්ට්‍රේලියා - නවසීලන්ත ජනතාව කොවිඩ් නීතිවලට එරෙහිව පාරට බසිති | සිළුමිණ

ඕස්ට්‍රේලියා - නවසීලන්ත ජනතාව කොවිඩ් නීතිවලට එරෙහිව පාරට බසිති

යිරසයේ ලෝක ව්‍යප්තිය ඇරඹී මාස හයක් ඉක්ම ගියද තවමත් වයිරසයේ පාලනය වීමක් හෝ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. මේ වන විට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙන්ම රුසියාවේද කොවිඩ් සම්බන්ධව වඩා ආසන්නතම සාර්ථකත්වයන් පෙන්වූ එන්නත් අත්හදා බැලෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවල කිසියම් අඩුවක් දක්නට ලැබුණද වයිරසය ආසාදනය වීමේ නම් කිසිඳු අඩුවක් දක්නට නොලැබෙන බවයි. පසුගිය සතියේ සමස්ත ලෝකයේ දිනකට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ඔවුන් පවසන්නේ මේ අනුව වයිරස ව්‍යප්තියේ දැවැන්ත වර්ධනයක් මිස කිසිඳු අඩුවක් දැක ගත නොහැකි බවයි.

අනුමාන කළ පරිද්දෙන්ම පසුගිය සතිය තුළ බ්‍රසීලය ඉක්මවමින් ඉන්දියාව ලෝක කෝවිඩ් සටහනේ දෙවැනි තැනට පැමිණි අතර මේ වන විටත් දිනකට ඉන්දීය ජාතිකයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වයිරසයට ගොදුරු වෙමින් තිබේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවද ලක්ෂයට ඉතා ආසන්නය. ඉන්දියාවේ එසේ වන විට ඇමරිකාවෙන් සහ බ්‍රසීලයෙන් දිනකට ආසාදිතයන් පනස් අදහසට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබේ.

එහෙත් කොවිඩ් සටහනේ ඉදිරියෙන්ම සිටින අමෙරිකාව ලොව අන් කිසිඳු රටකට නොදෙවෙනි ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 67 ඉක්මවා තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්නය. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 47 ඉක්මවා තිබේ.

මේ හැරුණු විට ලෝකයේ සෙසු සෑම රටකම වයිරසය ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. එහෙත් ලොව සියලුම රටවල් තම ආර්ථිකයන් පවත්වා ගනිමින් අභ්‍යන්තර කටයුතු ඉදිරියට ගෙන යමින් සිටිති. ලොව පුරා සංචාරක කර්මාන්තය ඉතා දරුණු ලෙස කඩා වැටී ඇති අතර ගුවන් ගමන්ද තවමත් පෙර පරිදි සිදු නොවේ. බොහෝ රටවල් තම ගුවන් තොටුපොළ විවෘත කර නොමැත. එහෙත් නෞකා මගින් භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව සිදු වේ.

පෘථිවියේ දක්ෂිණ අර්ධ ගෝලයට වයිසරය සාපේක්ෂව සිදු කළ හානිය අවම යැයි පැවසිය හැකිය. විශේෂයෙන්ම දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටා ඇති ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වූයේ අවම වශයෙනි. එහෙත් වයිරසය පාලනය කර ගැනීමට ඔවුන්ටද හැකියාව ලැබුණේ නැත. වයිරසයේ ලෝක ව්‍යප්තියෙන් මාස හයක් ගිය තැන මේ වන විට ඔවුන්ට රටවල් වසා දමමින් වයිරසයේ පැතිරීම පාලනය කිරීමට උත්සාහ දැරීමට සිදුවී තිබේ. එහෙත් මේ සඳහා එම රටවල ජනතාවගෙන් සහය දැක්වීමක් වෙනුවට ප්‍රබල විරෝධතා මතුවෙමින් තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේ ද ජනතාව වීථි බැස විරෝධතා දක්වමින් පවසා සිටින්නේ තමන්ට සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙන යෑමට අවස්ථාව ලබා දෙන ලෙසයි. එහෙත් සැබවින්ම පැවසිය යුත්තේ ඔවුන් එසේ විරෝධතා දැක්වීමට වඩා වසංගතයකින් රටක ජන සමාජයට, ආර්ථිකයට සිදුවිය හැකි හානිය අවබෝධ කර ගනිමින් කටයුතු කරන්නේ නම් වඩා වැදගත් වන බවයි.

මේ ජනතා හැසිරීම සැබවින්ම සමාන කළ හැකි වන්නේ අමෙරිකානු පුරවැසිය වසංගතය හමුවේ දැක්වූ හැසිරීමටය. ඔවුන්ද මෙලෙස විරෝධතා දැක්වූ අතර මේ දක්වා අමෙරිකාව තුළ වයිරස ව්‍යප්තියේ පාලනයක් දක්නට ලැබී නැත.

 

Comments