ගොඩගේ සම්මාන උලෙළ සහ පුළුල් සමාජ සංස්කෘතික කතිකාවක අවශ්‍යතාව | සිළුමිණ

ගොඩගේ සම්මාන උලෙළ සහ පුළුල් සමාජ සංස්කෘතික කතිකාවක අවශ්‍යතාව

හොඳම නවකතාව සඳහා සම්මානය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අතින් ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්පආරච්චි ලබා ගනිමින්

සිරිසුමන ගොඩගේ මහතාගේත් පිළිගත් සාහිත්‍යධරයන්ගේත් මුලිකත්වයෙන් ආරම්භ වුණ ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2020 වර්ෂයේ විනිශ්චය කර්තව්‍යය පසුගිය දා අවසන් විය.

සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවයක් වශයෙන් ආරම්භයේ දී එය, සිය විනිශ්චයික කටයුත්ත පැවැත්වුයේ තමන්ගේ කෘති එසේත් නැත්නම් ගොඩගේ ප්‍රකාශන සඳහා පමණි. පසුව ඊට දායකත්වය සපයන සාහිත්‍යවේදි ටෙනිසන් පෙරේරා හා කමල් පෙරේරා ගේ යෝජනා ප්‍රකාරව භේදයකින් තොරව සියලු ප්‍රකාශකයන්ගේ කෘති සලකා බැලෙන එමෙන්ම සම්මාන පිදෙන ජාතික සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවයක් බවට පත් වී තිබේ. ඒත් සමඟම ඉංග්‍රීසි දෙමළ භාෂා මාධ්‍යයෙන් ලියවෙන කෘතීන් ද ඊට ඇතුළත් කරගනිමින් අර කියන්නට යදුණ ජාතික තලය සම්පූර්ණ කරගන්නා ආකාරයක් ද දැකිය හැකි විය. 

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ද සුපුරුදු අයුරින් විනිශ්චය වට කිහිපයකින්ම පවත්වන්නට යෙදිණි. මෙසේ වට කිහිපයකින් කෘති තෝරා ගැනීම පිළිබඳව විවේචනාත්මක මත පහළ වන පසුබිමක ගොඩගේ සම්මාන ප්‍රදානෝත්සවයේ මුල් කාලීන සාමාජිකයෙකු ඊට අදාළව පැහැදිලි නිරීක්ෂණයක් ද ඇති සාහිත්‍යවේදී කමල් පෙරේරාගෙන් අපි ඒ ගැන විමසුවෙමු. ඔහු පැවසුවේ කටයුත්තක් හැටියට එහි වරදක් දැකිය නොහැකි නමුත් ඊට අදාළව ප්‍රාමාණික උගත්කමකින් තොරව එතැනදී කටයුතු කළොත් ගැටලුකාරී තත්ව මතුවිය හැකි බවයි. විශේෂයෙන්ම එවැනි උගත්කමක් ඇති දායකත්වයක් අවශ්‍ය වන්නේ මුල් වටයේ දීමය. මක්නිසාදයත් බොහෝ පොත් ප්‍රතික්ෂේප වන්නේ ද එම වටයේ දි බැවිනි. ඉදින් එවැනි පසුබිමක එවැනි ප්‍රතික්ෂේපවීම් හේතු යුක්ති සහගතව සිදුවිය යුතුව තිබේ. දෙවැනි තෙවැනි වට වල දී එම පොත් තමන්ට පැමිණියේ නැතැයි පවසමින් නිදහසට කරුණු කියන්නට අවස්ථාව ලබා දෙන්නේ මුල් වටයේ තෝරා ගැනීම් මෙන්ම ප්‍රතික්ෂේප වීම් ප්‍රශ්නකාරීවන අවස්ථා වලදී ය. ඒ අනුව මුල් වටයේ එම තේරීම ප්‍රාමාණික උගත්කමකින් කළ යුතු කටයුත්තක්ම වන්නේ ය.

මෙවර ගොඩගේ සම්මාන උළෙල සඳහා නවකතා පොත් 143 ක් ද, කෙටිකතා පොත් 70 ක් ද, ශාස්ත්‍රීය පොත් 87 ක් ද, පුවත්පත් තීරු ලිපි පොත් 24 ක් ද දෙමළ බසින් පළ වු නවකතා පොත් 3 ක් ද කෙටිකතා පොත් 8 ක් හා පද්‍ය කෘති 15 ක් ලැබී තිබුණි. ඉංග්‍රීසි භාෂාවෙන් නවකතා 14 ක්, කෙටිකතා 3 ක් හා පද්‍ය කෘති 10 ක් ලැබී තිබුණි.

සිංහල බසින් ලියවුණ, අවසාන වටයට තේරුණ නවකතා 12න් සුනේත්‍රා රාජකරුණායකගේ නිෂ්ටාන්තය හොඳම නවකතාව වශයෙන් සම්මානයට පත් වන්නේ, කීර්ති වැලිසරගේ රුදු රොන් සුනු, ලියනගේ අමරකීර්තිගේ ලියු රතු ඉරි අඳින අත, ප්‍රියන්ත ලියනගේ ලියු කොට තුවක්කු වැනි කෘති අබිබවමිනි. කෙසේ වුණත් සැලකිය යුතු අවධානයක් දිනාගත් කෘතියක් වූ කෞශල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය’ පළමු වටයේදී ම ගිලහී යාම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පවතී. සාහිත්‍යවේදී කමල් පෙරේරා එය දකින අන්දමට පළමු වටයේ දීම කිසිම සැලකිල්ලක නොලබා එසේ එය ගිලිහී ගියේ ඇයි කියන එක ප්‍රශ්නයක් බවයි. වෙසෙස් අවධානයට ලක්වන සෑම කෘතියක්ම සම්මානනීය විය නොහැකි නමුත් එවැනි ගිලිහී යාමක් බොහෝ විට අපට පෙන්වා දෙන්නේ සමස්තයක් වශයෙන් තුලනාත්මක විවරණයක් නොමැති වීමක් වේ. මෙහිදී අවධානයට ලක් විය යුතු තවත් කාරණයක් ද තිබේ. ඒ අනුව බොහෝ අය සිතා සිටින අන්දමට සාහිත්‍ය විනිශ්චයක් යනු ලේඛකයන් සම්බන්ධයෙන් පමණක් බලපවත්වන තත්ත්වයකට පමණක් සීමා නොවේ. එය පාඨකයාට ද බලපාන තත්වයක් වේ. ඒ අනුව යමින් අපට කීමට සිදු වන්නේ සාහිත්‍ය විනිශ්චයක් යනු හුදෙක් ලේඛකයා සහ විනිශ්චයකරුවා අතර පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවයි.

අවසන් වටයට තේරුණ කෙටිකතා අතර සුමුදු සෙනෙවිරත්නගේ සිතුවමින් නෙරපු කිඳුරිය, පී. බී. ජයසේකරගේ ද්වේශයාගේ බිරිඳ, සමන් වික්‍රමාරච්චිගේ දෙදෙනෙක් නොවේ එක්කෙනෙක් වැනි තරගකාරී කෙටිකතා සංග්‍රහ අතරින් එරික් ඉලියප්ආරච්චිගේ විශ්‍රාමික පෙම්වතිය සම්මානයට පාත්‍ර වී තිබේ. ඒ අනුව එය තරගකාරි ජයග්‍රහණයක් යැයි සැලකිය හැකි වේ.

කාව්‍ය සම්මානය ද සුනන්දා රණසිංහ ප්‍රවීණ කාව්‍ය රචකයන් පිරිසක් අතරිනි. ඇත්ත වහයෙන්ම ඕනෑම සාහිත්‍ය තරග ඉසව්වක් ජයග්‍රාහී වන්නේ එය තරගකාරී ඉසව්වක් වන තරමටය. එමෙන්ම ජයග්‍රාහී කෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන හේතු සාධකයන්හි සාධනීයත්වය ද මත ය.

සාහිත්‍යවේදි කමල් පෙරේරාට අනුව සාහිත්‍ය විනිශ්චයක පිළිගත හැකි බව ජාතික තලයේ පුළුල් නීර්ණායකයන් මත තීරණය වන්නක් වේ. විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශයන්හි කාර්යභාරය ද මීට අදාළ විය යුතුය. එය ශාස්ත්‍රීය මෙහෙවරක් ලෙසින් සලකා සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් ද පවතී. ඒ අනුව යමින් මෙරට නිර්මාණ සාහිත්‍යය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවතක් ඇති වීම ද අවශ්‍ය වේ. අඩුම තරමින් සම්මානලාභි කෘතිවත් ත්‍රෛභාෂාවෙන් පළ කිරීමට කටයුතු කොට සිංහල නිර්මාණ සාහිත්‍යය පත්ව ඇති කොදෙව් සීමාව ඉක්මවන්නට කටයුතු කළ යුතුව තිබේ. සාහිත්‍ය සම්මාන ප්‍රදානය නිර්මාණ සාහිත්‍යයේ ප්‍රබෝධයට යොමු කරනවා නම් සම්මාන උන්මාදය පරාජය කළ යුතුව තිබේ. ඒ වෙනුවට ඉදිරියට ගත යුතුව ඇත්තේ සාහිත්‍ය ප්‍රබෝධයයි. ඒ වෙනුවෙන් අර කියන්නට යෙදුණ පුළුල් සමාජ සාහිත්‍ය කතිකාවත යන්න අවශ්‍යම කොන්දේසියක් වේ.

ඒත් සමඟම කිව යුතු තවත් කරුණක් වන්නේ ඉංග්‍රීසි දෙමළ කෘති සඳහා ගොඩගේ සම්මාන පිදීම ජාතික ප්‍රගතිශීලිත්වයක් වශයෙන් සැලකිය හැකි නමුත් පසුගිය කාල වකවානුවල සිට මේ දක්වාම ඔවුන් ඒ සඳහා ගෙන ඇති උත්සාහය පිළිබඳව ඔවුන්ගේ සංවිධායක මණ්ඩලය සෑහීමකට පත් වන්නේ ද යන්නයි. මක් නිසාදයත් හුදෙක් ප්‍රචාරන කටයුත්තක් වශයෙන් පමණක් එය පවත්වාගෙන යෑමෙන් සමාජ සංස්කෘතික වශයෙන් පැවැත්විය යුතු ඒ සාමුහික සංවාදයට එමඟින් ප්‍රතිඵලයක් අත් නොවන හෙයිනි.

Comments