වතු කම්කරුවන්ට සහන් එළියක් දෙන ඉන්දීය නිවාස ව්‍යාපෘතිය | සිළුමිණ

වතු කම්කරුවන්ට සහන් එළියක් දෙන ඉන්දීය නිවාස ව්‍යාපෘතිය

- බිම් අඟලක්වත් නොවූ කම්කරුවන්ට හිසට වහළක් 
- ඉන්දීය රජයේ අවධානය යොමු කළේ එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂයන්
- ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන වැඩ කරන ජනතාවක් ලෙස උඩරට වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව හැඳින්විය හැකිය. මේ ජනතාවගේ ප්‍රධාන ජීවිකාව වනුයේ තේ කර්මාන්තයයි. මෙම කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ වසර 1800 ගණන්වලය. එතැන් පටන් පරම්පරා ගණනාවක් මෙරට ජීවත්වන වතු කම්කරු ජනතාවගෙන් බහුතරය අදටත් ජීවත් වන්නේ එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ලැයිම් කාමර තුළය. ඔවුන්ගෙන් බහුතරය මෙරටේ බිම් අඟලක හෝ අයිතිවාසිකම් නැති පිරිසකි.

උඩරට වතුකරයේ සිදු කරන ලද සමීක්ෂණවලට අනුව මේ වනවිට පවුල් 2,44,500කට අයත් 9,66,700ක් ලැයිම් කාමර 1,60,000ක් තුළ ජීවත් වෙති. එම ලැයිම් කාමරවලින් බහුතරය ජීවත් වීමට නුසුදුසු ලෙස අබලන් තත්ත්වයේ පවතින ඒවාය.

මෙම වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ පළමු අදියර ලෙස තනි නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියක් මුල් වරට ආරම්භ කෙරුණේ 1994න් පසුවය. ඒ වතු නිවාස යනුවෙන් අලුත් නියෝජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමත් සමඟය. එදා වතු නිවාස නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් වූයේ එවකට කඳුරට ජනතා පෙරමුණේ නායකයා වූ පී.චන්ද්‍රෙස්කරන්ය. එහෙත් එම අමාත්‍යාංශය යටතේ ඉදිකෙරුණු නිවාස වතු ජනතාවගේ නිවාස ගැටලුව විසඳන්නට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් එතැන් පටන් මේ දක්වා ආණ්ඩුව විසින් නිවාස 25,000ක් පමණ ඉදිකර තිබේ.

වතුකරයේ ජනතාවගේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු වන්නේ බැසිල් රාජපක්ෂයන් මෙරට ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ වකවානුවේදීය. වතුකරයේ ජනතාව සඳහා නිවාස 10,000ක් ඉදිකර දීමට ඉන්දීය මධ්‍යම රජය එකඟතාව පළකර අතර එම ව්‍යාපෘතිය මේ වනවිට අවසන් වෙමින් පවති.

මෙම නිවාස මධ්‍යම හා ඌව පළාත්වල ඉදි කෙරෙන අතර එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිදු කරන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ලෙස වැවිලි මානව සංවර්ධන භාරය, අදාළ වැවිලි සමාගම්, එම නිවාස ඉදිකෙරෙන වතුවල පිහිටි වතු කම්කරු නිවාස සමූපකාර සමිති කටයුතු කරනු ලබයි. මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වතු කම්කරු නිවාස සමූපකාර සමිති වෙත වාරික වශයෙන් නිදහස් කරනු ලබයි. මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය සුදුසු ඉඩම් තෝරා ගැනීමට වැවිලි මානව සංවර්ධන භාරය හා වතු කම්කරු නිවාස සමූපකාර සමිති රජයට සහාය විය.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා එක් නිවාස ලාභියකුට රුපියල් 9,50,000 බැගින් වූ මුදල වාරික හතරකින් ප්‍රතිලාභීන් වෙත මුදාහැර ඇත්තේ වතු කම්කරු නිවාස සමූපකාර සමිතිය හරහාය. මෙහි නිවසක් වර්ග අඩි 550 ක භූමියක නිදන කාමර 2 ක්, විසිත්ත කාමරයක් මුළුතැන්ගෙයක් සහ වැසිකිළියක් සහිතව ඉදිකර ඇත. මෙහි පිරිවැය අවම කර ගැනීම සඳහා නිවාස හිමියන්ගේ දායකත්වය ලබාදී ඇති අතර මෙම ව්‍යාපෘතිය අවසානයේ බිම් අඟලක හෝ හිමිකමක් නොමැතිව ජීවත් වූ රටේ ආර්ථිකයට ජවයක් ලබා දෙන වතු කම්කරු ජනතාවගේ ජීවිතයට නව එළියක් ගෙනෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් වෙන්කර ඇත්තේ ව්‍යාපෘතිය දෙවසරක් තුළ නිමකිරීමේ කොන්දේසිය මතය.

මෙම නිවාසවල දෙවැනි අදියර ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණේ පසුගිය වසරේ ජනවාරි මාසයේය. ඒ, ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ශිල්පක් එන්. අම්බුල් ගේ ප්‍රධානත්වයෙනි.

ටී.චන්ද්‍රෙස්කර

Comments