ලොවටම විවර වන අරුම පුදුම වරාය නගරය | සිළුමිණ

ලොවටම විවර වන අරුම පුදුම වරාය නගරය

නාදිමත් කාලයක සිට අප පාවිච්චි කළ ලංකා සිතියමේ හැඩය දැන් වෙනස් වී ඇත. ඒ සුවිශේෂි හේතුවක් නිසාය. එනම් අපේ ආර්ථික ක්ෂේත්‍රයේ හදවත බඳු කොළඹ වරාය අසලින් අලුත් ඉඩම් අක්කර 673ක් අපේ ශ්‍රී ලංකා භූමියට නිත්‍යානුකූලව එක්වීම නිසාය.

කෝටි ගණනක් වටින මේ ඉඩම් කොටස අපේ රටට ලැබුණේ මීට වසර 6කට පෙර 2014 සැප්තැම්බර් 17 වැනිදා වත්මන් අගමැති එදා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව එතුමා හා චීන අගමැති ෂි. ජින්පින්ග් මහතා ආරම්භ කළ කොළඹ වරාය නගර සංවර්ධනය ව්‍යාපෘතිය ඉදිකිරීම හේතුකොටගෙනය.

කොළඹ වරාය අසල මහ මුහුද අක්කර 763ක් වැලිවලින් ගොඩකර ඒ ඉඩම දැන් අප රටට ලැබී ඇත. ඒ අක්කර 763න් අක්කර 678ක් මනරම් වාණිජ කලාප 74ක් ලෙසින් දෙස් විදෙස් ආයෝජකයන්ට බදු දීමට සූදානම් වී තිබේ. ඒ සමඟම මේ භූමිභාගයේ තවත් අක්කර 85ක් පමණ ප්‍රදේශයක අපට සතුටු වීමට හැකි හරිත වෙරළ උද්‍යාන, විවේක ස්ථාන හා සාප්පු සංකීර්ණ මුහුදු යාත්‍රාංගණ හා ‍ජගත් වෙළෙඳ මධ්‍යස්ථාන ඉදිකෙරේ. ඒ අනුව මේ අක්කර 763ක භූමි භාගය මෙරට කොළොම් පුරේ ජගත් මට්ටමේ අසිරි පුරයක්ම වනු ඇත.

මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මෙහි සියලු කටයුතු සිදුකරන්නේ වත්මන් රජයේ අගමැතිතුමාගේ හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදෙස් අනුවය. 

මෙහි ආයෝජන සමාගම වන්නේ portcity Colombo Pvt/LTD සමාගම වන අතර මෙහි ඉදිකිරීම් කරනු ලබන්නේ China harbor Company (CHEC) සමාගමයි. මෙම CHEC සමාගම යනු ලොව විශාලතම බහාලුම් පර්යන්ත හා මුහුද මැද මහ පාලම් 5ක් නිමවා ඇති චීන සන්නිවේදන හා කොන්ත්‍රාත් සමාගමේ (CCCC) සාමාජික සමාගමකි. එය රටවල් හා කලාප 145ක් පුරා ව්‍යාප්ත වී ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වානිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන මූලික ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15ක් වන නව්‍යතම සැලසුම් සහගත නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධිත කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වරාය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5කින් සමන්විතය.

ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7ක් වූ වර්ග කි.මී. 2.6ක භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ A ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතවනු ඇත. නූතන පරිසර හිතකාමි තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇතැයි CHEC පෝර්ට් සිටි කොළඹ සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානි කස්සප සෙනරත් පවසයි.

දැනට වරාය නගරයේ හෙක්ටයාර 269 පුරාම වැලි පිරවීම අවසන් කර තිබේ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු වරාය නගරයේ කටයුතු ක්‍රියාශීලී ලෙස ක්‍රියාත්මක වෙයි.

වරාය නගරයේ හෙක්ටයාර 269 භූමි ප්‍රමාණයෙන් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා සුදුසු වන්නේ හෙක්ටයාර 178ක් පමණි. කොළඹ වරාය නගර ගිවිසුමට අනුව මෙම ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම මත චීන සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා රජයට හිමිවන ප්‍රමාණය හෙක්ටයාර් 62කි. කෙසේ වුවත් මේ මුළු හෙක්ටයාර 269 පූර්ණ පරම අයිතිකරු වන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව ඒ ඒ පාර්ශ්වවලට අයිති ඉඩම් ප්‍රති ආයෝජනය කිරීමේ අවස්ථාව ඒ ඒ පාර්ශ්වවලට ලැබේ. දැනට මේ ඉදිකිරීම් කළ හැකි ඉඩම් හෙක්ටයාර් 178ට එතෙර මෙතෙර අයෝජකයන්ට විවෘතව පවතී. ඒ අනුව මෙය ප්‍රධාන ආයෝජන කලාප 74කට වෙන්කර තිබේ. මේ වරාය නගරය සුරැකීමට කිලෝමීටර් 3.2ක දියකඩනයක් ඉදිකර ඇත. එය ඉදිකර ඇත්තේ ප්‍රධාන ලෙස කළුගල් වලිනි. මෙහි හෙක්ටයාර 269 භූමි ප්‍රදේශය ගොඩකිරීම සඳහා යොදා ගන්නේ වැලි පමණි. ඒ ප්‍රමාණය වැලි කියුබික් මීටර් (කියුබ්) ලක්ෂ 650කි.

මේ වරාය නගරයට ප්‍රධාන මහාමාර්ය සහ උමං මාර්ග දෙකක් ද ඉදිවෙයි. ඉන් එක් උමං මාර්ගයක කටයුතු දැන් සියයට 60ක් අවසන් වී ඇත. ඒ වනාහි සේවා උමං මාර්ගයයි. එය තනිකරම ඉදිවන්නේ ජලය, විදුලිය, දුරකථන හා අන් සියලු යටිතල පහසුකම් සඳහාය. ඒ අනුව ඒ සියලු සේවාවලට කිසිම බාධාවක් නැතිව සිය පහසුකම් සැපයීමට පුළුවන. අපජලය ඉවත් කිරීම ද මේ උමඟ ඔස්සේ සිදුවෙයි. මේ සැපයීම් උම‍ඟේ උස අඩි 12කි. පළල මීටර් 3කි. මෙම උමං මඟ ඔස්සේ ගෑස් සැපයුම් මාර්ගයක් ද ලබාදීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. කිලෝමීටර් 5ක දුරට ඉදිවන මේ උමං මාර්ගය වරාය නගරයේ ප්‍රධාන මාර්ගයට යටින් එයට සමාන්තරව ඉදිවනු එහි ගිය අපට දැකගත හැකිවිය.

වරාය නගරයට අදාළ අනෙක් උමං මාර්ගය ඉදිවන්නේ කටුනායක අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙසය. ඒ අධිවේගි මාර්ගය පෑලියගොඩ සිට කොළඹ වරාය වෙතට කණු මත ඉදිවන අධිවේගි මඟක් ලෙස දීර්ඝ කිරීමට කටයුතු කෙරේ. එය වරාය චෛත්‍යය අසලට දිවේ. ඒ අධිවේගි මාර්ගය පසුව වරාය නගරය යටින් කොල්ලුපිටිය සමුද්‍ර මාවත දක්වා පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර එහි ප්‍රධාන පිවිසුම වරාය නගරයට ලබාදෙනු ලැබේ. මෙම වරාය නගරයේ නව නිවාස 40,000ක් විවිධ අයුරින් ඉදිවේ. ඊට අමතරව මීටර් 20 සිට මීටර් 350 දක්වා උස ගොඩනැඟිලි සංකීර්ණ, ව්‍යාපාරික හා සේවා ස්ථාන හා ගොඩනැඟිලි සංකීර්ණ 6000ක් පමණ ඉදිකිරීමට සියලු පහසුකම් ලබාදෙනු ලැබේ. ඒ ගොඩනැඟිලි ඉදිකරන විට වෙරළ අයිනේ උස අඩු ගොඩනැඟිලිත් ගෝල්පේස් පිටිය පෙදෙසට උස් ගොඩනැඟිලිත් ඉදිකෙරේ. ඉන් මුහුදේ දැක්ම (sea view) සියලු දෙනාට ලැ‍ෙබ්.

පසුගිය වසරේ ඇස්තමේන්තු අනුව වරාය නගරයේ වෙරළ අංශය පවසන්නේ මෙහි පර්චසයක මුල්‍ය වටිනාකම දැනට රුපියල් ලක්ෂ 200 ඉක්මවා ඇති බවයි. ඊට අමතරව එතෙර මෙතෙකර තරුණ පරපුරට නව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා 83,000ක් මේ වරාය නගරය නිසා ඇතිවෙන බ ව පෝට්සිටි කලම්බු සමාගමේ ප්‍රධාන මහජන සම්බන්ධතා කළමනාකරු කස්සප සෙනරත් පවසයි. වරාය නගරයේ ප්‍රධාන ලෙස කලාප 5කි. ඉන් මුල්‍ය කලාපයේ එතෙර මෙතෙර බැංකු මුල්‍ය ආයතන හා ඊට අදාළ සමාගම් ඉදිකෙරේ. ඉහළ මට්ටමේ කාර්යාල පහසුකම් මෙහි ඇත. දකුණු ආසියාවේ දියුණු තිරසර සංවර්ධන ක්‍රමෝපායන් හා සුහුරු සංකල්ප ක්‍රියාවට නංවන නවතම කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ වරාය නගරය ඉදිරි වසර 30 - 40 තුළදී පත්වෙනු ඇත.

අන් කලාප අතර ඇති යාත්‍රාංගණය කොටස් වැඩිපුර ඇත්තේ ජලය පිරි තටාංගනයකි. එහි අපේ රටේ යොට් යාත්‍රා හා බෝට්ටු සඳහා යාත්‍රාංගණ හා පහසුකම් තිබේ. ජල ක්‍රීඩා හා විවිධ ප්‍රමාණවල මගී ප්‍රවාහන බෝට්ටු හා සුළං බලයෙන් ක්‍රියා කරන රුවල් නැව් ආදිය නැංගුරම් ලෑමට ඉඩකඩ සලසා ඇත. එහි යාත්‍රාංගණ ගම්මාන ද පිහිටුවේ. පිටරටවලින් එන කුඩා ප්‍රමාණයේ මගී මුහුදු යාත්‍රාවලට මෙය විවෘතය. මෙම ස්ථානයට පැමිණෙන අයට ආහාරපාන ආරක්ෂාව සුවසෙත පිණිස සියලු පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇත.

අනෙක් කලාපය වන ජාත්‍යන්තර දිවයින කොටසේ ලොව ඉහළම ජගත් පාසල් සෞඛ්‍ය පහසුකම් දුරකථන සම්බන්ධතා ගුවන් යානා වෙන්කර ගැනීම් ජගත් සබඳතා සමඟ ඊට සම්බන්ධ ආයතන ද ඉදිකිරීමට යෝජිතය. විනෝද අංගණ ඉහළම මට්ටමේ හෝටල් ද මෙහි ඇත. ලොව ඉහළම පෙළේ ධනවතුන් හා ව්‍යාපාරිකයන්ට සුදුසු ගොඩනැඟිලි හා ලොව ඉහළම විදුලි සංදේශ පරිගණක පහසුකම් චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම් ආදියට අදාළ සේවා මධ්‍යස්ථාන මේ ප්‍රදේශයේ ඉදිවනු ඇත.

මෙම වරාය නගරයේ ඉදිවෙන විශාලතම ව්‍යාපාරික මධ්‍යස්ථානය වන්නේ ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයයි. මෙය දකුණු ආසියාවේ පිහිටි මහජන කටයුතු පිළිබඳ අන්තර් ජාතික සමුළු සම්මන්ත්‍රණ පැවැත්වෙන ප්‍රමුඛතම මධ්‍යස්ථානය බවට පත්වෙනු ඇත. එය ඉදිවනුයේ ජාත්‍යන්තර දිවයින කලාපයේය. ඊට අමතරව මෙහි ඇති මධ්‍යම උද්‍යාන වාසය හා දූපත් වාසය වැනි කලාපවල වැඩිපුර ජනතාව පදිංචි වන අතර තිරසර වෙරළ හා නාගරික උද්‍යාන ද ඉදිවනු ඇත.

‍‍‍මෙම වරාය නගරය ඇතුළත අපේ රටේ ජනතාවට ඇති තරම් විනෝදවීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා ප්‍රධාන වෙරළ හා මහජන හරිත උද්‍යාන 6 - 7 ක් අක්කර 111ක් පුරා ඉදිකෙරේ. ඒ ප්‍රධාන හරිත උද්‍යානවල වපසරිය වත්මන් ගාලු මුවදොර ක්‍රීඩාංගණය මෙන් නවගුණයකි. ඉන් විශාලතම ප්‍රධාන වෙරළ කලාපය හා උද්‍යානයේ වැඩකටයුතු දැන් අක්කර 35ක භූමි භාගයක ඉදිවෙමින් පවතින අයුරු පසුගිය සතියේ අපට දැකගත හැකිවිය. තල්, පොල් හා අපේ රටේ ඖෂධ පැළැටී ඇතුළු හරිත තීරයන් මෙහි දැනටම වවා තිබේ. එතෙර මෙතෙර ඕනෑම අයකුට තම දූ දරුවන් සමඟ නිදහසේ ඇවිදිමින් වෙරළ තීරයේ පහස විඳීමට ජල ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආහාර පාන ගැනීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් මෙහි ඉදෙවිමින් පවතී. මීට අනුබද්ධව සමස්ත වෙරළ තීරය දිගින් මීටර් 1500කි. පළලින් මීටර් 200 කි. එහි ඇති මුහුදේ රළ නැත. ආරක්ෂාකාරියි. ළමා උයන, විනෝද ක්‍රීඩා, උද්‍යානය අසලින් නිර්මාණය කර තිබෙන මධ්‍ය ඇළ මාර්ගයේ ජල ක්‍රීඩා කටයුතු සිදුකිරීම ඇතුළු දරුවන්ට ක්‍රීඩා කළ හැකි ස්ථාන සකස් කෙරෙමින් පවතී.

පොල්, තල් ගස් ඇතුළු දේශීය ශාක වර්ග රැසක් හරිත උයනේ රෝපණය කර ඇති අතර පරිසර හිතකාමී ආකාරයට තිරසර සංවර්ධනය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

ඇවිදින මංතීරු, පදිකයින්ට සහ පාපැදිකරුවන්ට ගමන් කළ හැකි වන පරිදි කොළඹ වරාය නගරය සකස් කෙරෙමින් පවතී. ගාලු මු‍වදොර පිටිය මෙන් තුන් ගුණයකින් මෙහි ප්‍රධාන වෙරළ හා මහජන උද්‍යානය සමන්විත වන අතර ගාලු මුව‍දොර සිට ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇවිදගෙනම කොළඹ වරාය නගරය මධ්‍යයේ පිහිටි මහජන උද්‍යානයට පිවිසිය හැකි වන පරිදි ප්‍රවේශ මාර්ගයක් ද සකස් කෙරේ. මෙහි තෙවැනි අදියර ලෙස ඉඩම් බදුදී ආයෝජකයන්ට අවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට පූර්ණ සහය දීම සිදුකෙරේ. කෙසේ වුවත් ලබන වසරේ මුල් භාගයේදි මෙහි වෙරළ හා හරිත උද්‍යානය මෙන්ම නැරඹුම් මධ්‍යස්ථාන අපේ රටේ ජනතාවට විවෘත කිරීමට රජය හා අදාළ සමාගම් කටයුතු කරමින් සිටිති.

වරාය නගරය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත ගලා එනු ඇතැයි අපේක්ෂා කරන ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5කි. 

ලොව ඇති ප්‍රමුඛ පෙළේ නගරයන් සමගින් තරගකර වඩාත් ඉදිරියෙන් සිටින සොඳුරුතම සුහුරු නගරයක් ලෙසින් ජීවය ලබන කොළඹ වරාය නගරය 2025වන විට ලොව පුරා වැඩිම ඉල්ලුම ඇති මුල්‍ය පරාදීසය වනු ඇත. එක් කලාපයක් ලෙස ඉදිවන වාණිජ නගරයේ ලෝකයේ මුල්‍ය සේවා පවත්වනු ලබන නගර අතර ප්‍රමුඛස්ථානයේ නගරයක් වීමට සැලසුම් කර තිබේ. ඒ ආසියා, අප්‍රිකා, යුරෝපා පිවිසුම මධ්‍යයේ පිහිටි උපාය මාර්ගික පිහිටීම හේතුවෙනි. සේදමාවතේ වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස හෙට දවසේ අභිෂේක ලැබීමට දොරටුවක් බවට පත්වන මෙම නගරයේ සමන්විතවන දේවල් අතර, සංචාරක හෝටල්, රෝහල්, බැංකු මහල් නිවාස සංකීර්ණ මෙන්ම මූල්‍ය ආයතන සහ විදෙස් සමාගම් මෙන්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයන් එක්වනු ඇත.

මේ ව්‍යාපෘතිය පිළිබඳව චීන සන්නිවේදන හා ඉදිකිරීම් (cccc) සමාගමේ සභාපති තුමා පවසන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු එක්ව ගනුුදෙනු කිරීම එක්ව ඉදිකිරීම බෙදා හදා ගැනීම යන මූලධර්ම මත පදනම් වූ ‘එකම තීිරයක් එකම මාවතක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් හා ආර්ථික හා වාණිජ සහයෝගිතාව මත ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ව්‍යාපෘතියක් බවයි.

මේ අතර පසුගිය වසරේදි මේ පිළිබඳව ස්වාධීන අධ්‍යයනයක් කරන Pwc (Price water house coopers) නම් සමාගම පවසන්නේ මේ වරාය නගරය නිසා අපේ රටට වසරකට රුපියල් කෝටි 2,36,000ක් පමණ වූ ප්‍රතිලාභ ලැබෙනු ඇති බවයි. ඒ අනුව තව වසර 20ක් යනවිට අසල්වැසි ඉන්දියාවට හා චීනයට විවිධ ක්ෂේත්‍රවලින් හොඳ තරගයක්දීම අපටත් අවස්ථාව ලැබෙනු ඇත.

ඡායාරූප-නිරෝෂ් බටේපොළ

Comments