දින හැත්තෑවක බස් ගමනක් ලෝකෙන් බාගෙක සවාරියක් | සිළුමිණ

දින හැත්තෑවක බස් ගමනක් ලෝකෙන් බාගෙක සවාරියක්

සංචාරයට ප්‍රිය කරන ඔබට මේ නම් සුබදායී පුවතකි. එපමණක්ද නොව සංචාරය කිරීමට නොසිතන අය පවා ඒ වෙනුවෙන් පොලඹවන සුලු පුවතකි. අධි සුඛෝපභෝගී බස් රථයක නැගී දින හැත්තෑවක් පුරා ලෝකයේ රටවල් දහඅටක සැරි සැරීමට ලැබෙන්නේ නම් එය වාසනාවකි. සතුටුදායක පුවත වන්නේ ලබන වසරේදී ලොව පුරා සංචාරකයන්ට මේ අද්විතීය අවස්ථාව අත්විඳීමට ලැබීමය.

මේ සංචාරය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වන අතර අවසන් වන්නේ ඉන්දියාවේ නව දිල්ලි නුවරිනි. ඒ අතර රටවල් දහඅටක සුන්දරත්වය විඳිමින් සංචාරය කිරීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවේ. දැනට ගණන් බලා ඇති අන්දමට මේ සංචාරයට පුරා දින හැත්තෑවක් ගත වේ. මේ සඳහා වැය වන මුදල සම්බන්ධව මේ දක්වා ප්‍රකාශ කර නැත. එහෙත් කොවිඩ් වයිරසයේ පැතිර යෑම හේතුවෙන් මේ වසරේදී මේ අපුරු බස් සංචාරය ආරම්භ නොකරන බව එහි සංවිධායකවරු පවසා තිබේ. දින හැත්තෑවේ බස් ගමන අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙන්නේ ලබන වසරේ ජූලි මාසයේ සිටය.

දැනට ප්‍රකාශ කර ඇති අන්දමට මේ සංචාරයේදී මගියකු ගමන් ගන්නා සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 20,000කි. එහෙත් සංචාරකයන් කැමති පරිදි මේ අතරින් සම්පූර්ණ දුර ගමන් කිරීමට හෝ ඉන් අඩක් හෝ කැමති ආරම්භයක් සහ අවසානයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම සංචාරකයන්ට පමණක් නොව මගීන්ටද මේ බස් රථ තම ගමනාගමන පහසුව සඳහා යොදා ගැනීමට හැකියාව තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙන් ආරම්භ වන මේ සංචාරක බස් රථ එතැනින් ගමන් කරන්නේ ජර්මනිය හරහා බෙල්ජියමටය. එතැනින් චෙක් ජනරජයට ළඟා වන බස් රථ පෝලන්තය හරහා ලිතුවේනියාවටද, ලැට්වියාවටද පැමිණේ. රුසියාවට ළඟා වන්නේ ඉන්පසුවය. රුසියාවෙන් කසකස්ථානය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය හරහා චීනයට ළඟා වේ. මෙහිදී විශේෂත්වය වන්නේ භූමි ප්‍රමාණයෙන් විශාල රටක් වන චීනය හරහා මේ බස් රථ ගමන් කිරීමයි. චීනයෙන් පසු බස් රථ ළඟා වන්නේ ලාඕසයටය. එතැනින් තායිලන්තයේ සංචාරක පුරය පසු කරමින් මියන්මාරයටද, මියන්මාරයෙන් ඉන්දියාවේ නව දිල්ලි නගරයටද බස් රථ ගමන් කිරීමට නියමිතය. ඒ අනුව මේ බස් රථ සංචාරයට එක්වන පුද්ගලයකුට රටවල් 18කට ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ මේ බස්රථ ගමන් ගන්නා රටවල ඇති සංචාරක ආකර්ශණීය ස්ථාන බොහොමයක් දැක බලා ගැනීමේ අවස්ථාවද මගීන්ට හිමිවීමය. උදාහරණ ලෙස මොස්කව්, ෆ්‍රෑන්ක්ෆර්ට්, ප්‍රාග්, බ්‍රසල්ස් වැනි ඓතිහාසික නගර දැක බලා ගන්නා අතරම උස්බෙකිස්ථානයේ සංචාරක ආකර්ශණීය ටෂ්කාන්ට් සහ සමර්තාන්ඩ් වැනි නගරවල ඇවිදිමින් සිරි නැරඹීමේ අවස්ථාවද සංචාරකයන්ට හිමි වේ.

යුරෝපා සහ ආසියා මහාද්වීප වෙන් කරන කැස්පියන් මුහුදේදී කෘෘස් නෞකාවකට බස්රථ ඇතුළු කරන අතර කැස්පියන් මුහුද තරණය කිරීමේදී කෘෘස් නැවක නැගී විනෝද වීමේ අවස්ථාවද මගී සංචාරකයන්ට හිමි වේ. කසකස්ථානයේ සිට චීනයට ඇතුළු වීමට පෙර ගෝබී කාන්තාරයේ සංචාරයක නිරත වීමේ අවස්ථාව මගීන්ට සැලසෙන්නේ කාන්තාර අත්දැකීමක්ද ඔවුන්ට ලබා දෙමිනි. මගීන්ට වඩා සුන්දරම අත්දැකීම හිමි වනු ඇත්තේ චීනයේදී ය. චීන මහා ප්‍රාකාරය තරණය කිරීමට මෙන්ම චෙන්ග්ඩු හිදී යෝද පැන්ඩාවන් දැක බලා ගැනීමේ අවස්ථාවද ඒ අතර වේ.

අතීතයේ පුරාණ වෙළඳුන් ඇවිදගිය සේද මාර්ගය ඔස්සේ මේ බස් ගමන සිදුවීමට නියමිත අතර, එම සේද මාවතේ ඇවිද යමින් පුරාණ සංචාරකයන් අත්විඳි අත්දැකීම්වලට සමවැදීමේ අවස්ථාවද බස් මගී සංචාරකයන්ට හිමි වනු ඇත. තායිලන්තයේ සංචාරක පුරවරයේ දින කිහිපයක් රස විඳීමේ අවස්ථාව මෙන්ම මියන්මාරයේ උසැති දාගැප් දැක බලා ගැනීමේ අවස්ථාවෙන් පසු නවදිල්ලි නුවරට පැමිණ බස් ගමන අවසන් කිරීමට සංචාරකයන්ට හැකියාව ලැබෙනු ඇත. එහෙත් ඒ ඉන්දියාව නම් වන මහා සංචාරක ඉසව්වේ දින කිහිපයක් ඇවිද යෑමේ අවස්ථාවද අත්විඳීමෙන් පසුවය.

විස්තර ඇසූ පමණනින් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා මේ බස් ගමන සම්බන්ධව ප්‍රථමයෙන් අදහස පහළ වී ඇත්තේ සන්ජේ මධාන් සහ තුෂාර් අග්‍රවාල් නම් වන ඉන්දියන් ජාතිකයන් දෙදෙනාටය. එමෙන්ම මේ බස් රථ රියැදුරන්ට ලෝකයේ වැඩිම දුරක් රිය පැදවූ රියදුරන් ලෙස ගිනස් වාර්තාවන්ද හිමිවනු ඇති බව සඳහන්ය.

එපමණක්ද නොව මේ සංචාරයන් සංවිධානය කිරීමේ කටයුතුවලදී වැඩි බරක් දරමින් කටයුතු කරන තුෂාර් අග්‍රවාල් සඳහන් කරන්නේ දින හැත්තෑවක් පුරා ගමනේ යේදීමේදී සුවපහසුව මිස අන් කිසිවක් නොලැබෙන සේ මේ බස් රථ විශේෂයෙන් සැලසුම් කර ඇති බවයි. බස් රථවල, හිඳ ගැනීමට මෙන්ම නිදාගැනීමටද හැකි සුභෝපභෝගී ආසන, වැසිකිළි පහසුකම් මෙන්ම රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ සහ ආහාරද අන්තර්ගත වනු ඇති බවයි. එමෙන්ම සෑම බස් රථයකම ඉංග්‍රීසි භාෂාවෙන් මගීන්ට විස්තර කථනය සඳහා මාර්ගෝපදේශකයකු යොදවනු ඇති අතර, මේ සියල්ල මධ්‍යම පාන්තිකයන්ට වුවද දැරීමට හැකි මුදලකට ලබා දීමටද සංවිධායකවරු අදහස් කරති. එමෙන්ම සංචාරයට එක්වන මගීන්ගේ ආරක්ෂාවද තමන් තහවුරු කරන බව සංවිධායකවරු විශේෂයෙන් සඳහන් කරති.

මේ කියවන බොහෝ දෙනා ලබන වසරේ ජූලි මාසය වෙනුවෙන් ඇඟිලි ගණිනු ඇති බව නම් විශ්වාසයෙන් කිව හැකි වන්නේ මේ බස් ගමන සංචාරකයන්ට අමුතුම අත්දැකීමක් ලබා දෙනු ඇති බවට සැකයක් නොමැති බැවිනි.

Comments