ගිලිහී ගිය සභ්‍යත්වය සහ ජාතිකත්වය නැවත ගොඩනැඟීමට දුන් ජන වරමක් | සිළුමිණ

ගිලිහී ගිය සභ්‍යත්වය සහ ජාතිකත්වය නැවත ගොඩනැඟීමට දුන් ජන වරමක්

- 1956 පෙරළිය ඇති වූයේ හුදෙක් බණ්ඩාරනායකයන් සහ අනගාරික ධර්මපාලයන් මේ රටේ ඇති කරන ලද විශාල චින්තනමය විප්ලවය නිසා
-  බටහිර ලිබරල් වාදයෙන් ඔළුව උදුම්වා ගත් ඒ අයට සභ්‍යත්ව රාජ්‍ය ගොඩනැඟිය නොහැකියි
- අපි හැමදාම අනුගමනය කරනු ලැබුයේ පිටතින් ගෙන එන ලද දේශපාලනික, ආර්ථික, දර්ශන කරපින්නා ගත් ක්‍රමයක්

ජාතිවාදය සහ ජාතිකත්වය සම්බන්ධව සාකච්ජා කිරීමට ප්‍රථම මෙහෙයුම වචනාර්ථය කුමක්දැයි වටහා ගත යුතුයි. ජාතිය යනුවෙන් අර්ථකථනය කළ හැක්කේ යම්කිසි ජන කොටසක් යම්කිසි නියත ප්‍රදේශයක කාලාන්තරයක් මුළුල්ලේ වාසය කරමින් එම වපසරිය තුළ යම්කිසි සභ්‍යත්වයක් ගොඩනඟා ගැනීමෙන් පසුව ඒ ජන කොටස ජාතියක් බවට පත්වීමයි. ඔවුන් නියත වශයෙන් නියත කොටසක ශතවර්ෂ ගණනාවක් ජීවත් විය යුතුය. එසේ ශතවර්ෂ ගණනාවක් වාසය කරද්දී ඔවුන් සභ්‍යත්වයක් ගොඩනඟා ගනී. මෙය තවත් පැහැදිලි කරගතහොත් පුරුෂාර්ථ, සංස්කෘතියක් ගොඩනඟා ගත් එම පිරිස ජාතියක් බවට පත්වේ. ශ්‍රී ලංකාවේ ජාතිය වශයෙන් හඳුන්වන්නට හැකි ජන කොටස වන්නේ සිංහල ජාතියයි. එයට හේතුව මේ රටේ වසර දෙදහක් මුළුල්ලේ සභ්‍යත්වය ගොඩනැඟුවේ සිංහල ජාතිය වීමයි. ඒ නිසා අනෙක් ජන කොටසක් හඳුන්වා දිය හැක්කේ ජනවර්ග වශයෙනි. එපමණක් නොව ශ්‍රී ලංකා ජාතිය යනුවෙන් හැඳින්වීම ප්‍රලාපයකි. ඒ අනුව අපට පැහැදිලි කරගත හැක්කේ මේ රටේ ජාතිකත්වය ඇත්තේ සිංහල ජාතියට බවයි.

අනෙක් ජාතීන්ට එලෙස කිව නො හැකිය. ජාතිකත්වය ගැන කතා කිරීමේදී පැහැදිලි කරගත යුතු අනිත් කරුණ වන්නේ ජාතිකත්වය ගොඩනැඟෙන්නේ කෙසේද යන්නයි. ජාතිකත්වය ගොඩනැඟෙන්නේ රටක ජාතියක සභ්‍යත්වය මතයි. ජාතිකත්වය යනු සභ්‍යත්වය විසින් ජාතියකට දෙන අනන්‍යතාවය මුල් කරගැනීමෙන් ගොඩනැඟෙන්නකි. ජාතිකත්වය ඇති වන්නේ මෙම සභ්‍යත්වය, දර්ශනය, ආකල්ප සහ පුරුෂාර්ථ ආදී වූ සියලු දේ ඇතුළත් වීමෙනි. සභ්‍යත්වයකට කිසියම් ජිවන දර්ශනයක් ඇත. එමෙන්ම පුරුෂාර්ථ ආකල්ප මෙන්ම සභ්‍යත්ව විඥානය ගැබ් කරගත් සංකල්පය ජාතිකත්වය ලෙස හැඳින්විය හැකියි. මෙය ඉතා වැදගත් කරුණකි.

මේ රටේ ජාතිකත්වය ගැන කතා කිරීමේදී අපට අවබෝධ විය යුතු කරුණක් නම් ජාතිවාදයයි. එය ජාතිය නමැති වචනය දඩමීමා කරගනිමින් ඇතිවන පහත් හැඟීමකි. ජාතිවාදය යනු අනිසි ලෙස ජාතිකත්වයක් අරූඪ කරමින් අනුන් පෙළීමට, රටක් අස්ථාවර කිරීමට ගෙන යන සංකල්පයකි. එයට සරල උදාහරණයක් ලෙස මේ රටේ ඇති අන්තවාදී පක්ෂ නියෝජිතයන්ගේ හැසිරීම ජාතිවාදී ස්වරූපයක් ගැනීම පෙන්වා දිය හැකිය. ඒ අන්තවාදී ජන කොටස් ඔවුන්ට සභ්‍යත්වයක් ඇති බව පෙන්වීමට උත්සාහ කරයි. මේ රට ගොඩනැඟීමට ඒ අයට අවශ්‍ය නැත. ඒ අයගේ පටු අරමුණු ඉටුකර ගැනීමට සියලු න්‍යායන් ගෙන එනු ලබයි. මේ රට ඒ අයගේ නිජබිමක් ව පැවති බවට කිසිදු දිනක සාක්ෂි නැති අතර ඒ සඳහා සාක්ෂි සපයන දෙමළ ඉතිහාසඥයකු වන ඉන්ද්‍රපාලන් සඳහන් කරන ආකාරයට දහවැනි ශතවර්ෂය වන තෙක් මෙහි දෙමළ නිජබිමි නොතිබිණි. තුන් සිංහලයේ රජකළේ එක රජ කෙනෙක් පමණි. ඒ අය සඳහන් කරන පරිදි වෙනම නිජබිම් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැත.

තවද සභ්‍යත්වය පිළිබඳ සාකච්ජා කිරීමේදී මේ රටේ සිංහල මිනිසුන්ගේ සභ්‍යත්වයේ පදනම සහ දර්ශනය ජාතිකත්වයේ කොටසක් බව කිව යුතුය. ජාතිකත්වය කතා කිරීමේදී අප පුරුෂාර්ථ ආකල්ප පිළිබඳ අවබෝධ කරගත යුතුය. ජාතිකත්වය රටකට ඉතා අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන විඥානය පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන අතර එය සභ්‍යත්ව විඥානයයි. ලංකාව දෙස බැලූ විට ජාතිකත්වය පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සභ්‍යත්ව විඥානය මතයි. මෙය ගැන රටක් බොහෝ විට යටත් විජිතයක් බවට පත් වූ විට සිදුවන්නේ රටේ ජාතිකත්වය පිරිහීමට ලක්වීමයි. ඒ රටට උරුම සභ්‍යත්වයෙන් ඈත්වීමක්ද වෙයි. ඒ සභ්‍යත්වය විනාශ වෙන අතර සභ්‍යත්ව විඥානයද විනාශ වෙයි . අධිරාජ්‍යවාදීන්ගේ අභිප්‍රාය ඔවුන් විසින් යටත් විජිත රාජ්‍යයන්ගේ ජනතාවගේ සභ්‍යත්වය විනාශ කිරීමයි. බොහෝ විට ක්‍රිස්තියානි ආගම පැතිර වීමට උත්සාහ කිරීම ඊට උදාහරණ ලෙස ගත හැකිය. ඔවුන් යටත් කරගත් බොහෝ රටවල ජාතිකත්වය නැති කරමින් ඒ රටවලට අනන්‍යවූ සභ්‍යත්වයද නැති කරනු ලැබීය. සභ්‍යත්ව විඥානය නැති කරමින් අන්‍ය සංස්කෘතීන් ඒ රටවල ඇතිකරමින් ඒ ජනතාව අධිරාජ්‍යවාදීන්ගේ භාෂාවට සහ ආගම්වලට හැරවූහ.

වසර සියයක් යටත් විජිතයක්ව පැවැතියද වාසනාවකට මෙන් අපේ රටේ එම කටයුත්ත සම්පූර්ණයෙන් කිරීමට ඔවුන්ට නොහැකි විය. ඊට මූලික හේතුව අප බෞද්ධ දර්ශනයෙන් හික්මුණු ජාතියක් වීමත් සහ බෞද්ධ ආගමින් හික්මුණු සභ්‍යත්ව විඥානයක් පැවැතීමත්ය. ඒ නිසා ඒ අයට අපගේ සභ්‍යත්ව විඥානය නැතිකිරීමට නොහැකි විය. ජාතියක් වශයෙන් නැඟී සිටීමට හැකියාව ලැබුණේද විජාතික සභ්‍යත්වයෙන් ඈත්වීමට හැකිවුයේද මේ සභ්‍යත්ව විඥානය මෙරට ජනතාව තුළ තිබූ නිසාවෙනි. වසර සියයක් යටත් විජිතයක් බවට පත්වී සිටින අවස්ථාවේදී ඔවුන්ගේ සභ්‍යත්වය, සංස්කෘතිය අනුකරණ කරන අගයන යම් පිරිසක්ද මේ අතර විය. එය අධිරාජ්‍යවාදීන්ගේ මානසිකත්වයයි. ඉන්දියාවේ වාසය කරන ලද මැකොලි ස්වාමිවරයා පැහැදිලි කරන ලද කාරණාවක් නම් අපිට අවශ්‍ය පරමාර්ථය හමේ පාටින් පමණක් වෙනස් වන එම පිරිස අනුකරණය කරන පිරිසක් ගොඩනැඟිය යුතු බවයි. අපේ රටේද සිටි මේ කළු සුද්දන් ඉංග්‍රිසිකාරයන්ගෙන් මේ රට මුදවා ගැනීමට මැදිහත් විය. එක්තරා ආකාරයකින් මේ අය කළු සුද්දන් ලෙස හැඳින්විය හැකිය. සුද්දාට අවැසි චින්තනය දිගටම පවත්වාගෙන යෑම මේ අයගේ සුවිශේෂත්වයයි. ඒ අයගේ චින්තනය දිගටම පවත්වාගෙන යන්නට ඒ අය උත්සාහ කළ අතර මේ රටේ ජනතාවගේ ආධ්‍යාත්මය, සංස්කෘතිය, සභ්‍යත්වය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ‍නොවුණි. එමෙන් ම ස්වාධීන රාජ්‍යයක් ගොඩනඟන්නටද අවශ්‍ය නොවුණි. නිදහස ලබා අවුරුදු අටක් ගතවන තැන ඒ පිරිස පෙරළා දමා විප්ලවයක් කරමින් මේ රටට අවශ්‍ය රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට ජාති හිතෛෂින් පිරිසක් මැදිහත් විය.

1956 පෙරළිය ඇති වූයේ හුදෙක් බණ්ඩාරනායකයන් සහ අනගාරික ධර්මපාලයන් මේ රටේ ඇති කරන ලද විශාල චින්තනමය විප්ලවය නිසාවෙනි. එතුමා විසින් අමද්‍යප ව්‍යාපාර හරහා විදේශ ආක්‍රමණිකයන් විසින් යටපත් කිරීම නිසා නිද්‍රෝපගතව සිටි අපගේ සභ්‍යත්ව විඥානය අවදි කළේය. ඒ අනුව 1956 වනවිට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච බලවේග රජයන අපේ රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට හැකි විය. එහෙත් මා හිතන ආකාරයට ඒ අපට අනන්‍යවූ සභ්‍යත්වය ගොඩනැඟීමේ කටයුත්ත සාර්ථක කරගැනීමට නොහැකිවී ඇත. මානසිකව නිවහල් ජාතියක් අපට තවම හිමි වී නැත. දේශීය ආර්ථීකයක් ගොඩ නැඟී නැත. පසුගිය කාලය පුරා කුමන දේශපාලන පක්ෂ, රජයන් පත් වුවත් අපි හැමදාම අනුගමනය කරනු ලැබුයේ පිටතින් ගෙන එන ලද දේශපාලනික ආර්ථික දර්ශන කරපින්නා ගත් ක්‍රමයකි. අපිට උරුම සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අපිට නොහැකි වී ඇත. අපිට තිබුණේ බෞද්ධ දර්ශනය මුල් කරගත් රාජ්‍යයකි. අපිට තිබුණේ දකුණු ආසියාවේ දියුණු රටවල තිබුණ සභ්‍යත්ව රාජ්‍යයන්ය. අද වන විට චීනය හඳුන්වනු ලබන්නේ මාක්ස්වාදී හෝ ධනවාදී රාජ්‍ය ලෙස නොව සභ්‍යත්ව රාජ්‍යයක් ලෙසයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදුණු විචාරකයකු සඳහන් කරන්නේ දකුණු ආසියාතික රටවලින් ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් අනතුරුව තමන්ට උරුම වූ රාජ්‍ය ගොඩනඟා ගත් රාජ්‍ය තුනක් ඇති බවයි. එනම්, බුරුමය, කාම්භෝජය සහ ශ්‍රී ලංකාවයි. බුරුම නායකයාට වසර දහයක් තුළ බෞද්ධ උරුමය ඇති කරගැනීමට හැකිවූ අතර 1956 සිංහල බෞද්ධ මිනිසුන් බණ්ඩාරනායකයන් බලයට ගෙන ආවේ තමන්ගේ උරුමයන් සොයා යෑමට වුවද බටහිර ලිබරල් වාදයෙන් ඔළුව උදුම්වා ගත් ඒ අයට මේ සභ්‍යත්ව රාජ්‍ය ගොඩනැඟිය නොහැකි විය. බණ්ඩාරනායකයන් ට පමණක් නොව එතෙක් මෙතෙක් මේ රටෙ බිහිවු කිසිදු නායකයකුට ඒ දේ කිරීමට නොහැකි වී ඇත. අදත් අපිට ඒ දේ අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත.

මෙය චීනයටත් වඩා ඉතිහාසයක් හා අඛණ්ඩ සභ්‍යත්වයක් ඇති අවුරුදු දෙදහසක ඉතිහාසයක් ඇති රටකි. අප නව රාජ්‍ය ගොඩනඟා ගතයුතු වන්නේ ඒ මතය. බාහිර දේශපාලන අනුකාරක දර්ශනවලට නොයා අපිට අවශ්‍ය වන දර්ශනය ඇති කරගනිමින් නැඟී සිටීමට අවස්ථාව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයත් සමඟ එම සභ්‍යත්වයේ රාජ්‍ය පිළිබඳ යම් සිහිනයක් අපට ඇත. ගෝඨාභය මහතා බලයට ගෙන ආවේ සම්පූර්ණ සිංහල බෞද්ධ ජනතාව විසිනි.ගෝඨාභය මහතා බලයට පැමිණීමට පෙර මේ රට විනාශ වෙතැයි ජනතාව තුළ විශාල බියක් ඇතිවී තිබිණි. ඒ ආණ්ඩුව විසින් මේ රට මුදාගත් නායකත්වය සහ ත්‍රිවිධ හමුදාව යුධාධිකරණයට යැවීමට සුදානම් වූ ද්‍රෝහින් පිරිසක් එවකට බලයේ සිටි බව අපි දුටුවෙමු. විජාතිකකරණය ඇති කරමින් ජාති ද්‍රෝහි පිරිස තවදුරටත් බලයේ සිටියහොත් මේ සිංහල ජාතියේ අවසානය බව ජනතාව දැන සිටියහ. මේ රටේ ජනතාව 69 ලක්ෂයක් එකතු වී වෙනත් ජාතින්ගෙන් කිසිදු සහයෝගයක් නොමැතිව මේ රටේ නායකයා පත් කරගනු ලැබුවේ මේ රට බේරා ගැනීමටයි. මේ තත්ත්වය අපි අවබෝධ කරගත යුතුයි. ජනතාව ගෝඨාභය මහතා බලයට පත් කරගනු ලැබුවේ ඒ අනුවයි.

ලෝකයේ සෙසු රටවල් අතරින් අපේ රට අවිච්ඡින්න උරුමයක් ඇති රටකි. ඒ සභ්‍යත්ව විඥානය අප තුළ තිබිය යුතුය. ජාතියේ යම් තීරණාත්මක අවස්ථාවලදී අනිවාර්යෙන් සභ්‍යත්වය විඥානයෙන් නැඟී සිට රට ජාතිය වෙනුවෙන් කතා කිරීමට පටන් ගනී. එය අපිට ඇති ශ්‍රේෂ්ඨ දායාදයයි. අනෙක් කාරණාව ගෝඨාභය රාජපක්ෂයන් වටා සිටින පිරිස ඒ ගැන වටහාගෙන මේ ජනබලය නැති නොවන්නට වග බලාගත යුතුය. අනිවාර්යයෙන් ජාතියක් සතු දර්ශනයේ සභ්‍යත්වයක් තිබිය යුතුය. ඉංග්‍රිසී ජාතිය මේ රටට පැමිණ මේ රටේ ඉඩම් අල්ලගත්තා පමණක් නොව; මිනිසුන්ගේ මනස හා සභ්‍යත්වය වෙනස් කිරීමට උත්සාහ කර ඇත. ජාතිය පැවැත්ම තිබෙන්නේ සභ්‍යත්වය මතයි.‍

මේ රටේ මානසික වහල්ලු බිහිකොට සභ්‍යත්වය විනාශ කිරීමට අධිරාජ්‍යවාදීන් උත්සාහ කළද එය සාර්ථක වුයේ නැත. ඒ මානසික වහල් භාවයට පත් යම් පිරිසක් ඒ කාලයේ බිහිවූ අතර 1948දී නිදහස ලබා 1956 වනතෙක් මේ රට පාලනය කළේ ඒ අයගේ ආකල්පවලිනි. එවැනි අධිරාජ්‍යවාදි ගැති භාවයෙන් නොමිදුණු පිරිස් තවමත් මේ රටේ සිටියි. නමුත් නිදහසින් පසුව යළිත් අපට උරුම සභ්‍යත්ව විඥානය ගොඩනඟා ගත් පිරිස රට අස්ථාවර වන සෑම විටම ජාතිකත්වය සහ ජාතිය රැක ගැනීම වෙනුවෙන් නැඟී සිටියි. එවැනි පිරිසක් මෙවරත් යළි ගොඩනැඟුණේ මේ රටේ ගිලිහී ගිය සභ්‍යත්වය සහ ජාතිකත්වය නැවත ගොඩනැඟීමට මෙන් ම ජාතිවාදය මෙරටින් තුරන් කර දැමීමේ අරමුණිනි. ඒ සියලු අපේක්ෂා ඉටු කරගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂයන්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට මේ රටේ ප්‍රගතිශීලී සිංහල බෞද්ධ ජනතාව පෙළ ගැසී සිටි බව මේ අති විශිෂ්ට ජනවරමින් මනාව පැහැදිලි වෙයි.

Comments