ලෝකයේ හොඳම චිත්‍රපටය සාදන්නට පදනම සැපයූ “ස්ටේජ්කෝච්” | සිළුමිණ

ලෝකයේ හොඳම චිත්‍රපටය සාදන්නට පදනම සැපයූ “ස්ටේජ්කෝච්”

මෙම වසරේදී ලෝක සිනමාවට වසර 125 ක් සපිරෙයි. 1895 න් ඇරඹි එම සිනමා ඉතිහාසයට 1941 මැයි 01 දා ඉතා වටිනා මං සලකුණක් හිමි වූයේය.

ඒ ඕසන් වේල්ස් නැමැති ප්‍රතිභා පූර්ණ සිනමාකරුවා විසින් නිර්මාණය කරන ලද “සිටිසන් කේන්” ය. 

“සිටිසන් කේන්” තිරගතවී මේ මොහොත වන විට වසර 79 කි. ඒ අනුව දශක අටකට ආසන්න මේ කාලය මුළුල්ලේ මෙන්ම සමස්ත චිත්‍රපට ඉතිහාසය තුළද ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස කිරුළ දරා සිටින්නේ “කේන් නැමැති පුරවැසියා” අරුතින් යුත් මෙම “සිටිසන් කෙන්”ය. ඇමෙරිකාවේ විසූ මහා ධන කුවේරයකු වන චාල්ස් ෆෝස්ටර් කේන් නැමැත්තකුගේ චරිතය ප්‍රධාන කොට ගනිමින් තනා ඇති ඇති මෙම චිත්‍රපටය සඳහා අතිශයින්ම නිර්මාණාත්මක සිනමා භාවිතාවක යෙදීමට අධ්‍යක්ෂවරයා ඇප කැප වී තිබේ. එය කොතෙක් සියුම්ව සිදු කෙරී ඇත්ද යත් මෙම සිනමා කෘතිය අරබයා වූ සිනමාත්මක සහ දෘෂ්ටිවාදී කියවීම් හැම එකක්ම පාහේ සිදුවී ඇත්තේ අංශුමාත්‍ර වශයෙනැයි පිළිගැනීමක් තිබේ. මක්නිසාද යත් යළි යළිත් නැරඹීම තුළ එය ජීවිතය හා ලෝකය අරබයා නව අරුත් සපයන්නක් බවට පත්ව ඇති හෙයිනි.

චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තිර රචනය , අධ්‍යක්ෂණය , කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය , සංගීතය මෙන්ම විශේෂ ප්‍රයෝග ආදී සෑම අංශයකින්ම මෙය පරිසමාප්තියට පත්ව තිබීම ඒ විශිෂ්ටත්වයට පදනම වී තිබේ.

රූපය මුල් කර ගත් සිනමාව නැමැති මාධ්‍යයට අදාළ මූලික වියරණය මනාව සුරකිමින් නිමවී ඇති “සිටිසන් කේන්”හි භාෂාව වී ඇත්තේ රූපයයි. දෙබස් උච්ඡාරණය . සංගීතය මෙන්ම වෙනත් හඬවල් ඉදිරිපත් කර ඇත්තේ රූපමය භාෂාවට උදව්වක් වශයෙන් පමණි. මේ හේතුකොටගෙන “සිටිසන් කෙන්” අද වන විට චිත්‍රපට කරුවන්ගේ අත් පොතක් බවට පත්ව තිබේ.

මෙය තුළ චාර්ල්ස් ෆෝස්ටර් කේන් නැමැති ධනපතියාගේ ආධ්‍යාත්මික ඛේදවාචකය තරමටම ඔහුගේ දේශපාලන සහ සමාජීය සම්බන්ධතාවන් පිළිබඳවද විවරණය කෙරෙන්නේ සිනමාත්මකව සහ දෘෂ්ටිවාදීව මෙය කියවන විචාරකයන් දෙපක්ෂයටම අභියෝගයක් එල්ල කරමිනි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඕසන් වේල්ස් මීට පෙර චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලා අත් දැකීම් නැති අයෙකු වීම යන කාරණයද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. ඔහු ඊට පෙර ප්‍රකට නාට්‍ය නිෂ්පාදකයෙකි. එමෙන්ම ප්‍රවීණ වේදිකා නළුවෙකි. සුප්‍රකට බ්‍රෝඩ්වේ තියටර් වෙනුවෙන් මැක්බත්, ජූලියස් සීසර් වැනි නාට්‍ය ඔහු විසින් නිෂ්පාදනය කළේය. මේ හැර මර්කරි සමාගම වෙනුවෙන්ද ඔහු විශාල නාට්‍ය ප්‍රමාණයක් නිෂ්පාදනය කළේය. චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා මූලික සුදුසුකමක් ලබා ගත්තා නම් ඒ මේ තුළින් ලැබූ පරිචයෙන් පමණි. 

නමුත් මෙම විශිෂ්ට නිර්මාණය බිහි කරනු සඳහා ඔහු එක් වැදගත් අභ්‍යාසයක යෙදුණේය. එය නම් 1939 දී තිරගත කරනු ලැබූ “ස්ටේජ්කෝච්” නැමැති චිත්‍රපටය 40 වතාවක් නැරඹීමය. ජෝන් ෆෝඩ් නැමැති විශිෂ්ට චිත්‍රපටකරුවා විසින් නිර්මාණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ ක්ලෙයාර් ටෝරවර් සහ ජෝන් වේන් විසිනි.

1937 දී අර්නස්ට් හේකොක්ස් නැමැති සාහිත්‍ය කරුවා විසින් ලියන ලද “ද ස්ටේජ් ටු ලෝඩ්ස්බර්ග් ”නම් කෙටි කතාවේ අනුවර්තනයක් ඇසුරින් මෙහි තිර රචනය කරන ලද්දේ ඩඩ්ලි නික්ලස් විසිනි.

මෙය ඇමෙරිකාවේ ඉතා භයානක ප්‍රදේශයක් වන “අපාවේ” හරහා අශ්ව කෝච්චියකින් ගමන් ගන්නා පිරිසක් මුහුණ දෙන විවිධාකාර ගැටලු පිළිබඳව විවරණය කෙරෙන්නකි. “ස්ටේජ්කෝච්” චිත්‍රපටය වෙනුවෙන් නිව්යෝර්ක් චිත්‍රපට විචාරක කවය විසින් හොඳම අධ්‍යක්වරයාට හිමි සම්මානය ජෝන් ෆෝඩ් හට පුද කරනු ලැබීය. ඒ හැරුණු කල ඒ වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම නළුවා, සහ හොඳම සංස්කරණය සඳහා මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන සඳහාද නිර්දේශ වූයේය. එහිදී සංගීතය සහ හොඳම සහාය නළුවා සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගැනීමට එයට හැකිවිය.

මේ ආකාරයට “සිටිසන් කේන්”සඳහා අත් පොතක් වූ “ස්ටේජ්කෝච්” පවා අබිබවමින් ”සිටිසන් කේන්” ලෝක සිනමාවේ ඉහළම තැන වැජඹීම කලාවේ අපූරු ආශ්චර්යයක් නොවන්නේද?

Comments