‘හයිෂෙන්’ ජපානය අතහැර දකුණු කොරියාවට පහර දෙයි | සිළුමිණ

‘හයිෂෙන්’ ජපානය අතහැර දකුණු කොරියාවට පහර දෙයි

පානය යනු ස්වාභාවික විපත් බහුල රටකි. එහෙත් එරට ජනතාව එම විපත් මඩිමින් ස්වකීය ජිවිත යහපත් කර ගැනීමට තරම් හපන්නු වෙති. නිතරම කඩා වදින සුළි කුණාටු, සුලබ භූමි කම්පා මෙන්ම සුනාමි ව්‍යසනද ජපානය ආගන්තුක නැත. පසුගිය දෙසතිය සැලකූවිට ජපානය සුළි කුණාටු දෙකකින් පීඩා විඳි අතර ඒ අතරින් ද හයිෂෙන් සුළි කුණාටුව වඩා දරුණු විය. එම සුළි කුණාටුව සලකණු ලැබුවේ සිවු වන මට්ටමේ එනම් අති ව්‍යසනකාරී සුළි කුණාටුවක් වශයෙනි.

සුළි කුණාටුවෙන් පීඩා විඳි කියුෂු දූපතේ දහස් ගණනක් විදුලි බලය නොමැතිව වර්ෂා කාලගුණය තුළ පීඩා විඳි අතර, ඇද වැටුණු මහා වර්ෂාව හේතුවෙන් නිවාස සමඟ පස් කඳු නාය ගියේ ජිවිත හතරක්ද අහිමි කරමිනි. එහෙත් මෙතරම් දරුණු ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන් ජපානය අහිමි කර ගත්තේ මිනිස් ජිවිත හතරක් පමණක් බවද සිහිපත් කර ගත යුතුය.

ගිනිකොණ දිග ජපානය කඩා වැදී ජීවිත මෙන්ම දේපළද හානි කළ හයිෂෙන් සුළි කුණාටුව ඉන්පසු දකුණු කොරියාවට කඩාවැදී තිබේ. ජපානයෙන් නික්ම පැය කිහිපයකින් දකුණු කොරියාවේ දෙවැනි විශාලතම නගරයට කඩා වැදුණු හයිෂාන් සුළි කුණාටුව දකුණු කොරියාවටද දරුණු ලෙස පහර දුන් බව වාර්තා වේ.

දකුණු කොරියාවේ බූසාන් ප්‍රදේශයේ නිවාස දහස් ගණනක් විදුලි බලය නොමැති වීමෙන් පීඩා විඳිමින් සිටින අතර ඒ අතර සුප්‍රසිද්ධ හයිඋන්ඩායි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවද සිටින බව වාර්තා වේ.

කෙසේ වුවද කාලගුණ වාර්තා අනුව හයිෂෙන් සුළි කුණාටුව මේ සතිය අවසන් වීමට පෙර දුර්වල වී වියැකී යෑමට නියමිතය. එය සිදුවනු ඇත්තේ උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේදී බවද කාලගුණ වාර්තාවල සඳහන් වී තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් ජපානය මෙන්ම දකුණු කොරියාවද අභ්‍යන්තර ගුවන් ගමන් රාශියක් අවලංගු කර තිබිණි. ජපානය මිලියන දෙකක් පමණ ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළද සුළි කුණාටු දෙකක් ඉතා කෙටි කාලයක් තුළ කඩා වැදීම හේතුවෙන් සහන සැපයීමේ කිසියම් අඩාල වීමක්ද දක්නට ලැබුණු බව කියවේ. එමෙන්ම ජනතාව අදාළ ප්‍රදේශවලින් ඉවත් කර පොදු ස්ථානවල ස්ථාන ගත කිරීමේදී කොවිඩ් වයිරස ව්‍යප්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීම තවත් ගැටලුවක් විය.

කෙසේ වුවද හයිෂෙන් ගේ බලපෑමෙන්ද සාර්ථකව මිදීමට ජපානය හැකි වූ අතර දකුණු කොරියාවද එළෙසින්ම එම අභියෝගය ජය ගනු ඇති බව සහතිකය.

Comments