සරුංගලයේ එතී උඩගිය තායිවානයේ බබා | සිළුමිණ

සරුංගලයේ එතී උඩගිය තායිවානයේ බබා

රුංගල් සන්දර්ශන යැයි පැවසූ පමණින් බොහෝ දෙනා තුළ ඇතිවන්නේ සතුටකි. ඒ එම සන්දර්ශනවලදී විවිධාකාරයේ, විවිධ ප්‍රමාණයේ සරුංගල් දැකගැනීමට, ඒවා අහසේ පාවෙනු බැලීමට පමණක් නොව තම දක්ෂතා අනුව සරුංගල් නිර්මාණය කරමින් එයට සහභාගී වීමට බොහෝ දෙනාට අවස්ථාව ලැබෙන බැවිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ කොතැන වුවද සරුංගල් සංදර්ශන එකසේ ජනප්‍රියය.

තායිවානයද එසේ සංරුංගල් සන්දර්ශන පවත්වන රටකි. සෑම වසරකම එරට සරුංගල් සන්දර්ශනවලට සහභාගී වන ජනතාව අති විශාලය. මේ වසරේද එය කිසිදු වෙනසක් වූයේ නැත. එහෙත් මේ වසරේ එරට සරුංගල් සන්දර්ශනය නැරඹීමට පැමිණි ජනතාවට අන් වසරවල නොලැබුණු ත්‍රාසජනක අත්දැකීමක් සජීවීව අත්විඳීමටද හැකියාව ලැබිණි. ඒ සරුංගලයක එතී අහසේ අඩි ගණනක් උසට උඩගිය කුඩා දැරිවියක් බේරා ගැනීමේ අවස්ථාවයි.

මේ වසරේ තායිවාන සරුංගල් උළෙල පැවැත්වූයේ පසුගිය ඉරිදා තායිවානයේ මුහුදුබඩ සුන්දර ප්‍රදේශයක් වන නන්ලියාඔ වෙරළ තීරයේය. ඒ සඳහා දහස් ගණනක ජනතාවක් සහභාගී වී සිටියේය. අහස පුරා විවිධාකාරයේ සරුංගල් දක්නට ලැබුණු අතර, ඒ අතරින් කාගේත් අවධානය යොමු වූයේ ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තැඹිලි පැහැ අති විශාල සරුංගලයක් කෙරෙහිය. එය අති විශාල වූ අතර අඩි ගණනාවක් දිගට තැඹිලි පැහැ රෙදි මගින් එහි රැළි යොදා තිබිණි.

සරුංගලය අහසට නැංවීමේ අවස්ථාව උදා වූ අතර, කාගේත් අවධානය ඒ වෙත යොමු විය. කිහිප දෙනෙකුගේ සහයෝගයෙන් සරුංගලය අහසට නැංවුණු අතර එක්වරම රැස්ව සිටි පිරිස පුදුමයට පත්වූයේ එම සරුංගලයේ සුන්දරත්වය දැකීමෙන් නොවේ. එම සරුංගලයේ දිගු රැළිවල පැටලී අහසට පාවී ගිය කුඩා දැරියක් දැකීමෙනි.

මේ දැරියද රැගෙන අහසට නැගීමට තරම් සරුංගලය විශාල වූ අතර ඇයගේ බර හේතුවෙන් එම සරුංගලය කිසි විටෙකත් බිමට පහත්වූයේ නැත. ඒ වෙනුවට අහසේ කරණම් ගසමින් පා වෙන්නට, තවතව උඩ යන්නට වූයේ කුඩා දැරියද සමඟිනි. දැරිය දුටු රැස්ව සිටි පිරිස වහවහා ඇයව බිමට ගැනීමට වෙර දරන්නට වූහ. වැඩි දෙනෙකුගේ සහායෙන් සරුංගලය බිමට පහත් කර ගන්නා අවස්ථාව වන විට විනාඩි පහක පමණ කාලයක් දැරිය ගුවනේ පා වී තිබිණි.

දරිය බිමට ගත් පසු ඇයව වෛද්‍යාධාර සඳහා යොමු කරන ලද මුත් ඇයගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට තිබී නැත. ඇය තුන් හැවිරිදි බව පසුව සොයා ගැණුනු අතර ඇය තවත් පිරිසක් සමඟ සරුංගල් සන්දර්ශනය නැරඹීමට පැමිණ සිටියදී අහම්බයකින් මෙලෙස සරුංගලයේ පැටලී උඩට ඇදී ගිය බවද වාර්තා විය.

පසුව තායිවාන රජය මේ සිද්ධියට අදාළව ජනතාවගෙන් සමාව අයැද සිටියේ යළිත් මෙවන් හදිසි අනතුරු සිදුවීමට ඉඩ නොදෙන බව පවසමිනි.

 

Comments