කහ මාෆියාවට වැට | සිළුමිණ

කහ මාෆියාවට වැට

දේශීය කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගන්නා ‘කහ කුඩු’ සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. මීට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ කොරෝනා වයිරස තත්ත්වය සමඟ කහ කුඩු සඳහා වැඩි වටිනාකමක් හිමිවීමත් ආනයන කටයුතු සීමා වීමත් ය. මේවන විට වෙළඳපොළේ කහ කුඩු මිල ඉතා ඉහළය. මෙනිසා කුළු බඩු සඳහා ස්ථාවර මිලක් ඇති කිරීම හා විදේශවලින් ගෙන්වනු ලබන කුළු බඩු සඳහා වැය කරන මුදල මෙරට තුළ රඳවා ගැනීම අරමුණැතිව කුළු බඩු වර්ග දහයක් ආනයනය තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඊට අදාළ ගැසට් පත්‍රය 2019 දෙසැම්බර් 06 වැනිදා ප්‍රකාශයට පත් විය. මෙම නියෝගය නිකුත් වීමත් සමඟ ආනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඇණවුම් අවලංගු කිරීමට කළු බඩු වෙළෙඳුන් පියවර ගත්තේය. එනමුත් මෙම අවලංගු කිරීමට ප්‍රථම පිටකොටුවේ කුළු බඩු වෙළඳුන් විසින් ඇණවුම් කළ කහ කුඩු කිලෝ ලක්ෂ 10ක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබුණි. පනවා තිබූ තහනම හේතුවෙන් මෙම කහ තොගය රේගුව භාරයට ගැණිනි.

මේ හේතුව නිසා කහ මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ එය පාලනය කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කහ කිලෝවක් සඳහා රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කෙරිණි. ඒ සමඟම කහ මාෆියාවක්ද රට තුළ නිර්මාණය විය. මේවන විට කහ කිලෝවක් රුපියල් 3750 - 4000ත් අතර මිලකට අලෙවි කෙරේ. මෙය පාරිභොගිකයින්ට දරාගත හැකි තත්ත්වයක් නොවේ.

මාස දෙකක පමණ කාලක් රේගුව භාරයේ රඳවාගෙන සිටින කහ තොගය කඩිනමින් නිදහස් කර මතු වී තිබෙන ගැටලුව නිරාකරණය කරන්නැයි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුදල් ලේකම් ආටිගලට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත්තේ මේ අතර තුරය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ රේගුව භාරයේ රඳවාගෙන සිටින කහ තොගය නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් මෙතෙක් මතු වී නැති බවය. ඒ පිළිබඳව තමන් විසින් රේගුව දැනුවත් කළ බවද හෙතෙම දන්වා සිටියේය.

රේගුවේ සිරවී තිබෙන මෙම කහ තොගය නීත්‍යානුකූලව බදු ගෙවා නිදහස් කර ගැනීමට තමන්ට අවසර දෙන්නැයි පිටකොටුවේ කුළු බුඩු ආනයනකරුවෝ රජයෙන් ඉල්ලා ඇත්තේද මෙවැනි පසුබිමක් තුළය. එලෙස නිදහස් කරගන්නා කහ තොගය රජයේ උපරිම සිල්ලර මිල යටතේ අලෙවි කිරීමට තමන් සූදානම් බව ද ඔවුන් පවසති. එසේම මෙම කහ තොගය නිදහස් කළ හොත්, දේශීය කහ වගාවේ දියුණුව වෙනුවෙන් රුපියල් කෝටි 10ක මුදලක් පරිත්‍යාග කිරීමටත් තමන් සූදානම් බව ආනයනකරුවන්00 රජයට දන්වා ඇත.

මේ වනවිට රටේ දැඩි කහ හිඟයක් පවතින අතර, රේගුවෙන් මෙම කහ තොගය නිදහස් කළ ද එය මෙරට පරිභෝජනය සඳහා සති දෙකකට පමණක් ප්‍රමාණවත් වේ. එනිසා දේශීය කහ ගොවිතැනට ඉන් කිසිදු බාධාවක් නොවේ. මෙරට එදිනෙදා පරිභෝජනයට වසරකට වියළි කහ මෙට්‍රික්ටොන් 6,800ක් පමණ අවශ්‍ය වන අතර, මෙරට අමු කහ නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 7,748 පණ වේ. ඉන් මෙරට කහ ඉල්ලුම සපුරාලිය නොහැකිය. මෙනිසා වසරකට මෙට්‍රික්ටොන් 4,700 ක් පමණ මෙරටට ආනයනය කරන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. මෙලෙස කහ ගෙන්වීම සඳහ වසරකට රුපියල් මිලියන 1,154ක් පමණ වැය වේ. මීට දේශීය කහ වගාවෙන් ලබාදිය හැකි විසඳුම කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීම කෙරෙහි සිළුමිණ අවධානය යොමු වූයේ එනිසාය. මේ සම්බන්ධයෙන් සොයා බැලූ අපටය දැනගන්නට ලැබුණේ කහ තම්බා අදාළ ප්‍රමිතියට කහ කුඩු සැකසීමට ප්‍රමාණවත් දැනුමක් මෙරට ගොවියන් තුළ නැති බවය. මෙනිසා කහ වගාවෙන් ප්‍රමාණවත් දායකත්වයක් මෙරට වෙළෙඳ පොළට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලූ අපට දැනගන්නට ලැබුනේ අම්පාර ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ ව්‍යාප්ති සහකාර සමන් කුමාර විසින් ප්‍රමිතයෙන් උසස් කහ කුඩු නිපදවීමට ඉතා සාර්ථක විසිඳුමක් සොයාගෙන ඇති බවය. 

මේ පිළිබඳව සොයා බැලීමට අප අම්පාර දිස්ත්‍රික්කය බලා පිටත් විය. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණගල ගො විජනපදයේ සශ්‍රීකව වැඩෙන වී, කහ සහ අනෙකුත් බෝග වගාව දුටු විට ඇති වන්නේ පුදුමාකාර සතුටකි. අප රට වැඩි වශයෙන් කහ ගෙන්වන්නේ ඉන්දියාවෙනි. ප්‍රමිත ගතව කහ කුඩු නිෂ්පාදනයට අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය මිටියාවතේ පිහිටි ගෝනගල ප්‍රදේශය 1950 දශකයේ ගොවි ජනපද බිහිවු දා සිට ශ්‍රී ලංකාවේ කහ වගා කිරිම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය. වී ගොවිතැන ප්‍රධාන කොට කහ වගාව මෙහි ප්‍රචලිතව පැවතිණි. එහෙත් 1970 දශකය පමණ වනවිට දිලීර රෝගයක් වැළඳීමත්, පසුව ත්‍රස්තවාදය හිස එසවීමත් සමඟ කහ වගාවෙන් අයින් වී සිටීමට ගොවියන්ට සිදු විය.

අනෙකුත් ප්‍රදේශවල කහ ගොවියන් සේම මෙම ගොවියන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වුයේ කහ කුඩු සකස් කර ගැනීම සඳහා නිවැරදි ක්‍රමෝපායක් නැති වීමය. මෙනිසා බොහෝ ගොවීන් අමු කහ ලෙස තම අස්වැන්න විකුණා දැමූ අතර, තවත් පිරිසක් පාරම්පරික ක්‍රම භාවිත කර කහ තැම්බීම සිදු කර, වියළා සකස් කර ගත් කහ කුඩු වෙළඳපොළට යැවීම දිගටම කරගෙන ගියේය. නියමිත ප්‍රමිතියක් නැති කමින් ගොවීන්ට තම කහ අස්වැන්න සඳහා හොඳ මිලක් නොලැබුණා සේම තත්ත්වයෙන් බාල කහ කුඩු වෙළඳපොලට පිවිසීම මඟින් පාරිභෝගිකයාද අපහසුතාවට පත්විය. ඒ නිසාම ඉන්දියාවෙන් ආනයනය කරන ලද කහ කුඩු නිෂ්පාදන වෙළඳපොලේ සුලබ විය. මෙනිසා වසර 20ට ආසන්න කාලයක් තිස්සේ අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කිරීමෙන් ලද අත්දැකීම් අනුව යමින් මෙම ගැටලුවට පිළියමක් ලෙස සමන් කුමාර විසින් සිය ක්ෂේත්‍රෙය්දී කහ තැම්බිම පිළිබඳව විවිධ අත්හදා බැලීම් සිදු කළේය. එහිදී ලැබූ ප්‍රායෝගික අත්දැකීම් හා විවිධ අත්හදා බැලීම් තුළින් ලබා ගත් දැනුම භාවිතා කර කහ තම්බා ගැනීම සහ කහ කුඩු සකස් කර ගැනීම සඳහා සාර්ථක ක්‍රමයක් හඳුන්වා දීමට ඔහුට හැකි විය. එය මේ වන විට අම්පාර දිස්ත්‍රක්කයේ කහ ගොවීන් විසින් සාර්ථකව භාවිත කරනු ලබයි. එසේම මෙම භූමියේ පවතින දියළු පස නිසා මෙහි වැඩෙන කහවල කර්කියුමින් (Curcumin) සංඝටකටය බහුල වීම ද සුවිශේෂ කාරණයකි. මෙම වසරේ නොවැම්බර් අවසන් වන විට මෙට්‍රක් ටොන් 80 -100 අතර කහ අස්වැන්නක් ලබා ගැනීම ඔවුන් ගේ අපේක්ෂාවය.

ඉතාමත් සරල ක්‍රියාවලියක් ඔස්සේ කහ අස්වැන්න සකස් කර ගත යුතු වේ.

මෙම කටයුතු සාර්ථකව සිදු කිරීමට ඔවුන් මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුවක් වන්නේ තම නිෂ්පාදන කෙටි කාලයක් තුළ නගරයට ගෙනයෑමට හැකි මාර්ග පද්ධතියක් නොවීමය. අක්කර පත්තුවෙන් පොතුවිල්වලටත් එතැන් සිට අම්පාරටත් අධිවේගී මාර්ගයක් ඉදි කළ හැකි නම් ඔවුගේ ප්‍රවාහන ගැටලුවලට විසදුම් ලැබේ. අනෙක් අතට උල්ල සංචාරක පුරවරයක් වන නිසා එය විදේශ විනිමය උපයා ගැනීමටද මඟක් වනු ඇති.

මෙම ගොවි කටයුතු නිසියාකාරව කළමනාකරණය කරගෙන යෑමට ඔවුන්ට හරිහමන් කාර්යාලයක් නැත. මෙම කාර්යාලය සමන් කුමාර විසින් ලබාගෙන ඇත්තේ 2002දීය. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ සාකච්ඡා කර ඔහු යටතේ පවතින රජයේ නිවාසයකය. මෙයට දිනකට ගොවියන් 25ක් තිහක් පමණ රැස්වන අතර මෙම කාර්යාලය වර්ෂාවට පවා ගොදුරු වේ. එනිසා ඒ සඳහා ගොඩනැගිල්ලක් ලබාදීමට අදාළ බලධාරීන් පියවර ගැනීම කාලෝචිතය.

විශේෂ ස්තූතිය

අස්වනු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී තාක්ෂණ හා ප්‍රචාරණ අංශ ප්‍රධානි ඒ.පී වාසල හා චමින්ද ගුණවර්ධනට සහ අම්පාර නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂි උපදේශකයන්ට


නිවැරදිව කහ වගාකර තම්බා ප්‍රමිතියෙන් යුතු කහ කුඩු සකස් කරගන්නා හැටි

අස්වනු නෙළීම

කහ වගාවට මාස 09-10 ත් අතර කාලයක් ගියපසු අස්වනු නෙළීම යෝග්‍ය වේ.එහිදි පත්‍ර කහ පාටට හැරි වියළි ස්වභාවයට පත්වේ. කහ මාර්තු- අප්‍රේල් කන්නයේ සිටුවන්නේ නම් දෙසැම්බර්-ජනවාරි කාලය වන විට අස්වැන්න නෙළා ගැනීමට හැකි වේ.

පිරිසිදු කිරිම

නෙළා ගත් කහ අස්වනු මඩ ඉවත් වීමට හොදින් ජලයෙන් සේදිය යුතුය. මෙහිදි විශාල කහ අල කැබලි ඇඟිලිවලින් ඉවත් කර අවම අගල් 4ක 5ක ප්‍රමාණයට කැබලි කර ගැනිම වඩාත් සුදුසුය.

තම්බා ගැනීම

මේ සඳහා ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය මඟින් ග්‍රාමීය මට්ටමේ වී තැම්බීම සදහා හඳුන්වාදී ඇති වාෂ්පිකරණයෙන් වි තැම්බීමේ බැරලය වඩාත් යෝග්‍ය වේ. වරකට කහ 30kg-35kg පමණ තම්බා ගත හැකිය. මේ සඳහා විනාඩි 20ක් 25ක් අතර කාලයක් ගත වේ.

කහ සුදුසු ප්‍රමාණයට තැමිබී ඇති බව හඳුනා ගැනීම

විනාඩි 20ක 25ක කාලයක් ගත වූ පසුව ඉරටු කැබැල්ලක් භාවිත කර මතු පිට ඇති කහ අලයට ඇනීම සිදු කරන විට අතට සුමටව තැම්බී ඇති බව දැන ගත හැකිය.එලෙසම කහ අලයක් දෙකට කඩන විට නුල් ඇදිම සිදු වේ.

වියළා ගැනීම

තම්බා ගන්නා ලද කහ දිනක් පමණ මඳ පවනේ දැමීමෙන් කහ අල හැකිළීම වළක්වා ගත හැකිය. ඉන් පසුව දින කිහිපයක් අව්වේ වියළා ගත යුතුය.

පොතු හැර ගැනීම සහ කහ කුඩු සකස් කිරීම

හොඳින් වියළන ලද කහවල පිට පොත්ත ඉවත් කර ගත යුතුය. එසේ නොවුණහොත් නිෂ්පාදනය කරන ලද කහ කුඩුවල වර්ණය අව පැහැයක් ගන්නා අතර ගුණාත්මක බව පහළ අගයක පවතී. මේ සදහා අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් සරල උපකරණයක් භාවිත කරයි. එනම් බැරලයක් ඇණයකින් වටේට සිදුරු කර ඒ තුළට වියළන ලද කහ දමා වේගයෙන් භ්‍රමණය කිරීමයි.

විනාඩි කිහිපයකදි පොතු සියල්ල ඉතා හොඳින් ඉවත් වේ. ඉන් පසුව නිවැරදි ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කර උසස් තත්වයේ ගුණාත්මයෙන් යුතු කහ කුඩු නිෂ්පාදනය කළ හැකිය. (කහ කුඩු නිෂ්පාදනයේදී අවශ්‍ය වන යන්ත්‍ර එනම් වියලීම, පොත්ත ඉවත් කිරීම සහ කහ කුඩු නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණයෙන් උසස් යන්ත්‍ර මේ වන විට දේශීය වෙළඳපොලෙන් මිලදී ගැනීමටද හැකියාව ඇත.)

Comments