කාලගුණේ විකෘතිය | සිළුමිණ

කාලගුණේ විකෘතිය

පේ රටේ කාලගුණය පසුගිය සති දෙක තුන ඇතුළත විවිධ වෙනස්කම්වලට භාජන විය. ඒ නිසා අධික වැස්ස සුළං හා අකුණු නිසා බ්‍රහස්පතින්දා වනවිට ජනතාව 51030 පමණ පීඩාවට පත්වූ අතර මරණ 3 ක් ද වාර්තා විය.

මේ තත්ත්වයට වඩා වැඩි දරුණු කාලගුණ තත්ත්ව ඉදිරි දින 75 – 80 ඇතුළත සිදුවීමට ඉඩ ඇතැයි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතාගේ අදහස වී තිබේ.

ඔහු පවසන පරිදි අපේ ර‍ටට පසුගිය වසර 30 – 40 ඇතුළත බලපෑ සුළි සුළං සියල්ලම වාගේ පැමිණ ඇත්තේ වසරේ ‍ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් මාසවලය.

අපේ රටට අවසන් වරට සුළි සුළඟක් ඇතිවී ඇත්තේ 2018 නොවැම්බර් මාසයේ 15 – 16 දිනවලදීය. එමඟින් වැඩිපුර අලාභ සිදුවූයේ උතුරු පළාතටය. යාපනය, ඩෙල්ෆ්, පේදුරුතු‍ඩුව, නල්ලූර්, කරෙයිනගර් චාවකච්චේරි හා උඩුවිල් යන ප්‍රදේශවල ජනතාව 4000 ක් පමණ අවතැන්වී නිවාස 77 ක් සම්පූර්ණයෙන් විනාශ වීමට ‘ගජ’ හේතුවිය. ‘ගජ’ නිසා උතුරු පළාතේ තවත් නිවාස 597 කට අර්ධ හානි සිදුවිය. නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය. එයට ප්‍රධාන හේතුව ඒ ‘ගජ’ සුළි කුණාටුව පිළිබඳව අපේ කාලගුණ දෙපාර්තමේන්තුව පැය 48 කට පෙර සිටම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරිපත් කිරීමයි.

ඊට පසු මේ කුණාටුව ගමන් කළේ තමිල්නාඩුව දෙසට ය. එහි පුද්ගලයන් 33 ක ගේ ජීවිත මේ සුළි කුණාටුව නිසා අහිමි විය. ඊට අමතරව පුද්ගලයන් 82000 ක් අවතැන්වූ අතර ගස් 127448 ඉදිරී වැටී ඇත. ඒ නිසා තමිල්නාඩුවේ දුරකථන විදුලි සැපයීම් ආදියට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇතිවිය.

පසුගිය වසර 100 ක කාලගුණ දත්ත අනුව බලන විට අපේ රටට සුළි සුළං වැඩි පුරම පැමිණ ඇත්තේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල බව පෙන්නුම් කෙරේ. ඒ අනුව අපි ඉදිරි දිනවල එවැන්නක් ආ‍ෙවාත් ඊට සූදානම් විය යුතු ය. නිවාස අවට ඇති අනතුරුදායක ගස් කොළන් හෝ ලොකු ගස්වල අතු හෝ ඉවත් කිරීමට දැන් සිටම කටයුතු කළ යුතුයි.

1913 දී අප රට හරහා සුළි සුළඟක් පැමිණ ඇත. ඒ 1913 දෙසැම්බර් 15 වැනිදාය. 1919 දෙසැම්බර් 30 වැනිදා ද අප රටට සුළි සුළඟක් බලපෑවේය. 1922 නොවැම්බර් 28 හා 1931 දෙසැම්බර් 22 දා ද අප රටට සුළි සුළං ඇතිවී තිබේ. 

1964 දෙසැම්බර් 22 දා සවස 6 ට පමණ ත්‍රිකුණාමලයට දරුණු සුළි සුළඟක් බලපෑවේය. ඊට පසු සුළි සුළඟක් අපේ රටට බලපෑවේ 1966 නොවැම්බර් 9 වැනිදායි. එදින පෙරවරු 11.30 ට පමණ මුලතිව් ප්‍රදේශයෙන් ඇතුළුවී උතුරු මැද හරහා ඉන්දීය සාගරයට එය බලපා ඇත.

1967 දෙසැම්බර් 6 පෙරවරු 6 ට ත්‍රිකුණාමලයට මඩකලපුවට විශාල සුළි සුළඟක් බලපෑ අතර ඉන් නැගෙනහිර පළාතේ නිශ්චල, චංචල දේපළ රැසක් විනාශ විය. 1978 නොවැම්බර් 28 රාත්‍රි මඩකළපුවට සුළි සුළඟක් බලපා ඇතැයි ද කේ.ආර්. අභයසිංහ මහතා කියයි.

1992 දී මෑත ඉතිහාසයේදී බස්නාහිරට බලපෑ එකම සුළි සුළඟ ඇතිවිය. ඒ අනුව ඒ සුළි සුළඟ 1992 නොවැම්බර් 12 වැනිදා සවස 3.00 ට පොතුවිල් දෙසින් රටට ඇතුළු වී කටුනායක, මීගමුව දෙසින් රටින් පිටව තිබේ. ඒ නිසා ඒ සුළං ප්‍රවාහය ඇදී ගිය ප්‍රදේශයේ ගහ කොළ, ගේ දොර ආදියට බලවත් හානි සිදුවිය. ඊට අමතරව මේ නිසා උතුරු මැද හා සබරගමුව හා වයඹ පළාත්වලට ද හානි සිදුවූ බව වාර්තා විය.

මෑතකදී අපේ රටට බලපෑ ලොකුම සුළි සුළඟ 2001 දෙසැම්බර් 26 දින සිදුවිය. එදින සවස 4 ට ත්‍රිකුණාමලයෙන් රටට ඇතුළු වූ සුළි සුළඟ ඉන්දියාව දෙසට ගමන් කර ඇත්තේ පසුදින අලුයම 5 ට මන්නාරම හරහාය. ඒ මගින් උතුරුමැද උතුරු පළාත්වලට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට බලවත් හානි සිදුවිය.

“අපේ කලාපයේ සුළි සුළං ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ ඉදිරි මාස තුන ඇතුළතයි. ඒ අනුව ඉදිරි දින 75 – 80 පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

සුළි සුළඟක් අප රටට එනවා නම් ඒ බලපෑම් පිළිබඳව පැය 48 කට පෙර සිට වුවද අපේ ජනතාව දැනුම්වත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥයන්ට දක්ෂතාව තිබේ. ඒ කාලගුණ පූර්ව අනාවැකි කීමට අවශ්‍ය පූර්ණ උපකරණ යන්ත්‍ර සූත්‍ර ද අපේ කාලගුණ බලධාරීන්ට ඇත.

නමුත් අපේ රටේ කාලගුණ පූර්ව අනාවැකි පිළිබඳව විවිධ මති මතාන්තර අඩුපාඩු පවතී. කෙසේ වුවත් රටේ ජනතාව හා රාජ්‍ය යාන්ත්‍රණය කළ යුත්තේ ඉදිරි දින 75 – 80 දී මේ කාලගුණය පිළිබඳව අවධානයෙන් පසුවීම හා කාලගුණ දත්ත තොරතුරු පිළිබඳව ඇහුන්කන්දී කටයුතු කිරීමයි.

ඒ අනුව අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොලොන්නරුව, මන්නාරම, බදුල්ල වැනි දිස්ත්‍රික්කවලට සුළි සුළං ඇතිවීමට ඉඩ තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ පවසයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට හිරු මුදුන් වූ අතර නිරිතදිග සුළං ප්‍රවාහය සක්‍රීය වී අධික වැස්ස ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පෙන්වා දෙයි.

ඊට අමතරව ශ්‍රී ලංකා අවට අහසේ තරංගමය ස්වභාවයක් ඇතිවී අහසේ ප්‍රබල ක්‍රියාකාරී වලාකුළු ඇතිවීම ද පසුගිය දිනවල වැස්සට හේතු වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් නිරිතදිග මෝසමේ අවසන් වකවානුව වන මේ කාලයේ වැස්සක් ලැබීම ස්වභාවිකයි. නමුත් මේ වැස්ස ඊට වැඩියි. මේකට සමහර වෙලාවට දේශගුණ විපර්යාස ක්‍රියාවලිය හා පොළොව රත්වීම අනුව දේශගුණය වෙනස්වීම ආදියත් බලාගන්න පුළුවන්. ඉදිරි දිනවලත් සවසට නිරිතදිගට වැඩි අකුණු හා තද සුළං ඇතිවෙන්න පුළුවන්” අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) රතු නිවේදන ඉදිරිපත් කරමින් පැවසුවේ පසුගිය සතියේ ඇතිවූ වැස්ස නිසා අපේ රටේ දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කළ බවයි.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, කෑගල්ල, බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇතිවීම් දැනටම නිකුත් කර තිබේ. මේ ප්‍රදේශවලට මි.මී. 75 ක වැඩි වැස්සක් එක දිගට වැස්සොත් නායයෑමට ඉඩ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානයේ නායයෑම් පර්යේෂණ අංශය පෙන්වා දී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපදේශක මහාචාර්ය කපිල දහනායක මහතා පවසන පරිදි නායයෑමක් යනු, උස ස්ථානයක සිට පහත් ස්ථානයක් වෙත බෑවුමක් දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන්මඩ, වැලි, බොරලු හා විශාල ගල්වලින් සමන්විත ගලා යාමකි.

ඊට අමතරව නායයාමක් යනු ඉතා සරලව ගත් කල ඉහළින් පිහිටි ප්‍රදේශයක පවතින ගල් හා පස් විශාල ප්‍රමාණයක් ඒ මත පිහිටි ගස් වැල් ආදිය ද රැගෙන ගුරුත්වයට අනුව පහළ ප්‍රදේශයකට රූටා යාමක් ලෙස හැඳින්වීමට පුළුවන.

පවතින තත්ත්ව අනුව නායයෑම් බහුලව සිදුවන්නේ අපේ රටේ කඳුකර ප්‍රදේශවලිනි. මේ අනුව වැඩිපුර නායයාමට ලක්වන්නේ ති‍රසේ සිට අංශක 15 – 40 බෑවුම් ප්‍රදේශයයි. මේ ප්‍රදේශ අංශක 20 – 30 ක ආනතියක් ඇතිවූ විට බහුලව නායයෑම් ඇතිවේ.

අපේ රටේ නායයෑම්වලට ප්‍රධාන හේතු දෙකකි. එනම් ස්වාභාවික හේතු හා මානව ක්‍රියාකාරකම් ය. ඉන් වැඩි මානව ක්‍රියකාරකම් ය. පසුගිය වසර 10 ඇතුළත සිදුවූ විශාල නායයෑම් සියල්ල සිදුවී ඇත්තේ දිගුකාලීන මානව ක්‍රියාකාරකම් නිසාය.

මේ සමඟම වැසි අධික වීමත් සමඟ කණ්ඩි කඩා වැටීම් නිසා වන නායයෑමේ අනතුරු ද දැන් දැන් රටේ අධික වී තිබේ. එමෙන් ම දිගටම පස් ගොඩ කළ ස්ථානවල ඊට සුදුසු ආරක්ෂණ ක්‍රම විධි අනුගමනය නොකිරීම ද අනතුරුවලට අත වැනීමකි.

අපේ රටේ නායයෑම්වලට ප්‍රධාන හේතු රැසකි. ඉන් ප්‍රධානම කරුණ අධික වැස්ස ලැබීමයි. ඒ සමඟ ඒ ලැබෙන වැස්සේ තීව්‍රතාවය ඉතා වැදගත්වේ. මහාචාර්ය කපිල දහනායක පවසන පරිදි එක් දිනක් ඇතුළත එක දිගට මිලි මීටර් 75 කට අධික වැස්සක් ලැබීම නිසා නායයෑම් ඇතිවීමට පුළුවන. ඊට අමතරව යම් ස්ථානයකට එක දිගට දින 3 ක් මිලිමීටර් 200 ක් ඉක්මවා වැස්ස ලැබුණොත් ප්‍රබල නායයෑම් ඇතිවීමට ප්‍රබල හේතුවක් වනු ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති. විශේෂයෙන් රත්නපුර පලාවෙල නායයාම මාතර දියදාව නායයෑම මෙන් ම හම්බන්තොට රංමලේ කන්ද නායයාම ප්‍රධාන ලෙසම අධික වර්ෂාව නිසා සිදුවී තිබේ.

ඒ සමඟම කැලෑ පිළිස්සීම, අවිධිමත් ඉඩම් පරිහරණ කටයුතු, මහාමාර්ග හා මහල් ගොඩනැගිලි ඉදිකරන විට භූ විද්‍යාඥ උපදෙස් නොගැනීම, ගල් වළවල් හා හුණුගල් වළවල් හෑරීම, ස්වාභාවික ජල මාර්ග අවහිර කිරීම් හා උස් බිම්වල ජලය පුරවා තැබීම, වනාන්තර ගිනි තැබීම, බෑවුම්වල ගොඩනැගිලි ඉදිකිරීම ආදිය නිසා ද නායයෑම් බහුලව ඇතිවේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පවසන පරිදි මේ නායයෑම් නිසා සිදුවන හානි වළක්වා ගැනීමට උනන්දු වූවොත් අපටම පුළුවන.

ඒ අනුව නායයෑමේ පූර්ව ලක්ෂණ හඳුනාගෙන අප ඒ ඒ ස්ථානවලින් වහාම ඉවත්වීම් කළ යුතුව ඇත.

පොළොවේ යම් යම් ස්ථානවල හිටි අඩියේ පැලීම් සිදුවීම, පොළොවේ ගිලා බැසීම් සිදුවීම්, අවට ඇති ගොඩනැගිලි ඉරි තැලීම කලින් කලට ක්‍රම ක්‍රමයෙන් ඇළව යන ගස් කුලුනු හා කාණු දක්නට ලැබීම, ගොඩනැගිලිවල හිටි අඩියේ ඉරිතැලිම් සිදුවීම; කඳු බෑවුම්වල ඉහළ ප්‍රදේශවල පැළුම් මගින් ක්ෂණිකව මඩ සහිත දිය උල්පත් මතුවීම, බෑවුමේ ඉහළ කලාපවල තිබූ උල්පත් ජල පහර ක්‍රමයෙන් නැතිවී යාම ආදිය නායයාමවල පූර්ව ලක්ෂණ ලෙස හඳුන්වාදීමට පුළුවන. ඒ ලක්ෂණ තිබේ නම් ඒ ස්ථානවලින් ඉවත්වී ආරක්ෂිත පියවර ගත යුතු ය.

මේ ලෙස යම් ප්‍රදේශයක් නායයෑම් සිදුවීම වළක්වා ගැනීමට නම් අපටම කළ හැකි පාරිසරික සංරක්ෂණ ක්‍රියාදාමයන් රැසකි.

කඳු බෑවුම්වල වනාන්තර විනාශ නොකිරීම, දුම්කොළ හා එළවළු තද බෑවුම්වල වගා නොකිරීම, ජලය උරා ගන්නා වනාන්තර, ශාක රෝපණය කිරීම, අගල් හෝ කණ්ඩි කපා අතිරික්ත ජලය බැහැර යාමට ඉඩ සැලසීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මේ අනුව සොබාදහමට බිලිවීමට නොව සොබාදහම සමඟ ජීවත්වීමට අපි කටයුතු කළ යුතු කාලය දැන් එළඹ තිබේ. එවිට අපිත් සුරැකී සොබාදහමත් දිගටම සුරක්ෂිත වනු ඇත.

අපේ ර‍ෙට් ඉදිරි සතිවල කාලගුණ පූර්ව අණාවැකි අනුව ඉදිරි සති කිහිපය ඇතුළත සවස 2 න් පසු මහ වැසි සමඟ අකුණු ද ඇතිවීමට ඉඩ තිබේ. විශේෂයෙන් ලබන ඔක්තෝබර් - නොවැම්බර් මාසවල ඇතිවෙන අන්තර් මෝසම් වැසි සමයේ සවස 4 – 7 අතර බහුල ලෙස අකුණු ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබේ. අකුණු අනතුරුවලින් ආරක්ෂිත වීමට විවිධ විදුලි උපකරණ විදුලිබල පරිපථවලින් විසන්ධි කර තැබීමත් රූපවාහිනි ඇන්ටෙනා, එම යන්ත්‍රවලින් ගලවා විසන්ධි කොට ඇන්ටෙනා පේනුව පෘථිවියට ආසන්නව තැබීමත්, ආරක්ෂාකාරී‍වේ.

මීට අමතරව ඉදිරි දිනවල ටොනේඩෝ හා මාළු වැහි වැනි කාලගුණ තත්ත්ව ඇතිවීමට ද ඉඩ ඇති බව කේ.ආර්. අභයසිංහ මහතා පවසයි. ටොනේඩෝවක් ක්ෂණිකව ඇතිවී පුංචි සුළි සුළඟක් මෙන් මහා විනාශයක් සිදුවෙන කාලගුණ සංසිද්ධියකි. ඒ පිළිබඳව පූර්ව අනාවැකි කීමට අපහසු ය. අවධානයෙන් සිටීම වැදගත් ය.

මේ නිසා ඉදිරි මාස 2 – 3 ඇතුළත කාලගුණය වටා පිටාව පිළිබඳව සැලකිලිමත්වීම කාගේත් ඇඟට ගුණ බව මතක් කළ යුතුව ඇත.

Comments