ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය 25 සහ 26 දෙදින මහරගමදී | සිළුමිණ

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය 25 සහ 26 දෙදින මහරගමදී

ගම්පහ සියනෑතරු කණ්ඩායම

ශ්‍රී ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරග 25 සහ26 දෙදින මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි.තරගාවලියේ අවසන් දිනයේ එනම් 26දා ප්‍රධාන ආරාධිතයා වශයෙන් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගිවිමට නියමිතය.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට අමතරව ජනාධිපති අභියෝග කුසලාන තරගාවලිය ලෙස නව තරගාවලියක් හඳුන්වාදීමය. මෙහිදී දිස්ත්‍රික්ක මට්ටමින් පැවැති තරගාවලියේ පළමු අදියර ජය ගත් කණ්ඩාය‍ම් 100 ක් දෙවැනි අදියර සඳහා ගමන් කළ අතර, එහිදී ජය හිමිකරගත් කණ්ඩායම් 50 ජනාධිපති රන් කුසලානය සඳහා සුදුසුකම් ලබාගත් අතර පරාජිත කණ්ඩායම් 50 ජනාධිපති අභියෝග කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 2019 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ජනවාරි මාසයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අතර එහිදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයගත් කණ්ඩායම් අතර පැවැති තරගවලින් ජයගන්නා ලද කණ්ඩායම් අට ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මෙහිදී ජනාධිපති රන් කුසලාන පිරිමි අවසන් මහා තරගය සඳහා දෙබෑගම රන්තරු කණ්ඩායම සහ ගම්පහ සියනෑතරු කණ්ඩායම සුදුසුකම් ලබා ගනිද්දී, ජනාධිපති රන් කුසලාන කාන්තා අවසන් මහා තරගය සඳහා මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජනාධිපති අභියෝග කුසලාන පිරිමි අවසන් තරගය සඳහා නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබාගනිද්දී අභියෝග කුසලාන කාන්තා අවසන් මහා තරගය සඳහා කෑගල්ල හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජනාධිපති රන් කුසලාන කනිෂ්ඨ කාන්තා අවසන් තරගය සඳහා මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය තරග කරන අතර පිරිමි අවසන් තරගය සඳහා නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ වෙන්නප්පුව ජෝශප් වාස් කණ්ඩායම තරග කරයි.

ජනාධිපති රන් කුසලාන සහ මීට පෙර පැවැති වයස අවුරුදු 22 න් පහළ කාන්තා - පිරිමි තරගාවලි හරහා ග්‍රාමසේවා මට්ටමින් ඉදිවෙන මෙකී වේදිකාවට ගොඩ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය හරහා අන්තර් ජාතික මට්ටම දක්වාම සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හැකිවීම විශේෂත්වයකි. කුසලතා පිරි තරුණ ජවය ක්‍රීඩා පිටි හරහා ජනගත කිරීමට ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන තරගාවලියකදීම තෝතැන්නක් බව නොරහසකි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ගත්ත ද, අභියෝග කුසලාන තරගාවලිය ගත්තද මෙකී භූමි භාගයේ මොන වැටකඩුළු බිඳගෙන ඉදිරියට ගිය ද ලාංකේය භූමි භාගයෙන් එළියේ මෙරට වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කරගන්නා වූ ඉරණම් සහගත තත්ත්වය පිළිබඳ බලධාරීන් මීට වඩා අවධානයක් යොමු කළ යුතු ය. ලාංකේය සමස්ත ක්‍රීඩාවම බිඳ වැටී ඇති මොහොතක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදීමට නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන තරගාවලිය වසරක් පාසා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් මෙකී තරගාවලිය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පෙර ගමන්කරු විය යුතු ය. සුපුරුදු පරිදි ඩයලොග් ආයතනය මෙවරත් මෙකී තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වයි.


Comments