තෙවසරකට පෙර ලංකාවේදී මරා දැමූ පුතා වෙනුවෙන් සාධාරණය ඉල්ලන බ්‍රිතාන්‍ය අම්මා.... | Page 2 | සිළුමිණ

තෙවසරකට පෙර ලංකාවේදී මරා දැමූ පුතා වෙනුවෙන් සාධාරණය ඉල්ලන බ්‍රිතාන්‍ය අම්මා....

මේරියන් ඉන්ඩියා බෙයාර් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් පසුගිය දා නීතිපති දප්පුල ද ලිවේරා වෙත ලිපියක් යොමු කළාය. ඇය ඉල්ලා සිටියේ ලංකාවේදී අනපේක්ෂිත ආකාරයට මරා දැමූ බවට සැක කෙරෙන ස්වකීය පුත්‍රයාගේ මරණය සම්බන්ධ නඩු විභාගය කඩිනම් කරන ලෙසය.

මේ වනවිට එම මිනී මැරුම් නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබේ. එම නඩුව මහාධිකරණයට යොමු කර හැකි ඉක්මනින් නඩු විභාගය පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඒ බ්‍රිතාන්‍ය අම්මා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මරණයට පාදක වන මිනී මරුමක් යැයි සැක සිතන සිද්ධිය වන්නේ මීට වසර තුනකට ආසන්න කාලයකට පෙරය. එනම් වර්ෂ 2018 ජනවාරි මස මුල් සතියේ දීය.

මරා දමා තිබුණු මේරියන්ගේ පුතා නමින් චාල්ස් ජීවන් බෙයාර්ය. ඔහු තිස් හත් හැවිරිදිය. වර්ෂ 2018 ජනවාරි මස මුල් සතියේ දිනක චාල්ස්ගේ මලසිරුර මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය ළඟ වැටී තිබියදී පොලිසියට හමු වූයේය.

අන්තර්ජාතික ආයතනය

බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් මේ රටේ දී මිය යෑම වෙනත් ආකාරයේ කතාවකි. ඔහු සිය තරුණ කාලයම මත්‍ද්‍රව්‍ය ඇබ්බහියෙන් විනාශ කරගත් තරුණයෙකි. එහෙත් චාල්ස් මේ උවදුරින් ගැලවීමට ප්‍රාර්ථනා කරමින් සිටියේය. ඒ සඳහා ඔහු විශාල අරගලයක් කළ බව කියැවිනි. ඔහු අබියස අලුත් ලොවක් විය. ඔහුගේ ජීවිතය පැහැසර කිරීමට පෙම්වතියක් සිටියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ මේ ඇබ්බැහියෙන් මිදී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ස්වකීය දැනුම වෘත්තීය මට්ටමට රැගෙන විත් වෙනස්ම ජිවිත ප්‍රවේශයක් ලබා ගැනීමය. ඒ සඳහා ආශීර්වාද කරන නෑදෑ හිත මිත්‍ර පිරසක් ද චාල්ස් වටා විය.

අවශ්‍ය පුනරුත්ථාපන ක්‍රමවේද ගැන සොයමින් සිටි චාල්ස්ගේ මව වරෙක දැක තිබුණේ ඔස්ට්‍රෙලියානු ජාත්‍යන්තර සමාගමක් අන්තරයාකර ඖෂධ භාවිතයෙන් ව්‍යසනයට පත් වූ ජීවිත පුනරුත්ථාපනය කරන ආකාරය ය. “සීසන්ස් හාඩර් ගෘෘප් “ නැමැති එම ආයතනය ආරම්භ වී තිබුණේ වර්ෂ 1997 දීය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනට රිචඩ් ස්මිත් නැමැත්තෙක් විසින් ආරම්භ කරන ලද උක්ත ආයතනය ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍යයට ගොදුරු වූවන් පුරුත්ථාපන ක්ෂේත්‍රයේ විශාලතම පුුද්ගලික මෙහෙයුම් කරුවා වූ බව කියැවිනි. එහි මූලස්ථානය පිහිටා තිබුණේ මෙල්බර්න් හිය. වික්ටෝරියා හි වරාය නගරක් වූ ජෙලොන්ග් හි සහ මෙල්බන් ආසන්නයේ පිහිටි නගරයක් වූ එසෙන්ඩන් හි සායනත් ක්වීන්ස්ලන්තයේ කාර්යාලයක් සහ සායනයකුත් ඔවුහු පිහිටුවා තිබුණහ. ඒ වන විට එහි සායන ජාලය තායිලන්තය, ශ්‍රී ලංකාව සහ බාලි යන රටවල ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේදී එය ආරම්භ වන්නේ තවත් හවුල්කාර සමාගමක් සමඟිනි. එම සමාගම ආරක්ෂක සමාගමක් වූයේය. එම සමාගම තමන්ට අනුබද්ධව හෙද සේවයක් ද පවත්වාගෙන ගියේය.

ඕස්ට්‍රේලියාවේ දී සීසන්ස් හාඩර් නේවාසික සායනයක මාස තුනක වැඩසටහනකට ඇඳක් ලබා ගැනීම සඳහා ඩොලර් 30,000 කට වඩා වැඩි මිලක් අය කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ අලුතින් විවෘත කරන ලද සීසන් හාඩර් සායනයේ දී සායනික ප්‍රතිකාර මිල ඩොල්ර් 12000ක් වූයේයය.

වර්ෂ 2017 නොවැම්බරයේදී 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් සිය පවුලේ උදවිය හා හිත මිත්‍රයින් එක් කර දුන් ඩොලර් 12,000 ක් පමණ රැගෙන ලංකාවට පැමිණ සීසන් හාඩර් ආයතනයේ පුනරුථාපන හා ප්‍රතිකාර සායනයට ඇතුළත් වූයේය.

ඒ වනවිට මෙම ආයතනය පුරා මාස තුනක් ලංකාව තුළ ස්වකීය මෙහෙයුම් කර තිබිණි. සායනය ආරම්භ කරන්නේ අගෝස්තුවේය. ඒ කළුතරදීය. 2017 නොවැම්බරයේ සායනයට එක් වෙන චාල්ස් ජීවන් බෙයාර් මාස තුනක පුනරුත්ථාපන වැඩසටහන සම්පූර්ණ කළේ නැත. ඒ ඔහුගේ විනය විරෝධී හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස සායනික ප්‍රතිපත්තිය අනුව ඔහුව වැඩසටහන් ඉවත් කර වහාම සිය මවු රටට හරවා යවන්නට තීරණය කිරීම නිසාය.

සායනයෙන් පිට කිරීම

චාල්ස් හෙරොයින් වලට ඇබ්බැහි වීමට පෙර සිට එක්ස්ටසි සහ මරිජුවානා භාවිතයට හුරු වී සිටි අයෙකි. ඔහුව පුනරුත්ථාපනය කිරීමේ වගකීම සායනය භාර ගත්තේය.

මෙහිදී චාල්ස් වැනි රෝගීන් මත්ද්‍රව්‍යයෙන් වැළකී සිටීම මත පදනම් වූ, පියවර 12 කින් යුත් විෂහරණ වැඩසටහනකට භාජනය කළේය. කණ්ඩායම් සහ තනි උපදේශනය, යෝග, භාවනා සහ භෞත චිකිත්සාව ද ලබා දුන්නේය.

එහෙත් මේ අතර චාල්ස් සහ තවත් ඔස්ට්‍රෙලියානු ජාතිකයෙක් සායනික ප්‍රතිකාරවල අංගයක් වූ චාරිකාවක දී ඩොලර් 10ක් වැය කර මත් පෙති 900කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගෙන තිබිණි.

එදිනම සායනයට පැමිණි විට චාල්ස් සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු මිතුරා මත්ද්‍රව්‍ය භාවිත කළ බව ඔප්පු විය. මත්ද්‍රව්‍ය භාවිතය සහ සායනයට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සායනයේ මූලික නීති උල්ලංඝණය කිරීමක් විය. ඒ නිසා දෙදෙනාම සායනික ප්‍රතිකාරවලින් නිදහස් කර ගුවන් ටිකට්පත් වෙන් කරවා ඔවුන්ගේ මවු බිමට යැවීමට ආයතනය කටයුතු කළේය.

මේ තීන්දුව සමඟ චාල්ස් දැඩි ලෙස කම්පා වී සිටි බවත් තමන් ළඟ තිබූ මත් පෙති වැඩි වශයෙන් භාවිත කළ බවත්, පාලනය කරගත නොහැකි තත්වයක් පවා තිබූ බවත් සීසන්ස් හාඩර් හි සේවකයෙක් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබිණි. එහෙත් ඔහුව කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබිණි. ඒ 2018 ජනවාරි 01 දාය.

චාල්ස්ගේ මරණය

චාල්ස්ගේ මව මේරියන් බෙයාර් ජනවාරි 3 හෝ 4 යන දිනවල තම පුතා නිවසට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළේය. ඔහු නොපැමිණි විට ඇය බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයට සිය පුතා අතුරුදහන් වූ බව දැන්වූවාය. පැය කිහිපයකට පසු සරේ පොලිස් නිලධාරියෙක් ඇගේ පුතා මියගොස් ඇති බව පැවසීමට ඇගේ නිවසට පැමිණියේය.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සැක සහිත දර්ශනයක් සවිස්තරව දක්වා තිබිණි. ඔහුගේ යට ඇඳුම් නිරාවරණය කිරීම සඳහා චාල්ස්ගේ අළු කලිසම අර්ධ වශයෙන් ඇද තිබිණි. ඔහු අසල කුඩා ගින්නක් දල්වා තිබුණි. වීදුරු පෙට්ටියක් ඔහු අසල විය. ඔහුගේ වම් අතේ පිටුපස කුඩා එන්නත් සලකුණක් තිබුනද විෂ විද්‍යා වාර්තාවේ ඔහු මත්ද්‍රව්‍ය නොගත් බවට තහවුරු කළේය. මරණයට හේතුව හිසට සහ බෙල්ලට මොට ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් වූ කම්පනයක් බව සඳහන් විය.

මේ අතර මරණය සම්බන්ධව සැකපිට ත්‍රිරෝද රථ රියදුරෙකු හා වාප්පු ලිපිකරුවකු මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

චාල්ස්‌ගේ මළ සිරුර ත්‍රිරෝද රථයක පටවාගෙන මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය අසලට ගෙනවිත් දමා ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව හෙළිවී තිබිණි.

මෙම සැකකරුවන් පොලිසියට පවසා තිබුණේ චාල්ස් තමන් සමඟ ගොස්‌ හෙරොයින් පැකට්‌ දෙකක්‌ මිලදී ගත් බවයි. මොහු එම හෙරොයින් සිලින්ජරයක්‌ ආධාරයෙන් ශරීරගතකර ගත් පසු හදිසියේම මියගිය බවය. ඔහු හදිසියේ මියයෑම නිසා භීතියට පත්ව ඔහුගේ සිරුර මාලිගාවත්ත ක්‍රීඩාංගණය අසලට ගෙනවිත් දැමූ බවය. පොලිසිය සැකකරුවන්ගේ ප්‍රකාශ පිළිගත්තේ නැත. 

ආයතනය වසා දැමීම

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ චාල්ස්ගේ මරණයෙන් දින කිහිපයකට පසුව කළුතර අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසා දමා එහි ප්‍රතිකාර ලැබූ සෙසු විදේශීය පුද්ගලයන් ඔවුන්ගේ රටවලට යවා ඇති බවය. එහි සිටි ඔස්ට්‍රේලියානු කාර්ය මණ්ඩලයද ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති බවය.

මෙම සායනයේ ආරම්භක අවස්ථාවට ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරුන්ගේ හා සම්භාවනීය අමුත්තන්ගේ දායකත්වය ලැබුණු බවත්, අන්තරයාකර ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියාද ආරම්භක උත්සවයට සහභාගී වූ බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙත් විදේශිකයන් පවා ගෙන්වා ගනිමින් මෙම සායනය රට තුළ පවත්වාගෙන ගොස් තිබුණේ ලබාගත් විධිමත් අවසරයකින් නොවන බව මේ මරණයත් සමඟ හෙළිවිය. සායනය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමිතිගත දැනුම සහිත සම්පත් දායකයින්ගේ ඌනතා සහිතව සායනය පවත්වා ඇති බව ප්‍රකාශ විය.

දැන් චාල්ස්ගේ මරණය මිනීමැරුමක් සේ සලකා පොලිසිය විසින් විමර්ශන මෙහෙයවා තිබේ. මේ අතර අදාළ ඔස්ට්‍රෙලියානු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශීය හවුල්කරු ලෙස කටයුතු කළ ආයතනය ට එරෙහිව පොලිසිය වෙනම නඩුවක් ගොනු කර තිබේ. ඒ බලපත්‍රලත් අන්තරායකර ඖෂධ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචාරය කිරීම සහ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා විදේශිකයන් රට තුළට ඇද ගැනීම යන චෝදනා මතය.

කෙටි කාලීන සීසන්ස් හාර්ඩ් සායනයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ අධ්‍යයනයක යෙදෙන ජාත්‍යන්තර මාධ්‍යය පෙන්වා දෙන්නේ අවදානමට ලක්විය හැකි රෝගියකුට සායනයේ වගකීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු වී ඇති ආකාරයය. මෙහි වගකීම ඔස්ට්‍රෙලියානු හා ශ්‍රී ලාංකික හවුල්කරුවා එකිනෙකා මත පටවන්නට උත්සාහ කරමින් සිටින අයුරු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් චාල්ස්ගේ මරණය සම්බන්ධව ලංකාවේ සීසන්ස් හාඩර් ආයතනයේ කිසිවෙකුට මිනීමරුම් චෝදනා එල්ල වන්නේ නැත. ප්‍රශ්න කරමින් ඇත්තේ ඔවුන්ගේ වගකීම් රහිත හැසිරීමය. චාල්ස්ගේ මව මේ සියල්ල අතර සිය පුතා වෙනුවෙන් සාධාරණය අපේක්ෂාවෙන් සටන් වැද සිටී. ඇය කියන්නේ ලෝකයේ තවත් කිසිවෙක් මෙවැනි ඇත්දැකීම් ලැබිය යුතු නැති බවය.

ඇය ඇයගේ පුතා වෙනුවෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන තුරු අපේක්ෂා සහගතව සිටී.

Comments