සවුදි අරාබිය කශෝගි ඝාතකයන්ගේ දඬුවම ලිහිල් කරයි | සිළුමිණ

සවුදි අරාබිය කශෝගි ඝාතකයන්ගේ දඬුවම ලිහිල් කරයි

මාල් කශෝගි ඝාතනය යනු පසුගිය යුගයේ මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ අති අමානුෂික මනුෂ්‍ය ඝාතනයකි. කශෝගි ඝාතනයේ වගකිවයුත්තන් බවට සවුදි රජ පවුලට ඍජුවම චෝදනා එල්ල වූ අතර ඒ අතරින්ද ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු කශෝගි ඝාතනයට අණ දුන් බවට ඍජුවම චෝදනා එල්ල විය. කෙසේ වුවද කශෝගි ඝාතනයේ සාක්ෂි මත පුද්ගලයන් කිහිප දෙනෙකුට විරුද්ධව නඩු අසා වසර විස්සක් දක්වා ඔවුන් සිරගත කිරීමට සවුදි රජය කටයුතු කරණු ලැබුවේ ලෝකයේ බොහෝ රටවලින්ද, එක්සත් ජාති්නගේ සංවිධානයෙන්ද එල්ල වූ බලපෑම් හේතුවෙනි.

එහෙත් පසුගියදා සවුදි රජය හීන් සීරුවේ මේ දඬුවම් ලැබූ ඝාතකයන්ගේ සිරදඬුවම ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන්ට නියමවී තිබුණු වසර විස්සක සිර දඬුවම වසර පහක් දක්වා අවම කර තිබේ.

ඒ අතරින් තවත් අයට වසර දහය දක්වා සිර දඬුවම පහත හෙළා තිබේ. තවත් වරදකරුවන් දෙදෙනෙකුට වසර හත දක්වා දඬුවම් කාලය පහත හෙළා තිබේ.

මේ දඬුවම් අවම කිරීමේ ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. එහෙත් සවුදි රජ පවුලට අමෙරිකාවේ ආශිර්වාදය නොඅඩුව හිමිවන බව රහසක් නොවන බැවින් මේ තීන්දුව සම්බන්ධවද අන්තර්ජාතික විරෝධයක් ඇති නොවීමට බෙහෙවින් ඉඩ තිබේ.

අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ඉසිලූ මාධ්‍යවේදියකු වූ ජමාල් කශෝගි තම වෘත්තිය ජීවිතයෙන් වැඩි කාලයක් වැය කර සිටියේ සෞදි රජයේ දූෂණ හෙළිදරවු කිරීමටය. මීට වසර කිහිපයකට පෙර සෞදි ආර්ථිකය නව මාවතක් කරා ගෙන යෑමේ අරමුණින් යුක්තව සෞදි රජු බින් සල්මාන් ඔටුන්න හිමි කුමරුට වැඩි බලතල ලබා දුන් අතර ඒ යටතේ කුමරුගේ ඇතැම් ක්‍රියාකාරකම් දරුණු ලෙස විවේචනය කිරීමට කශෝගි කටයුතු කළේය.

කශෝගිගේ විශේෂත්වය වූයේ සෞදි අරාබිය පිළිබඳව තොරතුරු බාහිර ලෝකයට සැපයීම සම්බන්ධයෙනි. ඔහු වොෂිංටන් පොස්ට් පුවත්පතට තීරු ලිපියක් රචනා කළ අතර, සෞදි අරාබියේ පමණක් නොව මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන්ද තොරතුරු විශ්වාසනීය ලෙස ලෝකයට වාර්තා කර සිටියේය. අමතරව අල් - අරාබ් යනුවෙන් පුවත් නාළිකාවක්ද පවත්වාගෙන ගිය කශෝගි දූෂණ, වංචා පිළිබඳව ඍජුව වාර්තා කළ වාර්තාකරුවකු ලෙස ලෝක ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

ඔහුගේ ඝාතනය ලෝක ප්‍රවෘත්තියක් වූයේද එබැවිනි. කෙසේ වුවද මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් සම්බන්ධව දැඩිව අදහස් පළ කරන අමෙරිකාව කශෝගි ඝාතනය සම්බන්ධයෙන් දැරුවේ නිහඬ පිළිවෙතකි. එසේ කිරීමට හේතුව සෞදි රජ පවුල සහ අමෙරිකාව අතර පවතින දීර්ඝ කාලීන හොඳ හිත බව විචාරකයන්ගේ මතය විය. කශෝගි ඝාතනයෙන් පසු ඒ සම්බන්ධව ලොව පුරා උද්ඝෝෂණ පැතිර යද්දී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදියේ සංචාරයක නිතර විය. වැඩි දෙනා සිතුවේ ඔහුමේ සංචාරයේදී නිසැකවම කශෝගිගේ ඝාතනය සම්බන්ධව සෞදි රජය සමඟ සාකච්ඡා කරණු ඇති බවයි. එහෙත් පසුව වාර්තා වූ පරිදි කශෝගි ගේ ඝාතනය ඔවුන්ගේ සාකච්ඡාවලදී මාතෘකාවක් බවට පත්ව තිබී නැත.

මේ හේතූන් මත ඔහු ඝාතනය කිරීමට බිල් සල්මාන් කුමරු නියෝග දුන් බව ලොව පුරා පැතිර ගිය මතය විය. කශෝගි තුර්කියේ සෞදි අරාබි තානාපති කාර්යාලයට ගිය අවස්ථාවේදී කලින් සූදානම්ව සිටි ඝාතකයන් ඔහු පණපිටින් කැබලිවලට කපා මලුවල බහා ඉවතට රැගෙන ගිය බව වාර්තා වූ අතර පසුව තුර්කි රජය ඒ සම්බන්ධ සීසීටිවී වාර්තාද ලබා දුන්නේය. ඒ අනුව තවදුරටත් ඝාතකයන්ට දඬුවම් පැමිණවීමෙන් වැළකී සිටීමට නොහැකි වූ සෞදි අරාබි රජය පළමුව වසර විස්සක සිර දඬුවම් ඔවුන්ට නියම කළ අතර පසුගියදා මෙලෙස ලිහිල් කරන ලද්දේ එළෙස පනවන ලද සිර දඬුවම්ය.

Comments