රිටි­ගල වන­ද­හනේ අතීත යශෝරාවය වින්ඳෙමි | සිළුමිණ

රිටි­ගල වන­ද­හනේ අතීත යශෝරාවය වින්ඳෙමි

 මෙතෙක් රජ­රට තැනි බිම් දැවූ මහා නියං සායෙහි සල­කුණු මැකී ගිහින්... හාත්පස පැති­රුණු ගම් වැව් වල සිඳී­ගිය වෑ පත්ල අවට උස් බිම් අත­රින් ගලා එන දිය දහ­රින් වැහිලා...   

තිර­ප්පනේ සිට හබ­රණ දක්වා ගමන් ගන්නා පාර ගම් මණ්ඩි පසු­ක­රන් පීත්ත පටි­යක් වගේ දිවෙ­නවා. කැකි­රා­වට ඇවිත් ගණේ­ව­ල්පොළ හන්දි­යෙන් හබ­රණ පාර ඔස්සේ මේ ගමන් කරන්නේ රජ­රට අරු­ම­යක් වූ මන­රම් බිම් පෙතක් වූ රිටි­ගල දකින්න. පලු­ගස් වැවෙන් හැරී රිටි­ගල වෙත දිවෙන මාර්ගය එක පැහැර නැඟුණු හරිත පිය­සක් යටින් දිවෙ­න්නක්. කළු­ඇබේ ගම හරහා ගිහින් මේ පාර යකල්ල හන්දි­යට වැටෙ­නවා.   

කළු­ඇබේ ගම පසු කරනා දූවිලි සහිත මග රිටි­ගල වන­ජීවී සම්පත් මධ්‍ය­ස්‌ථා­නය අස­ලින් හැරී රිටි­ගල වන අරණේ පුරාණ ආරාම සංකී­ර්ණය පාමුල තෙක්‌ ­දි­වෙ­නවා. ඒ කඩ­තොලු සහිත මඟ ඔස්‌සේ ගමන් කිරීම තොටි­ල්ලක පැද්දෙ­මින් යනු වැනියි.   

කඳු පාමුල අතී­තයේ මේ මුළු පරි­ස­ර­යම සිහිල් කළ මහා ජල­ධා­ර­කය වූ බන්දා පොකුණ එළි පෙහෙළි වෙලා. එය දකිනු රිසි දැකු­මක්. මීට නොබෝ කල­කට ඉහ­තදී මේ පොකුණ පොකු­ණ­ක්‌ සේ හඳු­නා­ගත නොහැ­කිව මහා රූස්‌ස වන දහන තුළම සැඟවී තිබිණ. පළමු සේන රජ දවස සිදුවූ මහා චෝල ආක්‍ර­ම­ණ­වල ප්‍රති­ඵල ලෙස අභා­ව­යට ගිය මේ මහා ආර­ණ්‍යයේ ජල ධාර­කය අතී­තයේ වන­ස්‌ප­තීන් අතර සැඟව තිබූ ආකා­රය මෑත­ක්‌ ­ව­න­තු­රුම හඳු­නා­ගත හැකි වූයේ මනා නිරි­ක්‌සුම් සහිත දෑස­කට පම­ණයි.   

මේ පොකුණු බැම්ම මතින් දිවෙන සෙල්මුවා පෙත් මඟක් රිටි­ගල වන දහන තුළට දිවෙ­නවා. සෙල් පුවරු අතුල මේ පුරාණ පෙත් මඟ සිය­වස් ගණ­න­කට පෙර අප්‍ර­මාණ ශීල ගුණ­යෙන් යුතු මහා සංඝයා භාව­නා­නු­යෝ­ගීව වැඩ වාසය කළ ආරාම සංකී­ර්ණය ඔස්සේ වැටී ඇත.

මේ වන අරණ සිල්වත් භික්ෂූ­න්ගෙන් පූර­ණය වන්නේ හය වෙනි සිය­වසේ දී පම­ණය. ඒ මීට අවු­රුදු එක්ද­හස් හාර­සී­ය­කට පමණ කලින් සංඝ සමා­ජයේ ඇති වුණු සාධ­නීය පරි­ව­ර්ත­න­යක් සම­ඟය.  රජ­වරු ස්‌වකීය රාජ්‍ය බලය රක්‌ෂා කර­ගෙන යහ­පත් ලෙස රාජ්‍ය පාල­නය කිරීමේ දේශ­පා­ලන අර්ථ­යෙන් අභ­ය­ගි­රිය, ජේත­ව­නය, මහා විහා­රය වැනි ආරාම සම්භා­ව­නා­වට ලක්‌ ­ක­ළද දොහොත් මුදුන් දී බුදුන් වඳි­න්නා­ක්‌ සේ වැඳ වැටුණේ මේ සුශීල භික්‌ෂූන්ගේ දෙපා මුලය.

මේ සුශීල සංඝ පර­ම්ප­රාව අප්‍ර­මාණ පූජ­නී­ය­ත්ව­යට පත් වූ ආකා­රය පිළි­බඳ තව­මත් ඉතිරි වී පවත්නා මහා සාධ­කය මේ රිටි­ගල වන අරණේ එම භික්‌ෂූන් සඳහා ඉදි­කළ සෙල්මුවා ආරාම පන්ති­යයි. අප මේ පෙත් මඟ ඔස්සේ ගමන් කරන්නේ මේ සොඳුරු වන දහන තුළ ගිලී ගිය ඒ අප්‍ර­මාණ අතීත උරු­මය දකින්නයි...    කදි­මට සැක­සුණු ගල් පුව­රු­ව­ලින් කළ බන්දා පොකුණ උල්පත් දියෙන් පිරෙන ලොකුම පොකුණ ලෙස හඳු­නා­ගෙන තිබෙ­නවා.

පොකුණු බැම්ම මතින් පෙත් මඟ දිවෙන්නෙ වන දහන තුළට. දෙපස පෙනෙන්නෙ මහා වන­ස්ප­තීන් අතර හුද­කලා වුණු මන­රම් වාස්තු­ක­ර්ම­වල ශේෂ­යන්. මේ පරි­ස­රය තුළ නිශ්චිත අර­මු­ණ­කට සිත යොමු­කළ භික්ෂුන් වහ­න්සේට නිර්වා­ණා­ව­බෝ­ධය අරු­මක් විය නොහැ­කිය යැයි සිතුණා.   

දැන් අප අබි­යස තිබෙන්නෙ ලංකාවේ වාස්තු කලා ඉති­හා­සයේ වෙනස්ම මාන­යක් විවර කරන නට­බුන් සමූ­හ­යක්. භාව­නා­නු­යෝ­ගීව වැඩ වාසය කළ භික්‌ෂූන් වෙනු­වෙන් විනය පිට­කයේ දැක්‌වෙන අනු­මි­තීන් නොඉ­ක්‌මවා නිර්මා­ණය කළ මේ විශේෂ සෙල්මුවා ආරාම හැඳි­න්වෙන්නේ පධා­න­ඝර නමින්.    

සිංහල වාස්‌තු විද්‍යා සම්ප්‍ර­දායේ නව මාන­ය­ක්‌ ­හෙළි කළ මේ ආරාම හී විශිෂ්ට චාම් ගුණ­යත් කැසි­කිළි ගල් පම­ණ­ක්‌ ­අ­ලං­කාර කැට­ය­මින් සරසා ලෞකික වටි­නා­කම් වල නිස්‌සාර ස්‌වරූ­පය සහිත ගැඹුරු දර්ශ­න­ය­ක්‌ ­පෙන්වා දෙන ආකා­ර­යත් ආචාර්ය ගාමිණී විජේ­සූ­රිය වැනි විද්ව­තුන් ප්‍රමා­ණ­වත් සාක­ච්ඡා­වක් කර තිබුණා.   

මහා­වං­ස­යට අනුව රිටි­ගල වන අරණේ පාංශු­කූ­ලික භික්‌ෂුන් උදෙසා ප්‍රාකාර පෙත් මං හා සක්‌මන් මළු ජන්ථා­ඝර සහිත මේ විශිෂ්ට සෙල්මුවා ආරාම සංකී­ර්ණය ඉදි­වන්නේ හය­වෙනි සිය­වසේ රට කරවු පළමු සේන රජ­තුමා විසින්.   

පෙත් මඟ නිමා වන අව­සාන පධා­න­ඝර ආරා­මය සල­කුණු වෙන්නෙ දැඩි රක්ෂිත භූමි සීමා­වෙන්. ඉන් එපි­ටට අති විශේෂ අව­ස­ර­ය­කින් තොරව කිසි­ව­කුට ඇතුළු වෙන්න බෑ... එතැ­නින් එපිට වන දහනේ සම­හර තැන් මිනිස් පහ­සින් කිසිදා කිලිටි වී නෑ. මේ භූමිය රජ­රට තැනි බිම් මතට වෙනත් ලෝක­ය­කින් ගෙනත් තැබුවේ දැයි සිතෙන්නේ මේ කඳු­ගැ­ටය මත වූ අධි­ර­ක්ෂිත භූමියේ යම් දුර­කට හෝ ගියොත් විත­රයි.  විශේෂ අව­ස­ර­යක් සහි­තව වරෙක මේ ලියු­ම්ක­රුට ඒ විරල අව­ස්ථාව ලැබුණා. මාතලේ කඳු­ප­න්ති­යක් මත දී විඳින සිහිල් පිනි දියෙන් ආර්ද්‍ර පරි­ස­රය රජ­රට තැනි­බිම් මතින් නැගුණු කඳු ගැට­යක් මත දී වින්ද­නය කළ ආකා­රය ජීවිතේ කව­දා­වත් අම­තක වෙන්නෙ නෑ. මා අසල වූ සෙල්පු­ව­රු­වක් මත හිඳ ගත්තා. පසෙ­කින් නෙත් පුර­වා­ලන නිලෙන් වැසී ගිය නොයි­ඳුල් වන පියස... ඉන් හමා එන තෙත් සහිත නැවුම් සුළං රැලි මේ ගමනේ විඩාව අසුරු සැණින් නිවා­ලන්න සමත්. ඉදි­රි­ප­සින් වූ හරිත පියස අහස් නිල හා මුහුව ගොස් මැවෙන චම­ත්කා­රය තුළ උප­ද­වන්නෙ අසී­මිත ආන­න්ද­යක්.  අතී­තයේ මහ රහ­තුන් වැඩ වාසය කළ මහා පින්බි­මක සෙත් පිරි­ත­කින් පැනෙ­න්නාක් බඳු ශාන්තිය විඳි­මින් මොහො­තක් දෑස් පියා ගත්තා.   

 
 

Comments