ලංකා මුහුද ගිනියම් කළ දියමන්තිය | Page 2 | සිළුමිණ

ලංකා මුහුද ගිනියම් කළ දියමන්තිය

- Dry Chemical Powder කිලෝ 4,000 ක්, බ්‍රැම්පි බකටයෙන් වතුර ලීටර් 4,40,000 ක්
- තෙල් පැල්ලම ටිකෙන් ටික දියවුණත් මෙය බරපතළ හානියක්
- නෞකාව මුහුදු තීරයෙන් පිටමං කෙරෙයි

ලංකා මුහුදු තීරයේ ගිනි ගත් දියමන්තිය පිළිබඳ පසුගිය සිළුමිණ කලාපයෙන් අප පැවැසූයේ එහි ආරම්භය හා මුලික කතා වස්තුව පමණි. කෙසේ වෙතත් පුවත්පත පළවන විටත් බොහෝ දේ සිදුවෙමින්, වෙනස් වෙමින් පැවැතුණි. අම්පාර සංගමන්කන්ද තුඩුව ප්‍රදේශයේදි පසුගිය 3 වැනිදා ඇවිළෙන්නට පටන් ගත් MT New Diamond නෞකාව හටගත් ගින්න මහත් පරිශ්‍රමයක් දරමින් 6 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමිමට ශ්‍රී ලංකා ගුවන්, නාවුක හමුදා මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක කණ්ඩායම් සමත් වීම අපට තරමක සතුටක් ගෙන දුන්නේ බොහෝ දෙනා ඒ පිළිබඳ අවධානයෙන් සිටි නිසාය. එහෙත් ඒ වන විටත් ගැඹුරු මුහුදු සීමාව දක්වා ඇඳ ගෙන ගිය MT New Diamond නෞකාව අධික මුහුදු සුළං හේතුවෙන් ගොඩබිමටම ඇඳී එන්නට වූ අතර අවිනිශ්චිත කාලගුණය හා මුහුදු සුළං හේතුවෙන් යළිත් නැවේ දෙවැනි ගින්නක් පසුගිය 7 වැනිදා ඇතිවිය. කෙසේ වෙතත් නාවුක හා ගුවන් හමුදා දැඩි කැපවීමෙන් හා ඉන්දිය වෙරළ ආරක්ෂක සේවාවන්ගේ සහයෝගය ලැබීමෙන් පසුගිය සතිය මැද වන විට ගින්න දෙවැනි වතාවටත් සාර්ථකව පාලනය කර ගන්නට හැකිවිය

නැවේ දෙවැනි වරටත් ගින්න ඇතිවූයේ කිසිවෙකුත් නොසිතූ පරිදීය. නාවුක හා ගුවන් හමුදාව දිගින් දිගටම ජල ප්‍රහාර එල්ල කළේ මෙවැනි සුළු ගිනි ගැනීම් ඇතිවීමේ අවකාශයක් පවතින බව කල්තියා අනුමාන නළ නිසාය. මේ පිළිබඳ ප්‍රවීණයින් විශ්වාස කළේ ගින්න සම්පූර්ණයෙන්ම නිවීමට නම් එංජිමේ ඩීසල් සම්පූර්ණයෙන්ම දහනය වී අවසන් විය යුතු බවයි. මේ නිසා එංජින් කාමරයට ගොඩ විමට නම් ගින්න නිවී දින තුනක්වත් ගතවිය යුතු බවයි.

නැවේ දෙවැනි ගින්න

සාමාන්‍යයෙන් යකඩ දියවීමේ උෂ්ණත්වය පවතින්නේ සෙන්ට්‍රිග්‍රේඩ් 1500 ක නිසා එවැනි රත්වූ ස්ථානයකින් නැවතත් ගිනි හට ගැනීමේ ප්‍රවණතාවක් ඉස්මතු වන බව මේ විශේෂඥයින්ගේ අදහසයි. කෙසේ වෙතත් ඔවුන් අනුමාන කළේ මෙම මෙහෙයුම අවසන් කිරිමට නම් අඩුම වශයෙන් සතියක පමණ කාලයක් හෝ ගතවිය හැකි බවයි.

නැවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ ගෞරවය ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අයට හිමිවිය යුතුයි. මෙය අපේ රටට ආගන්තුක වූ මෙහෙයුමක් වුවද මේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පළමු වටයේ රසායනික මලු හෙවත් Dry Chemical Powder කිලෝ 1,000 හා දෙවැනි වටයේ කිලෝ 3,000 ගුවනින් ඉසීම විශේෂත්වයකි. ඒ අනුව නිව් ඩයමන්ඩ් නැව ගිනි ගැනීම වැළැක්වීම සඳහා රසායනික පවුඩර් කිලෝ 4,000 ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවස්ථා 176 කදි හෙළිකොප්ටර් දෙකකින් බ්‍රැම්පි බකට් ආධාරයෙන් වතුර ලීටර් 4,40,000 නැවට මුදාහැර තිබිණි.

විශාල තෙල් පැල්ලමක්

පසුගිය අඟහරුවාදා වන විට දෙවැනි වරට හටගත් ගින්න යම් ප්‍රමාණයකට පාලනය කිරීමට ගිනි නිවීමේ කණ්ඩායම් වලට හැකි වුවද ඒ වන විට නෞකාව ආශ්‍රිත කිලෝ මීටර 4 ක ප්‍රමාණයේ ගැඹුරු මුහුදු තීරයේ දිස්වූයේ තෙල් පැල්ලම් දෙකකි. මේ පිළිබඳ අධ්‍යනය කරන විශේෂඥයින්ගේ මතය වී තිබුණේ මෙය තෙල් පැල්ලමක් නොව නැවේ එංජීමෙන් කාන්දු වූ ඝණ ඩීසල් තෙල් පැල්ලමක් බවය. කෙසේ වෙතත් අපදා කණ්ඩායම් විසින් අඛණ්ඩව නැව සිසිලනය කිරීම සඳහා හා ගින්න මැඩ පැවැත්විම සඳහා හෙළන ලද ජලය හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් මදක් වෙනස්ව පිටුපසට බර විමත් ඒ හේතුවෙන් නැවෙහි ගබඩා කර තිබූ ඩීසල් සංචිතය මුහුදු ජලය සමඟ මුසු විමත් බවය.

ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අඟහරුවාදා සහ බඳදා වන විට ඩීසල් ඉන්ධන පැල්ලම් තිබූ ප්‍රදේශ වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කර තිබූ අතර පසුව ඒ පැල්ලම් සියල්ල දියවී ගොස් තිබුණි. සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට කටයුතු කර තිබූ අතර පසුගිය සති අන්තය වන විට මේ සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් පරීක්ෂණාගාරයක් සහිත නෞකාවක් යොදා තිබුණි. මේ අතර ශ්‍රී ලංකා නාවික සමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද මෙම නැව තිබෙන ස්ථානයේ කිමිදුම් කටයුතු වල යෙදෙමින් නැවේ තෙල් කාන්දු වු ස්ථානය පිරික්සීමේ යෙදුණි. කෙසේ වෙතත් ගබඩා කර තිබූ බොරතෙල් සංචිතයට කිසිදු හානියක් සිදු නොවීම සතුටට කරුණක් විය.

නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජර්මන් විශේෂඥ කණ්ඩායමක්, නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය විශේෂඥයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද ලංකාවට පැමිණි අතර ඒ වන විට ඔවුන් සියලු දෙනා අදාළ නෞකාව පරිශ්‍රයට ගොස් සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර අදාළ නැවේ තත්ත්වය පිරික්සීම සඳහා අදාළ නැවේ ගැලවුම්කාර සමාගමේ ග්‍රීක නියෝජිතයන් තිදෙනෙක් පසුගිය සතියේ දෙවැනි වරට ගිනි නිවීමේ කටයුතු වලින් අනතුරුව නැවට නැගිම විශේෂත්වයකි. මෙය එක් අතකට අවදානම් සහිත ක්‍රියාවන් වන්නේ විෂ වායූන් ආඝ්‍රාණය විමේ හැකියාවද පවතින නිසාය.

කණ්ඩායම් තෙල් නැවට ගොඩවෙයි

ඔවුන් සිය පළමු මුලික පර්යේෂණද සිදු කොට අවසන්ව තිබුණි. මේ අතර නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති බොරතෙල් ආරක්ෂිතව පිටතට ගැනීම තීරණය කිරීම සඳහා සිංගප්පූරු නියෝජිතයන් පිරිසක් නාවික හමුදාවේ සහාය මැද ඩයමන්ඩ් නෞකාව ආසන්නයට ගොස් තිබිණි. මේ වන විට දින 07ක් පුරාවට ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බළගණයට අයත් බිච් කින් 200(Beech King 200) නිරීක්ෂණ ගුවන් යානයක්,අංක 06 හෙලිකොප්ටර් බළගණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ,අංක 07 හෙලිකොප්ටර් බළගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බළගණයට අයත් Y12 ගුවන් යානයක් යොදා ගෙන ඇත

නැව ගැඹුරු මුහුදට ඇඳ ගෙන යාම

පසුගිය සතිය මැද වන විට දෙවැනි ගින්න නිවූ හමුදාව උත්සාහ කළේ නැව ගැඹුරු මුහුදේ ස්ථාන ගත කළ යුතු බවයි. අවස්ථා කිහිපයකදි මෙම නැව ගැඹුරු මුහුදට ඇඳ ගෙන ගියද එය සුළඟේ වේගයත් හා මුහුදේ රළු ස්වභාවය නිසා වෙරළ දිසාවට ඇඳී එන්නට විය. මේ සම්බන්ධ පළපුරුද්ද ඇති විශේෂඥයින්ගේ මතය වි ඇත්තේ ගින්න නිවූ පසු මෙම නෞකාව ආසන්නතම වරාය වෙත ඇඳ ගෙන යාමය.

මේ වන විට ලංකා රජයේ බලාපොරොත්තුව වි ඇත්තේ නෞකාව ලංකා මුහුදු තීරයෙන් පිටමං කිරිමය.

නැව් සමාගමට ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දී ඇත්තේ මෙම නෞකාව ඉතා ඉක්මනින් එහි මුල්ම ගමනාන්තය වන ඉන්දියාවේ ප්‍රදීප් වරාය වෙත රැගෙන යන ලෙසය. මෙම නෞකාව මැද පෙරදිග වරායක් වෙතට ගෙන යාමේ සාකච්ඡා අදාළ සමාගම් අතර පැවතුනද ශ්‍රී ලංකා රජය එයට එකඟ වී නැත්තේ එවැනි දුරක් ඇඳ ගෙන යාමෙන් නැවට සිදුවිය හැකි අනතුරු නිසාවෙනි. මේ නිසා සතිය අවසාන වන විට මෙය ඇඳ ගෙන යාමට සුදානම් කර ඇත්තේ ඉන්දියාව දෙසටය.

කෙසේ වෙතත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් අදාළ නැව මෙරට මුහුදු සිමාවෙන් කඩිනමින් පිට කර ගන්නා ලෙසට දැනුම් දී ඇත. ඒ මෙරට මුහුදු තීරයට හානි වීමට පෙරාතුවය.

පසුගිය සතිය ආරම්භය වන විට නීතිපතිවරයා ප්‍රමුණ අදාළ බලධාරීන් එක්ව ශ්‍රී ලංකාවට සිදුවු පාඩුව තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබූ අතර ඒ වෙනුවෙන් කමිටුවක්ද පත්කර තිබුණි. කෙසේ වෙතත් සතිය මැද වන විටත් මෙහි කටයුතු අවසන්ව නොතිබුණේ යම් යම් නිරීක්ෂණ කටයුතු වලට පරිසරයෙන් ඇතිව තිබු බාධාවන් නිසාය. ගැඹුරු මුහුදේ නැංගුරම් ලා තිබු මෙම නෞකාව අවට මුහුද ඒ වන විටත් රළු ස්වභාවයක් පැවතිම එයට හේතුවයි.

ජල සාම්පල

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි හා නාරා ආයතන විශේෂඥ කණ්ඩායම් තුනක් පසුගියදා නෞකාව ගිනිගත් ප්‍රදේශයේ ජල සාම්පල පරීක්ෂාවක යෙදුණි. “මෙසේ මුහුදු ජලයේ පැතිර ගොස් ඇත්තේ තාරවලට සමාන වර්ගයේ තෙලක්.

මෙය යම් තර්ජනයක ලකුණක්. මේ නිසා අපි විධානයක් නිකුත් කරනවා හැකි ඉක්මනින් මේ නැව ඈතට ඇඳ ගෙන යන්න කියා.“සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර පැවැසීය. කෙසේ වෙතත් නැවේ ස්ථායිතාවයේ කිසිදු ගැටලුවක් නොමැති හෙයින් නැව ගිලියාමේ අවදානමක් නැත. නමුත් නෞකාව අදාළ වරායන් දක්වා ඇඳ ගෙන යාමට නම් නැවේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අත්‍යාවශ්‍යය. මෙය ලැබුණු විගස ‘දියමන්තිය‘අපෙන් ඈතට යනු ඇත.

Comments