සුව විරුවන්ගෙන් තවත් සුවිසෙස් සැත්කමක් | සිළුමිණ

සුව විරුවන්ගෙන් තවත් සුවිසෙස් සැත්කමක්

- පරිප්පු මැෂිමට හසු වූ දරුවාගේ අත බේරාගත් විස්මිත සැත්කම
_ ශල්‍යාගාරයේ යකඩ කැපුවේ නාවික හමුදා සෙබළුන්
- අඹරන යන්ත්‍රය කපා ඉවත් කිරීමට පැය 2 ක් ගත වුණා
- ගිනියම් වූ යකඩය සිසිල් කළේ අයිස් වතුර දමලා
- ඇඟිල්ල බේරාගත හැකිදැයි විශ්වාසයක් තිබුණේ නැහැ

බිනර මහ වැස්ස ඇද හැළුණු පසුගිය 6 වැනි ඉරිදා බොහෝ දෙ‍නකු නිවෙස් තුළම ගුලිකර තැබුවේ එදින කාටත් විවේකී දිනයක් වූ නිසාය. එහෙත් විසි හතර පැය පුරා රාජකාරියේ යෙදී සිටින වෛද්‍යවරුන්ට නම් විවේකී ඉරිදාව නිවසේ ගුලි වී සිටින්නට ඉඩක් දුන්නේ නැත. එදා ගොම්මන් අඳුර වැටී ගෙන එන මොහොතේ යම් ඉසිඹුවක් ලබා සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ රන්දිල් ද අල්විස්, හසිත විජේසුරේන්ද්‍ර සහ ජගත් ගමගේ යන වෛද්‍යවරුන්ට ලහි ලහියේ ශල්‍යාගාරය සූදානම් කර ගැනීමට සිදුවූයේ කොළඹ ජාතික රෝහලෙන් ලැබුණු දුරකතන ඇමතුමක් සමඟය. ඉන් කියැවුණේ මැෂිමකට අත හසු කරගත් කුඩා දරුවකු වහාම රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන බවයි. මෙම දරුවාගේ අත මැෂිමෙන් ඉවත්කර අත සකස් කිරීමේ කටයුත්ත මෙම වෛද්‍යවරුන් වෙත පැවරුණේ ඔවුන් මෙම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවයේ නිරත වන අය නිසා ය.

වේලාව පස්වරු 6.45 පමණ විය. මැෂිමකට අත හසුකර ගෙන තුවාල ලබා සිටි දරුවාව මැෂිම සමඟම රෝහලට රැගෙන එනු ලැබීය. දරුවා තෙහැවිරිදි වියේ පසුවන පිරිමි දරුවෙකි. ඔහු වත්තල ප්‍රදේශයේ ජීවත්වන පවුලක දෙවැනි දරුවා විය. පියා සුළු රැකියාවක නිරත වන බැවින් මව නිවසේ සිට වඩේ සාදා විකුණන්නේ අමතර මුදලක් සොයා ගැනීමට ය. වඩේ පිළියෙල කර ගැනීමට පරිප්පු දමා අඹරා ගන්නා මැෂිමට තෙහැවිරිදි පුංචි දරුවා දකුණු අත දමා තිබෙන්නේ මවගේ අවධානය ගිලිහී ගිය මොහොතකදීය. මේ මොහොතේ මව අසල්වාසී නිවෙසකට ගොස් සිටියේ දස හැවිරිදි දියණියට තෙහැවිරිදි මල්ලී බලා ගන්නා ලෙස පවසමිනි. පුංචි අත්ල කැපී ඇඹරී දරුවා වේදනාවෙන් විලාප දෙන විට මවගේ ඉහමොළ රත් වන්නට ඇත. අවසානයේ දරුවා ඔසවාගත් මව, පියා ඇතුළු කීපදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත දිව ආහ. ජාතික රෝහලෙන් බොරැල්ලේ රිජිවේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරනු ලැබුවේ රිජිවේ රෝහල ළමුන් වෙනුවෙන්ම විවෘතව පවතින බැවිනි.

“හවස 6.45 ට ගෙනාපු දරුවාව අපි රාත්‍රි 7.00 වනවිට ශල්‍යාගාරයට ගත්තා. දරුවාගේ නාඩි ක්‍රියාකාරිත්වය, හෘදය ක්‍රියාකාරිත්වය සෑම දෙයක්ම යහපත් මට්ටමෙන් තිබුණා. දරුවාගේ අත කපන්න වෙයිද ඇඟිල්ලක් කපන්න වෙයිද දන්නේ නැහැ කියලා අපි දරුවාගේ අම්මාට අනතුරු අඟවලා තිබ්බා. දරුවාව ශල්‍යාගාරයට ගත්තාට ශල්‍යාගාරයේ මැෂින් කපන්න පුළුවන් උපකරණ නැහැනේ. ඒ නිසා ඉස්සෙල්ලාම මැෂිම කපාගන්න මෙවලමක් හොයන්න වුණා. අපේ රෝහලේ ඉදි කිරීමේ ව්‍යාපෘතියක් තිබෙනවා. එය නාවික හමුදාවෙන් කරන්නේ. අපි එයාලාගෙන් උදවු ඉල්ලුවා‍. එයාලා ළඟ යකඩ කපන කියත් තිබුණත් ශල්‍යාගාරයක වැඩකට සම්බන්ධ වෙන්න ඒ අය බය වුණා.

පස්සේ අපි රොමේෂ් සර්ට කතා කරලා ඔහුගෙන් උපදෙස් අරගෙන නාවික හමුදාවේ අය එක්ක කතා කරලා ඒ අයව ඇතුළට ගෙන්වා ගත්තා” යනුවෙන් පවසමින් පුංචි දරුවාගේ සැත්කම පිළිබඳව තොරතුරු අප හමුවේ තැබුවේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය රන්දිල් ද අල්විස් ය.

ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ ප්‍රධානියා වන්නේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර ය. ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අරුණජිත් අමරසිංහ ද මෙම ඒකකයේ සේවයේ යෙදී සිටියි. මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙපළගේ උපදෙස් අනුව ශල්‍ය කර්මය සිදු කළේ වෛද්‍ය හසිත විජේසු‍ෙර්න්ද්‍ර, වෛද්‍ය රන්දිල් ද අල්විස් සහ වෛද්‍ය නිලධාරි ජගත් ගමගේ යන පිරිස විසිනි. නිර්වින්දනය සඳහා ඉන්ද්‍රාණි මෙලෝනි, නලනි සහ දර්ශි යන වෛද්‍යවරියන් එක් වූ අතර අමාලි හෙදිය ඇතුළු කාර්යය මණ්ඩලය ද මීට දායක වූහ.

නිර්වින්දනය කළ පුංචි දරුවාට ප්‍රථමයෙන් ම සිදු කළ යුතුව තිබුණේ අත හසුවී ඇති අඹරන යන්ත්‍රය කපා ඉවත් කිරීමයි. එහෙත් ඉතා පිරිසුදු ස්ථානයක් වන ශල්‍යාගාරයේ යකඩ කැපීම පහසු නැත. එයින් නිකුත්වන දූවිලි අංශු ශල්‍යාගාරයේත් රෝගියාගේත් තැවරෙන්නට ඉඩකඩ ඇත. රෝගී දරුවාව ඊයම් ඇඳුමකින් වසා සියලුම උපකරණ වසා දැමුවේ එබැවිනි. ඉන් අනතුරුව යකඩ කැපීම ආරම්භ විය. එය ඉතා සෙමෙන් සෙමෙන් අතරමග නවත්වමින්, නැවතත් ආරම්භ කරමින් කළ යුතු වන්නේ දකුණු අත ආරක්ෂා කර ගැනීමට ය. යකඩ කැපීමේදී ගිනියම් වනවිට එය දරුවාගේ අතට අනතුරුදායකය. විටින් විට අයිස් වතුර දමා යකඩය සිසිල් කරමින් කැපුවේ ඉන් සිදුවන හානිය වළක්වා ගැනීමටය. අතට හානියක් නොවන පරිදි පරිප්පු අඹරන යන්ත්‍රය ඉවත් කිරීමට පැය 2 ක් ගතවී තිබේ.

“දරුවාගේ අල්ලෙ ඇඟිලිවලට සම්බන්ධ අස්ථි 2 ක් කැපිලා තිබුණා. දබරැඟිල්ල ඇඹරිලා තිබුණා. කැපුණු තැනකට ප්ලාස්ටික් සැත්කමක් කරන්න ලේසියි. ඇඹරුණු තැනකට නම් අමාරුයි. මොකද ඇ‍ඹරෙන විට ස්නායු පවා තැලෙනවානේ. ඒ නිසා ඇඟිල්ල කපන්න වේවි කියන සැකය අපිට තිබුණා. කොහොම වුණත් අපි බබාගේ අම්මාටත් ඒ ගැන කියලා දැනුවත් කරලා තිබුණේ. මුලින් ම අපි කැපුණු අස්ථි හැදුවා. ඊට පස්සේ බන්ධනී සහ ස්නායු හැදුවා. අපි ඇඟිල්ල ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ නැති වුණාට ස්නායු සම්බන්ධ කළාට පස්සේ ඇඟිල්ලට ලේ ගමන් කරන්න පටන් ගත්තා. එතකොට අපිට අවබෝධ වුණා ඇඟිල්ල කපන්නේ නැතිව බේරාගන්න පුළුවන් කියලා” යනුවෙන් ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය රන්දිල් ද අල්විස් සඳහන් කළේය.

දරුවාගේ සැත්කම අවසාන වන විට ඊට පසුදින එනම් 07 වැනි සඳුදා අලුයම 3.00 වී තිබිණි. මේවන විට දරුවා ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දරුවාගේ සැත්කම සාර්ථකව අවසන් වුවත් සැත්කමට භාජනය වූ දකුණු අත සම්පූර්ණයෙන් සුවපත් වී ප්‍රකෘති තත්ත්වයට පත්වීමට කාලයක් ගත වනු ඇත. ඖෂධ ප්‍රතිකාරවලට අමතරව අතේ ක්‍රියාකාරිත්වය සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ද කළ යුතු ය.

“අපේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයට හැමදාම මේවගේ අනතුරු කරගත්ත බබාලාව ඇතුළත් කරනවා. පිහිවලට කැපිලා, බ්ලෙන්ඩර්වලට වොෂින් මැෂින්වලට අත දාලා, ගෘහ උපකරණවලින් සිද්ධ වෙන අනතුරුවලින් තමයි වැඩිපුර බබාලා තුවාල වෙලා ගෙනෙන්නේ. වොෂින් මැෂින් එකේ රෙදි සෝදද්දී අත දාපුවාම ඇඟිල්ල වටේ රෙදි එතෙනවා. රෙදි එතිලා එතිලා ඇඟිල්ලම ගැලවෙනවා. ධාන්‍ය අඹරන මැෂිමට අත දාලා තුවාල කරගෙන ගෙනාපු 3 වැනි කෙනා තමයි වත්තල බබා. ඔය මැෂිමට ම ඔය විදිහට අත දාලා මීට ඉස්සෙල්ලා බබාලා දෙන්නෙක් ගෙනාවා. එක බබෙක් තල අඹරන මැෂිමකට අත දාලා තිබුණා. අනික් බබා කඩල අඹරන මැෂිමකට අත දාලා තිබුණා” යනුවෙන් පැවසුවේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ ප්‍රධානි, ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණසේකර ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වි‍ෙජ්සූරිය සඳහන් කළේ දෙමවුපියන් පුංචි දරුවන් කෙරෙහි මීට වඩා සැලකිල්ල යොමු කළ යුතු බවයි. පිහි, කියත් වැනි යන්ත්‍ර සූත්‍ර දරුවන්ගෙන් ඈත්ව තැබීමේ වැදගත්කම දෙමවුපියන්ට අවබෝධ කර දිය යුතු බව පැවසූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, මීට අමතරව වස විස කටේ දමා ගැනීම, උණුවතුර හළා ගැනීම වැනි සිදුවීම්වලින් වාර්තා වන අනතුරු සහ ජීවිත හානි ඉහළ බව පෙන්වා දුන්නේ ය.

“බබාලාට අනතුරක් වෙන්න තත්පරයක් වගේ සුළු කාලයක් ඇති. දෙමවුපියන් ඒ පැත්තට මේ පැත්තට හැරෙන ටික වේලාවට උණු වතුර හලා ගන්නවා. පිහියට කපා ගන්නවා. ගින්දරට පුච්චා ගන්නවා. ඒ නිසා මම දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් ගැන මීට වඩා අවධානය යොමු කරන්න කියලා. දෙමවුපියන්ගේ සැලකිල්ල තිබුණා නම් දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් වළක්වා ගන්න තිබුණා” රෝහල් අධ්‍යක්ෂවරයා දෙමවුපියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළේ සිය වෘත්තීය අත්දැකීම් ඇසුරිණි.

Comments