අනුරපුරෙන් මෙවර සාර්ථක තල අස්වැන්නක් | සිළුමිණ

අනුරපුරෙන් මෙවර සාර්ථක තල අස්වැන්නක්

මෙවර යල කන්නයේදී සාර්ථක තල අස්වැන්නක් ලැබී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පවසති. යල කන්නයේ ලැබෙන වැසි මෙවර ප්‍රමාණවත් අයුරින් නොලැබුණද අස්වැන්නට එය බාධාවක් නොවුණ බව පෙන්වා දෙන ගොවීන් අක්කරයකට කිලෝ දෙසිය පණහ ඉක්මවා අස්වැන්නක් ලැබෙමින් පවතින බවද සඳහන් කරති.

අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ වාර්තාවලට අනුව මෙවර යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප හැර අක්කර දාහත්දහසක් පමණ භූමි ප්‍රමාණයක තල වගා කර ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

වර්තමානයේදී දේශීය නිෂ්පාදනය වන තල ප්‍රමාණය පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් වාර්ෂිකව තල තොග විශාල වශයෙන් ආනයනය කෙරෙන අතර, පවතින ගෝලීය වසංගත හේතුවෙන් ඉදිරියෙදී තල සඳහා ඉහළ මිලක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ. විශේෂයෙන්ම දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් වන්නේ තලය. නමුත් ගොවීන් පවසන්නේ විවෘත වෙළදපොළේ මේ වනවිට ශුද්ධ කළ තල කිලෝවක් රුපියල් අටසිය පණහක් පමණ වුවද කූට ව්‍යාපාරිකයන් විසින් තල කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් තුන්සීයකට වැනි සුළු මුදලකට බැවින් වහාම අදාළ බලධාරීන් මැදිහත්වී ගොවීන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා සිටිති.

සහන් තම්මිට අනුරාධපුර

Comments