20 වැනි සංශෝධනය හොඳද නරකද? | සිළුමිණ

20 වැනි සංශෝධනය හොඳද නරකද?

20 වැනි සංශෝධනය හොඳද නරකද?

විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි දෙසතියක කාලය තුළදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ කෙටුම්පතට කැබිනට් අනුමැතියද හිමිව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගැසට් මගින් එය ප්‍රකාශයට පත් කළ පසුව සති දෙකක කාලයක් එය ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුය. අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. කෙටුම්පත සම්බන්ධ යම් කරුණක් උදෙසා ඕනෑම පාර්ශ්වයකට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය අභියෝගයට ලක් කළ හැකිය. මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ මත පළ කර තිබේ. විසිවැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයෙන් සීමා කළ විධායක ජනාධිපති ධුරයේ තිබු බලතල නැවතත් ජනාධිපතිවරයාට පැවැරී ඇති බව විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරන අතර ආණ්ඩු පක්ෂයේ අය පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයට සහ නැවත රට ගොඩනැඟීමට ජනතාව රජයට බලය ලබා දුන් බවයි.

ජනාධිපතිවරයාට අසීමිත බලතල හිමිවීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ පාර්ලිමේන්තුව ශක්තිමත් නොවන බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය මහ භයානක අත් හදාබැලීමක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගෙන් ඉවත් වීමට මේ රටේ ප්‍රගතිශීලි ජනතාව කැමැති නොවන බවත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතයයි. එමෙන්ම එය ඒකාධිපති ගමනක ආරම්භය බවත් ඔවුහු පවසති. 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ යහපත් අයහපත් සංශෝධන දෙකම ඇතුළත් බව ඇතැමුන් ගේ මතයයි.

 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සංශෝධනය කරමින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන ඉදිරියේදී සැලකිලිමත් විය යුතු බව ඇතැම් මධ්‍යස්ථ මතධාරීහු සඳහන් කරති. කෙසේ වෙතත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විද්වත් නීතිඥවරුන්ගේ අදහස් අපි විමසුවෙමු. ඒ මත ඇසුරින් අද මත ගැටෙන තැන දිග හැරේ.

කළ යුත්තේ 13 වන සංශෝධනය අහෝසි කිරීමයි

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

ව්‍යවස්ථා සංශෝධනයක් අනිවාර්යෙන්ම කළ යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ අභිවෘද්ධියට විරුද්ධව ගෙනවිත් තිබෙන්නක්. 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිංහල භාෂාවට තිබූ ප්‍රමුඛස්ථානය නැති වුණා. කොහොම වුණත් 20 ‍වැනි සංශෝධනය සම්බන්ධයෙන් මම සම්පූර්ණයෙන් විරුද්ධයි. 20 වැනි සංශෝධනය පිළිගන්න බැහැ. මොකද ඒ සංශෝධනයේ නිසියාකාරව සකස් කරලා නෑ. නමුත් නව ව්‍යවස්ථාවක් ඇතිකරන එක හොඳයි.

මුලික වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒ පළාතක නීතිය තියෙන්නේ මහ ඇමැතිගේ පාලනය යටතේ. ඒ විදිහට පළාතක නීතිය දේශපාලනීකරණය කිරීමට දේශපාලඥයෝ සම්බන්ධ විය යුතු නැහැ. විශේෂයෙන්ම පොලිස් බලතල පළාත් සභාවට ලබා දීම ඉතාම භයානකයි. පොලිස් බලතල මෙන්ම නීතිය හා සාමය යන විෂය සම්බන්ධයෙන් නීතිගත බලයක් පළාත් සභාවට ලැබෙනවා. දැන් ඒ බලතල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සඳහා පාර කපා තිබෙනවා. ඒක නිසි ලෙසින් ක්‍රියාත්මක වුණොත් ඒ අයට පුළුවන් විවිධ නීති හදන්න. පොලිස් බලතල පාවිච්චි කරලා මහ ඇමතිවරයාට වෙනත් අයට බලතල ලබාදෙන නීති ගේන්න පුළුවන්. ‘එක රටක් එක නීතියක්‘ තමයි ජනාධිපතිතුමාගේ සංකල්පය. ඒ විදිහට හැම පළාතකම විවිධ වූ නීති තියෙන්න බැහැ. පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් 35ක් පමණ නීති තියෙනවා. පළාත් සභාවකට නීති හදන්න බලය ලැබුණොත් ‘එක රටක් එක නීතියක්‘ යන්න විසන්ධි වෙනවා. ඒ නිසා 13 වැනි ව්‍යවස්ථාව අවලංගු කර හෝ ප්‍රතිව්‍යුහගත හෝ කළ යුතුයි. උතුර, නැඟෙනහිර පළාත්වල ජනතාවට සම අයිතීන් ලබා දිය යුතුයි. 1978 ව්‍යවස්ථාවේ සහ 1972 ලබාදී තිබුණ එම පළාත්වල ජනතාවගේ සම අයිතීන් 1988 දී අහෝසි වූ බවයි පෙනෙන්නේ. 16 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ උතුරු නැඟෙනහිර පළාතේ සිංහලයෙන් වැඩ කටයුතු කළ නොහැකි ආකාරයට නීති සංශෝධනය වුණා. එය නිවැරැදි විය යුතුයි. ජනතාව මේ ජනවරම ලබා දුන්නේ එවැනි දේ නිවැරැදි කිරීමට යි.

20 වැනි සංශෝධනය රටට හානිකරයි. ඊට ප්‍රධාන හේතුව රටේ භෞමික අඛණ්ඩතාව පවත්වාගෙන යා යුතු බවට එය වෙන් නොකරන බව දිවුරුමක් දෙන්න තියෙනවා, මහජන නියෝජිතයන්ට සහ රජයේ සේවකයන්ට ඒ දිවුරුම ඉවත් කර තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ඡේදයේ එය සඳහන් වෙන්නේ. රට බෙදා වෙන් කිරීමට සහයෝගය දෙන්නේ නැහැ කියලා තියෙන දිවුරුම නැති කිරීම වැරදියි. එය වැරදීමකින් සිදුවූවක්ද කියා මට හිතෙනවා. කෙසේ වෙතත් 20 වැනි සංශෝධනයේ එය ඉවත් කර තියෙනවා. ඒ ‘53’ සහ ‘61 ඩී’ යන වගන්ති දෙකයි . මම දන්නේ නැහැ මෙය කවුද කළේ කියලා. මෙය වැරදීමකින් වූයේ නම් වහාම නිවැරැදි කළ යුතුයි. රට වෙන් කිරීමට විරුද්ධ වූවන් ලෙස එවැනි එහෙම දෙයකට සහාය දෙන්න බැහැ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අනෙක් සංශෝධන සම්බන්ධයෙනුත් ගැටලු තිබෙනවා. මේ සංශෝධනය නැවත සලකා බැලිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.

 

----------------

සාධනීය ලක්ෂණ තියෙනවා

ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට වියවුලට පත් වුණා. අවුරුදු ගණනාවක් ආපස්සට ගියා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපැත්තට ඇදීම නිසා කිසිඳු කාර්යයක් ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා.

කොමිෂන් සභා තිබුණේ අපට ගැළපෙන ලෙසින් නොවෙයි. එක් එක් අයගේ පෞද්ගලික අභිමතාර්ථයන් සහ ඒ අයගේ සැලැසුම් මත ගෙන ඒවා ස්ථාපිත කර තිබුණේ. 19 වැනි ව්‍යවස්ථා සං‍ශෝධනයෙන් උත්සාහ කළේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් අනුගමනය කිරීමට බවයි පෙනෙන්නේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය ලක්ෂණ රැසක් මම දකිනවා. ජනාධිපතිවරණයට ඉල්ලුම් කිරීමට වයස අවුරුදු 30 ක් සපිරීම, ධුර කාලය අවුරුදු 5ක් වීම, ජනාධිපති ධුර කාලය දෙවරකට සීමා වීම. 20 වන සංශෝධනය තුළ ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල අනුවයි රට නැවත ගොඩනැගිය හැකි වන්නේ. ස්වාධීනයැයි කියා ගන්නා කොමිෂන් සභා රටට හිතකර සාධනීය තත්ත්වයක තිබුණේ නැහැ. රට සංවර්ධනයක් කරා ගෙන යා හැකි ලෙසින් විධායකය ශක්තිමත් කරමින් තීරණ තීන්දු ගන්නට 20 වැනි සංශෝධනය ඉවහල් වෙනවා. මේ සංශෝධනයේ ඇති සියලුම කරුණු රටට හිතවාදී ආකාරයට ඇති කර තිබෙනවා. ඒ පෙන්වා දී තියෙන්නේ ජනතාවගේ බලයයි. ජනතාව 2/3 බලයක් ලබාදී තිබෙනවා. රටට ජනතාවට සුභවාදී හිතවාදී ලක්ෂණ ඇති මේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය දිය යුතුයි.

---------------

අඩුපාඩු තියෙනවනම් හදාගන්න පුළුවන්

ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා

මේ ව්‍යවස්ථා සංශෝධනය රටේ අවශ්‍යතාවය උදෙසා කළ යුතුම දෙයක්. බොරුවට චෝදනා කරමින් අඩුපාඩු සොයමින් ඉන්නවාට වඩා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතුයි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මේ වන විට මතුවී තිබෙනවා. ඒ සම්බන්ධව විමර්ශනයට කමිටුවක්ද පත්කර තිබෙනවා. යම් යම් අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කර සාධනීය අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ ව්‍යවස්ථා සංශෝධනය එකවර ඉදිරිපත් වූවක් නොවෙයි. ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අප දැන සිටියා. ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව 19 වැනි සංශෝධනයේ අඩුපාඩු නිසා රටට විඳින්නට සිදුවූ කරදර බාධක දැක මහ මැතිවරණයට පෙර 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව පැවසුවා. ජනතාව ලබා දුන් ජනවරමින් ඉදිරියට යාමට නම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමයි. ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් අවශ්‍යයි. අසාර්ථක 19 වැනි ව්‍යවස්ථාවේ අඩුපාඩු ජනතාව අත්විඳලා තිබුණේ. ජනාධිපතිවරයෙක් පත් කරන්න, මැතිවරණය පවත්වන්න විශාල මුදලක් වැය කරනවා. ජනාධිපතිවරයා රටේ නායකයා බවත්, ඇමැති මණ්ඩලයේ නායකයා රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරනු ලබන්නා ජනාධිපතිවරයා බවත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් වුවත් ඒ බලතල සියල්ල පසුගිය රජය යටතේ ජනාධිපතිවරයාට අහිමි කිරීමේ ප්‍රයත්නයක යෙදුණා. ඒ බලතල නැවත බලාත්මක කිරීමට ජනතාව 2/3ක බලය ලබාදුන්නා. 19 ව්‍යවස්ථාව මහ පොළොවේ පැළවෙන්නේ නැති ව්‍යවස්ථාවක් කියලා ජනතාව දන්නවා. කිසිඳු පැටලීමකින් තොරව 2/3 බලය ලබා දුන්නේ ඒ නිසයි. පසුගිය රජය සමයේ ව්‍යවස්ථාදායකය හැසිරුණු ආකාරයෙන් පුද්ගලානුබද්ධ අවශ්‍යතා අනුව කළ සංශෝධනයක් බව පේනවා. එයට හේතුව ලෙස මා දකින්නේ අගමැතිවරයාටයි සියල්ල කිරීමේ අවශ්‍යතාව තිබුණේ. ඔහු ඒ අවස්ථාවේදී තමන්ගේ අණසකට නතු කර ගත හැකි විපක්ෂ නායකවරයෙක් ද පත් කරගනු ලැබුවා. ඒ විපක්ෂ නායකයාට තිබුණේ සුළු ආසන ගණනක්. එකල කථානායකවරයාගේ ක්‍රියාකලාපයත් අප දුටුවා. ජනතාවත් මේ සියල්ල බලාගෙන හිටියා. පොලිස්පතිවරයා පත් කිරිම පවා මහා ව්‍යසනකාරි අර්බුදයක් බවට පත්වුණා. මේ සියල්ල කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාවයි. මෙහිදී ඒ අයගේ මතය ඉෂ්ට කරන තුරු සියලු ප්‍රතිසංස්කරණ සිදුකළා.

කොමිසන් සභා පිහිටුවාට ඒවා ස්වාධීන නැහැ. මෙවැනි කොමිෂන් සභා තුළින් රට ඉදිරියට යන්න බැරි නිසා මෙවර පාර්ලිමේන්තු සභාවත් පිහිටුවීම සිදුවුණා. ඒ පාර්ලිමේන්තු සභාව තුළද විපක්ෂනායකවරයා සිටිනවා. මේ සියල්ල කාලීන අවශ්‍යතාව ලෙසයි මා දකින්නේ. කොමිෂන් සභාවලින් හානිකර තත්ත්වයක් ඇති කොමිෂන් සභා 2ක් අහෝසි කර තිබෙනවා. විගණකාධිපතිවරයා විශ්වාසය දිනා ගත් විශිෂ්ට සේවාවක් කළ කෙනෙක් ලෙසයි අපි සලකන්නේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ඒ අනුව එතුමාගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද කිරීමේ හැකියාව තියෙනවා. ‘විධායක ජනාධිපතිවරයෙක්‘ නම් ඔහුගේ තටු කපලා නාමික ජනාධිපතිවරයෙක් කරනවා නම් එය වැරදියි. එවිට සිදුවන්නේ මහා ව්‍යසනයක්. මේ කෙටුම්පතේ අහිතකර දේ තියෙනවා නම් ජනතාවට සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පෙන්වන්න පුළුවන්. මහජනතාවගෙන් ඇසිය යුතු කාරණා වේ නම් ඒ බව දැනුම් දේවි. එසේ ‍නොවේ නම් ඉදිරියට යෑමේ අවකාශ හිමිවේවි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ 2/3 බහුතර කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා.

 

---------------

19න් රට ගලවා ගැනීම අවශ්‍යම වෙනවා

ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා

විසිවැනි ව්‍යවස්ථා සං‍ශෝධනය, ව්‍යවස්ථා සංශෝධනයක් මිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවෙයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් පමණයි. පසුගිය වසර පහක කාලය තුළ රටේ ආණ්ඩු කෙරුණු ආකාරයට ඕනම කෙනෙකුට පෙනි ගියා. කඹ ඇදීමක් සිදු වුණු බවක් මිසක රටට වැඩක් වුණේ නැති බවට.

කෙසේ නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක් වරක් නොවෙයි දහනම වතාවක් සංශෝධනය වී තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ වර මේ විසිවැනි සංශෝධනයක් කිරිම අත්‍යවශ්‍ය වී තිබුණු කාරණාවක්. ඒ සඳහා ජනවරම් දෙකක් ලැබුණා. 19 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සඳහායි. එයින් වුණේ රට අරාජිකත්වයට පත් වීමයි. ජනාධිපති බලතල අඩුකරමින් එකම පක්ෂයකටවත් බහුතරය නොතිබුණ සභාග ආණ්ඩුවකින් වැඩිපුර බලය ලබාගැනීමට ඒ අය උත්සාහ කළේ. මේ බලතුලනය කළේ අන්තවාදී ජාතිවාදී පක්ෂ. මේ තත්ත්වය මත 2015 රටේ පැවැති අනාරක්ෂිත භාවයත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන මැතිවරණ කල් දැමුණා.

2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමට හේතුව ලෙස මා දකින්නේ මේ මනාප මැතිවරණ ක්‍රමය ඉවත් කිරීමට පොරොන්දු දීමයි. නමුත් එය කළේ නැහැ . මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන වසර ගණනක කාලයක් නාස්තු කළ යුතු නැහැ. 19 වැනි ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරමින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන ඉදිරියේදී සැලකිලිමත් විය යුතුයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ද මේ සංශෝධනය යටතේ සිදුවේවි. මේ සංශෝධනයේදී අහෝසි කළ කොමිෂන් සභා පිළිබඳව කතා බහට ලක් කෙරෙනවා. ඉතාම ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස පාර්ලිමේන්තුවටත් වග නොකියන කොමිෂන් සභාවක් ලෙස හඳුන්වනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාවයි. නමුත් ඒ කොමිෂන් සභාව හැසිරුණු ආකාරය අපි දැක්කා. එක පුද්ගලයෙකුට පුළුවන් කොමිෂන් සභා අකර්මන්‍ය කරන්නට. රට ඉදිරියේ කොමිෂන් හාස්‍යයට ලක් වුණා. එම සාමාජිකයන් ක්‍රියා කළේ පක්ෂපාතිත්වයේ ඉහළටම ගිහින්. එවැනි තත්ත්වයක් වෙනස් කිරීමට නම් එහි සංයුතිය වෙනස් කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙනුවට පස්දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පත් කර තියෙනවා. ලෝකයේ දියුණු රටවල්වල මෙන් අධිකරණ ස්වරූපයක් ගන්නා පත්වීම්වලට ඉතාම අපක්ෂපාත මණ්ඩලයක් මගින් පත් වීම් සිදු කරනවා. අපේ රටටත් මෙය කළ හැකියි. මේ ජනවරමේ උපරිම ප්‍රයෝජන ගත යුතුයි. රටට අවැසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. රට අරාජිකත්වයට පත්කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් ගොඩනැඟිය යුතුයි. පසුගිය කාලයේ අරාජිකත්වයට පත්වී තිබුණ රටක විධායක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ රටේ කුරිරු යුද්ධයක් අවසන් කළා සේම මේ රටට ඉතා ඉක්මනින් දේශපාලනයට පිළිලයක් වී තිබුණ 19 ඉවත් කිරීමට කටයුතු කර රටේ ඉදිරි කටයුතු කරගෙන යා හැකියි. එයට හේතුව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එකම දේශපාලන න්‍යාය පත්‍රයක් කතා කරන අය වීමයි. රට ගොඩනැඟීමට රටේ දැවෙන ප්‍රශ්න නිවාලීමට කටයුතු කළ හැකියි. මේ සාමුහිකත්වයේ ක්‍රමවේදයේ සාර්ථකත්වය කොවිඩ් - 19 හරහා අපි දුටුවා. 19න් ගැලවිලා 20 සම්මත කරගෙන රටේ ඉතිරි ප්‍රශ්න විසදා ගත යුතුයි.

 

------------------

ගැටලු ගොඩක් ඇති කරන සංශෝධනයක්

ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ හොඳ සහ නරක දෙකම තියෙනවා. මෙහි 19 වැනි සංශෝධනය තුළ තියෙන දේ අහෝසි කර 1978 ව්‍යවස්ථාවේ තියෙන දේ ඇතුළත් කර තියෙනවා. ජනාධිපතිට හදිසි පනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා වහාම තීන්දු ගැනීමට මේ තුළ අවකාශ තියෙනවා. එය නොකළ යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා.

ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. යමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේදී එය දැනගැනීමට ජනතාවට අයිතිය තියෙනවා. මේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුළින් ඒ අයිතිය කඩවෙනවාද කියලා ගැටලුවක් තියනවා. ඒ පරමාධිපත්‍ය බලයට එරෙහිව කටයුතු කිරීමක් මෙහිදී සිදුවෙනවා. මේ පිළිබඳව මා හැදැරීමක් කළා. මම දැක්කා 2004 බලයට පත් වූ ආණ්ඩුව මාස අටක් තුළ පනත් අටක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තියනවා. ඒ සියල්ල බදුවලට අදාළ පනත්. මෙවැනි සංශෝධනයන්ගේ අවදානමක් තියෙන්නේ ඒ අනුවයි. හදිසි පනත් නොවන දේවල් මේ පනතේ මුවාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමේ අවකාශය තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර, ජනනාවට ඉදිරිපත් නොකර මෙවැනි දේවල් සිදුවුවහොත් රටට අහිතකරයි. විශේෂයෙන් මෙවැනි දේවල් රටට හානිකර දේවල් කියලා සලකන්න පුළුවන්.

එමෙන්ම ව්‍යවස්ථාවේ තියනවා විගණකාධිපති පත් කිරීමේදී සුදුසුකම් තියෙන අයෙක් පත් කළ යුතු බවට. ඒ සුදුසුකම් අයින් කළොත් මොකද වෙන්නේ. එමෙන්ම විගණන කොමිසම අහෝසි කර තිබෙනවා. සියලු රාජ්‍ය ආයතනවල මුදල් කටයුතු විමර්ශනය කිරීමේ බලතල ක්‍රියාත්මක වන්නේ ඒ හරහා. එය ඉතාමත් හානිකර තත්ත්වයක්. මහජන මුදල් පරිහරණය කරන කවර හෝ ආයතනයක් විගණන කොමිසමට යටත් විය යුතුයි.

පොලිස් කොමිසමට සීමා පැනවීම් කර තියෙනවා. මේ ප්‍රතිසංස්කරණය අනුව මහජන පැමිණිලි ගැන විතරයි විමර්ශන කිරීම සිදු වන්නේ. නිලධාරීන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ නැහැ . එය වැරදි දෙයක් ලෙසයි මා දකින්නේ පොලිස් නිලධාරීන්ගේ විනය කටයුතු දුක් ගැනවිලි විමර්ශනය කිරීමේ අයිතිය කොමිසමට තිබිය යුතුයි. පොලිස් කොමිසමෙන් මෙය අයින් කර රාජ්‍ය සේවා කොමිසමට එම බලය ලබාදීමට කටයුතු කර තියෙනවා. රාජ්‍ය සේවා කොමිසමට අසීමිත කාර්යයන් තිබෙනවා. ඒ අතරට පොලිස් කොමිසමේ වැඩත් දුන්නොත් කිසිවක් කාර්යක්ෂම වන්නේ නැහැ. එසේම ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ අයිතිය නොතිබිය යුතුයි. එවැනි අයෙක් රටේ කැබිනට් මණ්ඩලයට ඇතුළත් වුණොත් ගනු ලබන තීරණ කුමනාකාරයෙන් සිදුවේද යන්න ගැටලුවක්.

පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි. ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් ඉහළ රාජ්‍ය නිලධාරියෙක් පවා වීමට සුදුසු නැහැ. විධායක බලතල ජනාධිපතිවරයෙකුට තිබීම මම අනුමත කරනවා. එවිට ඔහුට ස්වාධිනව කටයුතු කළ හැකියි.

---------------

හිස් චෙක් එකකට අස්සන් කරනවා වගේ වැඩක්

නීතිඥ ශිරාල් ලක්තිලක

මගේ මතය 20 වන සංශෝධනය ඒකාධිපතියෙක් බිහි කරන ව්‍යවස්ථාවක් කියලයි. සටන් කරලා දිනාගත්ත ප්‍රජාතන්ත්‍රවාදය වසර හැත්තෑවක් පුරා ජනතාව ආරක්ෂා කරගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියනවට ජනතාව කැමැති නැහැ. එයයි මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගෙන් ඉවත් වෙන්න ජනතාව කැමැති වෙන්නේ නැහැ. ‘එක පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන නීති සම්පාදනය නොකළ යුතුයි‘ කියලා ඒ පක්ෂයේ ප්‍රබලයන්ම කියනවා

ජේ. ආර්. මහත්තයා, කළෙත් මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා කරන්නෙත් ඒ දේම තමයි. සියලු බලතල ගෝඨාභය මහතාට දීලා ගෝඨාභය මහතාගෙන් පසුව එතෙන්ට රට පාලනය නිසියාකාරව නොකරන අයෙක් පත් වුණොත් මොකද වෙන්නේ. ඒ නිසා පුද්ගල බද්ද ව්‍යවස්ථා හැදීම සුදුසු නැහැ.

මේ රටේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ සටන් කරන පොදු ජන පෙරමුණේම ප්‍රගතිශීලි ජනතාවට අපි ආයාචනයක් කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න කියලා.

19 වැනි ව්‍යවස්ථා ප්‍රති සංස්කරණයෙන් රට ඉදිරියට ගියේ නැහැ කියලා කියනවා. එසේ නම් මේ සංශෝධයන් කළ යුතු වන්නේ ප්‍රගතිශීලි සහ සංවර ඉදිරියට යෑමට මිසක ප්‍රතිගාමීව ආපස්සට යෑමට නොවෙයි. එය රටට අහිතකරයි. ජනමතය තුනෙන් දෙකක් තිබුණට ජනමතය තුළ මෙය ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක්. උදාහරණයක් ගතහොත් පාර්ලිමේන්තුවේ ඇමැති මණ්ඩලය තිහේ සීමාව ඉවත් කිරීම ජනවරම දුන් බහුතරයක් අනුමත කරන්නේ නැහැ.

ආණ්ඩුව කියනවා 19 වැනි ව්‍යවස්ථාව රට අකර්මණ්‍ය කළා කියලා.

මට අහන්න තියෙන ප්‍රශ්නය රට ප්‍රගතිශීලිව ඉදිරියට යාමට මිසක පස්සට යන්න දෙන්න උත්සාහ කරන්නේ ඇයි කියලා. ‘ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කාර්යාලවල ගිණුම් විගණනය කරන්න බැහැ‘ එහෙම ජනමතයක් කොහෙද තියෙන්නේ කවුද ඒවාට කැමැති වෙන්නේ.

මැතිවරණ කොමිසමට අදාළ උපමාන ඉවත් කිරීමට ජනතාව කැමැති වෙලා තියෙනවාද?

කොමිසන් සභාවලින් රටට සේවයක් වෙලා තියෙනව. ඒ කොමිෂන් සභා සම්පුර්ණයෙන් ජනාධිපති අතට පත් කරගැනීම හරිද? ස්වාධීනත්වය තියෙයිද විගණන ප්‍රසම්පාදන කොමිසම ඉවත් කරන්න කියලා බලය දීලා ජනතාව කිව්වාද? මෙය හිස් චෙක් එකකට අත්සන් කිරීමක් වගේ වැඩක්.

ඒ වගේම කොමිෂන් සභා ඉවත් කිරීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවනවා. එසේ ස්වාධීන කොමිෂන් සභා ඉවත් කිරීමට ජනතාව බලයක් ලබා දුන්නේ නැහැ.

ඒවගේම පාර්ලිමේන්තු අණපනත් සම්මත කිරීමේදි හදිසි අණපනත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර සම්මත කරගැනීම වැනි ජනතාවට අහිතකර කරුණු රැසක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එහා ගිය ඒකාධිපති බලය ජනාධිපතිවරයාට ලබා දී තියෙනවා. එය ඉතාමත් භයානකයි.

Comments