දියවැඩියා රෝගීන්ට සුබ ආරංචියක් | සිළුමිණ

දියවැඩියා රෝගීන්ට සුබ ආරංචියක්

- කකුල් නොකපා තුවාල සුව කළ හැකි බයිපාස් සැත්කම
- ලංකාවේ  80%ක් දියවැඩියා රෝගීන්

යිපාස් සැත්කම් කිවු සැණින් අපේ මතකයට නැගෙන්නේ හෘද සැත්කම්ය. එහෙත් බයිපාස් සැත්කම් කරනු ලබන්නේ හෘදයට පමණක් නොවේ. පාදවලට ද බයිපාස් සැත්කම් සිදු කෙරෙයි. එහෙත් එය ඔබ පුදුමයට පත් කරන කාරණයක් වනවා නොඅනුමානය. ඔබ අසා නොමැති වුව ද පාදවලට බයිපාස් සැත්කම් කිරීම 2015 වර්ෂයේ සිට ලංකාවේ ද සිදුවේ.

ප්‍රථමයෙන් ම පාදවලට බයිපාස් සැත්කම් කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි කර ගත යුතු ය. පාදවල ඇතිවන තුවාල හේතුවෙන් ඇතැම් විට ඇඟිලි කපා ඉවත් කිරීමට සිදුවේ. සමහර විට මෙය පතුල හෝ දණහිස තෙක් විය හැකිය. කෙසේ හෝ කකුල් කපා ඉවත් කිරීම වෙනුවට තුවාල සුවපත් කර කකුල බේරා ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් ඇත. සැබැවින් ම මෙය දියවැඩියා රෝගීන්ට සුබාරංචියකි. මක්නිසාද සුළු තුවාල අභ්‍යන්තරයෙන් ඔඩුදුවා විශාල වණ බවට පත්වී අවසානයේ කකුල් කපා ඉවත් කිරීමට සිදුවන්නේ දියවැඩියා රෝගීන්ගේ වන නිසා ය. 

මෙවැනි අවස්ථාවක කකුල නොකපා බේරා ගැනීමට බයිපාස් සැත්කමක් කරනු ලැබේ. මෙම සැත්කම් පිළිබඳව විස්තර දැනගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ ශල්‍යකර්ම ඒකකයේ ප්‍රධානී මහාචාර්ය මන්දික විජේරත්න හමුවූයේ මේ සැත්කම් ලංකාවේ ප්‍රථම වරට සිදු කළේ ඔහු නිසා ය.

“කකුල්වල තුවාල ඇවිත් කුණුවෙලා කකුල් හෝ ඇඟිලි කපන්න සිද්ධ වීම ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේම බරපතළ ප්‍රශ්නයක්. ලෝක ජනගහනයෙන් මිලියන 202 ක් විතර මේ රෝගයෙන් පීඩා විඳිනවා. 2000 – 2010 අතර කාලයේ ලෝකයේ ම 23.5% කින් ‍‍රෝගීන් වැඩි වී තිබෙනවා. ඇත්තටම මේක පිළිකාව වගේ දරුණු තත්ත්වයක්. විශේෂයෙන් මේ තත්ත්වය අපට වැඩිපුර දකින්න ලැබෙන්නේ දියවැඩියා රෝගීන්ගේ. ලෝකයේ දියවැඩියා රෝගීන් වැඩි වනවිට කකුල් කපන ප්‍රමාණයත් ඉහළ යනවා. මම කොළඹ ජාතික රෝහලට 1990 දී එනවිට දියවැඩියා රෝගීන් හිටියේ 50% - 60% ත් අතර. ඒත් 2020 වනවිට එය 80% - 90% ත් දක්වා වර්ධනය වී තිබෙනවා. දැන් ලංකාවේ පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුට දියවැඩියාව. ඒ නිසා තමයි කකුල් කපන ප්‍රශ්නය උග්‍ර වෙන්නේ” යනුවෙන් මහාචාර්ය මන්දික විජේරත්න සඳහන් කළේ සාකච්ඡාවට පිවිසෙමිනි.

වෛද්‍ය විද්‍යාවට අනුව තුවාලයක් සුවපත් වීමට, තුවාලයේ විෂබීජ විනාශ කිරීමට සෛලවලට ඔක්සිජන් ලැබිය යුතුය. සෛලවලට ඔක්සිජන් ලැබෙන්නේ රුධිර සැපයුමෙනි. ශරීරයක රුධිර සංසරණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවන්නේ ‍නම් මනා පීඩනයකින් යුතුව සෛල කරා රුධිරය ගමන් කෙරේ. වැඩි පීඩනයකින් රුධිරය සැපයෙන විට සෛලවලට ඔක්සිජන් ද ඉතා හොඳින් ලැබේ. එහෙත් රුධිර නාළ අවහිර වූ විට තුවාලවලට රුධිරය ගමන් කරන්නේ අවම මට්ටමෙනි. සමහර විට රුධිර සැපයුම මුළුමණින් ම අවහිර වී තිබිය හැකි ය. එවැනි අවස්ථාවක සෛලවලට රුධිරය සමඟ ඔක්සිජන් ගමන් නොකිරීම හේතුවෙන් තුවාල සුව නොවී කුණු වීමට පටන් ගනී. කකුල් කැපීමට සිදුවන්නේ මෙවැනි අවස්ථාවකය.

දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව නොවන්නේ ඔවුන්ගේ රුධිර සංසරණය නිසි පරිදි සිදු නොවන බැවිනි. දියවැඩියාව සමඟ අධිරුධිර පීඩනය සහ කොලෙස්‍ට‍රෝල් ද අත්වැල් බැඳගෙන පැමිණෙන බව අප අමතක නොකළ යුතු ය. පාදයක තිබෙන රුධිර නාළයක කොලෙස්ටරෝල් බැඳී රුධිර සංසරණය අවහිර වූ අවස්ථාවක එකී පාදයේ තුවාලයක් ඇති වුවහොත් එම තුවාලය සුව නොවන්නේ එහි සෛලවලට රුධිරය සමඟ ඔක්සිජන් නොලැබෙන නිසා ය. තුවාලය කුණු වී ඔඩුදුවා පාදය කැපීමට සිදුවන්නේ එබැවිනි. රුධිරය සැපයුම දුර්වල වූ අයගේ ද සෛලවලට ඔක්සිජන් හොඳින් නොලැබෙන විටදී තුවාල වේළීම සිදු නොවේ.

“මේ වගේ අයගේ තුවාලවලට කොච්චර බෙහෙත් දැම්මත් වේළෙන්නේ නැහැ. තුවාල වේළෙන්න, විෂබීජ විනාශ කරන්න ශරීරයට ඖෂධ දුන්නත් වැඩක් නැහැ. මේ අයගේ කකුල් නොකපා තුවාල සුව කරන්න නම්, කරන්න තියෙන්නේ තුවාලය ඇති ස්ථානයේ සෛලවලට රුධිර සැපයුම ලබාදීම විතරයි. හෘද සැත්කම්වලදී ස්ටෙන්ට් දාලා රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙනවා වගේ තමයි කකුලෙ ස්ටෙන්ට් එකක් දාලා අපි කකුලේ තුවාලය තිබෙන තැනට රුධිර සැපයුම වැඩි කරනවා. එතකොට සෛලවලට ඔක්සිජන් ලැබිලා තුවාල වේළෙනවා” යනුවෙන් පාදවල බයිපාස් සැත්කම් ගැන විස්තර කළේ මහාචාර්ය මන්දික විජේරත්න ය.

පාදවලට බයිපාස් සැත්කම් කිරීම ලංකාවේ ආරම්භ වූයේ 2015 වර්ෂයේදී ය. එය සිදු කළේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මහාචාර්ය මන්දික විජේරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. දැන් මහනුවර, කරාපිටිය, අනුරාධපුර ඇතුළු රෝහල් කීපයක මෙම සැත්කම් සිදු කරනු ලබයි.

එහෙත් ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක සිදු කෙරෙන මෙම සැත්කම් ගැන ලෝකය දන්නේ නැත. ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන්නේ දියුණු රටවල්වල සිදු කෙරෙන සැත්කම් සම්බන්ධයෙන් පමණි. ඇතැම් විට සංවර්ධනය වෙමින් පවතින රටවල්වල පාදවලට බයිපාස් සැත්කම් සිදු කරනවා විය හැකි ය. එහෙත් ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කිසිම තැනක සටහන් වී නැත. නමුදු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන මෙම සැත්කම් සම්බන්ධයෙන් පිළිගත් වෛද්‍ය ප්‍රකාශනයක සටහනක් තැබීමට මහාචාර්ය මන්දික විජේරත්න ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත් වී සිටිති. එය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. මෙම සැත්කම් (Open lower extremity bypass) පිළිබඳව ප්‍රකාශයට පත්වී තිබෙන්නේ European Journal of Vascular and Endovascular Surgery ප්‍රකාශනයේ ය. 

“අපේ රට වගේ දියුණු වෙමින් පවතින රටවල්වලට ඒ වගේ දෙයක් ජ’නල් එකක පළ කර ගන්න අමාරුයි. දත්ත, සංඛ්‍යාලේඛන අහනවා. ඇත්තටම අපේ රටවල්වල රෝගීන්ගේ නිවැරැදි තොරතුරු හා සංඛ්‍යාලේඛන තියෙන්නේ අඩුවෙන්. දත්ත ගබඩාවක් තියාගෙන යාවත්කාලීන කෙරෙන්නේ නැහැ. පතුල විතරක් කපා අයින් කළ ‍රෝගීන් කීදෙනෙකු ඉන්නවාද, දණහිස ළඟින් ඉවත් කළ රෝගීන් කීදෙනකු ඉන්නවාද කියලා කොහේවත් වාර්තා වෙලා නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි දත්ත රැස් කළා. මෙම සැත්කම් කිරීමේදී කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනුත් කොළඹ ජාතික රෝහලෙනුත් අපිට විශාල සහයෝගයක් ලැබෙනවා. මේ සහයෝගය නොලැබුණා නම් ඇත්තටම මේ ශල්‍යකර්ම කරන්න බැහැ” යනුවෙන් මහාචාර්ය මන්දික විජේරත්න, විස්තර කළේ ය.

ඔහු මෙම වි‍ශ්ලේෂණය සඳහා තෝරාගෙන තිබුණේ 2015 සිට 2017 දක්වා වසර තුනක කාල පරිච්ඡේදයයි. මේ කාල සීමාවට පාදවල බයිපාස් සැත්කම් කළ රෝගීන් 367 දෙනකු ඇතුළත් විය. ඉන් 131 දෙනෙක් කාන්තාවෝ ය. වයස අවුරුදු 65 ට අඩු රෝගීන් ගණන 201 කි. වයස අවුරුදු 65 – 80 ත් අතර පසුවූ රෝගීන්ගේ සංඛ්‍යාව 30 කි. මෙම රෝගීන් 367 දෙනා අතරින් 292 දෙනකුම දියවැඩියා රෝගීන් වීම විශේෂයකි. එය ප්‍රතිශතයක් වශයෙන් 80% කි. මෙම රෝගීන්ගෙන් 117 දෙනෙක් ම දුම්පානය හා දුම්කොළ භාවිතා කරන අය වෙති.

“මේ ජ’නල්වල පළ කරන්න නම් ඒ අය බලන මිනුම් දඬු තියෙනවා. එයාලා ඒ මිනුම් දඬු සකස් කර තිබෙන්නේ සංවර්ධිත රටවල්වල තොරතුරු පදනම් කරගෙනයි. ලෝක ජනගහනයෙන් 10% යි සංවර්ධිත රටවල්වල ජීවත් වෙන්නේ. ඉතිරි 90% ම ජීවත් වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල. 90% ක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන 10% ක ගේ සෞඛ්‍ය තත්ත්වය සමඟ සංසන්දනය කිරීම සාධාරණ නැහැ. අපේ රෝගීන් වයසින් අඩුයි. ඇමෙරිකා එක්සත් ජනපදය වගේ රටවල්වල Vascular Surgery කරන රෝගීන් වයසින් වැඩියි. අනික අපේ රටේ රෝගීන්ගේ හෘදයාබාධ වැලඳීමේ අවදානම ඉහළයි. කොහොමටත් රුධිර සැපයුම අඩුවන අයට හෘද රෝග වැඩියි. අනික අපි ශල්‍යකර්මවලට රෝගීන් තෝර තෝර ගන්නේ නැහැ. ඒත් ඒ රටවල්වල අපි වගේ හැමෝම ගන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල්වල කෙරෙන සැත්කම්වල ප්‍රතිඵල ඉහළයි. ඒත් අපිට ඒ අයගේ මිනුම් දඬු ගැන තර්ක කරමින් හැප්පි හැප්පී ඉන්න බැහැ. ඒවාට ගැළපෙන විදිහට අනුගත වෙලා මේ ගැන ජාත්‍යන්තරයේ පිළිගත් ප්‍රකාශනයක පළ කර ගැනීමට උනන්දු වෙනවා මිසක්” යනුවෙන් පැහැදිලි කළේ මහාචාර්ය මන්දික විජේරත්න ය.

සංවර්ධිත රටවල්වල ඇති සෞඛ්‍ය පහසුකම් සමඟ සසඳා බැලීමේදී අපේ රටේ පවතින්නේ ඉතා අඩු මට්ටමේ පහසුකම් බව අප සිහි තබා ගැනීම ද වටී. ඊට අමතරව සංවර්ධිත රටවල්වල රෝගීන්ගේ පෝෂණ මට්ටම අපේ රෝගීන්ගේ පෝෂණ මට්ටමට වඩා ඉහළ ය. අපේ රෝගීන්ගේ පෝෂණය පමණක් නොව හිමොග්ලොබින් මට්ටම ද පහළ මට්ටමක තිබීම හේතුවෙන් සැත්කම්වල සාර්ථකත්වය ලබා ගැනීමේදී සංවර්ධිත රටවල්වලට වඩා පසුපසින් සිටින්නට සිදුවේ. එහෙත් සංවර්ධිත රටවල්වලින් අපේක්ෂා කරන මට්ටමට අපි ළඟාවී සිටිමු. ඔවුන් අපේක්ෂා කරන ප්‍රතිඵල අපි අත් කරගෙන සිටින්නෙමු. මහාචාර්ය මන්දික විජේරත්න ඇතුළු කණ්ඩායම පාදවලට සිදු කළ බයිපාස් සැත්කම් පිළිබඳව European Journal හී පළ කර තිබෙන්නේ එබැවිනි.

දියවැඩියා රෝගීන්ගේ පාද ඉවත් නොකර තුවාල සුව කිරීම සඳහා සිදු කරනු ලබන බයිපාස් සැත්කම්වලින් පසුව මුල් දවස් 30 (මාසයක්) ඇතුළත මිය යන්නේ 4.5% ක් පමණි.

එහෙත් වර්ෂයක් ඉක්මවන විට ජීවත්වන රෝගීන්ගේ ප්‍රතිශතය 82% කි‍. එනම් මිය යන රෝගීන්ගේ ප්‍රතිශතය 18% ක් ලෙස දැක්විය හැකි ය. තවත් විදිහකින් කිවහොත් රෝගීන් පස් දෙනකුගෙන් 1 ක් අයකු මිය යෑමේ සම්භාවිතාව ලෙස එය පෙන්වා දිය හැකි ය. කකුල් නොකපා බේරා ගනු ලැබුව ද මෙම රෝගීන් බොහෝ විට මිය යන්නේ හෘදයාබාධ, ආඝාත, අධි රුධිර පීඩනය වැනි හේතූන් නිසාය. ශල්‍යකර්මවලින් වසරකට පසුව ජීවත් වන 80% ක ගේ 1/5 ක පාද අහිමි වී ඇති බව ද මහාචාර්ය මන්දික විජේරත්නගේ විශ්ලේෂණවල සඳහන් වී ඇත.

“ලෝකයේ ඕනෑම සැත්කමක් 100% ක් සාර්ථක වෙන්නේ නැහැ. 99% ක් සාර්ථක වෙලා 1% ක් අසාර්ථක වෙන්න පුළුවන්. දැනට ජාතික රෝහලේ අවුරුද්දකට මෙම සැත්කම් 100 ක් විතර කරනවා. ඒත් සැත්කම් කරලා අවුරුද්දක් ගත වුණාට පස්සේ ඔවුන්ගේ කකුල් සහ ජීවිත කියන 2 ම ආරක්ෂාවී තිබෙන්නේ 65% කගේ විතරයි” යනුවෙන් සඳහන් කළ මහාචාර්යවරයාගේ පරමාර්ථය වී තිබෙන්නේ මෙම සංඛ්‍යාවන් වෙනස් කිරීමය. එනම් සැත්කමෙන් අනතුරුව මිය යන සංඛ්‍යාව සහ පාද කපා ඉවත් කරන සංඛ්‍යාව පහතට දැමීමය.

Comments