කලබල ජීවිතය සමබරව ගෙන යෑම අපේ සාර්ථකත්වයයි | සිළුමිණ

කලබල ජීවිතය සමබරව ගෙන යෑම අපේ සාර්ථකත්වයයි

වසන්තයට පෙර අපේ හමුවීම ජීවිතයේ රසෝඝයයි - ජගත්

අපි ආදරේ කරන්න ගත්තේ විවාහ වුණාට පස්සෙයි - ගයානි

ඉගෙන ගත්තේ ඉංජි­නේ­රු­වෙක් වෙන්න හිතා­ගෙ­නයි - ජගත්

රසික ආද­රය අද­ටත් මට එදා වගේම ලැබෙ­නවා - ජගත්

ලයා­න්විත හඬ­කට හිමි­කම් කියන ඔහු ගාය­න­යට මෙන්ම වාද­න­ය­ටද එක ලෙස දස්කම් දක්ව­න්නෙකි. සංගීත භාණ්ඩ කිහි­ප­යක් ම වාද­නය කිරීමේ දක්ෂ­යකු වන ඔහු කලක් ජාතික තරුණ සේවා සභාවේ සහ විශ්ව­වි­ද්‍යාල සංගීත කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙසද කට­යුතු කළ අතර 1994,1995 සහ 1996 යන වසර තුනේ­දීම හොඳම සංගී­ත­යට හිමි සර­සවි සම්මා­න­යෙන්ද පිදුම් ලැබීය.

ටෙලි­නාට්‍ය කිහි­ප­ය­කට රංග­න­යෙන්ද දායක වූ ඔහු විශා­රද ජගත් වික්‍ර­ම­සිංහ යි. මෙවර කැදැල්ලේ කතාව සර­සන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභා­ප­ති­ත්වය දරන ජගත් වික්‍ර­ම­සිංහ  සහ ඔහුගේ ආද­ර­ණීය බිරිය ගයානි ප්‍රසාං­ගිකා ය.  ඔහුගේ සංගීත දිවිය පිළි­බඳ කතා­බ­හෙන් අප පිළි­ස­ඳර ඇර­ඹු­වෙමු.

"මම ඉප­දුණේ කොලො­න්නාවේ. මගේ පියා එල්.කේ.ජේ. වික්‍ර­ම­සිංහ සංගීත ගුරු­ව­ර­යෙක්. අම්මා චන්ද්‍ර­ලතා වික්‍ර­ම­සිං­හත් ගුරු­ව­රි­යක්. මගෙ අක්කා දේශාං­ජලී ගෘහ නිර්මාණ ශිල්පි­නි­යක් විදි­හ­ටත් නංගි පූර්ණිමා ගුරු­ව­රි­යක් විදි­ය­ටත් මල්ලි ප්‍රභාත් වෛද්‍ය­ව­ර­යෙක් විදි­හ­ටත් කට­යුතු කර­නවා. කුඩා කාලයේ සිටම අපේ පවුල තුළ සංගී­ත­මය පරි­ස­ර­යක් තිබුණා. එය මගේ සංගීත දිවි­යට ඉව­හල් වෙන්න ඇති. නමුත් සංගී­ත­යට යොමු වීමේ බලා­පො­රො­ත්තු­වක් මගෙ හිතේ තිබුණේ නැහැ. මම ගණිත අංශ­යෙන් ඉගෙන ගත්තේ ඉංජි­නේ­රු­ව­ර­යෙක් වීමේ බලා­පො­රො­ත්තු­වෙන්. ඉංජි­නේරු පාඨ­මා­ලාව හැදෑ­රු­වත් අව­සා­නයේ මම වෘත්තී­මය සංගී­ත­ඥ­යකු බවට පත් වුණා. "

විශා­රද ජගත් වික්‍ර­ම­සිංහ ඒ අතී­තය සිහි කර­මින් කීවේය. 1987 වස­රේදී ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශ­යට සම්බන්ධ වූ ඔහු අත්දැ­කීම් රැසක් ලබ­මින් සිය සංගීත දිවිය පොහො­සත් කර­ග­ත්තේය. ගුව­න් වි­දු­ලි­යෙන් ඉවත් වීමෙන් පසු  ඔහු  1991 වසරේ සිට ස්වාධීන සංගීත ශිල්පි­යකු ලෙස පූර්ණ­කා­ලී­නව සංගීත කට­යු­තු­වල නිරත විය.

"අවු­රුදු 29ක් ස්වාධීන සංගීත ශිල්පි­යෙක් විදි­හට කට­යුතු කර­මින් සිටින අත­රේදී තමයි ජනා­ධි­ප­ති­තු­මාගේ සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර­ගැ­නීම සඳහා සම්බන්ධ වීමට විය­ත්මඟ මඟින් මට අව­ස්ථාව ලැබුණේ. ඒ අනුව මේ වසරේ පෙබ­ර­වාරි මස සිට මම ජාතික ගුව­න් වි­දුලි සංස්ථාවේ ප්‍රධානී ලෙස කට­යුතු කර­නවා. මෙය අභි­යෝ­ගා­ත්මක වග­කී­මක් වුවත් මම හිත­නවා එය සාර්ථක කර­ගත හැකියි කියා. ගුවන් විදු­ලියේ දක්ෂ වෘත්ති­කයො 1200ක් පමණ සිටි­නවා. 

ගුවන් විදු­ලියේ නාළිකා 14ක් රට පුරා විසිරී තිබෙ­නවා. රජයේ සන්නි­වේ­දන මධ්‍ය­ස්ථා­න­යක් වන ගුව­න්වි­දුලි සංස්ථාවේ වග­කීම් දරන්න ලැබීම මම භාග්‍ය­යක් කොට සල­ක­නවා. ඒ අනුව එම අභි­යෝ­ග­ව­ලට ඉතා සතු­ටින් මුහුණ දෙමින් ආය­ත­නය සාර්ථ­ක­ත්වය කරා ගෙන­යෑ­මට කට­යුතු කර­නවා"

එම අභි­යෝග හමුවේ  ජගත් වික්‍ර­ම­සිංහ නම්  ළයා­න්විත ආද­ර­ණීය ගාය­ක­යාට ලැබෙන රසික ප්‍රති­චාර කෙබ­ඳු­දැයි අප ඔහු­ගෙන් විම­සු­වෙමු. 

"රසික ප්‍රති­චා­ර­වල නම් අඩු­වක් නැහැ. මම හිතන්නේ ඒ ජන­ප්‍රි­ය­ත්වය, රසි­ක­යන්ගේ ආද­රය නිර්මාණ හා බැඳුණු දෙයක්. මම බොහොම අවං­කව රට, ජාතික සහ සංස්කෘ­තිය ගැන විශාල ගෞරව භක්ති­ය­කින් තමයි නිර්මාණ කට­යුතු කරන්නේ. ඒ වගේම දරු­වන් තුළ ධනා­ත්මක සිති­විලි, ආකල්ප, සිරිත් විරිත් වර්ධ­නය කළ හැකි නිර්මාණ ගැන මම වැඩි සැල­කි­ල්ලක් දක්ව­නවා. ඒ වගේම මගේ නිර්මාණ සඳහා මම තෝරා ගන්නේ  කාලීන වැද­ග­ත්ක­මක් ඇති වස්තු බීජ. ඒ නිසාම රසික ආද­රය හැම­දා­මත් මා සමඟ රැඳෙන බව මම විශ්වාස කර­නවා."

සංගීත  ක්ෂේත්‍රයේ දියු­ණුව ගැන බොහෝ සුභ­වාදී අද­හස් දරන බවද ඔහු කීවේය.

"නවක පර­පුර රටේ වග­කීම් දැරිය යුතු පිරි­සක් බව මම නිත­රම විශ්වාස කර­නවා. ඇතැම් විට අපි දකි­නවා නව පර­පුරේ සම­හරු අධි මාන­සි­ක­ත්ව­යෙන් කට­යුතු කර­නවා. මම නිත­රම ඔවුන් දකින්නේ දරු­වන් විදි­හ­ටයි. දරු­වන් හරි මඟ යවන්න වැඩි­හි­ටි­යන් නිසි ක්‍රියා­මාර්ග ගන්නවා වගේ ඔවු­න්ටත් නිසි මඟ පෙන්වා දීම ප්‍රවී­ණ­යන්ගේ වග­කී­මක්. ඒ නිසා මම නව­ක­යන් දෙස බලන්නේ සුභ­වා­දී­වයි. ඔවුන් සමඟ අප වැඩ කළ යුතුයි. ඔවුන්ට හැකි තරම් අව­ස්ථා­ දිය යුතුයි"

ජගත් වික්‍ර­ම­සිං­හගේ  ජීවන ගමනේ අත්වැල වන ඇය ගයානි ප්‍රසාං­ගිකා කොහොන වෘත්ති­යෙන් ගුරු­ව­රි­යකි. ජගත් වික්‍ර­ම­සිංහ හමු වූ අතී­තය ඇය සිහි කළේ සතු­ටිනි.

"අපි දෙන්නා හමු වුණේ යෝජ­නා­වක් අනු­වයි. ජගත්ගේ මස්සිනා මගෙ නැන්දා කෙන­කුට කියලා තිබුණා ජගත්  විවාහ වෙන්න කෙනෙක් හොය­නවා කියලා. නැන්දා මගේ ෆොටෝ එකක් දීලා. පස්සේ ජගත් මාව බලන්න ආවා. ඒ වෙද්දි ජගත් ගොඩක් ජන­ප්‍රි­යයි. මම ඔහුව පත්ත­ර­ව­ලින් ටීවී එකෙන් දැකලා තිබුණා. හැබැයි එහෙම වුණාට, එයා මාව බලන්න ආවට එයා­වම බඳි­නවා කියලා අද­හ­සක් මට තිබුණේ නැහැ. ඒත් මුල්ම හමු­වී­මේදී ම මට දැනුණා එයා ගොඩක් ආද­ර­ණීය, සංවේදී කෙනෙක් කියලා. ජගත් මාව බලන්න ආවේ 2000 වසරේ මාර්තු මාසේ. ඒ අවු­රු­ද්දෙම ජුනි මාස­යේදී අපි විවා­හ­වු­ණත් එක්ක. ඒ නිසාම අපිට පෙම්ව­තුන් විදි­හට ආශ්‍රය කරන්න කාල­යක් ලැබුණේ නැහැ. විවාහ වෙන්න කලින් දවස් දෙකක් විතර තමයි අපි හමු වුණේ. ජගත් ඒ දව­ස්වල දිග­ටම ලංකාවේ හිටියෙ නැහැ. ඉතින් විවාහ වුණාට පස්සේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ"

ඒ ආද­රය ඔස්සේ ඔහුගේ හද­වත හඳුනා ගත් ආකා­රය  ගැන ඇය මෙසේ කීවාය. 

"ජගත් ගොඩක් සංවේදී කෙනෙක්. ඒ වගේම ගොඩක් හොඳ කෙනෙක්. අපි දෙන්නගේ සිතුම් පැතුම් ගොඩක් දුරට සමා­නයි. ඒ නිසාම මුල ඉඳ­ලම අපි දෙන්නා තුළ හොඳ අව­බෝ­ධ­යක් තිබුණා. ජගත් ඉක්ම­නින් තරහ යන කෙනෙක්. නමුත් මම ඒ තරහ ගණන් ගන්නේ නැහැ. එත­කොට එයාගෙ තරහ ඉක්ම­න­ටම නිවෙ­නවා. පස්සේ එයාම තේරුම් ගන්නවා එයා තරහ ගත්ත එක

වැර­දියි කියලා. මම හිතන්නේ එයා ගොඩක් සංවේදී කෙනෙක් නිසා එයාට සම­හර දේවල් දරා­ගන්න හරි අමා­රුයි. නමුත් සම­හර වෙලා­වට එයා කල­බල නොවෙන, තරහ නොගන්න දේව­ල්ව­ලදී මම කල­බල වෙනවා. ඒ වෙලා­වට ජගත් කිය­නවා එහෙම තරහ ගන්න, කල­බල වෙන්න එපා කියලා. මම හිත­නවා අපි දෙන්නාගේ  ඒ සම­බර බව අපේ පවුල් ජීවිතේ සාර්ථ­ක­ත්ව­යට විශාල රුකු­ලක්. "  

ජගත්- ගයානි කැදැල්ලේ දරු­වන් තිදෙ­නෙකි. 18 හැවි­රිදි  වැඩි­ම­හල් පුතු තිදස් උසස් අධ්‍යා­ප­නය ලබ­මින් සිටී. දිය­ණිය සිරිනි මෙවර අ.පො.ස. සාමා­න්‍ය­පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මි­තය. බාල දිය­ණිය අසිනි 8 වසරේ ඉගෙන ගන්නා අතර දිය­ණි­යන් දෙදෙනා විශාඛා විද්‍යා­ලයේ සිසු­වි­යන් ය. මවක්, බිරි­යක්, ගෘහ­ණි­යක් මෙන්ම ගුරු­ව­රි­යක ලෙස ද කට­යුතු කර­මින්  එකී සියලු වග­කීම් කළ­ම­නා­ක­ර­ණය කර­ගන්නා ආකා­රය ගැනද අප ගයා­නි­ගෙන් විම­සු­වෙමු.

"ඒක පහසු කට­යු­ත්තක් නෙවෙයි. සම­හර කාල­වල ගෙදර වැඩට උද­ව්වට කවුරු හරි හිටියා. නමුත් මේ දින­වල කවු­රු­වත් නැහැ. නමුත් මම ඒ සියලු වග­කීම් එක­ත්වත් මඟ නොහැර ඉටු කර­නවා. සම­හර දව­ස්ව­ලට මට ම පුදුම හිත­නෙවා මම දව­සට කරන වැඩ ප්‍රමා­ණය ගැන. දරුවො වගේම ජගත් ගොඩක් කැම­තියි මම උයන කෑම කන්න. පවුලේ නිරෝ­ගී­කම සහ පෝෂ­ණය ගැන උනන්දු වෙන මවක්, ගෘහණි­යක් විදි­හට දරු­වන්ට පිටින් කෑම කන්න වෙන අව­ස්ථාව අවම කර­න්නයි මම නිත­රම උත්සාහ කරන්නේ. ඒ නිසා ඔවුන් කැමති කෑම­බීම විවි­ධ­ත්ව­යක් ඇතිව වෙනස් විදි­හට මම හදලා දෙනවා. වෙහෙ­සක් දැනු­ණත් මගේ පවුල වෙනු­වෙන් ඒ හැම දේම  මම කරන්නේ ගොඩක් සතු­ටින්" බිරි­ය­ගෙන් තම වෘත්තීය ජීවි­ත­යට ලැබෙන සහ­යෝ­ගය ගැන ජගත් වික්‍ර­ම­සිංහ පැව­සුවේ කෘත­වේ­දී­වය.

"අවි­වේකී බව තුළ මට නිවසේ වග­කීම් මඟ­හැ­රෙන අවස්ථා වැඩියි. නමුත් ඒ සියල්ල කිසිදු අඩු­වක් නොකර ගයානි ඉටු කර­නවා. මට වැඩ කරන්න අවශ්‍ය මාන­සික නිද­හස ඇය අඩු­වක් නැතිව ලබාදී තිබෙ­නවා. ඒ ගැන ඇයට විශේ­ෂ­යෙන් ස්තුති කළ යුතුයි"

"ජගත්ට අපි වෙනු­වෙන් වැය කරන්න කාලය අඩු වුණත් ඔහු මටත් දරු­ව­න්ටත් ආද­ර­ණීය සැමි­යෙක් සහ පියෙක්. ඔහු පුළු­වන් උප­රි­මය අපි වෙනු­වෙන් කර­නවා.  ලැබෙන විවේ­කය දරු­වන් එක්ක ගත­ක­රන්න ඔහු ගොඩක් කැම­තියි. ඔහු ඉතා සරල කෙනෙක් නිසා අපේ ජීවි­තත් ඉතා සර­ලයි. "ඒ ගයා­නිට ඔහු දැනෙන ආකා­ර­යයි.

වග­කීම් බහුල, අවි­වේකී ජීවිත ගත­ක­රන ජගත් සහ ගයානි දරු­වන් සමඟ විවේ­කය ගත කරන ආකා­රය ගැනද අප  විම­සු­වෙමු.

" ජගත් වගේම දරු­ව­නුත් නුව­ර­එ­ළිය වගේ සුන්දර තැන්වල ඇවි­දින්න යන්න ගොඩක් කැම­තියි. අවු­රු­ද්ද­කට සැර­යක් අපි කත­ර­ගම යනවා. ඒ ගමන යන අත­ර­ම­ගදි හමු­වන අපි අනි­වා­ර්යෙන්ම යන ස්ථාන කිහි­ප­යක් ම තියෙ­නවා. ඒ වගේම දරුවො ගොඩක් කැම­තියි මාතලේ අපේ ගමේ යන්න. එහෙ පරි­ස­රය හරිම ලස්ස­නයි. ගෙදර ඉඳලා පහ­සු­වෙන් බලන්න යන්න ලස්සන තැන් ගොඩක් තියෙ­නවා. "

අව­සාන වශ­යෙන් අප විශා­රද ජගත් වික්‍ර­ම­සිං­හ­ගෙන් විම­සුවේ ජීවි­තයේ සාර්ථ­ක­ත්ව­යට තුඩු දුන් කරුණු ගැනය.

"ඕනෑම ක්ෂේත්‍ර­යක  කට­යුතු කරද්දි අභි­යෝග, බාධ­ක­ව­ලට මුහුණ දෙන්න සිදු වෙනවා. මටත් එවැනි බාධක හමු වුණා. අව­ස්ථා­ පැහැර ගැනී­ම්ව­ලට වගේම විවිධ පුද්ග­ල­යන්ගේ කපටි ෙෙකරා­ටි­ක­කම්, කුහ­ක­කම් සහ  කුරි­රු­ක­ම්ව­ලට මුහුණ දීලා තියෙ­නවා. පෘත­ග්ජන මිසු­න්ගෙන් එවැනි දේවල් සිදු වීම පුදු­ම­යක් නොවයි. ඒ ලෝක ස්වාභා­වය වටහා ගෙන  මම ඒවාට ඉව­සී­මෙන්, උපේ­ක්ෂා­වෙන් මුහුණ දුන්නා. ඒ හැම­දේම මගේ ජීවි­ත­යට පන්න­ර­යක් වුණා කියලා මම විශ්වාස කර­නවා"

Comments