වත්මන් දේශපාලඥයන්ට ආදර්ශයක් වූ අබ්දුල් බාකීර් මාකර් | සිළුමිණ

වත්මන් දේශපාලඥයන්ට ආදර්ශයක් වූ අබ්දුල් බාකීර් මාකර්

කථානායක නිල අසුනේ සිටිමින්

“මම ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇත්තෙක්මි. මිනිසුන්ගේ පාලනයෙන් ඔබ්බට ඇති දුෂ්කරතා දැකීම මට ශෝකයක් ගෙන දෙන්නකි.” දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ බාකීර් මාකර් මහතාගේ අදහසක් මෙහි උපුටා දැක්වීම වටින්නේ යැයි සිතමි.සාමය සහ සහජිවනය යන සියල්ලටම වඩා ජාතියේ දියුණුව උදෙසා එක්සත්කම පිළිබඳ නොවරදින විශ්වාසයක් ඇති ඔහුගේ උදාර සිතුවිල්ල බාකීර් මාකර් මහතාගේ දේශපාලනයට බලවත් රුකුලක් විය. බාකීර් මාකර් මහතා 1917 මැයි මස 12 වන දින බේරුවල මරදානේ හකිම්විලාහි ව්‍යාපාරිකයකු හා ආයුර්වේද වෛද්‍යවරයකු වූ අභාවප්‍රාප්ත එව්.ඒ. එම්. මොහොමඩ් මරික්කාර් සහ රහිරා උම්මා මරික්කාර් ගේ පුත්‍රයා ලෙස උපත ලැබුවේය. මෙරට පළමු මුස්ලිම් බාලිකා විදුහලෙන් මුලකුරු කියූ ඔහු කොළඔ ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේය.

කොළඔ සහිරා විද්‍යාලයෙන් ද්වීතිය අධ්‍යාපනය හදාරා 1939 වර්ෂයේදී නීති විද්‍යාලයට ඇතුළත් වී සිංහල,දෙමළ,පාලි භාෂාත් මැනවින් උගත් ඔහු නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ 1949 වර්ෂයේදීය. 1959දී කළුතර නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත් හෙතෙම නිතරම අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීමට නොපසුබට උත්සාහයක් දැරීය. ඒ හේතුවෙන් ඔහුට සිංහල සහ මුස්ලිම් දෙවර්ගයේම සේවාදායකයෝ සිටියහ. මුස්ලිම් ජනතාවට එරෙහිව ගොනුකර ඇති නඩුවලදී සිංහල සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටි අවස්ථාද ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඇත. ඔහු ශුද්ධවු අල් කුරාණයේ ඇති යමකු තමන්ගේම නෑයන්ට එරෙහිව පවා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි යන ප්‍රකාශය සැබවින්ම අනුගමනය කළ අයෙකි.

ඔහු දේශපාලනයට පිවිසීමේ ආරම්භක පියවර වූයේ 1946දී කොළඔ සහිරා විද්‍යාලයේ උපපාලකවරයකු වූ ආචාර්ය ටී.බී ජායා මහතාගේ මහමැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමය.1947දී බේරුවල නගරසභා මන්ත්‍රී වරයකු වශයෙන් තේරුණු ඔහුට 1950 දී නගරාධිපති ධුරයට පත්වීමේ වාසනාවද උදා විය. මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීම, නිවාස නොමැති දුප්පතුන් සඳහා නිවාස ලබාදීම මෙන්ම බේරුවල ජනතාවගේ පහසුව තකා ධීවර සමිති සහ නගරසභාව තුළ පුස්තකාලද ස්ථාපිත කළේය.

1960 වර්ෂයේ පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වුවද රාජසන කතාවෙන් පරාජයට පත්වීම හේතුවෙන් 1960 අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම වර්ෂයේදී ජුලි මස පැවැති මැතිවරණයෙන් පරාජයට පත් විය. නැවතත් 1965 වර්ෂයේ පැවැති මහමැතිවණයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ එතුමා කළුතර දිස්ත්‍රීක්කය නියෝජනය කළ එකම එ.ජා.ප මන්ත්‍රීවරයා විය.

1977 අගොස්තු 4 වැනිදා පාර්ලිමේන්තුවේ උප කථානායක ධුරයට පත් බාකීර් මාකර් මහතා 1978 සැප්තැම්බර් 21 වැනිදා කථානායක ධුරයට පත් විය. ඔහු මෙරට පැරණි පාර්ලිමේන්තුවේ අවසාන කථානායක වශයෙන්ද ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක වශයෙන් ඉතිහාසගත විය. වසර 5 කට ආසන්න කාලයක් කථානායක ධුරය දැරූ එතුමා 1983 අගෝස්තු මස එම ධුරයෙන් ඉල්ලා අස්වී එදිනම අමාත්‍ය ධුරයකට පත්වී වසර 5ක් පමණ අමාත්‍යවරයකු ලෙස කටුයතු කළේය. ඉන්පසු 1988 ජුනි 15 වැනිදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළේය.

දේශපාලන දිවියේ අඩ සියවසකට වැඩි කාලයක් ජනතා මෙහෙවර වෙනුවෙන් කැප කළ එතුමා 1993 දෙසැමිබර් 21 වැනිදා දකුණු පළාත් ආණ්ඩුකාරධුරයට සහ දේශපාලන ජීවිතයට සමු දුන්නේය.

“මම සුළුතර ප්‍රජාවට අයත් පුද්ගලයකු වුවත් මට ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසිමට හැකි වුයේ බහුතර ප්‍රජාව සමඟ ඉදිරියට යෑමට හැකිවූ නිසා පමණි”යනුවෙන් ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටි බාකීර් මාකර් මහතා පැවසු වචන අදටත් ජනතාවගේ හදවතේ රැඳී පවතී. එම නිසා එතුමාණන් “සිංහල බාකීර් ” යන අනුවර්ත නාමයද පටබැඳිණ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමට යෝජනාව ගෙන ඒමට පියවර ගත්තේද එතුමාය.

දිවංගත ඇන්ඩෘ දිසානායක වන මගේ සීයා 1956 දී පාර්ලිමේන්තුව නියෝජනය කරන විට,අබිදුල් බාකීර් මාකර් මහතා 1960 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ඇන්ඩෘ දිසානායකයන් සහ බාකීර් මාකර් මිත්‍රත්වය මගේ දිවංගත පියාණන් වු ගාමිණි දිසානායක මැතිතුමා 1970 වර්ෂයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන විට ගාමිණි සහ බාකීර් මිත්‍රත්වයට පෙරළුණි. දිවංගත ගාමිණි දිසානායක මහතා සමඟ බාකීර් මාකර් මහතා හමුවු සෑම අවස්ථාවකදීම සිංහලෙන් පමණක් කතා කිරීම එතුමාගේ තිබු සුවිශේෂි ලක්ෂණයකි. මගේ පියා කඩිනම් මහවැලි ව්‍යාපාරය පටන් ගත් අවස්ථාවේ සිට විපක්ෂනායක ධුරයට පත්වූ අවස්ථාව දක්වා සහ ජනාධිපති අපේක්ෂක ධුරයට පත්වු අවස්ථාවේදීද බාකීර් මාකර් මහතා විශාල සහයෝගයක් දැක්වූ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. බාකීර් මාකර් මහතා හට මගේ පියා තුළ දැඩි ගෞරවයක් හා නිහතමානී පිළිගැනීමක් තිබූ බව මට මතකය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන් එකට එක්ව ජීවත්විය යුතු බව අබ්දුල් බාකීර් මාකර් මහතාගේ අදහස වූ අතර, යුද්ධය උත්සන්න වීමට පෙර යාපනය අර්ධද්විපයට ගිය දකුණේ අවසාන නායකයා ඔහු බවද සිහිපත් කිරීම වැදගත්ය.

මගේ පියාණන් 1994 ජනාධිපතිවරණයට යොදා ගත්තේද එතුමන් ලබාදුන් ආදර්ශමත් දැක්ම යටතේ ‘එක රටක් එක ජනාධිපතිවරයෙක්’ යන සංකල්පයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය වළකා ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට මුළු හදවතින්ම බාකීර් මාකර් මැතිතුමා සහාය දැක්වීය. මුස්ලිම් තරුණ පෙරමුණ වැඩි ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ලංකාවේ සියලුම ප්‍රදේශවල මුස්ලිම් තරුණ තරුණයන් නියෝජනය කරන සම්බන්ධීකරණ ආයතන පිහිටුවා අත්තවාදීන්ට හිස එසවීමට අවස්ථාවන් ලබානොදී නිවැරදි මඟපෙන්වමින් නායකත්වය ලබාදුන්නේය.

එතුමන් මඟ යන ඔහුගේ පුත් ඉමිටියාස් බාකීර් මාකර් මැතිතුමාද ජාතියේ සමගිය වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කරයි. සමගි ජනබලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් අවස්ථාවක් ඉමිටියාස් බාකීර් මැතිතුමාට ලබා දී පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය කාලෝචිත ක්‍රියාවක් බව මා සඳහන් කරමි. නමුත් පසුගිය පාලන සමයේදී ජාතිකත්වය, සාමුහිකත්වය වෙනුවෙන් සේවය කළ මෙවැනි නායකයන් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොගෙන දුෂිතයන් පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස පත්කර ගැනීම එකල නායකයන් කළ අනුවණ ක්‍රියාවකි.

මා සභාපතිධුරය දරන සමගි තරුණබලවේගයේ ලේකම් වශයෙන් ඉමිටියාස් බාකීර් මාකර් මැතිතුමාගේ පුත් ඉන්ෂාෆ් බාකීර් මාකර් මහතාද තරුණ බලවේගය වෙනුවෙන් සහ තරුණ තරුණයන් වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරන බව සඳහන් කරමි.

අප පවුල් දෙක අතර පරම්පරා තුනක බැඳීමක් හා ළෙන්ගතුකමක් පැවතීම ගැන මා ඉතා සතුටු වන අතර, දේශමාන්‍ය අල්හාජ් බාකීර් මාකර් වැනි නායකයන් අද සිටියා නම්, මේ සමාජය තුළ වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමිත්වයෙන් තොර සැබෑ ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙනු ඇතැයි මම විශ්වාස කරමි.

එතුමා යටතේ තරුණ මන්ත්‍රීවරුන් සඳහා එතුමන් තුළ තිබූ අත්දැකීම්, බුද්ධිය, ඥානය පාවිචිචි කරමින් විශාල ගමනක් අපට යා හැකිය.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේද බාකීර් මාකර් මැතිතුමා වැනි නායකයන් සිටියා නම් බොහෝදුරට එහි ඉරණම වෙනස් වන්නට ඉඩ තිබුණි. එසේම දෙවැනි පරම්පරාවට එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරදීමට කටයුතු කරනු ඇතැයිද මම විශ්වාස කරමි.

බාකීර් මාකර් මැතිතුමා වැනි නායකයන් නැවතත් අපි අතරම ඉපදී ජාතික සමගිය හා සාමුහිකත්වය වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

මයන්ත දිසානායක (පාර්ලිෙම්න්තු මන්ත්‍රී)

Comments