සාර්ථක පවුල් ජීවිතය සංගීත ගුලාවක් | සිළුමිණ

සාර්ථක පවුල් ජීවිතය සංගීත ගුලාවක්

විද්‍යාව සහ කලාව එකට පෑහෙන්නේ කලා­තු­ර­කින් වුවත් ඔහුගේ ජීවි­ත­යට විද්‍යාව තර­මට ම කලා­වද සමී­පය. මෙවර කැදැල්ලේ කතා­වට එක් වන්නේ විශේ­ෂඥ  ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු සහ  කලා­කා­මී­යකු ලෙස ප්‍රකට වෛද්‍ය රනිල් ජය­සේන සහ ඔහුගේ බිරිය මාධනී ය. "ඉගෙ­න­ගත් පාසල ගැන කියද්දි මම වික්ෂිප්ත වෙනවා කොයි පාසලේ නමද කියන්නේ කියලා. ඒකට හේතුව 12 වැනි පන්තිය වෙද්දි මම පාසල් 13කට ගොස් තිබී­මයි. ඒකට හේතු වුණේ රජයේ ආදා­යම් පරී­ක්ෂ­ක­ව­ර­යකු ලෙස සේවය කළ මගේ පියාට ලැබුණු ස්ථාන මාරු නිසා අප­ටත් වරි­න්වර පාසල මාරු කිරී­මට සිදු­වී­මයි. මම ඉගෙ­නුම ආරම්භ කළේ බදුල්ල ඌව මහා විද්‍යා­ල­යෙන්. ශිෂ්‍යත්ව විභා­ගය සම­ත්වෙලා ගලි­හි­ටි­යාව මධ්‍ය මහා විද්‍යා­ල­ය­ටත් එතැ­නින්  නුවර ධර්ම­රා­ජ­ය­ටත් ආවා. ගාල්ල මහින්ද සහ වත්තල සාන්ත අන්තෝනි විදු­හ­ල්ව­ලත් ඉගෙ­නුම ලැබූ මම ඉගෙ­නුම අව­සන් කළේ බදුල්ල මහා විද්‍යා­ල­යෙන්."

ගැහැනු දරු­වන් තිදෙ­න­කු­ගෙන් සහ පිරිමි දරු­වන් තිදෙ­න­කු­ගෙන් යුතු පවුලේ වැඩි­ම­හල් පිරිමි දරුවා ඔහුය. විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු වීම දක්වා ආ ගමන ගැන අප ඔහු­ගෙන් විම­සු­වෙමු. 

" පොඩි­කාලේ මම වාහ­න­ව­ලට හරිම ආසයි. ඒ හින්දම ඒ කාලේ මම කිව්වේ ලොකු වුණාම ඩ්‍රයි­වර් කෙනෙක් වෙනවා කියලා. ටිකක් කල්ග­ත­වෙ­න­කොට මට ඕන වුණේ ගුවන් නිය­මු­වෙක් වෙන්න. ඒ කාලේ මට ස්ථිර අර­මු­ණක් තිබුණේ නෑ. නමුත් මම ඉතාම උන­න්දු­වෙන් ඉගෙ­නීමේ වැඩ කළා. ගණි­ත­යට මම කැපී පෙනෙන දක්ෂ­කම් පෙන්වුවා. ඒ කාලයේ ගණි­ත­යට වැඩි­පුර දක්ෂ සිසුන් සාමාන්‍ය‍ෙ­පළ පන්ති­යේ­දීම ගණිත අංශ­යට ඇතු­ළත් කර­නවා. ඒ අනුව මාව එම අංශ­යට තේරුණා. එහි අව­සා­නය ඉංජි­නේ­රු­වෙක් වීම කියලා ගුරු­ව­රුන් කිව්වාම මම ඒක ගෙදර ගිහින් අම්මට කිව්වා. අම්මා ඒ ගැන ගොඩක් කල­බල වුණා. ඒකට හේතුව අම්මට ඕන වුණේ මාව වෛද්‍ය­ව­ර­යෙක් කරන්නයි. අම්මා පහු­ව­දාම විදු­හ­ල්ප­ති­තුමා හමු­වෙලා ඒ ගැන කිව්වා. මට ලකුණු වැඩි නිසා ඕනෑම අංශ­ය­කට යන්න පුළු­වන් බව කියූ විදු­හ­ල්ප­ති­තුමා පහු­ව­දාම මාව ජීව විද්‍යා අංශ­යට යොමු­කළා. එසේ ආ ගමන නතර වුණේ වෛද්‍ය­ව­ර­යකු ලෙස අම්මාගේ බලා­පො­රො­ත්තුව ඉටු­ක­ර­මින්."

 වෛද්‍ය රනිල් ජය­සේ­නගේ වෘත්තීය ජීවි­තය දැන් දශක හත­ර­කට ආස­න්නය. කලාව සමඟ තිබෙන සොඳුරු සබ­ඳ­තාව ගැන ඔහු මෙසේ කීවේය.

"කලා­වත් කුඩා වියේ සිටම මට උරුම වූ දෙයක්. පොඩි කාලේ ඉස්කෝ­ලෙදි මේසෙට බෙර ගගහා සින්දු කියලා අහු­වු­ණාම විදු­හ­ල්පති දෙන දඬු­ව­මත් සින්දු­වක් කියන්න කිය­ලයි. මම ඒකත් බොහොම සතු­ටින් කළා. දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා මම හිතුව දෙයක් තමයි අනුන්ට කරන්න පුළු­වන් ඕනෙම දෙයක් මටත් කරන්න පුළු­වන් වෙන්නෝනි කියන දේ.

ඉතින් ඒ දේවල් කරන හැටි අත්හදා බැලීම මම පාසල් වියේ සිටම කළ දෙයක්.  මගෙ තාත්තා ගොඩක් පොත­පත කියවූ කෙනෙක්. තාත්තා කිය­වන නව­කතා පොත් මමත් කිය­ව­නවා. එහෙම කිය­වද්දි මටත් හිතුණා නව­කතා පොතක් ලිය­න්නෝනි කියලා. එත­කොට මම 6 වසරේ. මම  ලිවවෙ ඒ දක්වා වූ මගේම ජීවිත කතාව. මම ලියපු කෙටි­ක­තා­වක් මුල්ව­රට පළ­වුණේ රස­කතා පත්තරේ. එත­කොට මට අවු­රුදු 13යි. ඊට­පස්සේ මම පාසලේ ජන­ප්‍රිය චරි­ත­යක් වුණා. පළ­මු­ව­රට පෑනෙන් විප්ල­ව­යක් කර­න්නත් මට හැකි වුණා. ඒ කාලේ මම හිටපු හොස්ටල් එකට ලයිට් නැහැ.  

මගේ කෙටි­ක­තාවේ මම ලිව්වා  මොනවා වුණත් අන්ති­මට අපි ලාම්පු එළි­යෙන් තමයි ඉගෙන ගන්නෙ කියලා. විදු­හ­ල්ප­ති­තුමා මම ඉස්ස­ර­හම ඒක කියෙව්වා. මම හිතුවා දඬු­ව­මක් ලැබෙයි කියලා. නමුත් ඊළඟ දව­සෙම අපිට ලයිට් ලැබුණා. ලොකු පන්ති­වල ළමයි ඇවිත් මගෙන් අහන්න ගත්තා මල්ලි බැරිද නේවා­සි­කා­ගා­ර­යෙත් කෑම හොඳ නෑ කියලත් කෙටි­ක­තා­වක් ලියන්න.

10 වැනි පන්තියේ  ඉන්න­කොට ගුව­න්වි­දුලි සංස්ථාවේ ගී රචනා තර­ග­ය­කින් 3 වැනි ස්ථානය හිමි­වුණා. ඒත් ඒ සින්දුව අහ­න්න­වත් ඒ කාලේ අපේ ගෙදර  රේඩි­යෝ­වක් නැහැ. ඒ කාලේ බදුල්ලේ ඉස්කෝලෙ මගෙ යාළු­වෙක්ගේ සංගීත කණ්ඩා­ය­මක සින්දු කිව්වා. ඒකෙන්  ලැබෙන මුද­ල්ව­ලින් චිත්‍ර­පට බල­නවා.  "

ඔහුගේ උන­න්දුව තිබුණේ කලා­ව­ටම පම­ණක් නොවේ. පාස­ලේදී  ක්‍රිකට්, පාපන්දු, මේස පන්දු සහ මලල ක්‍රීඩා­ව­ලද නිරත වූ ඔහු කලක් බදුල්ල ක්‍රීඩා සමා­ජයේ ක්‍රිකට් කණ්ඩා­ය­මද නියෝ­ජ­නය කළේය.  

"ඒ හැම­දේම කළත් මම අධ්‍යා­ප­න­යට මුල් තැන දුන් නිසා ම­වු­පියෝ වගේම ගුරු­ව­රුත් මට බල­පෑම් කළේ නැහැ. නමුත් මම පොත­ප­තේම ඇලී­ගැලී හිටි සිසු­වෙක් නෙවෙයි. ඒත් දිග­ටම පන්තියේ පළමු හෝ දෙවැනි තැන රැඳෙන්න හැකි­වුණා. ඒ කාලේ පාස­ල්වල ජාතික නවෝ­දය ශිෂ්‍ය­ත්වය තිබුණේ හතේ පන්ති­යේදී. විභාගෙ පාස්වෙන්න කියලා බාර­හාර වෙන්න ළමයි පන්සල්,පල්ලි යනවා. මම අඩුම ගාණේ ඒ විභා­ගය ගැන ගෙද­ර­ට­වත් කිව්වෙ නැහැ. මම පත්තර අහු­ලල කිය­වලා ළම­යින්ගේ අම­තර පොත් ඉල්ල­ගෙන උඩින් පල්ලෙන් කිය­වලා සාමාන්‍ය දැනුම දියුණු කර­ගත්තා. ඒ විභා­ග­යෙන් ඉස්කෝ­ලෙන්ම සමත් වුණේ මම විත­රයි. ළම­යෙක් හැටි­යට වුණත් මම එදා තේරුම් ගත්තේ දෙවි­වරු, මිත්‍යා ඇද­හිලි හැමදේටම වඩා තමන්ගේ ආත්ම විශ්වා­සය තමයි බල­වත්ම දේ. මම අද­ටත් විශ්වාස කරන්නේ ආත්ම විශ්වා­සය පම­ණයි."

ඔහුගේ වදන් දරු­වන්ට මෙන්ම මවු­පි­ය­න්ටද ආදර්ශයකි. විශේ­ෂඥ වෛද්‍ය රනිල් ජය­සේන වඩාත් ජන­ප්‍රිය ගී පද­ර­ච­කයකු සහ ගාය­ක­යකු ලෙස­ටය. ඒ මාවත  සැක­සුණු ආකා­රය ගැන ඔහු මෙසේ පැව­සු­වේය.

" වෛද්‍ය­ව­ර­යකු ලෙස විවිධ පළා­ත්වල ලැබූ අත්දැ­කීම් මගේ ගී පද රච­නා­ව­ලට  වස්තු බීජ වුණා. ගී පද රචනා සෑහෙන ප්‍රමා­ණ­යක් ලිව්වට ඒවා ගාය­ක­යන්ට දෙන්න අව­ස්ථාව ලැබුණේ වෛද්‍ය­ව­ර­යකු වුණාට පස්සෙයි. ඒකට හේතුව බො‍හෝ ගායක ගායි­කා­වන් උගුරේ ආබාධ ඇති­ වු­ණාම වෛද්‍ය­ව­රුන් වෙත පැමි­ණී­මයි. ඒ විදි­හට මගෙන් ප්‍රති­කාර ගන්න ආව පුෂ්ප­මාලා සුබ­සිංහ කියන ගායි­කාව මගේ පද රචනා දෙකක්ම ඇගේ කැස­ට් ප­ට­යට ගත්තා. මම ජය­වර්ධන­පුර රෝහලේ පශ්චාත් පුහු­ණුව ලබන කාලයේ මිල්ටන් මල්ල­වා­ර­ච්චිත් ප්‍රති­කාර ගන්න ආවා. එතැ­නින් ආරම්භ වූ අපේ මිත්‍ර­ත්වය නිසාම ඔහු එතැන් සිට නිකුත් කළ හැම කැස­ට් ප­ට­ය­ක­ටම මගේ පද රච­නය සහිත ගීත­යක් ඇතු­ළත් කළා. මේ වන­විට මම 200ට අධික ගී පද රචනා ලියා ඇති අතර පැරණි, මැද සහ නව පර­පුරේ ගායන ශිල්පීන් ශිල්පි­නි­යන් විසින් එම ගීත ගායනා කර තිබෙ­නවා. 100කට අධික ගීත සංඛ්‍යා­වක් මමේ වන­විට මම ගායනා කර තිබෙ­නවා. මෑත­කදී භාග්‍යා නම් ටෙලි­නාට්‍යයේ තේමා ගීතය  මම සහ බිරිය මාධනී විසින් ගායනා කළා. මම වැඩි­පු­රම යුග ගීත ගායනා කර තිබෙන්නේ බිරිය  සහ දිය­ණිය සම­ඟයි"

 ඔහු එසේ කියද්දී  ජීවන ගීතය ගැයී­මට එක්වූ ආද­ර­ණීය බිරිය මාධනීගේ හමු­වීම ගැන අප වෛද්‍ය රනි­ල්ගෙන් විම­සු­වෙමු.  

" අපේ විවා­හය යෝජිත එකක්ද ආදර සම්බ­න්ධ­ය­කින් ඇති­ වූ­වක්ද කියලා වෙන්ක­රලා කියන්න අමා­රුයි. ඒ කාලේ අම්මා මට මනා­ලි­යන් සොය­නවා. මාධනී අම්මගේ මිතු­රි­ය­කගේ දිය­ණි­යක්. අම්මා පළ­මු­වර ඇයව දුටු අව­ස්ථාවේ ඇය මට ගැළ­පෙයි කියලා හිතලා මට ඒ ගැන කිව්වා. මාධනීගේ ෆොටෝ දකිද්දි මට හිතුණා මේ මම හොයන එයා වෙන්න ඇති කියලා. පස්සේ මම ඇයව බලන්න ගියා. ඇය දුටු ගමන්ම මට හිතුණා මේ එයාම තමයි කියලා. මාස 4ක් ඇතු­ළත අපේ විවා­හ­යත් සිදු වුණා."

ඔහු ඒ අතී­තය සිහි කරන්නේ සතු­ටිනි.

 

"ඊට­පස්සෙ තමයි හොඳම දේ වුණේ. ඒ වෙද්දි මම මාධනීගේ හැකි­යා­වන් දැන­ගෙන හිටියෙ නෑ. මධු­ස­මය ගත­ක­රන්න ගිහින් ඉන්න­කොට මම සින්දු­වක් කියලා මාධනීට කිව්වා ඔයාට සින්දු කියන්න පුළු­වන්ද දන්නෑ, සින්දු­වක් කිය­න්නකෝ කියලා. මාධනී සින්දුව කියද්දි මාව කර­ක­වලා අතෑ­රියා  වගේ වුණා. මට වඩා ගොඩක් ඉදි­රි­යෙන් මාධනී හිටියෙ. එදාම මට හිතුණා මමත් ගී පද රච­ක­යෙක් නිසා මාධනීව ගායි­කා­වක් විදි­හට ඉදි­රි­යට ගෙන ආ යුතුයි කියලා. ඉංග්‍රීසි ගුරු­ව­රි­යක් ලෙස කට­යුතු කළ මාධනී විවා­හ­යෙන් පසුව  එයින් ඉවත් වුණේ මම ඇය රැකි­යා­වක් කර­න­වාට අක­මැති වූ නිසයි. ඒ වගේම විශේෂ උපා­ධිය කිරී­මට මම තීර­ණය කළෙත් මාධනීගේ පෙරැත්ත නිසා­මයි. "

මාධනී ගීත­වත් ස්වර­යෙන් ඒ අතීත මතක වද­න්ව­ලට පෙරළු­වාය. 

" අපි දෙන්නම එකි­නෙ­කාගේ කලා  හැකි­යා­වන් ගැන හරි­ය­ටම දැන­ගත්තේ විවා­හ­යෙන් පස්සෙ. රනිල් පශ්චාත් උපා­ධිය කරන්න කොළඹ ආවට පස්සෙ අපි ගුව­න්වි­දුලි සංස්ථා­වට බැඳිලා ගීත ගායනා කළා. ඒ විදි­හට දිග­ටම කලා කට­යු­තු­වල යෙදුණා. ඒ මුදල් ඉපැ­යීමේ අර­මු­ණින් නෙවෙයි මාන­සික සතුට වෙනු­වෙන්. "

විශේ­ෂඥ වෛද්‍ය රනිල් සහ බිරිය මාධනී ඔවුන්ගේ පළමු කැසට් පටය 'සඳ­කි­රණ ගලා' නිකුත් කරන්නේ 1993දීය. 2005දී වෛද්‍ය රනිල්ගේ ගී පද රචනා ඇතු­ළත් 'මගේ සිත අද්දර' නම් සී.ඩී. තැටි­යත් කල­කට පෙර සුසුදු සරා සඳ නමින් වෛද්‍ය රනිල්, මාධනී සහ දිය­ණිය හිරුෂි විසින් පව­ත්වන ලද සංගීත ප්‍රසං­ගය ඇතු­ළත් ඩී.වී.ඩී තැටි­යද නිකුත් විය. රනිල්- මාධනී යුුව­ළට සිටින්නේ පුතුන් දෙදෙ­නකු සහ එක් දිය­ණි­යකි. වැඩි­ම­හල්  පුතු  ඉංජි­නේ­රු­වකු ලෙස ඇමෙ­රි­කාවේ ‍සේවය කරයි. අනෙක් පුතු මෙරට පෞද්ග­ලික රෝහ­ලක පෙර සාය­නික වෛද්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කරයි. එකම දිය­ණිය හිරුෂි වෛද්‍ය­ව­රි­යක වීමේ අපේ­ක්ෂා­වෙන් අධ්‍යා­ප­නය හැදෑ­රු­වද දැන් ඇය මුළු­ම­නින් කලා කට­යුතු සඳහා යොමුවී සිටී. ගාය­න­යට, වාද­න­යට, ගී පද රච­න­යට, නර්තන­යට සහ නිවේදනයට දස්කම් දක්වන හිරුෂි මාධ්‍ය ක්ෂේත්‍රයේද කට­යුතු කරන සුන්දර යෞව­නි­යකි.

"අපි හැම­දෙ­යක් ගැනම සාමු­හි­කව කතා­ක­රලා තමයි හැම­දේම කරන්නේ. පවුලේ සම­ගි­යට එය ගොඩක් වටි­නවා" 

මාධනී එසේ කියද්දී අප ඇගෙන් විම­සුවේ සැමි­යාගේ ඇය වඩාත් ප්‍රිය­ක­රන ගුණාංග ගැනය.

" රනිල් ගොඩක් විවෘත කෙනෙක්. හැම­දේම කෙළින් කතා­ක­ර­නවා. ඒ වගේම අසා­ධා­ර­ණ­යට විරු­ද්ධව හඬ නඟන කෙනෙක්. පවු­ලට ගොඩාක් ආද­රෙයි. ඔහු කරන දේවල් කිසිම අඩු­වක්, වර­දක් නොවන විදි­හට සැල­සුම් සහ­ග­තව ඉතා සාර්ථකව කර­නවා. ඕනෑම ක්ෂේත්‍ර­යක් ගැන ඔහුට දැනුම තිබෙ­නවා. මම දරු­ව­න්ටත් කියන්නේ ඔහු වගේ වෙන්න කිය­ලයි" 

 පවුලේ නිරෝගී බව රැක­ගැ­නී­මට වැඩි උන­න්දු­වක් දක්වන්නේ කවු­දැයි  මාධනී­ගෙන් අසද්දී සිනහ මුවින් එයට පිළි­තුරු දුන්නේ  වෛද්‍ය රනිල් ජය­සිංහ ය. 

 "සම­හර වෙලා­වට මාධනී මට  ලෙඩ­ව­ලට බෙහෙත් කිය­නවා. ඒ වෙලා­වට මම කිය­නවා ඔයා අති විශේ­ෂ­ඥනේ කියලා"

සැමි­යාගේ වද­න්ව­ලට මාධනීද  සිනා­සෙ­මින්ම  පිළි­තුරු දුන්නාය. 

"එයා ඩොක්ටර් කියලා මටත් අම­තක වෙන වෙලා­වල් තියෙ­නවා. සම­හර වෙලා­වට මම අත්බෙ­හෙත් එහෙ­මත් පාවිච්චි කර­නවා. එත­කොට රනිල් මට හිනා­වෙ­නවා.  සතු­ටින් සැහැ­ල්ලු­වෙන් දවස ගෙවෙද්දි නිරෝ­ගි­ක­මත් රැකෙ­නවා. විවේක වෙලා­වට අපි ගෙදර කැරොකේ සීඩී  දාලා සින්දු කිය­නවා. යාළුවො එක්ක ඇවි­දින්න යනවා.  පැඳුරු පාටි දානවා."

අවසානයේ අප විම­සුවේ විශේ­ෂඥ වෛද්‍ය රනිල් ජය­සිං­හගේ අනා­ගත අපේක්ෂා ගැනය.

"මිය­යෑ­මට පෙර මගේ ජීවිත කතාව කෘති­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කිරීමේ බලා­පො­රො­ත්තු­වක් තියෙ­නවා. 

 

Comments